මේ ලිපියෙන් අපි සාකච්ඡා කරන්නේ හෝමියෝපති වෛද්‍ය ක්‍රමය ගැනයි. ගොඩක් අය ඇත්තට ම මේ හෝමියෝපති වෙදකම කියන්නේ මොකක්ද කියලා දන්නෙ නෑ. අහලා තිබුණත් යම් යම් හේතු නිසා එම ප්‍රතිකාර සඳහා යොමු වෙනවා අඩුයි. ඉතින් අපි මේ හෝමියෝපති වෛද්‍ය ක්‍රමය ගැන වැඩි දුර විස්තර සඳහා ලංකාවේ සිටින අති දක්ෂ හෝමියෝපති වෛද්‍යවරයෙක් වන අලගප්පන් ශාන්ත කුමාර් මහතාගෙන් විමසා බලමු.
ඔබතුමා මේ හොමියෝපති වෛද්‍ය ක්‍රමය පිළිබඳ ඉගෙනගත්තේ කොහෙන්ද?
මම මේ ගැන ඉගෙන ගත්තේ ඉන්දියාවේ කුම්බකෝනම්පොල විශ්වවිද්‍යාලයෙන්. ඒ කාලේ ඉන්දියාව තුළත් හෝමියෝපති වෙදකම වර්ධනය වෙමින් තිබුණ කාලය. ඒ කාලේ අද තරම් බහුල විදිහට හෝමියෝපති උපාධි ලබාදෙන විශ්ව විද්‍යාල තිබුණේ නෑ. ඒ කාලේ තිබුණේ ඩිප්ලෝමා පාඨමාලාවක්. ඒ ඩිප්ලෝමා පාඨමාලාව තමයි පසුකාලයේ දී උපාධියක් බවට පරිවර්තනය කර ගත්තේ. ඒ කියන්නේ අදියරෙන් අදියර ඒගොල්ලෝ ඒක දියුණු කර ගත්තා. ඒ විශ්වවිද්‍යාලයෙන් මූලික දේවල් ඉගෙන ගත්තට පස්සේ ඊට අමතරව ජාත්‍යන්තරයේ ඉන්න ප්‍රවීණ හෝමියෝපති වෛද්‍යවරුන්ගේ සම්මන්ත්රණවලටත්, ඒගොල්ලන්ගේ පන්තිවලටත් සහභාගී වෙලා තව තවත් දැනුම ලබාගත්තා. අද වෙනකොට හෝමියෝපති වෙදකම සම්බන්ධව ලෝකයේ ම පළමුවෙනි ස්ථානයේ ඉන්නේ ජෝර්ජ් විදුල්කාස්ට් කියන වෛද්‍යවරයා. එතුමාටත් දැන් වයස අවුරුදු අනූවක් වෙනවා. එතුමාගේ පන්තිවලට පුද්ගලිකව ම සහභාගී වෙලා එතුමාගේ සම්පූර්ණ දැනුම ලබාගැනීමේ හැකියාව මට ලැබුණා. එතුමා තමයි මට නිවැරදි හෝමියෝපති වෙදකම පැත්තට මග පෙන්නුවේ….
එතකොට ඔබතුමා නිවැරදි හෝමියෝපති පැත්ත කියලා කිව්වේ, ඒ කියන්නේ වැරදි හෝමියෝපති පැත්තකුත් තියෙනව ද?
ඇත්තටම තියෙනවා. ඒකෙන් මං අදහස් කළේ හෝමියෝපති මූලධර්ම හා විධික්රමවලට පටහැනිව ප්‍රතිකාර කිරීම ගැන. ඒ කියන්නේ දැනට අවුරුදු දෙසිය පණහකට පමණ කලින් හෝමියෝපති වෛද්‍යක්‍රමය වෛද්‍ය සැමුවෙල් හනිමාන්තුමා විසින් මුලින් ම ලෝකයට හඳුන්වාදුන්න කාලය තුළ අද තරම් තාක්ෂණික දියුණුව, විද්‍යාත්මක දියුණුව කිසි දෙයක් තිබුණේ නැහැ. ඒ නිසා ඒ කාලය තුළ එතුමාට හරියට ඒ ගැන පැහැදිලි කිරීමක් කරගන්න බැරි තත්ත්වයක් තිබුණා. නමුත් අද විද්‍යාත්මක දියුණුවයි, තාක්ෂණික දියුණුවයි හැම පැත්තෙන් ම තියෙන නිසා එතුමා අඳුනාගත්තු දේ අද තියෙන සියලූ ම වෛද්‍ය ක්‍රමවලට වඩා ඉතා ඉහළ දෙයක් බව ඔප්පු වෙලා තියෙනවා.
බටහිර වෛද්‍ය ක්රමයේ තියෙනවා මොලිකියුලර් මෙඩිසින් (අණුක වෛද්‍ය විද්‍යාව) කියලා කොටසක්. මොලිකියුලර් මෙඩිසින් තුළත් ඩ්‍රග්ස් මොලිකියුල්ස් (ඖෂධ අණු) ඒ ආකාරයෙන් ම පාවිච්චි කරනවා. නමුත් හෝමියෝපති වෙදකමේ මොලිකියුල්ස්වල ඉම්ප්‍රින්ට් (අණුවල සලකුණු) විතරයි පාවිච්චි කරන්නේ. ඒ නිසා අතුරු ආබාධ ඇතිවෙන්නේ නෑ. එතකොට හනිමාන්තුමා අතුරු ආබාධ නැති වෛද්‍ය ක්‍රමයක් අවුරුදු දෙසිය පණහකට කලින් ම හඳුනාගෙන තියෙනවා. නමුත් විද්‍යාත්මක දියුණුවක් නැති නිසා ඒ කාලේ ඒක පැහැදිලි කර ගැනීමේ හැකියාව නැතිවෙලා තියෙනවා.
මේ හෝමියෝපති වෛද්‍ය ක්රමයේ තියෙන විශේෂ ම වාසිය මොකක්ද?
සාමාන්‍යයෙන් සෑම වෛද්‍ය ක්රමයක ම රෝගියෙක් වෛද්‍යවරයෙකු ඉදිරියේ තමන්ගේ රෝගය ප්‍රකාශ කළාට පස්සේ ඒ කියපු රෝගයට තමයි ප්‍රතිකාරය පටන් ගන්නේ. නමුත් මේක ඊට වඩා වෙනස් දෙයක්. දැන් අපි ගත්තොත් රෝගියාගේ ඒ රෝග තත්ත්වය මතුවීමට විවිධ හේතු බලපාලා තියෙන්න පුළුවන්. ඔහු ජීවත්වන පරිසරය, නිතිපතා ඔහු මුහුණ දෙන ප්‍රශ්න, කලින් තිබිච්ච රෝග තත්ත්වයන් ආදී රෝගියාගේ කායික, මානසික සියලු දෙයක් ම හඳුනාගෙන, ඒ සියලු දෙයට ම ගැළපෙන ආකාරයටයි බෙහෙතත් නිර්මාණය කළයුතු වෙන්නේ. අද තියෙන රෝග තත්ත්වයන්ට තමන් කරන රැකියාවේ, වෘත්තියේ සම්බන්ධකමකුත් තියෙනවා. වෘත්තිය හරහා ඔහු මුහුණ දෙන ප්‍රශ්නත් රෝගය සඳහා බලපෑමක් ඇති කරන්න පුළුවන්. ඒ නිසා ප්‍රතිකාරයට කලින් ඒ හැම දෙයක් ම සළකා බැලිය යුතුයි.
අනිත් වැදගත් කාරණය තමයි හැම වෛද්‍ය ක්රමයක ම ප්‍රතිකාර කරන්නේ රෝගයටයි. හෝමියෝපති වෛද්‍ය ක්‍රමය තුළ ප්‍රතිකාරය සිදුකෙරෙන්නේ රෝගියාටයි. රෝගියාගේ ශරීර ක්‍රියාපටිපාටියේ ඇතිවෙලා තියෙන අවහිරතාවය නිසා තමයි රෝග තත්ත්වයක් නිර්මාණය වෙන්නේ. ඒ නිසා ඒ රෝගියාගේ අවහිරතාවය ඉවත් කරගන්න ඕනෙ සුවපත් වීමට නම්. ඒ රෝගියාගේ ජීවන රටාව, ඔහු ජීවත්වෙන පරිසරය, ඔහුගේ රැකියාව, මානසිකව ඔහු මුහුණ දෙන ප්‍රශ්න, කලින් තිබිච්ච රෝග තත්ත්වයන් ආදී මේ සියලු දේ හඳුනාගත්තොත් පමණයි ඒ රෝගියාට නිසි බෙහෙතක් තෝරාගන්න පුළුවන් වෙන්නේ.
දියවැඩියාව කිව්වාම බටහිර වෛද්‍ය ක්‍රමය අනුව ඕනෑම දියවැඩියා රෝගියෙකුට දෙන්නේ එකම ආකාරයේ ප්‍රතිකාර පද්ධතියක්. උදාහරණයක් විදිහට ගත්තොත් සීයක් ගියොත් සීයට ම වගේ දෙන්නේ මෙට්ෆෝමින් කියන බෙහෙත. නමුත් හෝමියෝපති වෛද්‍ය ක්රමයේ හැම රෝගියෙකුට ම පොදුවේ එකම බෙහෙත දෙන්න බෑ. ඒ රෝගියාට ම පෞද්ගලිකව ගැළපෙන විදිහට තමයි බෙහෙත නිර්මාණය වෙන්නේ. (රෝග ලක්ෂණ අනුව හැම කෙනාට ම පොදුවේ නියම කරන ඖෂධ හෝමියෝපති වෛද්‍ය ක්රමයේ නැහැ.)
සෑම පුද්ගලයෙකුට ම ඔහුගේ ජානවලට අනුව උපතින් ම උරුම වෙච්ච අනන්‍යතාවයක් තියෙනවා. ඒ අනුව තමයි ඕනෑම තත්ත්වයක් තුළ ඒ පුද්ගලයාගේ ස්වභාවය ඉස්මතු වෙන්නේ. සාමාන්‍යයෙන් රිය අනතුරක් වෙච්ච අවස්ථාවක එතන පුද්ගලයන් දහ දෙනෙක් හිටියොත් ඒ දහදෙනා ඒ සිදුවීමට ප්‍රතිචාර දක්වන්නේ දහ විදිහකට. එක්කෙනෙක් උදව් වෙන්න යනවා, සමහරු එතනින් ගැලවිලා යන්න බලනවා, සමහරු එතනට වෙලා නිකම් ම බලාගෙන ඉන්නවා. ඒක තියෙන්නේ ඔහුගේ ජෙනටික් ටෙන්ඩෙන්සි (ජානමය ප්‍රවණතාව) එක අනුව. රෝගී තත්ත්වයක් තුළත් යම්කිසි විෂබීජයක් ඇතුල් වුණොත් ඒකටත් ප්‍රතිචාර දක්වන්නේ ඒ මත පදනම් වෙලා. හැම පුද්ගලයෙක් ම ඒකාකාරව ප්‍රතිචාර දක්වන්නේ නෑ. හැම රෝගියෙක් තුළ ම තියෙන ඒ අනන්‍යතාවය හඳුනාගෙන, ඒ අනුව පුද්ගලිකව ඔහුට ම ආවේණික බෙහෙතක් තෝරාගැනීම තමයි මේ හෝමියෝපති වෛද්‍ය ක්රමයේ තියෙන වැදගත්කම.
සාමාන්‍යයෙන් අපි බටහිර වෛද්‍යවරයෙකු මුණගැහෙන්න වෙලාවක් වෙන්කරගෙන ගියාට පස්සේ සමහරවිට රෝගියාගෙන් විස්තර අහන්නේ විනාඩි පහක් හෝ දහයක්. ඊට පස්සේ රෝගියාට බෙහෙත් දීලා කරන්න ඕන දේවල් ටික කියලා දෙනවා. ඔබතුමා කොච්චර වෙලාවක් රෝගියෙක් වෙනුවෙන් වෙන් කරනව ද?
ඒකත් රෝගියාගෙන් රෝගියාට වෙනස් වෙනවා. සමහර රෝගියෙකුව පරීක්ෂා කරන්න අපට අඩු ම වශයෙන් විනාඩි විස්සක් යන්න පුළුවන්. සමහර රෝගියෙකුට පැය භාගයක් ගතවෙන්න පුළුවන්. සමහරවිට පැයක්, එකහමාරක් යන්නත් ඉඩකඩ තියෙනවා. ඒක තීරණය වෙන්නේ රෝග තත්ත්වයේ සංකීර්ණ භාවය අනුව. සෑම රෝගියෙකුට ම මතුවෙන රෝගය ඉතා සරලයි. ඒ සරල රෝග තත්ත්වය දවසින් දවස ගිහිල්ලා සංකීර්ණ බවට පරිවර්තනය වෙනවා. එතකොට ඒ රෝගය කොහෙන්ද මතු වුණේ කියලා හොයාගන්න අමාරුයි. සාමාන්‍යයෙන් අපි යම්කිසි ප්‍රශ්නයක් විසඳනකොට ඒ ප්රශ්නයේ මූලාරම්භය කොතන ද තියෙන්නේ කියලා හොයාගත්තොත් පමණයි ඒ ප්රශ්නය විසඳාගන්න පුළුවන් වෙන්නේ. ඒ ආකාරයට ම රෝගියාගේ රෝග තත්ත්වය කොතනින් මතුවෙලා ද මේ ආකාරයට වර්ධනය වෙලා තියෙන්නේ කියන එක (රෝග නිදානය) හඳුනාගත්තොත් පමණයි ඒක නිරාකරණය කරන්න පුළුවන්. නැත්නම් මතුපිටින් දැන් තියෙන දේ බලලා අපට ප්‍රතිකාර කරන්න බැහැ.
ඒ කියන්නේ රෝගියා ක්ෂණිකව මට දැන් කැස්සක් තියෙනවා කියලා කියපු පලියට ඒ කැස්සට බෙහෙතක් දෙන්න බෑ. කැස්ස මතුවීමට හේතුසාධක, පසුබිම මොකක්ද කියලා අපි හොයාගත්තොත් පමණයි ඒක නැතිකරන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍යයෙන් නගරයක් තුළ රිය අනතුරක් සිද්ධ වුණොත් මුලින් ම රථවාහන තදබදයක් ඇතිවෙන්නේ එතන පමණයි. ඒක හරියට නිරාකරණය කර ගත්තේ නැති වුණාට පස්සේ අන්තිමට සියලු අතුරු පාරවලුත් අවහිර වෙන තත්ත්වයක් එනවා. ඒ තත්ත්වය තමයි රෝගියා තුළත් තියෙන්නේ. මුලින් මතුවෙන සරල තත්ත්වය විසඳා නොගන්නකොට ඒක හැම තැන ම ගිහිල්ලා අන්තිමට හැම සරීරාංගයකට ම බලපෑමක් ඇතිකරන තත්ත්වයක් බිහිවෙනවා.
ඔබතුමා මේ හෝමියෝපති ප්‍රතිකාර කරන්න අරන් කොච්චර කල් වෙනව ද?
දැනට මට අවුරුදු තිස්පහක අත්දැකීමක් තියෙනවා.
ඩෙංගුවලටත් ප්රත්යක්ෂ ප්‍රතිකාරයක් මේ හෝමියෝපතිවල තියෙනවද?
ඔව් තියෙනවා. පසුගිය කාලයේ බහුල වශයෙන් ඩෙංගු රෝගය පැතිරිලා රෝහල්වල රෝගීන් පිරිලා හිටපු කාලය තුළ මට ඩෙංගු රෝගීන් විසිපහකට වැඩි ප්‍රමාණයක් ඉතා පහසුවෙන් සුවකරගන්ට හැකි වුණා. හෝමියෝපති බෙහෙත් පටන් අරගෙන දවස් දෙකක් ඇතුලත අපට අවශ්‍ය ප්‍රමාණයට බ්ලඞ් කවුන්ට් එක (සුදු රුධිරාණු, රුධිර පට්ටිකා ආදියේ ප්‍රමාණ) ගෙනල්ලා සුවපත් කරන්න පුළුවන්කම තියෙනවා. ඒක ඒ තරම් අපහසු දෙයක් නෙවෙයි. එතනදිත් රෝගියාගේ අනන්‍යතාවය වැදගත් වෙනවා. මොකද හේතුව, හැමතැන ම මදුරුවෝ එක එක්කෙනාට බලලා විදින්නේ නෑ. හැමෝටම මදුරුවෝ විදිනවා. නමුත් සමහර පුද්ගලයන්ට පමණයි ඒ ඩෙංගු රෝග තත්ත්වය නිර්මාණය වෙන්නේ. ඒකට මූලික හේතුව තමයි ඒ විෂබීජය ශරීරයට ඇතුල්වීමට පෙර සිට ම ඒ විෂබීජයට ශරීරය තුළ පැවතීමේ හැකියාව තිබිලා තියෙනවා. ඒ විෂබීජයට සිරුර තුළ පැවතීමේ හැකියාව නැති කිරීමයි අපි කරන්නේ. එතකොට ඒ පුද්ගලයා ඒකෙන් ගැලවෙනවා.
සාමාන්‍යයෙන් බටහිර වෛද්‍ය ක්රමයේ සමහර ප්‍රතිකාර කරද්දී ඒ වෛද්‍යවරු කියනවා මේකෙන් අතුරු ආබාධ එන්න ඉඩ තියෙනවා කියලා. ඊ ළඟට අපේ පාරම්පරික සිංහල වෛද්‍ය ප්‍රතිකාරවලට මිනිස්සු පෙළඹෙනවා අඩුයි ඒකට ගොඩක් කාලය යන නිසා. හෝමියෝපතිවලින් අතුරු ආබාධ එන්නේ ම නැද්ද?
ශාකමය ඖෂධ භාවිතා කරන හැම වෛද්‍ය ක්‍රමයක් තුළ ම තියෙන්නේ, ඒ ශාක ඒ ආකාරයෙන් ම භාවිත වන තත්ත්වයක්. හෝමියෝපති බෙහෙත්වලත් පාවිච්චි කරන්නේ සීයට අනූවක් ම ශාකවලින් හදාගත්තු දේවල්. නමුත් මෙතන ඒ ශාකවල තියෙන ක්රූඞ්ෆෝම් ඩ්‍රග්ස් (සංස්කරණය නොකළ ඖෂධ) ඒ ආකාරයෙන් ම භාවිත වෙන්නේ නෑ. ඒ මොලිකියුල්ස්වල තියෙන ඉම්ප්‍රින්ට් එක පමණයි මේකේ තියෙන්නේ. ඒ නිසා ඒ රෝග තත්ත්වයයි, මේ බෙහෙතයි දෙක එකතු වෙනවා මිසක් බයෝලොජිකල් මැකැනිසම්වලට (ජීවවිද්‍යාත්මක ක්‍රියාකාරීත්වයට) කිසිම හානියක් වෙන්නේ නෑ. ඒක ක්‍රියාත්මක වෙන්නේ අර පැතොලොජිකල් මොලිකියුල්ස් (රෝගකාරක අණු) තියෙන ස්ථානවල පමණයි.
සාමාන්‍යයෙන් හෝමියෝපතිවලින් ප්‍රතිකාර කරන්නේ මොන වගේ රෝගවලට ද?
මනුෂ්‍ය ශරීරයේ ඇතිවෙන ඕනෑම ලෙඩකට අපට ප්‍රතිකාර කළ හැකියි. ලෙඬේ නම වැදගත් වෙන්නේ නෑ. මොකද හේතුව, නමක් අපට දාගන්න පුළුවන්. ඒ වුණාට ඒ රෝගය මතුවුණේ කොහෙන් ද කුමන ආකාරයෙන් ද ආවේ කියන එකයි වැදගත් වෙන්නේ. දැන් දියවැඩියාව කිව්වට අපට ඒ නම වැදගත් වෙන්නේ නෑ. ඒ පුද්ගලයා කවුද කියලා හඳුනාගැනීමයි අපට අවශ්‍ය වෙන්නේ. ඒ පුද්ගලයාගේ ස්වභාවය, ඔහුගේ ජීවන රටාව, ඔහු නිතිපතා මුහුණ දෙන ප්‍රශ්න ආදී දේවල් තමයි අවශ්‍ය වෙන්නේ. ඒක මත පදනම් වෙලා තමයි රෝගී තත්ත්වයක් නිර්මාණය වෙන්නේ. ඒවා හඳුනාගත්තොත් අපට ඉතා පහසුවෙන් ප්‍රතිකාර කටයුතු කර ගන්න පුළුවන්.
හෝමියෝපතිවලට මිනිස්සු පෙළඹෙන්නේ නැත්තේ කරුණු දෙකක් නිසා. එකක් තමයි අපේ රටේ හෝමියෝපති සම්බන්ධයෙන් මිනිස්සුන්ට දැනුමක් නැතිකම. අනික තමයි සමහරු හෝමියෝපති මුවාවෙන් බෙහෙත් කරන ක්‍රමවල තියෙන වැරැද්ද නිසා ප්‍රායෝගික විශ්වාසයකට එන්න බැරිකමක් ඇතිවී තිබීම. මේ ගැන ඔබතුමාගේ අදහස මොකක්ද?
ඇත්තටම ඒවා තමයි හේතු. අපේ රටේ පාර්ලිමේන්තුවේ පණතක් සම්මත කරලා තියෙනවා හෝමියෝපති වෛද්‍ය ක්‍රමය දියුණුව හා සංවර්ධනය කිරීම සඳහා. නමුත් ඒ පණත ක්‍රියාත්මක කිරීම කියන එක සිද්ධ වෙලා ම නෑ. ඉන්දියාවයි අපියි එක ම කාල පරිච්ඡේදයක තමයි මේ පණත සම්මත කරගෙන තියෙන්නේ. නමුත් ඉන්දියාව තුළ අද හෝමියෝපති වෛද්‍ය විද්‍යාල දෙසිය ගණනක් තියෙනවා. හැම ප්‍රාන්තයක ම වෛද්‍ය විද්‍යාල දහය දොළහ තියෙනවා. හැම විශ්වවිද්‍යාලයක් තුළ ම වෛද්‍යපීඨවල හෝමියෝපති කියලා පීඨයක් තියෙනවා. ඒ ආකාරයට ඒගොල්ලන්ට පුළුවන් වෙලා තියෙනවා වෛද්‍ය විද්‍යාල දෙසිය ගාණක් මේ කාලය වෙනකොට හදාගන්න.
නමුත් අපේ ලංකාව තුළ හෝමියෝපති සම්බන්ධව තවම එක වෛද්‍ය විද්‍යාලයක්වත් හදාගෙන නැහැ. ඒකත් මූලික හේතුවක් වෙනවා. වෛද්‍ය විද්‍යාලයක් නැතිවීම නිසා වෛද්‍ය සිසුන්ට පුහුණුවීමට හා වෛද්‍යවරුන්ට තමන්ගේ දැනුම වර්ධනය කර ගැනීමේ හැකියාවක් නෑ. එතකොට ඉතින් කාගෙ කාගෙන් හරි ටිකක් ඉගෙන ගත්තු අය ඒ මත පදනම් වෙලා ප්‍රතිකාර කරන්න පටන් ගන්නවා.
ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට අඩු වියදමකින් ඉක්මනට සුවපත් වෙන්න පුළුවන්කම මේ හෝමියෝපතිවලින් තියෙනවා. එහෙම නේ ද?
සීයට සීයක් ම තියෙනවා. මං හිතන විදිහට නිසියාකාරව රජයේ අනුග්‍රහය අනුව බෙහෙත් ආදී දේවල් ඉතා පහසුවෙන් ලබාගන්න පුළුවන් ක්‍රමවේද තිබුණා නම්, දැන් අපි කරනවට වඩා ඉතා අඩු වියදමින් රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන්න හැකියාව තියෙනවා.
වෛද්‍ය ඒ. ශාන්ත කුමාර් මහතා.
සාකච්ඡා කළේ
අෂාන් ඉමල්ක ගමගේ
Recent Comments