ගෙවී ගිය ජීවිත කාලය තුළ අප පිළිබඳ ව අප විසින්මත්, අන් අය විසිනුත් ගනු ලැබූ නොයෙකුත් තීරණ තිබේ. ඒ ඇතැම් තීරණ වෙනස් වූවා නම් කොතරම් යහපත් ද කියා අපට ම සිතෙන අවස්ථා ද තිබේ. අපගේ ජීවිත තුළ ගනු ලැබූ තීරණ පිළිබඳ ව පමණක් නො වේ; අතීතයේ පටන් ම රටක් වශයෙන් අප ගනු ලැබූ තීරණ පවා අප විසින් ම විවේචනයන්ට ලක් කිරීම විරල නැත.
ඉතා සුළු කාලසීමාවක් තුළ ගනු ලැබිය යුතු වන තීරණ සම්බන්ධයෙන් කෙනෙකු සාර්ථක වන්නේ කලාතුරකිනි. බොහෝ සෙයින් සිතා මතා, කල් යල් ගෙන ගනු ලබන තීරණ පවා නිවැරදි ම තීරණ නො වන කල්හි හදිසියේ ගනු ලබන තීරණ වැරදී යාම ගැන පුදුම වන්නට දෙයක් නැත. අද හෙට ම නො වූව ද මතු යම් දිනයක අපට ඒ කෙරෙහි අසතුටු වන්නට කාරණා බොහෝ යෙදෙන්නට ඇති ඉඩ ඉතා පුළුල් ය.
ගනු ලබන තීරණ සම්බන්ධයෙන් මුළුමහත් ලෝකයේ ම පොදු ස්වභාවය එබඳු වූවත් මින් වසර 2561ට පළමු ඇසිල්ලකින් ගනු ලැබූ තීරණයක් අද ද දෙව් මිනිස් සකල ලෝකයාගේ අස්වැසිල්ල, යහපත, අභිවෘද්ධිය පිණිස උපකාරක ව පවතින බව පැහැදිලි ව දක්නට ලැබේ. ඒ තීරණය වනාහී අන් කිසිවක් නොව සම්බුදු මුව මඬලින් දේශිත උතුම් ධර්ම විනය සංගායනා කොට සුරක්ෂිත කළ යුතු බවට ගෞතම සම්බුදු සසුනේ තෘතීය ශ්‍රාවක මහා කාශ්‍යප මහරහතන් වහන්සේ විසින් ගනු ලැබූ තීරණය යි.
සම්බුදුරජුන්ගේ පිරිනිවීමෙන් මහත් කම්පාවට පත් මග ඵල නො ලද භික්ෂූන් වහන්සේලා හඬා වැළපෙද්දී “ඇවැත්නී, කම්පා නො වව්. ශෝක නො කරව්. ඒ මහා ශ්‍රමණයාගෙන් අපි මිදුනෙමු.” කියා සුභද්‍ර නම් භික්ෂුව පැවසූ නොමනා වචන මහා කාශ්‍යප මහරහතන් වහන්සේට අසන්නට ලැබිණි. ඒ ඇසූ මොහොතේ ම අනාගත ශාසනික අර්බුදයක අනතුරුදායක පසුබිම උන්වහන්සේ විසින් වටහා ගන්නා ලදී. ‘තථාගත ධර්ම විනය ඉක්මනින් ම සංගායනා කළ යුතු ය’ යන ඍජු තීරණය උන්වහන්සේ විසින් ගනු ලැබුවේ ඒ මොහොතේ දී ම ය.
සම්බුද්ධ පරිනිර්වාණයෙන් තුන් මසක් ගෙවී ගොස් අද වන් නිකිණි පුන් පොහොය දිනය එළඹි කල්හි අජාසත්ත රජුගේ අනුග්‍රහයෙන් මගධයේ වේහාර පර්වත පාමුල සප්තපර්ණී ගල් ගුහාව ඒ සුවිශේෂී සංගායනාව උදෙසා සූදානම් ව තිබුණි. පෙරදින රැයේ නිකෙලෙස් බවට පත්වූ ගෞතම සම්බුදු සසුනේ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහරහතන් වහන්සේගේ වැඩමවීමෙන් පසුව මුලසුන් දැරූ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ශාසනික චිරස්ථිතිය පිණිස, දෙව් මිනිසුන්ගේ යහපත පිණිස ඒ උතුම් ධර්ම පර්යායන් සංගායනා කිරීමේ මෙහෙවරට මුල පිරූහ.
සොඳුරු මල් දාමයක් සකසනු පිණිස එකින් එක මල් හුයකින් අමුණන්නා සේ ශාසනයේ ආයුෂය වූ විනය පිටකයේ පටන් සියලු සම්බුද්ධ දේශනා එසේ සජ්ඣායනා කොට සාංගෘහිත කරලන ලදී. මේ දක්වාමත්, ගෞතම සම්බුදු සසුන ලොව ජීවමාන ව පවතින තෙක්මත් සම්බුදු ශ්‍රාවකයනට අඳුරෙහි රූප දකින්නට තෙල් පහනක් දැල්වූවා සේ සසරින් එතෙර වීම පිණිස මඟ හෙළිදරව් කරනු ලබන්නේ එසේ සාංගෘහිත කරවන ලද, සම්බුදුරජාණන් වහන්සේ විසින් ද උතුම් ගුරු තනතුරෙහි තබා සම්මාන දක්වන ලද ඒ උතුම් ධර්මස්කන්ධය යි.
සියලු ලෝකයට සියලු යහපත සලසාලමින් උතුම් ධර්මය සුරක්ෂිත කරවන්නට ධර්මය සංගායනා කළ යුතු ය කියා පරිපූර්ණ තීරණයකට එළඹි මහා කාශ්‍යප මහරහතන් වහන්සේටත්, ඒ උතුම් සංගීතිකාරක මහරහතන් වහන්සේලාටත් අපගේ නමස්කාරය වේවා!
Recent Comments