සම්බුද්ධ දේශනාවන්හි විශේෂයෙන් පරිත්‍රාණ ධර්ම දේශනාවන්හි භාවිත කෙරෙන ගාථා පබැඳී ඇත්තේ ගණ පිහිටුවා නිවැරදි අක්ෂර සංයෝජනයෙන් බවත්, ඒවා පාලි භාෂාවෙන් ම නිසි උච්ඡාරණයට අනුව සජ්ඣායනා කිරීමෙන් පමණක් ගුණ ලැබෙන බවත් සමහර භික්ෂූන් වහන්සේලා දේශනා කරන අවස්ථා ඇත. අර්ථය නොතේරුණත් ශබ්ද ධ්වනි තරංග මගින් මිනිස් අධ්‍යාත්මය සුවපත් කරවන ගුණය පිරිතේ ඇතැයි සමහරු පවසති. මේ දෙසුම්වලින් පෙනී යන්නේ නිර්මල සම්බුදු දහම වර්තමාන සමාජයෙන් කොතෙක් දුරට ඈත් වී පවතින්නේ ද යන්නයි.
බුදුරජාණන් වහන්සේ ස්වයංභූ ඤාණයෙන් පසක් කොටගෙන දේශනා කරන ලද ධර්මය ඉර හඳ සේ බබළන බවත්, එය නුවණැත්තන් විසින් තම තම නැණ පමණින් අවබෝධ කොටගෙන සසරින් එතෙර වීම සඳහා යොදා ගත යුතු බවත් උන්වහන්සේ විවිධ අවස්ථාවන්හි දී පැහැදිලි කොට දුන් සේක. බුදුරජාණන් වහන්සේ නා නා වර්ගවලට අයත් ජන කොටස් හමුවේ ධර්මය දේශනා කොට වදාළේ ඒ ඒ අයට තේරුම් ගත හැකි භාෂාවෙනි. රජුන් බමුණන් ආදි ප්‍රභූ සමාජය භාවිත කළ දෛවී භාෂාව (සංස්කෘත) බැහැර කළ උන්වහන්සේ ගොවියන්, ගොපල්ලන්, කම්කරුවන් ආදි සමාජයේ විවිධ තරාතිරමේ පන්තිවලට අයත් ජනකාය කථා කරන, කාටත් තේරෙන භාෂාවක් ඒ ඒ අවස්ථාවන්ට උචිත පරිදි ධර්ම දේශනා සඳහා උපයෝගී කොට ගත් සේක.
පන්සාලිස් වසක් ගම් නියම්ගම් පුරවරයන්හි සැරිසරමින් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ අසූ හාරදහසක් ධර්මස්කන්ධය තුළ දුරවබෝධ වූ, ගූඨාර්ථ සහිත වූ එකදු වදනක් හෝ දක්නට නොමැත. ත්‍රිපිටකය පුරා පැතිර පවත්නා මෙම ස්වාධීන භාව ගාථාවලියට ගුප්ත අර්ථයක් පිවිසවන ලද්දේ බමුණන් විසින් බව හෑගොඩ විපස්සී ස්වාමීන් වහන්සේ මෑතක දී පැවසූහ. ගණ පිහිටුවීම පිළිබඳ ව බමුණු ගුරුකුල විසින් ගොඩනගන ලද මිථ්‍යාව හෙළි කරමින් පසුගිය දිනෙක “ලක්බිම – ඉරිදා සංග්‍රහය පුවත්පත සමඟ කරන ලද සංලාපයක් උන්වහන්සේ අවසන් කරන්නේ මෙපරිද්දෙනි.
‘සුබ අසුබ වශයෙන් ගණ වර්ග කළ බමුණන් ඒවාට අධිපති ග්‍රහයන් හා වස්තු හඳුන්වා දී ඇත. එමෙන් ම මේවාට ලැබෙන ඵල විපාක ගැන සඳහන් කරමින් එම ගණ සුබ අසුබ වශයෙන් වර්ග කොට දැක්වීමට බමුණන් කටයුතු කොට ඇත.
වචනයකට අක්ෂර බෙදෙන ආකාරය අනුව වර්ග කර ඇති ගණ පිහිටුවීම සඳහා දේව සංකල්පයක් එකතු වන්නේ බමුණන්ගේ ක්‍රියා කලාපය හේතුවෙනි. ඡන්දස් ශාස්ත්‍රයට අනුව ගුප්ත බලවේගයක් දීම සඳහා ඒවා ගණ පිහිටුවා යමක් කළ යුතු යයි යන මතය සමාජය තුළ ප්‍රචලිත කර ඇත. ඒවායේ සුබ අසුබ ඵල තිබෙන බවට සාමාන්‍ය ජනතාව තුළ මතයක් ගොඩනැගී ඇත්තේ ඒ අනුව ය. එබැවින් උමතු විකාරරූපී ලෙස අගක් මුලක් නොදැන මේවා අනුව කටයුතු කිරීම මුළාවක් බව අප විසින් වටහා ගත යුතුව ඇත.’
(ලක්බිම ඉරිදා සංග්‍රහය – 2017. 04. 16)
බමුණන්ගේ වේද මන්ත්‍ර සකස් කොට තිබුණේ සාමාන්‍ය පොදු ජනකායට වටහාගත නො හැකි දුෂ්කර බන්ධනයන්ගෙනි. යමේලු – තේකුල නමින් යුත් බ්‍රාහ්මණ වංශික භික්ෂූන් දෙනමක් විසින් තමන් කලින් ශික්ෂණය ලද බමුණු දහම අනුව සම්බුද්ධ ධර්මය ඡන්දස් මාධ්‍යයට පරිවර්තනය කරන්ට සූදානම් වූ අවස්ථාවෙහි බුදුරජාණන් වහන්සේ එය වැළකූ සේක. එසේ කිරීම දුකුලා ඇවතකැයි වදාළ උන්වහන්සේ හැම ජාතීන් විසින් තම තමන් දන්නා භාෂාවෙන් (සකාය නිරුත්තියා) බුද්ධ වචනය තෙරුම් ගත යුතු යයි දේශනා කොට වදාළ බව විනය පිටකයේ චුල්ල වග්ගපාළියේ ඛුද්දක වත්ථු ඛන්ධකයේ දැක්වෙයි.
ධර්මය අසා ඉගෙන ඒ අනුව පිළිපැදිය හැක්කේ එය තේරුම් ගතහොත් පමණි. ‘තථාගතප්පවේදිතෝ ධම්ම විනයෝ විවටෝ විරෝචති නෝ පටිච්ඡන්නෝ’ තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය හා විනය බබළන්නේ විවෘත වූ කල්හි ය. වැසී පවත්නා විට නො වේ යයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ බව අංගුත්තර නිකායෙහි තික නිපාතයෙහි භරණ්ඩු වග්ගයේ නව වැනි සූත්‍රයේ දැක්වෙයි. අනාවරණය නො කොට සඟවා තබන බමුණන්ගේ ගුරු මුෂ්ටිවාදය බුදුරජාණන් වහන්සේ ඉඳුරා බැහැර කළ සේක.
ව්‍යවහාර වර්ෂ පූර්ව හය වැනි සියවසේ දඹදිව පොදු ජනයා අතර ව්‍යවහාරව පැවති සරල භාෂා සම්ප්රදායක් තමන් වහන්සේ අවබෝධ කොටගත් ගැඹුරු ධර්මය දේශනා කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ උපයෝගී කොටගත් බව පෙර සඳහන් කරන ලදී. එය වූ කලී රාජ්‍ය පාලකයන්ගේ සිට දිළිඳු පැල්පත්වල දිවි ගෙවන දුගී ජනයා දක්වා කාටත් අවබෝධ කළ හැකි භාෂණ රීතියකි. එම බස් වහර සුගායනීය ස්වරූපයක් ගෙන තිබීම අදහස හා අරුත පහසුවෙන් ග්‍රහණය කර ගැනීමට අනුබල දෙන්නකි. ආදියේ සිට ම සිංහල භාෂාව ද සකස් වෙමින් වැඩුණේ එකී පාලි රීතියට අනුගතව ය.
ගායනය කළ හැකි වැකි පහළ වන්ට පටන් ගැනුණේ මිනිස් කටහඬ නොයෙක් හැඟීම් හා භාවයන් අන් අයට අවබෝධ වන සේ සන්නිවේදනය කිරීමේ ඵල වශයෙනි. එම සන්නිවේදන විධිය පසු කලෙක පොදුජන බසක් නිර්මාණය වීමේ පදනම වී ය. ජනකතා, ජනකවි නිර්මාණය කළ ගැමියෝ ඡන්දස් ශාස්ත්‍රය ගැන කිසිදු හැඟීමක් නැති අය වූහ. විවිධ අවස්ථා සඳහා උචිත තාල, ඔවුහු සිය කවි සඳහා යොදා ගත්හ. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා සඳහා උපයෝගී කොට ගත්තේ පොදු ජනකාය වැහැරූ මේ හෘදයංගම කවි බසයි. එවක විසූ තරුණ ජන කැල බුදුරජාණන් වහන්සේගේ මිහිරි ධර්ම දේශනාවන්ට ආකර්ෂණය වූයේ එහෙයිනි. එක්තරා තරුණ පිරිසක් බුදුරජාණන් වහන්සේ වෙත එළඹ මිහිරි හඬින් ධර්මය දේශනා කරන ලෙස ආරාධනා කළේ මෙසේ ය:
‘ඛිප්පං ගිරං ඒරය වග්ගුවග්ගුං
හංසෝව පග්ගයිහ සනිකං නිකූජ
බින්දුස්සරේන සුවිකප්පිතේන
සබ්බේව තේ උජ්ජුගතා සුණෝම’
(වංගීස සූත්‍රය – සුත්ත නිපාතය)
“භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේගේ පැහැදිලි හඬ වහා පතුරුවන්න. බින්දු ස්වරයෙන්, මනාව පිහිටුවන ලද ස්වරයෙන් හංසයෙකු සේ හිස ඔසවා හඬලන්න. ඉද්ද ගැසුවා සේ සිට අපි ඊට සවන් දී සිටින්නෙමු.”
බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණ දහම් අසා පැවිදි වූ ශ්‍රාවකයන් අතර ජන කවීහු ද සිටියහ. වංගීස තෙරුන් වහන්සේ පැවිදි දිවියට එළඹීමට පෙර කවි මතින් යුතුව (කාවෙය්යමත්තෝ) ගමින් ගම, පුරෙන් පුර ඇවිද යමින් කවි ගායනා කළ ජන කවියෙකි. පැවිදි වූ පසුව ද උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගේ අවසරය ලබාගෙන හිටිවන ම කවි පැවසූ අයුරු සුභාෂිත සූත්‍රයේ කියැවෙයි. ථේර ථේරී ගාථා සියල්ල ම ස්වාධීන කාව්‍ය රචනා ය. ඒ එක ද ගීතයකවත් ඡන්දස් හෝ ගණ පිහිටුවීම් දක්නට නැත. එවක විසූ ගිහියන්ගේ නිදහස් කාව්‍ය නිර්මාණ පවා බුදුරජාණන් වහන්සේ අගය කළ බව සක්කපඤ්හ, ධනිය ගෝපාල ආදි උතුම් සූත්‍ර ධර්මයන්ගෙන් හෙළිවෙයි.
ගණ පිහිටුවා ලියන කියන දුෂ්කර බන්ධනයන්ගෙන් යුතු ශ්ලෝක ගාථා ආදිය නිර්මාණය කළෝ සකු සම්ප්රදාය හිසින් ගත් බමුණු පඬිවරු ය. එම ශ්ලෝක සාමාන්‍ය ජනයාට නොතේරෙන ගූඨ ශෛලීන් හා විරිත්වලින් යුතු ය. 13 වැනි සියවසින් පසුව ලාංකික සමාජය තුළ පැතිර ගිය මේ බමුණු සම්ප්රදාය කෝට්ටේ යුගය වන විට දැඩි ලෙස ව්‍යාප්තව තිබුණි. එවක විසූ අප පඬි පරපුර ‘කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත’ ‘ෂඞ් භාෂා පරමේශ්වර’ වැනි විරුද නම් පටබැඳ ගැනීමෙන් හෙළි වන්නේ බමුණු විකණ්ඩ වාදය ගිහි පැවිදි ප්‍රභූ සමාජය තුළ දැඩි ලෙස මුල් බැසගෙන පැවති බව ය. බුදු සමයට පටහැනි මෙම සකු බමුණු සම්ප්‍රදායට උග්‍ර විරෝධයක් එල්ල කරන ලද්දේ කෝට්ටේ කාලයේ වැඩ විසූ අදීන යතිවරයාණ කෙනෙකු වූ වීදාගම මෛත්‍රීය හිමියන් විසිනි. උන්වහන්සේ රචනා කරන ලද බුදුගුණ අලංකාරය කාව්‍ය ග්‍රන්ථයෙන් බමුණන් නිර්දය උපහාසයට හසුකොට තිබුණි. හංස සන්දේශ කාව්‍යයෙහි ලා කෑරගල පද්මාවතී පිරුවන්පති හිමියන් වර්ණනා කරන වීදාගම හිමියෝ, බමුණු ගුරු ඉසිවරුන් ඡන්දස් අලංකාරයේ ශෝභන කොට රස ගල්වා පැවසූ කාව්‍ය හා නාටක නිෂ්ඵල හිස් දේවල් ලෙස සලකා වනරතන හිමියන් බැහැර කළ බව කියති.
කලා සැට සතර කී ඉසිවරන් ගුරු
නොලා දොසක් සඳ ලකරින් කර සොඳුරු
ගලා රසෙයි පැවසූ කවි නම් සුතුරු
බලා පලාපයෙකැයි නො කෙළේ ය ගරු
(194 පද්‍යය)
කෝට්ටේ කාලයේ විසූ රජ මැති, ඇමතිවරුන් සහ තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමි ඇතුළු ජගත් පූජිත පඬිවරුන් විසින් සම්භාවිත විකණ්ඩ භාෂා සාහිත්‍ය සම්ප්රදාය ඉඳුරා බැහැර කළ වීදාගම හිමියන් නිර්මල බුදු සසුන යළි නඟා සිටුවීම සඳහා පද්‍ය සංග්‍රහ තුනක් ලියා පොදු ජන සිත් සතන් තුළ ඇති කළ ප්‍රසාද සංවේගය සදා අගය කළ යුත්තේ ය. උන්වහන්සේගේ බුදුගුණ අලංකාරය වූ කලී බුදු බැතියෙන් ඉපිල ගිය සිතක පහළ කරන අධ්‍යාත්ම සොම්නස ධ්වනිත කරන්නකි. සම්බුදු වදන සිහි කිරීමෙන් ලද එබඳු ප්‍රමුදිත බවක් සිතක පහළ වන්නේ දුෂ්කර බන්ධනයන්ගෙන් කඨෝර වූ කවියක් කියවීමෙන් නො වේ. සුඛනම්‍ය වූ, හෘදයග්‍රාහී වූ නිර්මාණයක් ආස්වාදනයෙනි. බුදු වදන සරල සිංහල බසින් කවියට නඟා උන්වහන්සේ නිර්මාණය කළ ලෝවැඩ සඟරාව සියවස් පහකට අධික කාලයක් මේ රටේ බෞද්ධ ජනකායගේ අධ්‍යාත්මය සුවපත් කිරීමට සමත් වූයේ ය. බුද්ධ ධර්මය පාලි භාෂාවෙන් නොව සිංහල බසින් පැහැදිලි කර දිය යුතු යයි වීදාගම හිමියන් අදහස් කළේ ඉන් සිංහල බෞද්ධ ජනතාවට අත්වන විපුල ප්‍රයෝජනය සලකාගෙන ය.
මනරම් නරදම් සැරිදම් සඟනට
මෙලෙසින් බැතියෙන් අදරින් නමකොට
වෙසෙසින් පෙළ දම් නොමදත් දන හට
පවසම් කළ කම් පල දැන් හෙළිකොට
වීදාගම හිමියන් බුදු දහමේ ඉගැන්වෙන උතුම් දේශනාවන් මෙසේ හෙළ බසින් කවියට නගා පහදා දෙන්නේ පාලි භාෂාවෙන් ධර්මය තේරුම් ගැනීමට අපහසු ජනයාට ය. මෙසේ අතීත යුගයේදීත් සිංහල භාෂාවෙන් බුදු දහම දේශනා කොට ඇති බවත්, හෙළ බසින් පැවසූ දහම් කවි ගායනා අසා සංඝයා වහන්සේ හැටනමක් රහත් ඵලයට පත්වූ අයුරුත් ලෝවැඩ සඟරාවේ ඊ ළඟ පද්‍යයෙන් දැක්වෙන්නේ මෙසේ ය.
දහමට සරිකොට එළුවෙන් පෙර කී
කවියට සිත පහදා සිට නිසැකී
සිහිකොට කඳ පිළිවෙළ දොස් නොයෙකී
නිවනට සැපැමිණි සඟ සැටනමකී
මේ අසිරිමත් සිදුවීම දුටුගැමුණු රාජ්‍ය කාලයේ හෝ ඒ ආසන්න සමයේ සිදුවන්නට ඇතැයි අටුවා විමසන විට හැඟී යයි. එදවස එසේ සඟ සැටනමක් රහත් ඵලය සාක්ෂාත් කර ගත්තේ ජාති ජරා මරණ ප්‍රතිසංයුත්ත කවි ගායනාවන්ට සවන් දීමෙන් පසුව බව පරමත්ථ ජෝතිකා අටුවාවෙහි සඳහන් වෙයි. එපුවත සිහිපත් කරන වීදාගම හිමියන් කෝට්ටේ යුගයේ දී බමුණු දෘෂ්ටීන්ගෙන් වැසී තිබුණු සම්බුදු දහම ශ්‍රාවක ජනතාවට අනාවරණය කිරීම සඳහා තමන් දරන වෑයම මෙසේ හෙළි කරති.
එබැවින් එළුවෙන් කීවයි අනදර
නොවෙමින් බැතියෙන් අදරින් නමකර
සතොසින් ඇසුවොත් මෙදහම් මනහර
සැබැවින් සිදුවෙයි සඟමොක් සිරිසර
සිංහල භාෂාවෙන් සූත්‍ර ධර්ම දේශනා කිරීම ගැන නොසතුට පළ කරන පිරිස් වර්තමානයේ මෙන් ම එදවස ද සිටින්නට ඇති බව ඉහත දැක්වූ පද්‍යය අනුව සිතාගත හැකි ය. පැහැදිලිව තේරෙන භාෂාවෙන් දේශනා කරන ධර්මය කෙරෙහි අවෙච්ච ප්‍රසාදයෙන් යුතුව සවන් දුනහොත් සඟමොක් සැප සලසා ගැනීම නිසැක බව වීදාගම මෛත්‍රීය හිමිපාණෝ නොයෙක් උදාහරණ ඉදිරිපත් කරමින් පැහැදිලි කර දුන්හ.
ලෝ වැඩ සඟරාව නම් වූ උතුම් දහම් කවි පොත නොහදාරණ නූතන පරපුර සහ ඇතැම් වැඩිහිටියන් පවා එහි එක පද්‍යයක් හෝ කටපාඩමින් කීමට නො දැන සිටීමෙන් අද අප මුහුණ පා සිටින ඛේදජනක විපතේ තරම සිතා ගත හැකි ය. සෑම කටයුත්තක දී ම ආගම දහම (බුදුදහම) පෙරට ගත් ජාතියක් මිසදිටු පිළිවෙත්වළට ඇබ්බැහි වී සිටිනුයේ නිසි මාර්ගෝපදේශකත්වයක් අද නොමැති හෙයිනි. බොහෝ දෙනා කපුවන්, කේන්දරකාරයන්, කට්ටඩියන්, පේන කියන්නන් පසුපස දුවමින් ජීවිත විනාශ කර ගන්නා ආකාරය අපි අද දවසින් දවස අත්දකිමින් සිටිමු. වත්මන් යුගයේ වෙහෙර විහාර වෙත වැඩි දෙනා යන්නේ ලෞකික වූ ස්වාර්ථය මුදුන්පත් කර ගැනීම සඳහා මිස බෞද්ධ පිළිවෙත් අනුව කටයුතු කරමින් උභය ලෝකාර්ථසිද්ධිය සඵල කර ගැනීම සඳහා නො වේ.
ඉහත දැක්වූ පරිදි දෙදහස් වසරක් තිස්සේ කලින් කල බැබළෙමින් වැසෙමින් පැවත ආ සම්බුදු දහම විවිධ මිථ්‍යා දෘෂ්ටික ඇදහිලි නිසා මෑත යුගයේ නැවත වරක් පොදු ජනයා වෙතින් පමණක් නොව උගතුන් වෙතින් ද ඈත් වීමේ ලකුණු පහළ වී තිබේ. ‘අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ’, ‘බුදුබණ ඇසුවත් නිරන්තරේ අපි තාමත් වනන්තරේ’, ‘මගේ නිවන මගේ පැල්පතයි’ ආදි වශයෙන් ගැයෙන විලාප ගීවලිනුත් ‘නිවන් ගියා වගෙයි’, ‘කෝ බෝතලේ රහත් වුණා ද?’, ‘මට ඒ මිනිහා අරහං’ වැනි පව් රැස්කොට ගන්නා කියුම්වලිනුත් පෙනී යන්නේ වර්තමාන බෞද්ධයන් පත්ව ඇති ඛේදජනක පරිහානිය යි. මිනිසත් බවක් ලද ඕනෑම තැනැත්තෙකු විසින් අභිමත පහසු ප්‍රතිපදා මාර්ගයකින් මේ ජීවිත කාලය තුළ දී ම නිර්වාණාවබෝධය ලබා ගැනීමට ඉඩ හසර සලසා ඇති බුදු දහම ගණ පිහිටවූ දුෂ්කර මාර්ගයක් බවට පත්කොට තිබීම අද බෞද්ධ ජනකාය මුහුණ දී ඇති පරිහානියට හේතුව යයි සිතමි.
මේ පසුබිම යටතේ අනේක විධ දුෂ්කරතා මධ්‍යයේ යළිත් වරක් නිර්මල බුදු දහම ආස්වාදනය කිරීමේ මහඟු පින ලක්වැසි බෞද්ධ ජනකාය වෙත ලැබෙමින් පවතිනු දක්නට ලැබීම අස්වැසිල්ලට හේතුවකි. මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ ශ්‍රද්ධා ගුවන් විදුලිය හා ශ්‍රද්ධා රූපවාහිනී මාධ්‍ය ජාලයේ 2016 සංවත්සර සමරු කලාපය වන ‘පුනරාවර්ජනා’හි සඳහන් පාඨයකින් මෙම ලිපිය අවසන් කරනු කැමැත්තෙමි.
“කාලයත් සමඟ විවිධ පරසතුරු ආක්රමණත්, අභ්‍යන්තර දේශපාලන වියවුල් ආදියත් නිසා ලක් දෙරණේ ගෞතම බුදු සසුන සැඟව ගිය යුගයක් බිහිවිය. මෑත යුගයේ ඒ සැඟව ගිය සදහම් දායාදය නැවත ඉස්මතු කොට මෙයයි ධර්මය, මෙයයි අධර්මය කියා වෙන්කොට අපට කියාදුන්නේ අප සියලු දෙනාගේ පරම පූජනීය කල්‍යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ය. ධර්මයේ නාමයෙන් විවිධ දේවල් පසුපස යමින් මංමුළා වූ බොහෝ පිරිසකට පිරිසිදු බුද්ධ දේශනාව යනු කුමක්දැයි හඳුනාගැනීමට හැකි විය. ජීවිතවලට පින් රැස්කර ගනිමින් ධර්මයේ හැසිරීම පිණිස වන ධර්ම ද්වාරය යළිත් විවර විය.”
සටහන – මා(ර්)ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පරිපාලන ලේකම් දයාපාල ජයනෙත්ති
Recent Comments