1). පින්වත් ස්වාමීන් වහන්ස, පැවිදි වීමට එක ඇසක පොඩි පෙනීමේ අඩුවක් තිබීම බාධාවක් ද කියා කරුණාවෙන් පහදා දෙන්න.
භාග්‍යවතුන් වහන්සේ පනවා වදාළ විනය ශික්ෂාපදයන්ට අනුව පැවිද්දට බාධා පිණිස පවතින්නේ අන්ධ බව හෙවත් සම්පූර්ණයෙන් ඇස් නොපෙනීම යි. එම නිසා එක ඇසක පොඩි පෙනීමේ අඩුවක් තිබීම පැවිදි වීමට විනයානුකූලව බාධාවක් නො වේ. එමෙන් ම අන්ධ කෙනෙකුට වුව ද පැවිදි නො වී පින් රැස්කර ගැනීමටත්, ධර්මයේ හැසිරීමටත් අවස්ථාව තිබේ.
2). පින්වත් ස්වාමීන් වහන්ස, මම ඉතා කුඩා සිදුවීමක් වුව ද එය දැඩිව අල්ලා ගනිමි. ඒ හේතුවෙන් බොහෝ සිත් පීඩා විඳිමි. මේ ස්වභාවයෙන් මිදෙන්නේ කෙසේ ද?
අපගේ ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේ මේ සඳහා ධර්මය තුළ පෙන්වා දී ඇති හොඳ ම විසඳුම අනිත්‍ය භාවනා මනසිකාරය යි. ‘විත්ථත සත්තසඤ්ඤා’ නම් සූත්‍ර දේශනාවේ දී වදාළ ආකාරයට අනිත්‍ය භාවනාව ඉතා හොඳින් වැඩුණු කෙනෙකුගේ සිත ලාභ – අලාභ, නින්දා – ප්‍රශංසා, යස – අයස, සැප – දුක යන අෂ්ට ලෝක ධර්මය ඉදිරියේ කම්පාවට පත් නො වේ. එම නිසා ඔබත් ඇස, ඇසට පෙනෙන රූප, ඇසේ හට ගන්නා විඤ්ඤාණය, ඇසයි රූපයයි විඤ්ඤාණයයි එකතුවීම හෙවත් ඇසේ ස්පර්ශය, ඇසේ ස්පර්ශය ඔස්සේ හටගන්නා සැප දුක් උපේක්ෂා විඳීම්, විඳින රූප හඳුනාගැනීම, හඳුනාගත් රූපවලට අනුව චේතනා ඇතිවීම, රූප කෙරෙහි ආසා ඇතිවීම හේතූන්ගෙන් හටගන්නා, හේතු නැතිවීමෙන් නැතිවී යන, වහා වෙනස් වී යන ධර්මතාවයට අයත් බව නුවණින් සිහි කරන්න. මේ ආකාරයට ම කන, නාසය, දිව, කය, මනස අනෙකුත් ආයතන සම්බන්ධයෙන් ද අනිත්‍ය භාවනාව සිදුකරන්න. ටිකෙන් ටික ඔබේ සිත ශක්තිමත් වන අයුරු, ඕනෑම දෙයක් දරාගැනීමට හැකිවන අයුරු ඔබට ම තේරුම්ගත හැකි වේවි.
3). පින්වත් ස්වාමීන් වහන්ස, අටසිල් සමාදන් වූ දිනවල දොළහෙන් පසු වැළඳීමට කැප මොනවා ද?
උතුම් රහතන් වහන්සේලා අනුගමනය කරමින් අෂ්ටාංග උපෝසථ සීලය සමාදන් වූ දිනවල දී දහවල් 12න් පසු පසුදින අරුණ නැගීම තෙක් (උදෑසන 5.30 දක්වා) විකාලයෙහි ආහාර ගැනීමෙන් වැළකී සිටිය යුතුයි. එමෙන් ම කිරි තේ හා තැඹිලි පානයෙන් ද වැළකී සිටිය යුතුයි. විකාලයෙහි වැළඳීමට සුදුසු වන්නේ පෙරාගත් පලතුරු යුෂ, තේ, කෝපි, බෙලිමල් ආදි පානයන් ය. එමෙන් ම කොත්තමල්ලි, රණවරා ආදි ඖෂධීය පානයන් ද සුදුසු ය. එනමුත් කැඳ වර්ග විකාලයෙහි භාවිත කළ නො හැක. ජලය සමඟ මිශ්‍ර කොට පෙරාගත් මල් යුෂ සහ පලා නොවන කොළ යුෂ ද කැප බව භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී තිබේ. බුදුරජාණන් වහන්සේත්, රහතන් වහන්සේලා ප්රමුඛ භික්ෂු සංඝයාත් බහුල වශයෙන් පරිභෝග කළ පළතුරු යුෂ වර්ග අටක් අෂ්ටපාන යනුවෙන් විනය පිටකයේ පෙන්වා දී තිබේ. ඒවා මෙසේයි.
1. අඹ පැන් (යුෂ) – (අම්බපානං)
2. ජම්බු පැන් (ජම්බුපානං)
3. මස් කෙසෙල් පැන් (මෝචපානං)
4. ඇටි කෙසෙල් පැන් (චෝචපානං)
5. මී පැන් (මධු පානං)
6. මිදි පැන් (මුද්දික පානං)
7. ඕලු පැන් (සාලුක පානං)
8. උගුරැස්ස පැන් (ඵාරුසක පානං)
අටසිල් ගත් දිනවල දී විකාලයෙහි වැළඳීමට මෙම පලතුරු යුෂ ඉතා සුදුසු ය.
4). පින්වත් ස්වාමීන් වහන්ස, මතු ජීවිතයේ දී හොඳ ගුණයහපත් ස්වාමි පුරුෂයෙක් ලැබීමට හා පින්වන්ත දරුවන් ලැබීමට මේ ජීවිතයේ කළ යුතු පින් මොනවාදැයි පහදා දෙන්න.
ඒ සඳහා මේ ජීවිතයේ දී කළ යුතු වැදගත් ම දේ නම් සමාදන් වූ සිල්පද මනා කොට සුරැකීම යි. විශේෂයෙන් ම වැරදි කාම සේවනයෙන් වැළකී පොහොය දිනවල බ්‍රහ්මචාරී සිල් රැකීම ඒ සඳහා මහෝපකාරී වෙනවා. එමෙන් ම මේ ජීවිතයේ ලද ස්වාමියා කෙතරම් අයහපත් නපුරු කෙනෙක් වුවත් බිරිඳකගෙන් ඉටුවිය යුතු යුතුකම් වගකීම් නිසි ලෙස මෙත් සිතින් ඉටුකිරීම මතු ජීවිතයේ යහපත් ස්වාමියෙකු ලබා සාර්ථක විවාහ ජීවිතයක් ගතකිරීම පිණිස ඉතා වැදගත් වෙනවා. දරුවන් හටත් මවකගෙන් ඉටුවිය යුතු යුතුකම් වගකීම් මෙත් සහගත අනුකම්පා සිතින් සිදුකිරීම මතු පින්වන්ත දරුවන් ලැබීමට අනුරූප පිනක් බවට පත් වෙනවා. එමෙන් ම කීකරු යහපත් දරුවන් ලැබීම පිණිස සත්පුරුෂ දන්දීම හේතු වන බවත් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී තිබෙනවා. එනම්,
1. සකස් කොට පිළිවෙළකට දන් දීම (සක්කච්චං දේති)
2. ගෞරවයෙන් දන් දීම (චිත්තීකත්වා දේති)
3. සිය අතින් දන් දීම (සහත්ථා දේති)
4. වීසි නොකරන පාවිච්චියට ගත හැකි දේ දන් දීම (අනපවිද්ධං දේති)
5. කර්ම කර්ම ඵල විශ්වාසයෙන් යුතුව දෙන ආකාරයට නැවත ලැබෙන බව තේරුම්ගෙන දන් දීම (ආගමන දිට්ඨිකෝ දේති)
මෙම කරුණු ගැන සවිස්තරව දැනගැනීම පිණිස සප්ත භරියා සූත්‍රය විස්තර කෙරෙන ‘සැබෑ බිරිඳ කවුද?’ නම් සදහම් ග්‍රන්ථය කියවන්න.
5). පින්වත් ස්වාමීන් වහන්ස, පාඩම් කරන්න හිත යොමුකරන විට වෙනත් දේවල් හිතට නැඟෙනවා. පාඩම් කරන්න බෑ. මීට විසඳුමක් දෙන්න. ඒ වගේ ම පාඩම් කරනකොට නිදිමත හැදෙනවා. ඊට පිළියමක් කියන්න.
වරක් සංගාරව නම් බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ මෙසේ පවසා සිටියා. “ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඇතැම් විට අපි මන්ත්‍ර කටපාඩම් කරගන්නට මහන්සි ගත්තත් එය සාර්ථක වන්නේ නෑ. පාඩම් කර ගත් මන්ත්‍ර පවා අමතක වී යනවා. මෙයට හේතුව කුමක් ද?” එවිට භාග්‍යවතුන් වහන්සේ පාඩම් නොසිටීමටත්, අමතක වීමටත් හේතුව වශයෙන් වදාළේ පංච නීවරණයි. එනම් පංචකාම අරමුණු කෙරෙහි සිතේ ඇති කැමැත්ත හෙවත් කාමච්ඡන්දය, සිතේ ඇතිවන අරමුණු කෙරෙහි ගැටීම හෙවත් ව්‍යාපාදය, නිදිමත සහ අලස බව හෙවත් ථීනමිද්ධය, සිතේ විසිරීම සහ පසුතැවීම හෙවත් උද්දච්ච කුක්කුච්චය සහ සැකය හෙවත් විචිකිච්ඡාව මතකය දුර්වල කොට සිතේ දියුණුව අවුරා දමනවා. එම පංච නීවරණ සන්සිඳුවා ගන්නා තරමට ධාරණ ශක්තියත්, චිත්ත දියුණුවත් ඇතිකර ගන්න පුළුවනි.
එම නිසා පාසැල් යන දූ දරුවන් පාඩම් කිරීමට පෙර තුන්ලෝකාග්ර වූ බුදුරජාණන් වහන්සේ උදෙසාත්, ප්‍රඥාවෙන් අග්‍ර වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ සහ ධාරණ ශක්තියෙන් අග්‍ර වූ ආනන්ද මහරහතන් වහන්සේත් උදෙසා ගුණ සිහිකොට පහන් දල්වන්න. ඉන්පසු තෙරුවන් වන්දනා කොට මල් පහන් පුදා කරණීයමෙත්ත සූත්‍රය සජ්ඣායනය කරන්න. ටික වේලාවක් මෛත්‍රී භාවනාව කොට දෙවිවරුන්ට පින් අනුමෝදන් කරන්න. මෙසේ සිත සන්සිඳවාගෙන පාඩම් කටයුතු ආරම්භ කරන්න. එවිට පංචනීවරණ යටපත් වී පාඩම් කටයුතු හොඳින් කර ගත හැකි වේවි. ඒ වගේම අධ්‍යාපනය ලබන කාලය තුළ මෙම නීවරණයන්ගේ වර්ධනයට හේතුවන ස්මාර්ට් දුරකථන, ෆේස්බුක් ආදිය භාවිතයෙන් වැළකී සිටීමත් සන්සිඳුණු සිතකින් සාර්ථකව අධ්‍යාපන කටයුතු සිදුකිරීමට උපකාරී වෙනවා.
6). පින්වත් ස්වාමීන් වහන්ස, කාමයේ වරදවා හැසිරීම යනුවෙන් ධර්මයේ සඳහන් වන්නේ අන් අයෙකුගේ බිරිඳක් සමඟ වැරදි ලෙස හැසිරීම පමණ ද? පාසල් යන වයසේ ගැහැනු ළමයෙක් හා පිරිමි ළමයෙක් එලෙස එකට හැසිරී පසුකාලීනව ඔවුන් යුගදිවියට එළඹුණහොත් එම අකුසලය වළක්වාගත හැකි ද? කරුණාවෙන් පහදා දෙන්න.
කාමයේ වරදවා හැසිරීම, භාග්‍යවතුන් වහන්සේ සූත්‍ර දේශනා තුළ විග්රහ කොට ඇත්තේ මෙලෙසිනි. “කෙනෙක් කාමයේ වරදවා හැසිරෙනවා. එහි තේරුම මෙයයි. මව් විසින් රකින, පියා විසින් රකින, මව්පියන් විසින් රකින, සහෝදරයා විසින් රකින, සහෝදරිය විසින් රකින, නෑයන් විසින් රකින, තම ගෝත්‍රය විසින් රකින, ධර්මයෙන් රකින, එමෙන් ම ස්වාමියෙක් සිටින, එමෙන් ම විවාහ ගිවිසගත්, එමෙන් ම අඩු තරමේ මල් මාලාවක් දමා හෝ විවාහයක් පිණිස යම් ස්ත්‍රියක් ව වෙන්කොට තිබේ නම්, එබඳු ස්ත්‍රීන් කෙරෙහි ඔවුන්ගේ චරිතය කෙලෙසන අයුරින් කටයුතු කරනවා, ‘මෙය කයින් අධර්මයේ හැසිරීමකි’.
මේ විග්රහයට අනුව පාසැල් සිසු සිසුවියන් කාමසේවනයේ යෙදීම පැහැදිලිව ම බරපතළ අකුසල් රැස්වන විශාල වරදකි. විවාහ වීමට සිටින පෙම්වතෙකු පෙම්වතියක් පවා අඹු සැමියන් ලෙස හැසිරිය යුත්තේ විවාහයෙන් පසුව පමණි. එතෙක් ඔවුන් විසින් ආරක්ෂා කළ යුත්තේ ධර්මය තුළ සඳහන් වන කුමර බඹසර හැසිරීම යි. එනම් සියලු ම ලිංගික කටයුතුවලින් වෙන්වී පාරිශුද්ධ චරිතයක් පවත්වා ගැනීම යි. විවාහයට පළමු කාම සේවනයේ හැසිරී පසුව විවාහ වූවාට වැරදි කාමසේවන අකුසලයෙන් මිදීමක් නැත. මේ සම්බන්ධ ව වැඩිදුරටත් දහම් කරුණු දැනගැනීම පිණිස ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ සිදු කළ ‘යොවුන් දහම් සක්මන’ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න.
7). පින්වත් ස්වාමීන් වහන්ස, කෙනෙකුට තමන් සෝවාන්, සකදාගාමී වැනි මාර්ගඵලලාභියෙක් බව දැනගත හැකිද? හැකිනම් ඒ කෙසේද? කරුණාවෙන් පහදා දෙන්න.
භාග්‍යවතුන් වහන්සේ පංචභයවේර සූත්‍රයේදී අනාථපිණ්ඩික සිටුතුමාට මෙසේ වදාළා. “පින්වත් ගෘහපතිය, යම් දවසක ආර්ය ශ්‍රාවකයාහට පස් ආකාර බිය හා වෛරයන් සංසිඳී ගියොත්, සෝතාපත්ති අංග සතරෙන් යුක්ත වුවොත්, ඒ වගේම ආර්ය න්‍යාය (පටිච්චසමුප්පාදය) ප්‍රඥාවෙන් අවබෝධ වෙලා, ඉතා හොඳින් අවබෝධ වෙලා තිබුණොත් ඔහුට කැමති නම් තමන් විසින් ම තමන් ගැන ප්‍රකාශ කරන්න පුලුවනි “මම නම් නිරය ක්ෂය වෙලා ගිය කෙනෙක්, තිරිසන් යෝනිය ක්ෂය වෙලා ගිය කෙනෙක්, ප්‍රේත ලෝකය ක්ෂය වෙලා ගිය කෙනෙක්, අපාය නම් වූ දුගතියට වැටෙන ස්වභාවය ක්ෂය වෙලා ගිය කෙනෙක්, මම සෝතාපන්න කෙනෙක්, අපායට නොයන ස්වභාවයෙන් යුක්ත කෙනෙක්” කියලා.
මෙහි බිය වෛර ඇතිවන කරුණු පහ සංසිඳීම යනු සතුන් මැරීමෙන්, සොරකම් කිරීමෙන්, වැරදි කාම සේවනයෙන්, බොරු කීමෙන්, මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීමයි.
සෝතාපත්ති අංග සතර යනු තිසරණය කෙරෙහි අචල ප්‍රසාදයත්, ආර්යකාන්ත සීලයත් ය.
ආර්ය න්‍යාය ප්‍රඥාවෙන් අවබෝධ වීම යනු පටිච්චසමුප්පාදය හටගන්නා අයුරුත් නිරුද්ධ වන අයුරුත් නුවණින් අවබෝධ කිරීමයි. මෙයට අමතරව සෝතාපන්න ශ්‍රාවකයෙක් තුළ පිහිටන අසිරිමත් ගුණ සමුදායන් සහ ලෝකෝත්තර ඤාණයන් ගැනත් සුන්දර විස්තරයක් මජ්ඣිම නිකායේ කෝසම්බිය සූත්‍රයේ සඳහන් වෙනවා. අපි කැමති විය යුත්තේ ද, උත්සාහ ගත යුත්තේ ද, ඒ උතුම් ගුණධර්ම හා කුසලතා උපදවා ගැනීමට යි.
Recent Comments