“මේ ලෝකයේ බබළන දේවල් හතරක් තියෙනවා. හැබැයි පහක් නෑ. දවල්ට සූර්යයා බබළනවා. රාත්‍රියට සඳ බබළනවා. දිවා රාත්‍රී දෙකේ ම ඒ ඒ තැන ගින්න බබළනවා. ඒ හැම දේකට ම වඩා ශ්‍රේෂ්ඨ වෙන්නේ සම්බුදුරජාණන් වහන්සේයි. ඒ ආලෝකය තමයි අනුත්තර.”
(පජ්ජෝත සූත්‍රය – සං. නි. 1)
සියලු බැබළීම් අතර අනුත්තර වූ ඒ ආලෝකය වනාහි (බුද්ධෝ තපති තේජසා) සම්බුදුරජාණන් වහන්සේගේ තේජසයි. ඒ උතුම් සම්බුදු තේජස මුළුමනින් ම ධර්මයෙන් නිර්මිත වූවක්. අප්‍රමාණ ගුණ මහිමයෙන් ආලෝකවත් වූවක්. කිසිදිනක හිරු සඳු එළිය නොවැටෙන ගණ අන්ධකාරය ම පවතින ‘ලෝකාන්තරික නිරය’ පවා ඒ අනුත්තර සම්බුදු තේජසින් ආලෝකවත් වුණා. නමුත් සම්බුදු තේජසින් දුරු වී ගිය බලවත් ම අඳුර එය නො වෙයි. “අවිද්‍යාව” නම් වූ ලොව ම බිලිගත් බිහිසුණු අන්ධකාරය සිඳලූ නිසයි සියලු ආලෝකයන් අතර අනුත්තර වූ ආලෝකය බවට සම්බුදු තේජස පත්වුණේ.
උතුම් ප්‍රඥාලෝකයෙන් ලෝකය ආලෝකවත් කළ ඒ අසහාය බුද්ධ දිවාකරයන් වහන්සේගේ උතුම් බුද්ධශ්‍රීය… අසිරිමත් ගුණ කදම්භය සංඛ්‍යාවකට ගත නො හැක්කක්. බුදුරජාණන් වහන්සේනමක් විසින් ම කල්පයක් පුරාවට වර්ණනා කළත් අවසන් නොවන තරමට ඒ ආශ්චර්යවත් වූ ගුණස්කන්ධය අනන්තයි… අප්‍රමාණයි. ඒ අසමසම වූ ගුණ සාගරය ගුණ නවයකට කැටිකොට දෙවි මිනිසුන්ගේ හිත සුව පිණිස දේශනා කොට වදාළේ අපගේ පරම පූජනීය වූ ශාස්තෘන් වහන්සේ විසින් ම යි. “සම්බුදු සිරිය” නම් වූ රන් හුයට ඇමිණූ ඒ සොඳුරු මිණිමෙවුල ශෝභමාන කළ තුන්වන මාණික්‍ය රත්නය වනාහී ‘විජ්ජාචරණ සම්පන්න’ ගුණය යි.
‘විජ්ජාචරණ සම්පන්න’ යන පදයෙහි අර්ථය සරලව තේරුම් ගතහොත්, විජ්ජාචරණ යනු වචන දෙකක එකතුවකි. එනම් විද්‍යාවත්, චරණයත් ය. විද්‍යාව යනු උතුම් ඤාණයට නමකි. චරණ යනු හැසිරීම යි. ඒ අනුව තමන් වහන්සේ විසින් උපදවා ගන්නා ලද අපරිමිත වූ සම්බුද්ධ ඤාණයන්ගෙන් ද ඊට අනුකූල වූ උතුම් හැසිරීමෙන් ද යුතු වූ නිසා අපගේ ශාස්තෘන් වහන්සේ ඒකාන්තයෙන් ම විජ්ජාචරණ සම්පන්න වන සේක.
උතුම් ඤාණ සම්පත්තියත්, ඊට අනුකූල වූ උතුම් පැවැත්මත් යන මෙම උතුම් සම්බුදු ගුණය නිසා ලොව පහළ වූ සියලු ශාස්තෘවරයන් අතර තථාගතයන් වහන්සේ උත්තම භාවයට පත් වූ සේක. දෙව් මිනිස් ලෝකය සිසාරා ඒ පිළිබඳ කිතුගොස පැතිරෙන්නට විය.“භවත්නි, ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ කීර්තිරාවය තියෙන්නේ ඔවුන්ගේ යම් යම් ව්‍රත සමාදන් වීම් වැනි බාහිර දේ මුල් කරගෙනයි. නමුත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ කීර්තිය පැතිරිලා තියෙන්නේ එවන් කරුණක් දෙකක් මුල්කරගෙන නො වෙයි. (අථ ඛෝ අනුත්තරාය විජ්ජාචරණ සම්පදාය සමණස්ස ගෝතමස්ස යසෝ සමුදාගතෝ) සැබැවින් ම අනුත්තර වූ විජ්ජාචරණ සම්පන්න ගුණයෙන් ම යි ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ කීර්ති රාවය පැතිරිලා තියෙන්නේ.”
(සෝණදණ්ඩ සූත්‍රය – දී. නි. 1)
බුදුරජාණන් වහන්සේ සතුවූ උතුම් ඤාණ සම්භාරය පිළිබඳ ව (විද්‍යාව පිළිබඳ) කතාකිරීමේ දී අප පළමුවෙන් ම දැන ගත යුතු කරුණක් තිබේ. එනම් බුදුරජාණන් වහන්සේ සතු හැකියාව, බුද්ධ ඤාණය යනු ලොව පවතින අචින්තෙය්‍ය වූ විෂයකට අයිති වූවකි. (බුද්ධ විසයෝ අචින්තියෝ) එය කිසිසේත් සම්බුදු නොවන කෙනෙකුට ගෝචර නොවන්නකි. පමණ කළ නො හැකි ඒ උතුම් බුද්ධ ඤාණයන් පිළිබඳව අපට යම් පමණකින් හෝ දැන ගන්නට ලැබෙන්නේ උතුම් බුද්ධ දේශනා තුළින් ම ය. බුද්ධ දේශනාව තුළ බුදුරජාණන් වහන්සේ සතුවූ විද්‍යාව නොයෙක් අයුරින් විස්තර වී තිබේ. මුළුමනින් ම පිරිසිදු වූ, කාලයට අනුව වෙනස් නොවන, කිසිවෙකුටත් අයහපත පිණිස නොපවතින, දියුණු කළ සිතකින් උපදවා ගත යුතු, කිසිවෙකුට කරුණු සහිතව අභියෝග කළ නොහැකි යම් විද්‍යාවක් වේ නම්, ඒ වනාහී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ඤාණය යි. ඒ නිසා සැබැවින් ම විද්‍යාව යන වචනය පවා බුදුරජාණන් වහන්සේට ම සම්බන්ධ වූවකි. බුදුරජාණන් වහන්සේ සතුවූ එම විද්‍යාවන් පිළිබඳව බුද්ධ දේශනාව තුළ ‘ත්‍රිවිද්‍යා, අෂ්ට විද්‍යා, ෂට් අසාධාරණ ඤාණ, තථාගත දසබල ඤාණ, සිව් විසාරද ඤාණ ආදී නොයෙක් පර්යායන්ගෙන් විස්තර වී තිබේ.
‘ත්‍රිවිද්‍යාව’ බොහෝ බුද්ධ දේශනාවන් තුළ විස්තර වී ඇත. ත්‍රිවිද්‍යාව යනු උතුම් සම්බෝධිය සමඟ ම තථාගතයන් වහන්සේ විසින් උපදවා ගන්නා ලද සුවිශේෂී වූ ඤාණයන් තුනකි. එනම් පුබ්බේනිවාසානුස්සති ඤාණය, චුතූපපාත ඤාණය හා ආසවක්ඛය ඤාණය යි. මේ උතුම් විද්‍යාවන් පිළිබඳ උපමා සහිත පරිපූර්ණ විස්තරයක් දීඝ නිකායේ අම්බට්ඨ සූත්‍රයේ සඳහන් ව තිබේ. අපි මෙහි දී ඒ පිළිබඳ කෙටියෙන් දැනගනිමු.
1. පුබ්බේනිවාසානුස්සති ඤාණය – භාග්‍යවතුන් වහන්සේට අතීත ජීවිත කල්ප ගණනින් ආපස්සට සිහිකිරීමේ හැකියාව තිබුණි. සංවට්ට විවට්ට කල්ප ගණන් පුරා අතීත ජීවිත ගත කළ අයුරු නම් ගොත් වශයෙන් ද විඳි සැප දුක් වශයෙන් ද එහි දී ගෙවූ ආයුෂ ප්‍රමාණයන් සහ ඉන්පසු උපන් ස්ථානය ඇතුළු සියලු විස්තර ක්ෂණයෙන් සිහිකිරීමේ හැකියාව පුබ්බේනිවාසානුස්සති ඤාණය යි.
2. චුතූපපාත ඤාණය – සත්වයන් කර්මානුරූපව චුතවෙන, උපදින අයුරු දැකීම පිණිස බුදුරජාණන් වහන්සේ සතු වූ දිවැස් නුවණ චුතූපපාත ඤාණය යි. සිත, කය, වචනය මුල්කරගෙන සිදු කරන්නා වූ කුසල් අකුසල්වලට අනුව සුගති දුගති ලෝකවල උපදින සත්වයන් පිළිබඳ සියලු තතු ඒ උතුම් බුද්ධ ඤාණයට මනාව ප්‍රකට විය.
3. ආසවක්ඛය ඤාණය – තමන් වහන්සේ තුළ පැවති සකල විධ ආශ්‍රවයන් මුළුමනින් ම ප්රහාණය කොට වදාළ බුදුරජාණන් වහන්සේට ඒ පිළිබඳ ව වූ (සියලු ආශ්‍රවයන් ක්ෂය වී ගිය බව දැනගන්නා වූ) ඤාණය ආසවක්ඛය ඤාණය යි.
“අෂ්ට විද්‍යා”- ඉහත දැක්වූ ත්‍රිවිද්‍යාවන් හා ඊට අමතරව තවත් සුවිශේෂී ඤාණයන් පහකුත් එක්තැන් වූ විද්‍යාවන් අට අෂ්ට විද්‍යා ලෙස හඳුන්වයි. ඒ පිළිබඳ සියලු තතු අම්බට්ඨ සූත්‍රයේ මනාව විස්තර වී තිබේ. ත්‍රිවිද්‍යාවට අමතරව එහි දැක්වෙන අනිකුත් විද්‍යාවන් පස මෙසේ ය.
4. ඉද්ධිවිධ ඤාණය – නොයෙකුත් ඉර්ධි ප්රාතිහාර්ය දැක්වීම පිණිස වූ ඤාණය ඉද්ධිවිධ ඤාණය යි. තනි කෙනෙකු ව සිට බොහෝ අය ලෙස ද බොහෝ අය ව සිට තනි කෙනෙකු ලෙස ද පෙනී සිටීම, බිත්ති ප්‍රාකාර පර්වත විනිවිද නො ගැටී ගමන් කිරීම, අහසින් වැඩම කිරීම, ජලයේ සක්මන් කිරීම, පොළොවේ කිමිදී වෙන තැනකින් මතු වීම ආදී අනේක විධ ඉර්ධි ප්රාතිහාර්යයන් දැක්වීමට ඇති හැකියාව ඉද්ධිවිධ ඤාණය යි.
5. දිබ්බසෝත ඤාණය – ළඟ තිබෙන ශබ්ද මෙන් ම ඕනෑ ම දුරක තිබෙන්නා වූ දිව්‍ය වූ මානුෂීය වූ ශබ්දයන් කිසි බාධාවකින් තොරව අසන්නට හැකි දිව්‍ය ශ්‍රවණය නම් වූ දිබ්බසෝත ඤාණයෙන් ද භාග්‍යවතුන් වහන්සේ යුක්ත වූ සේක.
6. පරචිත්තවිජානන ඤාණය – අනුන්ගේ සිත් තුළ පවතින ස්වභාවයන් මනාව තම සිතින් පිරිසිඳ දැනීම පිණිස වූ හැකියාව පරචිත්තවිජානන ඤාණය යි.
7. මනෝමය ඉද්ධි ඤාණය – තම කයෙන් සියලු අඟපසඟ ඇති නොපිරිහුණු ඉඳුරන් ඇති, රූපී මනෝමය කයක් මැවීමේ හැකියාව මනෝමය ඉද්ධි ඤාණය යි.
8. විදර්ශනා ඤාණය – ජීවිතය සම්බන්ධව පැවති විදර්ශනා ප්‍රඥාව යි. එනම් “මේ කය වනාහි සතර මහා භූතයන්ගෙන් හටගත්, මව්පියන් නිසා හටගත්, බත් ව්‍යාංජන ආදියෙන් වැඩුණු, අනිත්‍ය වූ, ඇතිල්ලීම් පිරිමැදීම් ආදියෙන් නඩත්තු කළ යුතු, බිඳී වැනසී යන ස්වභාවයට අයත් දෙයකි. මාගේ විඤ්ඤාණය පවතින්නේ මේ සිරුරෙහි ම ය, බැඳී තිබෙන්නෙත් මෙහි ම ය” යනුවෙන් ඇත්තා වූ ජීවිතයේ යථාර්ථය දක්නා නුවණ මෙනම් වේ.
මේ ආකාරයට විස්තර වූ මේ විද්‍යාවන් අට අපගේ ශාස්තෘන් වහන්සේ තුළ අප්‍රමාණ වශයෙන් පිහිටා තිබුණි. එමෙන් ම මෙම අෂ්ට විද්‍යාවන් ම උපදවා ගෙන සසුන්කෙත ශෝභමාන කළ ඇතැම් ශ්‍රාවකයන් වහන්සේලා ද වැඩ සිටියහ. නමුත් ශ්‍රාවකයන් වහන්සේලාගේ විද්‍යාව භාග්‍යවතුන් වහන්සේගේ විද්‍යාව හා කිසිසේත් සමාන වූයේ නැත. ශ්‍රාවකයන්ට අසාධාරණ වූ (තථාගතයන් වහන්සේට පමණක් ඇති) තවත් සුවිශේෂී ඤාණ 6කින් යුතු තථාගතයන් වහන්සේගේ විද්‍යාව තරු අතර බබළන පුන් සඳ මෙන් බබළන්නට වූහ. එම ෂඞ් අසාධාරණ ඤාණයන් මෙසේ ය.
1. ඉන්ද්රිය පරෝපරියත්ත ඤාණය – සත්වයන්ගේ ජීවිත තුළ ශ්‍රද්ධාදී ඉන්ද්රිය ධර්මයන්ගේ පිහිටීමත්, අල්ප වූ මහත් වූ කෙලෙස් ස්වභාවයනුත් දැන ගැනීමේ හැකියාව තථාගතයන් වහන්සේට පමණක් සීමා වූ ඉන්ද්රිය පරෝපරියත්ත ඤාණය යි.
2. ආසයානුසය ඤාණය – සත්වයන්ගේ සිත තුළ පවතින ආශ්‍රව අනුසය ධර්මවල ස්වභාවයන් හා එහි හටගැනීම් නැතිවීම් පිළිබඳවත් පරිපූර්ණ අවබෝධය සහිත ඤාණය ආසයානුසය ඤාණය යි.
3. යමක මහා ප්රාතිහාර්ය ඤාණය – මෙය ඉර්ධි ප්රාතිහාර්යයන්ට අයත් වූ, ශ්‍රාවකයන් හා කිසිසේත් සාධාරණ නො වූ බුදුරජාණන් වහන්සේට පමණක් විෂය වූ අත් සුවිශේෂී වූ ඉර්ධියකි. විශේෂයෙන් ම ශරීරයේ විවිධ කොටස්වලින් ගිනි දැල් හා දිය දහරා එකවිට විහිදුවමින්, ෂඞ් වර්ණ බුද්ධරශ්මි දහරා විහිදුවමින් සිදුකරන අතිශය විස්මයජනක වූ එම ඉර්ධිය දැක්වීමේ හැකියාව යමක මහා ප්රාතිහාර්ය ඤාණය යි.
4. මහා කරුණා සමාපත්ති ඤාණය – අන්කිසිවෙකු හා සම නො වූ මහා කරුණාවෙන් සිසිල් වී ගිය හද මඬලකින් යුතු භාග්‍යවතුන් වහන්සේ සතු වූ ඒ අසමසම මහා කරුණාව මෙනම් වේ. දිනපතා මේ මහා කරුණා සමාපත්තියට සමවැදී ලෝ සතුන්ට පිහිට වීමේ උත්තම ගුණයක් භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතය තුළ දක්නට ලැබිණි.
5. සර්වඥතා ඤාණය – අවබෝධ කළ යුතු වූ යම්තාක් ධර්ම ඇත්ද ඒ සියල්ල ම අවබෝධ කොට සියලු දෙය කෙරෙහි සර්වඥතාවයට පත් වූ බව භාග්‍යවතුන් වහන්සේගේ සර්වඥතා ඤාණය යි.
6. අනාවරණ ඤාණය – සර්වඥතා ඤාණයෙන් අවබෝධ කළ ධර්මයන් පිළිබඳ කිසිවක් ආවරණය වී නොතිබීම (රහසක් නොතිබීම) සියල්ල පිළිබඳව වූ අනාවරණ ඤාණය යි.
මෙම අද්විතීය වූ, ආශ්චර්යවත් වූ හැකියාවන්ට අමතරව තථාගත දසබල ඤාණ, සිව් විසාරද ඤාණ ආදී තවත් බොහෝ විද්‍යාවන්ගෙන් බුදුරජාණන් වහන්සේගේ ඤාණ සම්භාරය පිරිපුන් වූ සේක. මේ සියලු දෙය අයත් වන්නේ භාග්‍යවතුන් වහන්සේ සතු වූ විද්‍යාවට ය. අප මෙතෙක් කතා කළ ඒ සියලු විද්‍යාවන් වචනයට සීමා වූවක් වූයේ නැත. මේ හැම විද්‍යාවක් ම ප්‍රායෝගික ව ප්‍රකට වූ අවස්ථා බොහෝ ය. අසිරිමත් වූ ජීවිත පැවැත්මක් භාග්‍යවතුන් වහන්සේ සතු වූ අතර කිසිදිනක උන්වහන්සේගේ විද්‍යාව චරණයටත්, චරණය විද්‍යාවටත් අභියෝගයක් වූයේ නැත. එය චරණ සම්පත්තිය යි.
මෙම චරණ සම්පත්තිය පිළිබඳ ව තවත් සුවිශේෂී විස්තරයක් මජ්ක්‍ධිම නිකායට අයත් සේඛ සූත්‍රයේ දැක්වේ. එහි දී උතුම් විද්‍යාව උපදවා ගැනීම පිණිස පාදක වන චරණ ධර්ම 15ක් පිළිබඳව විස්තර වී තිබේ. “පසළොස්චරණ ධර්ම” යනු එයයි. එම පසළොස් චරණ ධර්මයන් ද අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතය තුළ පිරිපුන් ව තිබුණි. එම චරණ ධර්ම මෙසේ ය.
1. සිල්වත් භාවය
2. ඉඳුරන්හි වසන ලද දොරටු ඇති බව
3. පමණ දැන ආහාර වැළඳීම
4. නිදි වරා භාවනාවෙහි යෙදීම
5. ශ්‍රද්ධාව
6. පවට ඇති ලැජ්ජාව
7. පවට ඇති භය
8. බහුශ්‍රැත භාවය
9. වීර්යය
10. සිහිය
11. ප්‍රඥාව
12. පළමුවෙනි ධ්‍යානය
13. දෙවෙනි ධ්‍යානය
14. තුන්වන ධ්‍යානය
15. හතරවන ධ්‍යානය
මෙවන් අප්‍රමාණ වූ ගුණ මහිමයන් එකට එක පුද්ගලයෙකු තුළ එක්තැන් ව දක්නට ලැබේ ද විජ්ජාචරණ සම්පන්න වූ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වනාහී ඒකාන්තයෙන් ම ආශ්චර්යවත් වන සේක. පරම දුර්ලභ වන සේක. ඔබ අප සරණ යන්නට යෙදුණු ඒ අපගේ ශාස්තෘන් වහන්සේගේ අපරිමිත ගුණ සාගරයෙන් මෙහි දැක්වූයේ දිය බිඳකි.
එවන් ගුණ ඇති භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි චිත්තප්‍රසාදය ඇතිකර ගැනීම මෙලොව සුව ඇති කරන්නකි. පරලොව සුගති සම්පත් හිමිකර දෙන්නකි. නිවන් මගට ආරම්භය සපයන්නකි.
සාදු සාදු සාදු…! සියලු දෙවි මිනිසුන් සමඟ අපත් ඒ අසහාය ශාස්තෘන් වහන්සේට වන්දනා කරමු!
“හිතං දේව මනුස්සානං – යං නමස්සන්ති ගෝතමං
විජ්ජාචරණ සම්පන්නං – මහන්තං වීතසාරදං
විජ්ජාචරණ සම්පන්නං – බුද්ධං වන්දාම ගෝතමං”
“දෙවි මිනිසුන් හට – හිත සුව සලසන
ගෞතම නම් වූ – විජ්ජාචරණ සම්පන්න වූ
මහානුභාව සම්පන්න වූ – හැම බියෙන් නිදහස් වූ
බුදුරජාණන් වහන්සේට – දෙවි මිනිසුන් නමස්කාර කරන්නාහු ය
ගෞතම නම් වූ විජ්ජාචරණ සම්පන්න වූ
ඒ බුදුරජාණන් වහන්සේට – අපගේ නමස්කාරය වේවා”
“විදුසරණේ බුදුගුණ විහිදේවා – විදුසරණේ බුදු පිහිට ලැබේවා!”
මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේනමක් විසින් සම්පාදිතයි.
Recent Comments