1). පින්වත් ස්වාමීන් වහන්ස, බඹසර සිල් සමාදන් වන ආකාරයත්, එය රැකගන්නා අයුරුත් පහදා දෙන්න. එමෙන්ම කුමර බඹසර හා කුමරි බඹසර යන්නෙහි අර්ථය ද පහදා දෙන්න.
බ්‍රහ්මචාරී සීලය සමාදන් වන්නේ තුන්වන සිල් පදය වෙනුවට, “අබ්‍රහ්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමී” යනුවෙන් සමාදන් වීමෙනි. බඹසර ආරක්ෂා කරගැනීමට නම් යෝනි මාර්ගය, මුව මාර්ගය හා ගුද මාර්ගය යන තුන් මාර්ගයෙන් ම ලිංගික සේවනයක් නොකළ යුතුයි. එමෙන්ම ස්වයං වින්දනය. රාගයෙන් යුතු කාමුක ස්පර්ශ කිරීම් ආදී සියලුම ලිංගික කටයුතුවලින් වෙන්විය යුතුය. එවිට බ්‍රහ්මචාරී සීලය ඉතා පිරිසිදු ලෙස සුරැකෙන අතර මහත්ඵල මහානිශංස කුසලයක් රැස්වේ.
කුමර බඹසර හා කුමරි බඹසර යනු විවාහ වනතුරු ඉහත කියන ලද සියලුම ආකාරයේ ලිංගික කටයුතුවලින් වැළකී පිරිසිදු චරිතයකින් යුතු ජීවිතයක් ගත කිරීමයි. අඩුම ගණනේ විවාහ වීමට සිටින පෙම්වතා- පෙම්වතිය සමඟ හෝ කුමන ආකාරයේවත් ලිංගික ඇසුරක් නොපවත්වා කුමර-කුමරි බඹසර ආරක්ෂා කිරීම තුළ සාර්ථක විවාහ ජීවිතයකට අඩිතාලම සකසාගෙන, පුණ්‍යවන්ත දරුවන් ද ලැබිය හැක. විවාහ වීමෙන් පසු කාමේසු මිච්ඡාචාරා වේරමණී සිල්පදය සමාදන් වී දිවිහිමියෙන් තම බිරිඳ හෝ සැමියා ඉක්මවා නොයා සිල් රැකීමෙන් මෙලොව යහපතත්, පරලොව සුගතියත්, ධර්මාවබෝධයත් සලසාගත හැකි බව භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී තිබෙනවා.
2). පින්වත් ස්වාමීන් වහන්ස, යම් දරුවෙකු තම පියාට පානය සඳහා මත්පැන් ගෙනැවිත් දී පියා සතුටු කිරීම අකුසලයක් ද?
මත්පැන් මත්ද්‍රව්‍යවලින් පෞද්ගලික ජීවිතයටත් පොදුවේ සමාජයටත් සිදුවෙන ඉතා හානිදායක තත්වයන් නිසා භාග්‍යවතුන් වහන්සේ එය භාවිතා කිරීමත්, අන් අයට දීමත් සම්බුද්ධ දේශනා තුළ තරයේ ම ප්‍රතික්ෂේප කොට තිබෙනවා. තමාත් මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකී අන් අයත් එයින් වළක්වා, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීමේ ගුණ කීමෙන් තුන් ආකාරයකින් පිරිසිදුව (ත්‍රිකෝටික පාරිශුද්ධව) ශීලය රැකිය යුතු බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එමෙන්ම මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයේ අයහපත් ආදීනව 6ක් ඇති බව සිඟලෝවාද සූත්‍රයේ පෙන්වා වදාළා.
1. තමාගේ ඇස් පනාපිට ධනය වැනසී යයි. (සන්දිට්ඨිකා ධනජානි)
2.කලකෝලාහල වැඩෙයි. (කලහප්පවඞ්ඪනී)
3. රෝගයන් හටගැනීමට මුල්වෙයි. (රෝගානං ආයතනං)
4. අපකීර්තිය උපදවයි. (අකිත්තිසඤ්ජනනී)
5. කයෙහි වසාගත යුතු තැන් බාහිරට පෙන්වා හැසිරෙයි. (කෝපීනනිදංසනී)
6. නුවණ දුර්වල කිරීම හයවෙනි කරුණයි. (පඤ්ඤාය දුබ්බලීකරණී)
මේ වනාහි මත් වීමටත් ප්‍රමාදයටත් හේතුවන මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයේ ඇති සයක් වූ දුර්විපාකයෝ ය.”
ඒ නිසා මෙවන් හානිකර වූ මත්පැන් මත්ද්‍රව්‍ය යම් දරුවෙකු සිය පියාට ලබා දී අධාර්මික වූ අකුසල් වැඩෙන, කුසල් පිරිහෙන ලාමක සතුටක් ලබා දීම බරපතල අකුසලයක් වන අතර දෙපසට ම මහත් අනර්ථයක් සිදුකර ගැනීමකි.
3). පින්වත් ස්වාමීන් වහන්ස, යහපත් මිනිසුන් හා අයහපත් මිනිසුන් නිවැරදිව හඳුනා ගන්නේ කෙසේද?
යහපත් මිනිසුන් සම්බුද්ධ දේශනාවේදී හැඳින්වෙන්නේ ‘සත්පුරුෂයන්’ ලෙසිනුයි. අයහපත් මිනිසුන් හැඳින්වෙන්නේ ‘අසත්පුරුෂයන්’ ලෙසිනුයි.
චූල පුණ්ණමා නම් සූත්‍ර දේශනාවේදී සත්පුරුෂයාගේත් අසත්පුරුෂයාගේත් ලක්ෂණ භාග්‍යවතුන් වහන්සේ මෙසේ පෙන්වා දී තිබෙනවා.
“පින්වත් මහණෙනි, අසත්පුරුෂයා,
■ අසත්පුරුෂ ගතිගුණ වලින් යුක්තයි.
■ අසත්පුරුෂයන්ව ම යි ඇසුරු කරන්නේ.
■ ඒ වගේම අසත්පුරුෂ සිතිවිලි ම යි සිතන්නේ.
■ අසත්පුරුෂ සාකච්ඡා තමයි කරන්නේ.
■ අසත්පුරුෂ වචනයි කතා කරන්නේ.
■ අසත්පුරුෂ කටයුතුයි කරන්නේ.
■ අසත්පුරුෂ දැක්මෙන් යුක්තයි.
■ අසත්පුරුෂ අයුරිනුයි දන් දෙන්නේ.
පින්වත් මහණෙනි, අසත්පුරුෂයා කය බිඳී මරණින් පසු අසත්පුරුෂයන්ගේ යම් උපතක් ඇත්ද, අන්න එතනයි උපදින්නේ. අසත්පුරුෂයන් උපදින්නේ කොහේද? එක්කෝ නිරයේ, නැත්තම් තිරිසන් අපායේ.”
අනතුරුව භාග්‍යවතුන් වහන්සේ සත්පුරුෂයා ගැන මෙසේ පෙන්වා දෙනවා.
“පින්වත් මහණෙනි, සත්පුරුෂයා,
■ සත්පුරුෂ ගතිගුණවලින් යුක්තයි.
■ සත්පුරුෂයන්ව ම යි ඇසුරු කරන්නේ.
■ ඒ වගේම සත්පුරුෂ සිතිවිලි ම යි සිතන්නේ.
■ සත්පුරුෂ සාකච්ඡා තමයි කරන්නේ.
■ සත්පුරුෂ වචනයි කතා කරන්නේ.
■ සත්පුරුෂ කටයුතුයි කරන්නේ.
■ සත්පුරුෂ දැක්මෙන් යුක්තයි.
■ සත්පුරුෂ අයුරිනුයි දන් දෙන්නේ.
“පින්වත් මහණෙනි, සත්පුරුෂයා කය බිඳී මරණින් පසු සත්පුරුෂයන්ගේ යම් උපතක් ඇත්ද, අන්න එතනයි උපදින්නේ. සත්පුරුෂයන් උපදින්නේ කොහේද? ආනුභාව සම්පන්න දිව්‍යත්වයක් හෝ ලැබෙනවා. ආනුභාව සම්පන්න මනුෂ්‍ය ආත්මයක් හෝ ලැබෙනවා.”
මෙම සූත්‍ර දේශනාව විස්තර වශයෙන් තේරුම් ගැනීම පිණිස මජ්ඣිම නිකාය-3 පොත් වහන්සේගේ චූළ පුණ්ණමා සූත්‍රය කියවන්න. මෙහිදී වඩාත් වැදගත් වන්නේ තමා යහපත් කෙනෙකු, සත්පුරුෂයෙකු වීමයි.
4). පින්වත් ස්වාමීන් වහන්ස, කාමයේ වරදවා හැසිරුන පුද්ගලයෙකුට එම පව විපාක දීමට ඉඩ නොදෙන බලවත් කුසල කර්ම තිබේද?
බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ ආනන්තරිය පාප කර්ම හැර අනෙකුත් අකුසල් බලවත් කුසල් උපදවා ගෙන මැඩපැවැත්විය හැකි බවයි. (යස්ස පාපං කතං කම්මං – කුසලේන පිථීයති)
ජීවිතය නොමඟ ගොස් වැරදි කාම සේවනයේ යෙදුනු කෙනෙකු, පසුකාලීනව කල්‍යාණ මිත්‍ර ඇසුර නිසා ඉන් මිදී කුසල් වඩන අයුරු සංඛධම්ම නම් සූත්‍ර දේශනාවේදීත්, කරජකාය නම් සූත්‍ර දේශනාවේදිත් භාග්‍යවතුන් වහන්සේ ඉතා මැනවින් පෙන්වා දී තිබෙන්නේ මෙලෙසයි. ධර්මය ශ්‍රවණය කළායින් පසු ඔහු මෙසේ සිතනවා. “භාග්‍යවතුන් වහන්සේ නොයෙක් ආකාරයෙන් කාමයේ වරදවා හැසිරීම ගැන ගරහන සේක. බලවත්ව ගරහන සේක. කාමයේ වරදවා හැසිරීමෙන් වළකින්න යැයි වදාරණ සේක. මා විසිනුත් කාමයෙහි වරදවා හැසිරීම යම්තාක් ඇත්නම්, ඒ තාක් කෙරිලා තියෙනවා. මා විසින් යම්තාක් කාමයෙහි වරදවා හැසිර ඇත්ද එය යහපත් දෙයක් නොවෙයි. හොඳ දෙයක් නොවෙයි. ඉදින් මම ඒ හේතුව නිසා චිත්ත පීඩාවකින් හිටියා කියා මා විසින් ඒ පාප කර්මය නොකළා වෙන්නේ නෑ.”
මේ විදිහට ඔහු නුවණින් විමසලා ඒ කාමයෙහි වරදවා හැසිරීම අත්හරිනවා. ඉදිරියටත් කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකී සිටිනවා. මේ ආකාරයෙන් ඒ පාප කර්මය ප්රහාණය වෙලා යනවා. මේ ආකාරයෙන් ඒ පාප කර්මය ඉක්මවා යනවා.
ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා ඔහු තිසරණයේ පිහිටා සිල්වත්ව මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහරණ වැඩීම නිසා පෙර රැස්වූ යම් අකුසල කර්මයක් ඇත්නම් එය ඉතිරි නැතිව නැති වෙලා යනවා. එය පිහිටන්නේ නැතිව යනවා කියලා.
එම නිසා ඔබ කළ යුත්තේ ජීවිතය සිල්වත් කරගෙන, මෙත් සිත වඩමින් පින බලවත් කරගැනීම යි. එහිදී රුවන්වැලි මහ සෑය වන්දනා කොට ජීවිතය තුනුරුවනට හා මහ සෑයට පුදා පිළිවෙත් දියුණු කිරීමට අධිෂ්ඨාන කරගැනීම ඉතාම සුදුසුයි.
5). පින්වත් ස්වාමීන් වහන්ස, අටුවා ග්‍රන්ථවල ඇති සියලු දේ සත්‍ය ද? සමහර තැන් වල අතිශයෝක්ති පවතී ද?
දෙව් මිනිසුන්ගේ ශාස්තෘ වූ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට පෙර වදාළේ මාගේ ඇවෑමෙන් මා දේශනා කළ ධර්මයත්, පැනවූ විනයත් ශ්‍රාවකයන්ට ශාස්තෘත්වය සපයන බවයි. (යෝ ඛෝ ආනන්ද මයා ධම්මෝ ච විනයෝ ච දේසිතෝ පඤ්ඤත්තෝ සෝ වෝ මමච්චයෙන සත්ථා)
එම නිසා ධර්මය විනය සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී අප මූලිකත්වයේ තබා ගත යුත්තේ ඒ උතුම් ශ්‍රී මුඛ බුද්ධ දේශනා ඇතුලත් ත්‍රිපිටක පොත් වහන්සේලා යි. පසුකාලීනව සකස් වූ අටුවා ග්රන්ථ තුළ සම්බුද්ධ භාෂිතය, අරහත් භාෂිත සමග ම ආචරිය වාදය නම් වූ සාම්ප්‍රදායික මතය සහ අත්තනෝමතය නම් වූ ධර්මධර විනයධර තෙරවරුන්ගේ පෞද්ගලික අර්ථ විවරණ ද ඇතුලත්ව තිබෙනවා.
එම නිසා එය සම්බුද්ධ දේශනා සමඟ සසඳා බලා ගැලපේ නම් පිළිගන්නා ලෙසත් නොගැලපේ නම් ප්රතික්ෂ්ප කරන ලෙසත්, ශ්‍රේෂ්ඨ අටුවාචාරී බුද්ධඝෝෂ හිමියන් ම නිර්දේශ කොට තිබෙනවා. බුද්ධිමත් ශ්‍රාවකයන් ලෙස අප කළ යුත්තේ අටුවා විවරණ සම්බුද්ධ දේශනා තුළ බහා බැලීමයි. විනය පැනවීම් වලට සසඳා බැලීමයි (සුත්තේ ඕතාරේතබ්බෝ, විනයේ සංසන්දිතබ්බෝ) ශ්‍රී මුඛ බුද්ධ වචනයට ගැලපේ නම් පිළිගැනීමයි. නොගැලපේ නම් බැහැර කිරීමයි. මේ සඳහා නිරවුල් දහම් දැනුමක් තිබීම අත්‍යාවශ්‍ය වෙනවා. එමෙන්ම ධම්මපද අටුවාව, ජාතක අටුවාව සූත්‍ර පිටක අටුවා වැනි ග්රන්ථවලින් ගුණ ධර්ම දියුණුවටත්, සසුන් පිළිවෙත් පිරීමට ලැබෙන සුවිශේෂී අනුග්‍රහයත් නිසා අටුවා ග්රන්ථ හැදෑරීම බොහෝ ප්‍රයෝජනවත් වෙනවා.
6). පින්වත් ස්වාමීන් වහන්ස, සංස්කාර යන්න පහදා දෙන්න.
සංස්කාර යන වචනය බුදුරජාණන් වහන්සේ අර්ථ කිහිපයක් ඔස්සේ විග්රහකොට තිබෙනවා. අප එය තේරුම් ගත යුත්තේ ඒ ඒ තැනට අදාළවයි. පටිච්චසමුප්පාද විග්රහයේදී “අවිජ්ජා පච්චයා සංඛාරා” යනුවෙන් පෙන්වා දෙන්නේ කාය සංස්කාර (ආශ්වාස ප්රාශ්වාස), වචී සංස්කාර (විතක්ක, විචාර), චිත්ත සංස්කාර (හඳුනාගැනීම්, විඳීම්) යන තුනයි. එමෙන්ම එහි භවය කොටසට අදාළව පුඤ්ඤාභිසංස්කාර (පිනට අනුව කර්ම සකස් වීම), අපුඤ්ඤාභිසංස්කාර (පවට අනුව කර්ම සකස් වීම), ආනෙඤ්ජාභි සංස්කාර (ධ්‍යානවලට අනුව කර්ම සකස් වීම) පෙන්වා දෙනවා.
පංච උපාදානස්කන්ධය යටතේ සංස්කාර විස්තර කරන්නේ රූප සංචේතනා, ශබ්ද සචේතනා, ගන්ධ සංචේතනා, රස සංචේතනා, ඵොට්ඨබ්බ සංචේතනා, ධම්ම සංචේතනා යන සය ආකාර වූ චේතනාවයි. “සබ්බේ සංඛාරා අනිච්චාති” යන දෙසුමේදී හේතුඵල දහමින් හටගත් සියල්ල පොදුවේ සංස්කාර වශයෙන් හඳුන්වා තිබෙනවා. මීට අමතරව සමහර දේශනාවලදී තණ්හාවටත් සංස්කාර යන පදය භාවිතාකොට තිබෙනවා. ඒ නිසා අප ඒ ඒ දෙසුම්වලට අදාලව අර්ථ තේරුම් ගැනීමට බුද්ධිමත් විය යුතුයි. මේ පිළිබඳ වැඩිදුර දහම් කරුණු අධ්‍යයනය කිරීම පිණිස “විස්මිත අවබෝධය” නම් සදහම් ග්‍රන්ථයේ “භවය” විස්තර කොට ඇති කොටස කියවන්න.
Recent Comments