භ්‍යත්ව සමාරම්භක යුගයේ සිට ම ශ්‍රී ලංකාවේ සමාජය හා පවුල අතර පැවතියේ අවියෝජනීය සබඳතාවයකි. පවුල හා බැඳුණු නෑදෑ එකමුතුව, සාමූහික දිවි පැවැත්මටත් අන්‍යෝන්‍ය රැකවරණයටත් ප්‍රබල ආධ්‍යාත්මික බන්ධනයක් විය. මව්පිය – අඹුදරු සෙනෙහස, සොහොයුරු බැඳීම, දාරක පෙම අතීත සිංහල බෞද්ධ සංස්කෘතියෙහි අවිච්චින්න අංගයක් විය.

සිංහල සංස්කෘතියෙහි පිළිබිඹු වන මෙම අධ්‍යාත්ම බන්ධනය හා සාමූහික සහජීවනය වී ගොවිතැන ප්‍රධාන ජීවනෝපාය කොටගත් සමාජයක හෙවත් සහල් සභ්‍යත්වයක දක්නට ලැබෙන ලක්ෂණයකි. පරිසරය නො නසා එය ජය ගැනීම කෘෂක සමාජයේ වගකීමක් ව පැවතුණි. ක්ෂත්‍රිය ගෝත්‍රික ආර්ය ජනාවාස පැතිර ගිය වියළි කලාපයේ විසූ ජනකාය පරිසරය ජය ගැනීම සඳහා ගත් පරිශ්‍රමයේ ප්‍රතිඵලය වූයේ සාගර පරයනසුලු මහාවාපි සංස්කෘතියක් බිහි වීමයි. මෙම සමාජය වැවෙන් උපන් සභ්‍යත්වයක් ලෙස හඳුන්වන මාර්ටින් වික්‍රමසිංහ මහතා, වැව් තැනිය හැක්කේ කුලයක් පවුලක් වශයෙන් නොව එක ම සාමූහික හැඟීමකින් බැඳුණු ජනකායක් විසින් බව පවසයි.

සහල් සභ්‍යත්වයේ උරුමය අප රටට ලැබුණේ, බුදුරජාණන් වහන්සේ උපත ලද ඔක්කාක ශාක්‍ය කුල පරපුරෙන් පැවත එන ක්ෂත්‍රිය පරපුරෙනි. බුදු දහමේ ආභාසය ලැබීම නිසා එම ජන පරපුර සිව් බඹ විහරණය ගරු කළ ජනකායකගෙන් සමන්විත ය. අන් රටවලට වඩා මෙරට ජනකාය එක ම සාමූහික හැඟීමකින් වෙලී බැඳී ජීවත්වීමට බුදු දහමේ ඉගැන්වීම් හා පිළිපැදීම් මහත් අනුබලයක් විය.

වැඩිහිටියන් විසින් බාලයන් රැක බලා ගනු ලැබීම, බාලයන් විසින් වැඩිහිටියන්ට ගරු සත්කාර කරනු ලැබීම, කාන්තාවන්ට රැකවරණය සැලසීම, මහණ බමුණන්ට ගරු කිරීම, පිදීම ආදි ගුණ ධර්මවලින් ලාංකික සමාජය පෝෂණය වූයේ බුදු දහමේ ආභාසය ලැබීම නිසා ය.

වියපත් වැඩිහිටියන් හා කුඩා දරුවන් කෙරෙහි දක්වන සැලකිල්ල අද සමාජයෙන් තුරන් වී යාමට හේතුව, අදමිටු ඇදහිලි හා සිතුම් පැතුම් විසින් ජනකාය වෙලා ගනු ලැබ ඇති බැවිනි. විහාරාරාම ඇසුරු කරමින්, හැම පොහොයක් පාසා සිල් සමාදන් වෙමින්, බුදුන් වැඳ, මෙත්තා – කරුණා – මුදිතා – උපේක්ෂා යන සිව් බඹ විහරණයෙන් යුතුව කල් ගෙවූ ජාතියක් ඒ මඟින් බැහැරව රාග – ද්වේෂ – මෝහයෙන් වෙලී කටයුතු කරන්නට වීම නිසා නූතන සමාජය දරුණු පරිහානියකට ගොදුරු වී තිබේ.

අද යුගයේ ළමයින් ඇති දැඩි වන්නේ, ඉගෙන ගන්නේ, අතීත යුගයේ නො බිඳිය හැකි ලෙස බද්ධ වී තිබුණු සම්බන්ධතාව වූ දෙමව්පියන්ගෙන්, අත්තම්මලාගෙන්, සීයලාගෙන් හා පවුලේ වැඩිහිටියන්ගෙන් ඈත්ව අනාරක්ෂිත පරිසරයක ය. දරුවා ගැන සොයන්නට දෙමව්පියන්ට වේලාවක් නැත. ටියුෂන් පන්තිය ගැන ම සිතන ගුරුවරයාට සිසුවා ගැන සොයන්ට වෙහෙසෙන්නට වේලාවක් නැත. අධ්‍යාපනය සමඟ බද්ධ වී පැවතිය යුතු ගුණ දහම් දරුවන්ට කියා දෙන්නට කෙනෙක් අද නැත. මානව පවුලෙහි – සමාජයෙහි විටිනා ම උරුමය නො එසේ නම් පොහොසත් ම දායාදය වන ආදරය නො ලබන දරුවෝ සිත් පිත් නැති රූකඩ චරිත බවට පත්ව ජීවිතය ව්‍යසනයක් කර ගනිති. තම පරිණත අත්දැකීම බාල පරපුරට සන්නිවේදනය කර ගත නො හැකි වැඩිහිටියෝ උකටලීව බලා සිටිති.

අම්මේ මම ගාලු යනව
මොටද පුතේ ගාලු යන්නේ?
බාස දෙකක් ඉගෙන ගන්න
බාස දෙකේ නම් මොනවද?
දේවදාර පොල් පරාල – ඊට උඩින් බංගලාව

දරුවා : කන්දේ හිමයේ උන් බකමූණා
අත්ත දෙකොණ හිඳ හා හූ ගානා
සීයා : අප්පා බොල ඌ වස බකමූණා
ඔක්කොම අරගෙන යයි බකමූණා

වැඩිහිටි දූ දරු සබඳතාවේ හා අන්‍යෝන්‍ය රැකවරණයේ ප්‍රාරම්භක අවස්ථාව වනුයේ මව සහ දරුවා අතර ඇතිවන සෙනෙහසේ සබඳතාව යි. ජගත් සෞන්දර්ය හා මානව පෞරුෂය දරුවා ඉගෙන ගන්නේ මවු තුරුල්ලේ දී ම ය. නූතන විද්‍යුත් සන්නිවේදනය නිසා මේ වටිනා උරුමය අද සමාජයෙන් කෙමෙන් ඈත් වෙමින් පවතී. එය වූ කලී ජන ගීයක් වූ දරු නැළවිලි කවියයි. මිනිසුන් කවීන්, ගායකයන් බවට පත් කරන්නේ අම්මා ය. ඇය තාලයට ගයන නැළවිලි ගීයේ දැවටී ඇත්තේ සෞන්දර්යය හා පෞරුෂය යි.

මගේ පුතා කොතැන ගියේ
මානෙල් මල් විලට ගියේ
එතැන විලේ පිරුණු දියේ
තාමත් කිරි සුවඳ තියේ

අන්න පුතුගේ ඇතින්නියා
ගල් අරඹේ සිටින්නියා
ගලින් ගලට පනින්නියා
පුතුට බයේ දුවන්නියා

මව සහ පුතා පිය නගන හැම තැන ම ඇසෙන්නේ (ආස්වාදනය වන්නේ) කිරි සුවඳ යි. නො එසේ නම් හාත්පස පැතිර යන සෙනෙහස යි. ඒ සෙනෙහස මානවයාට පමණක් නොව ගස, කොළ, සතා සිව්පාවා ඇතුළු පරිසරයට පතුරුවන්නකි. පරිසරයේ සැරිසරන ඇතින්නිය වෙන කාගේවත් නොව පුතුගේ ය. ඌ ගල් අරණක වෙසෙන දැවැන්තයකු වුව ද පුතාට බිය වී දුවයි. ජීවිතයට නො සැලී මුහුණ දීමට ඉගෙන ගන්නා දරුවා ලොකු මහත් වුව ද මවු සෙනෙහස හා ඇසුර නැතිවූ කල්හි ඔහුට මහත් පාළුවක් හා පාඩුවක් දැනේ.

කිරිමදුවැල් කිරිමදුවැල් කිරි අම්මේ
අපිත් කිරට අඬනා දරුවන් අම්මේ
අනුන් දුන්නු බත් බඩ නො පිරෙයි අම්මේ
ඈත ඉඳන් මට අඬ ගහපන් අම්මේ

කුකුළා නැති ගෙදර එළිවෙනවා නො දැනේ
ගවයා නැති ගෙදර රෑ වෙනවා නො දැනේ
බල්ලා නැති ගෙදර හොරු එනවා නො දැනේ
අම්මා නැති ගෙදර පණ යනවා නො දැනේ

පැරණි ගැමි සංස්කෘතියෙහි ප්‍රබල බලවේගයක් වූ මානව සමාජ ඒකමිතිය සහිත පරිසරයක් අද ලක්දිව කොතැනකවත් දක්නට නොමැති තරමට සමාජය විපරීත වී ඇත. අද ළමයින්ට දිරි දෙන්නේ බ්‍රොයිලර් කුකුළන් මෙන් ඉක්මනින් හැදී වැඩෙන්නට ය. අද ළමා කාලය මහා පීඩාකාරී අවධියකි. හැකි තරම් ඉක්මනින් ලොකු මහත් වී ඉගෙන ගෙන පලා යා යුතු ළමා වියක් අද දරුවන්ට උරුම වී තිබේ. අනෙක් පසින්, ජීවිතයේ සරු අත්දැකීම්වලින් පෝෂිත වැඩිහිටි පරපුර, නූතන අධිවේගී විද්‍යුත් සන්නිවේදන සමාජ ක්‍රමය හමුවේ නිෂ්ප්‍රභා වී යන ආකාරය අපි අත්දකිමින් සිටිමු.

මේ විපතින් අප සමාජය මුදවා ගත හැකි වන්නේ ළමා හා වැඩිහිටි සුරක්ෂිතාව කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වා කටයුතු කිරීමෙනි. මේ සඳහා අපට මඟ පෙන්වා දෙන්නේ අපගේ ම අතීත සම්ප්‍රදාය යි. අද දුරස් වී පවතින පැරණි ගැමි සමාජයෙහි ප්‍රබල බැඳීමක් වූ ළමා හා වැඩිහිටි සබඳතාවය ගැන මනා වැටහීමක් අපගේ ජන සාහිත්‍යයෙන් තරම් අව්‍යාජත්වයකින් අන් කවර මූලාශ්‍රයකින්වත් දත නො හැකි ය.

ජීවනෝපාය සඳහා නොයෙක් දුෂ්කර කටුක වෘත්තීන්හි නියැලී සිටි ගැමියෝ ලද දෙයින් සතුටු වී නො කොඳුරා ජීවත් වූහ. තමන්ට වන දුක් පීඩා අලාභ හානි ඔවුහු උපේක්ෂාවෙන් විඳ දරා ගත්හ. මෙය සනාථ කරන ප්‍රකට ජන කවියක් මෙසේ ය.

අම්බලමේ පිනා පිනා
වළං කදක් ගෙනා ගෙනා
ඒක බිඳපි ගොනා ගොනා
ඒකට මට හිනා හිනා

මේ ජනකවිය කිහිප ආකාරයකින් රස විඳිය හැකි ය. කත්කාරයෙක් වළං කදක් රැගෙන යන්නේ වෙහෙස නිවා ගැනීම සඳහා මහත් සතුටින් යුතුව අම්බලමකට පිවිසෙයි. අම්බලමේ ලැග හුන් ගොනෙක් කලබල වී පැන දුවන්නේ කදේ තිබුණ වළං ටික බිඳ පොඩි විය. එය දුටු දරුවෙක් මහත් හඬින් සිනාසුණේ ය. අනික් අරුත නම් කත්කාරයා තමන්ට වූ පාඩුව විඳ දරාගෙන, වළං කද බිඳ ගොනා පැන ගිය අයුරු ගැන මතක් වී සිනාසීම යි. මේ කවිය පසු කාලයේ ඇතැම් මිසදිටුවන් විසින් මූලික අරුතට පටහැණි විපරිත අරුත්වලට නඟනු ලැබී ය. යාන වාහන නො තිබුණු පැරණි යුගයේ පටු මංමාවත් අඩි පාරවල් දිගේ ජනතාව ගමන් බිමන්වල යෙදුණේ පා ගමනිනි.

නූතන බාල තරුණ පිරිස් විඳින සැප සම්පත් අද වියපත්ව සිටින පරපුරේ බොහෝ දෙනාට එකල තිබුණේ නැත. ඔවුන්ගේ නිවෙස්වලට විදුලිය – නල ජලය, නව තාක්ෂණික මෙවලම්, නො තිබෙන්ට ඇත. සුව පහසු නැති කුඩා නිවසක හෝ කාමරයක හෝ සියලු දෙනා එකට ගුලි ගැහී වාසය කරන්ට ඇත. එසේ වුව ද ඒ නිවාසයන්හි අඳුරක් තිබුණේ නැත. ආදරයේ – සෙනෙහසේ එළිය නො අඩුව දැල්වී තිබුණි. මිනිස් හදවත්වල උණුසුමින් සියල්ලෝ ප්‍රමුදිතව සිටියහ. සැප විහරණය හා සමාජ තත්ත්වය ලුහුබැඳ නො ගිය වැඩිහිටියෝ තම දරුවන්ට ඔවුන්ගේ ජීවිතවල මුල් තැන දුන්හ. දවසේ කිස නිමවා හැන්දෑවට නිවසට එක්රැස් වන සියලු දෙනාගේ සමාගමය ප්‍රසංගයක් වැනි විය. වැඩිහිටියෝ තම අත්දැකීම් – ඇසූ දුටූ පුවත් හා ගැමි කතා – කවි දරුවන්ට කියා දුන්හ. ප්‍රබෝධය දනවන ජනකවි, ගැමි ගී සැන්දෑ යාමයේ සෑම නිවෙසකින් ම ඇසුණි.

පතඟි පතඟි ගොරක පතඟි
අම්ම ගෙනා පත කුඬේට
සිලිං හතයි පැන්ස දෙකයි

ජගත් සෞන්දර්යයේ මිහිර, රැකවරණය හා පෝෂණය අම්මා දා ලොවින් තුරන්ව යන අයුරු ජන කවියා පැහැදිලි කර දුන් අයුරු මනරම් ය.

මෑණියන්ට ගරු කරන ආකාරය පිළිබඳ ව වැඩිහිටියකු විසින් සිය හිතුවක්කාර සහෝදරයකුට දුන් අනඟි උපදෙසක් ඇතුළත් ප්‍රකට ජනකවියක් ඇත.

මල්ලියෙ ඔහොම නො කියන් අපෙ අම්මාට
දෙතනේ කිරි දුන්නෙත් අපි දෙන්නාට
තියෙන දෙයක් දෙන්නෙත් අපි දෙන්නාට
බුදුන් වඳින ලෙස වැඳපන් අම්මාට

පැරණි යුගයේ වැඩිහිටියන් දුර බැහැර ගමන්වල යෙදෙන්නේ සිය බිරිය හා දරුවන්ට රැකවරණය සලසා ගැනීමට වැඩපිළිවෙළක් සැලසීමෙන් අනතුරුව ය. වන ගහණයෙන් යුත් කටුක පරිසරයකට ගමනේ යෙදෙන ඔහුට ආපසු නිවසට පැමිණීමට කල් ගත වේ. එසේ තම නිවසෙන් පිටත්ව යන්නෙකු තම බිරිය අමතා දුන් උපදෙස් ඇතුළත් අපූරු ජන ගීයක් මෙසේ ය.

මං යනව කතරගම් – මගෙ කෙල්ලො බලාගන්
මගේ කොල්ලො බලාගන්
උඹ ගෙදර ඉඳගනින්

කොල්ලො වැටෙයි ළිඳ වට වැට නොකඩ තියාගන්
පොලීසියගෙ හරකි එනව කඩුල්ල බැඳගන්
මං යනව කතරගම්

අතීත යුගයේ පැවති වැඩිහිටි – ළමා සබඳතා ගැන කියැවෙන ජන කවි රාශියක් ජන සාහිත්‍යයේ පවතී. එය විවරණය කළ හැක්කේ පිටු දෙතුන් සියයක පොතක් ලිවීමෙනි. කුඩා දරුවෙකු සමයේ අතීතය ස්මරණය කරන ගැමි තරුණයෙකු පැවසූ කවියකින් මෙම ලිපිය අවසන් කරමි. අද දරු පරපුරට අහිමි වී ඇති ඒ සොඳුරු ගේහසිත සමාගමය පිළිබඳ ව වැටහීමක් ඉන් ලබා ගත හැකි යැයි සිතමි.

මට මතකයි මට මතකයි පුංචි කාලෙ මං
අම්ම අපේ හරි ලස්සන කතා කියා දුන්
මගෙ අතින් අල්ලා ගෙන සීය අපේ තුම්
මිදුල පුරා කෝටුවකින් ගෝනෙක් ඇඳ දුන්

සටහන – දයාපාල ජයනෙත්ති