යම් තැනක් ගැන මතක් කර ගන්න කිව්වොත් මහා පාරට වැඩිය තැනක් අපි කාටවත් මතක් වෙන එකක් නෑ. තදබද වෙලාවක, නගරාසන්න පරිසරයක ගමනාගමනයේ යෙදෙන රියදුරෙක් නම් ඔබ, මගියෙක් නම් ඔබ, පදිකයෙක් නම් ඔබ… ට‍්‍රැෆික් වෙලාවක ඔබේ කයටත්, මනසටත් දැනෙන වෙහෙස, පීඩාව මොන තරම් ද කියන එක ඔබ හොඳට ම දන්නවා. තියෙන පුංචි ඉඩෙන් පවා රිංගවමින් වාහන ඉදිරියට ගන්න උත්සාහ කරන රියදුරන් ගැන ඔබටත් අමනාපයක් ඇති වෙලා ඇති… වාහනය පෙනි පෙනී හදිසියේ ම පාර පනින පදිකයන් ගැන ඔබටත් තරහ ඇවිත් ඇති… ඔබ පාර පනින්න කහ ඉර මතින් යන අතරේ නළාව හඬවමින් පිඹගෙන එන වාහනවල රියදුරන් ගැන ඔබට බොහෝ දේවල් හිතිලා ඇති… එ් කිසි ම අවස්ථාවක ඔබට පහන් සිතක්, සතුටු සිතක් ඇති වෙන්නෙ නැහැනේ. ඉතින් කාට ද අලාභය? එ් නිසා අපි හිතුවා ‘මහ පාරේ ත‍්‍රස්තවාදය’ මර්ධනය කරන්න අපට තනි තනියෙන් කළ හැකි දේ ගැන කථා කිරීම හොඳයි කියලා…

ඔබ රියදුරෙක් නම්, පදිකයෙක් නම් කියන පැති දෙක ම ගැන හිතලයි අපි මේ ගැන කථා කරන්නේ.

ඔබ රියදුරෙක් නම්…

වාහනයක් පදවන ඔබ ඔබේ ජීවිතයටත්, වාහනයේ ආරක්ෂාවටත්, වාහනයේ සිටින පිරිසේ හෝ එහි තිබෙන බඩු භාණ්ඩවල ආරක්ෂාටත් වග කිව යුතුයිනේ. එ් විතරක් නෙමෙයි, ඔබ අනෙක් වාහනවල, අනෙක් රියදුරන් සහ මගීන් වගේ ම පදිකයන්ගේ ආරක්ෂාව ගැනත්, භෞතික වස්තූන්ගේ ආරක්ෂාව ගැනත් වගකීමක් දරනවා. ‘ජීවිත ගෙනියන’ විතරක් නෙමෙයි, ‘වටපිටාවට ම වග කියන’ රියදුරු දෑතක් ඔබට හිමියි.

රියදුරු බලපත‍්‍රයක් අතට ලැබෙන්නේ නිසි පරිදි වාහනය හසුරුවා ගන්නට සමත්කම් දැක්වුවාට පසුව නේ ද? හැබැයි ඊටත් පෙර කළ යුතු දෙයක් තියෙනවා. එ් තමයි මාර්ග සංඥ හා මාර්ග නීති පිළිබඳ සැකසුන ප‍්‍රශ්න පත‍්‍රයකට උත්තර සැපයීම. ඔය විභාගය සමත් වුණාට පසුව තමයි වාහන පදවන්නට පුහුණුවීමට අවසර ලැබෙන්නෙත්. එ් නිසා යාන වාහන පදවද්දි ලබපු පුහුණුව වගේ ම ඊටත් පෙර ලැබූ දැනුමත් භාවිතයේ යෙදවීම කළ යුතු ම යි.

මාර්ග සංඥාවන් පිළිපදිමින් වාහනය පැදවීම ඔබේ වගකීමක් වගේ ම යුතුකමක්.

මාර්ග සංඥ නො තකමින් වාහනයක් පදවන්නට කෙනෙකුට සිත් පහළ වෙන්නේ එක්කෝ හදිසියෙන් කළ යුතු කටයුත්තක් වෙනුවෙන් කාලය වෙන් කර ගැනීමට. නැති නම් අවදානම් කටයුතුවල නියැළීමේ කැමැත්ත නිසයි.

වේග සීමා, මංතීරු නීති, මාර්ග සංඥ නො සලකා හරින්නේ ‘හදිස්සිය’ නිසා නම් හොඳ ම දේ හෙමින් යන එකයි. හදිස්සිය නිසා වේගයෙන් ගමන් කරලා බොහෝ අවදානම් සහිත ව අනතුරු බහුල ස්වභාවයකට පත් වීම නිසා ඔබට අහිමි වන කාලයත් ඉතිරි කරගෙන, අන්‍යයන් තුළ බිය, අප‍්‍රසාදය ඇති කරලීමේ අකුසලයෙනුත් නිදහස් ව, නීතියටත් අවනත ව ධාවනයේ යෙදෙන්න එයින් ඉඩ සැලසෙනවා.

පුංචි ඉඩෙනුත් කොහොම හරි රිංගගෙන ඉදිරියට යන්න උත්සාහ කරන යතුරු පැදි සහ ත‍්‍රිරෝද රථ නිසාවෙන් බොහෝ රිය අනතුරු සිදුවන බවත්, තදබදය උපරිම කෙරෙන බවත් රහසක් නෙමෙයි. එ් වගේ ම දකුණට සිග්නල් දාලා වමට හරවන වාහන නිසත් අනතුරු සිදු වෙනවා. පුංචි ඉඩකට රිංගලා තමනුත් හිර වෙලා, අනුන්වත් හිර කරන කෙනෙක් නො වෙන්නත් ලොකු දක්ෂකමක් තියෙන්න ඕනේ. ඇත්තටම කිව්වොත්, පුංචි ඉඩෙන් වාහනය රිංගවන දක්ෂකමට වඩා සුවිශේෂී දක්ෂකමක් ඕනේ එ් ඉඩ එසේ ම තිබෙන්නට ඉඩ හරින්නට. ඔන්න ඔබ යතුරුපැදියක් හෝ ත‍්‍රිරෝද රියක් පදවනවා නම් මැන ගන්න පුළුවනි මේ දක්ෂකම ඔබට තියෙනව ද කියලා..

තව කෙනෙක් පසු කරගෙන වේගයෙන් යන්න හිතන අය ලෝකයේ දුර්ලභ නෑ. එ් වගේ ම තමයි ඔය වේගවත් පසු කර යෑම් නිසා ‘ඉක්මන කොට කර ගන්න’ අයත් ලෝකයේ දුර්ලභ නෑ. නමුත් සංයමයෙන් ධාවනයේ යෙදෙන පිරිස් විරලයි. හදිස්සි නිසා හෙමින් යන අයත් ලෝකයේ විරලයි. කැමති නැද්ද ලෝකයට ම විරල කෙනෙක් වෙන්න..? එහෙම කෙනෙක් වෙන්න ඔබ දක්ෂ වුණොත් ඔබටත් හැකියි මහ පාරේ ත‍්‍රස්තවාදය පිටුදකින්නට.

කොළ, කහ සහ රතු

කලකට පෙර මුහුණුපොතේ එක්තරා හාස්‍යජනක පණිවිඩයක් එකිනෙකා අතර වේගයෙන් හුවමාරු වුණා. පණිවිඩය මෙවැන්නක්.
අන් රටවල මාර්ග සංඥ පද්ධතියේ වර්ණවලින් හැඟවෙන දේ…

සම්මත නීතිය

කොළ – යන්න
කහ – යෑමට / නැවැත්වීමට සූදානම් වන්න
රතු – නවත්වන්න

නමුත් ශ්‍රී ලංකාවේ…

කොළ – යන්න
කහ – වේගයෙන් යන්න
රතු – පොලිසිය පෙනෙන්නට නැතිනම් යන්න

කථාව බොහෝ රියදුරන් සම්බන්ධයෙන් ඇත්ත නේ ද? කොටින් ම කිව්වොත් ‘කොහොම හරි යන්න…!’

විනයගරුක, නීතිගරුක ජනතාවක් විදිහට ලෝකයේ ප‍්‍රශංසාව ලබන්නට නම් මහ රැයක, වාහන නැති ම තැනක වුණත් රතු එළිය ඉදිරියේ වාහනය ධාවනය නො කර සිටින්නට හැකි විය යුතුයි. එවැනි සංයමයකින්, හික්මීමකින් යුතු රියදුරන් සිටින රටවල් ලෝකයේ තිබෙනවා.

එ් සංයමය ම තිබෙන රියදුරෙක් ද ඔබ? එහෙම නම්, ඔබ අපට සම්පතක්…!

ඔබ පදිකයෙක් නම්…

වාහන පදවන රියදුරු පිරිස වගේ ම මාර්ගයේ ගමන් කරන පිරිසත් විනය සහ සංයමය ඇති පිරිසක් විය යුතු ම යි. මතක ද ඔබ මගියෙක් වෙලා පාර මාරු වුණ අවස්ථා… පුංචි ම වයසෙදි පාසලේ දී නම් අපි හැමෝ ම තාලයට මෙහෙම කිව්වා…

‘‘දකුණ බලා වම බලන්න
නැවතත් දකුණ ම බලන්න
පාරේ වාහන නැති නම්
ඉක්මනින් ම මාරු වෙන්න…”

පුංචි කාලේ පාඩම ලොකු වෙද්දි අපිට අමතක වුණා නේ ද? අවසන් වතාවට දකුණ බලලා, වම බලලා, ආයෙමත් දකුණ බලලා ඉක්මනින් ම පාර මාරු වුණේ අද ද? ඊයෙ ද? සතියකට හෝ මාසෙකට කලින් ද? අවුරුදු ගාණකට කලින් ද? අවසන් දවස මතක් කරන්නවත් බැරි තරම් ඈත ද?

පුංචි කාලේ පාඩම් එහෙම ම තියෙද්දි දැන් වෙන්නේ මේකයි. ජංගම දුරකථනයට කථා කර කර, (කාන්තා පාර්ශවය නම් බොහෝ විට කුඩෙත් ඉහළගෙන) හෙමින් සීරුවේ කහ ඉරෙන් හෝ කහ ඉර පෙනි පෙනී මහ පාරෙන් හෝ පාර මාරු වෙන්න උත්සාහ කරනවා. වාහන පාරේ ධාවනය වන බව මතක් වෙන්නේ කන උඩ ම හෝන් ශබ්දයක් ඇහෙනකොටයි…

එහෙමත් නැති නම් වාහන ගමන නතර කරලා එක් පිරිසක් කහ ඉර හරහා මාරු වීම අවසන් කරමින් සිටින අවස්ථාවක, වාහන ධාවනයට සූදානමින් රියදුරන් බලා සිටින අවස්ථාවක හදිසියේ ම දුවගෙන ඇවිත් එක්කෙනෙක් පාර මාරු වෙනවා. එ් කෙනා කහ ඉරේ ටික දුරක් යන අතරේ තව කෙනෙක් දුවගෙන එනවා පාර මාරු වෙන්න. විනයක්, සංයමයක් නැති මෙවැනි පාර පැනීම් නිසා රියදුරන්ට මොනවා නම් නො හිතෙයි ද? අන්න ඔය වෙලාවටයි අපි මුලින් ම කියපු විදිහට ම නන්නාඳුනන මිනිසුන්ට වන සතුන්ගේ නමක් කියා බැණ වදින්නට සිත් පහළ වෙන්නේ…

පිරිසක් විදිහට එක් වෙලා කහ ඉර මතින්, ඉක්මනින් ම පාර මාරු වීම තමයි කළ යුතු හොඳ ම දේ… එයින් ඔබේ ආරක්ෂාවත් සැලසෙනවා. එ් වගේ ම ගමනාගමනායේ යෙදෙන බොහෝ දෙනාට සුවපහසුවත් සැලසෙනවා.

කුඩය සහ ජංගම දුරකථනය ගැනත් කථා නො කර ම බෑ. ජංගම දුරකථනයෙන් කථා කරමින් පාර මාරු වීම අපේ රටේ නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක්. සිහිය තිබෙන්නේ කථා බහ තුළ නිසා වේගයෙන් නළාව නාද කරමින් තමන්ගේ ඉඩ සකසාගෙන ගමන් කරන්නට කහ ඉරෙන් ඉක්මනින් ඉවත් වෙන්න කියා අණ දෙමින් ධාවනය වන වාහනයක තිරිංගය තද වෙන්නේ පාර මාරු වෙන කෙනාගේ සිරුර මත වෙන්නත් බැරිකමක් නෑ. එ් නිසා පාර මාරු වෙද්දිත්, මාර්ගයේ ගමන් කරද්දිත් ජංගම දුරකථනය භාවිත කිරීමෙන් වළකින එක හැම පැත්තෙන් ම ආරක්ෂාවක්.

කුඩය ගැන නම් ප‍්‍රශ්න මතු වෙන්නේ කාන්තාවන්ට. අව්වටත්. වැස්සටත් එක සේ ම ඔසවන කුඩය ඔබ ගෙන යන ආකාරය අනුව ඔබ සමීපයෙන් ගමන් කරන පිරිස වතුරෙන් නැහැවෙන්නට හෝ කුඩය සිරුරේ වැදීමෙන් පීඩාවට පත් වන්නට පුළුවන්. එනිසා ඔබේ පහසුවට ඉසලන කුඩය අන් අයට අපහසුවක් ඇති නො කරන බවට ඔබ වග බලා ගත යුතු වනවා.

ඔබ රියදුරෙක් වුණත්, මගියෙක් වුණත්, පදිකයෙක් වුණත්…

සියලූ ආරක්ෂක ක‍්‍රමවේද අනුගමනය කරමින් අපි පාරේ ගමන් කළත් විනයත්, සංයමයත් නැති අන්‍යයෙක් නිසා අප අනතුරකට මුහුණ දෙන්න බැරිකමක් නෑ. අන්න එ් නිසා සිහි නුවණ රැකගෙන සිටින ඉරියව්වේ සිටීම බොහොම වැදගත්. හදිසියේ වන අනතුරකින් වුණත් අපේ මරණය සිදුවන්නට පුළුවන්. එවන් මරණයක දී වුණත් සිහි නුවණ රැක ගන්න අප සමත් වුණොත් තමයි අප ආරක්ෂාව සලසා ගත්තා වන්නේ.

භාවිත මෙත් සිතින් ම ගමනේ යෙදෙන්නට හැකි නම් අපෙන් අන්‍යයන්ට වන පීඩාවන් අවම කරන්නටත්, ධාර්මික ආරක්ෂාව සලසා ගන්නටත් හේතු සැකසෙනවා. එ් නිසා, මහ පාරේ ගමන් කරන කවර මොහොතක වුණත් පින් සිත, කුසල් සිත නො නසා රැකගෙන ඉන්න එක ම තමයි වටින්නේ…

මහාමේඝ 2016 දුරුතු කලාපය
WWW.MAHAMEGHA.LK

සටහන
උදුලා පද්මාවතී