මේ ලෝකයේ වැඩිපුර ම ඉන්නේ වර්තමානය එ් අයුරින් ම දකිමින් ජීවත් වෙන මිනිස්සු ද? නැති නම් අනාගතය ගැන සිහින මවන මිනිස්සු ද? එහෙමත් නැති නම් අතීතය ගැන මතක් කරන මිනිස්සු ද? කියන ප‍්‍රශ්නයට දෙන්න වෙන උත්තරේ තමයි ‘‘මේ ලෝකයේ වැඩිපුර ම ඉන්නේ අතීතය ගැන මතක් කරන මිනිස්සු…” කියන එක. සාමාන්‍ය ලෝකයා දකින, අසන, ආඝ‍්‍රාණය කරන, රස විඳින, පහස විඳින, සිතන හැම දෙයක ම යම් කොණක් අතීතයේ එක්තරා විඳීමකට සමපාත වනවා. පෙර වූ දෙයක් අනුසාරයෙන් තමයි වර්තමානයත්, අනාගතයත් දකින්නට ලෝකය උත්සුක වෙන්නේ. එවන් ලෝකයකට පෙරවදනක් වෙනුවට පසුවදනක් ම තැබීම වඩාත් සුදුසුයි කියලා අපට සිතුණ නිසයි ශ්‍රී ලාංකිකයන්ගේ ජාතික නිදහස් දිනයටත්, ලෝකයේ ආදරවන්තයන්ගේ දිනයටත් පසුව මහාමේඝ පුවත් සඟරාවට මේ ලිපිය ඇතුළත් වන්නේ.

එකිනෙකට කිසි ම සම්බන්ධයක් නැති බව බැලූ බැල්මට පෙනුනට මේ පසුවදනට ප‍්‍රස්තුත කාරණා දෙක ම සෑම පෙබරවාරි මාසයක ම අපේ රටේ සන්නිවේදන මාධ්‍යයන් බහුතරයක් තුළ වැඩි ම ඉඩක් වෙන් කර ගන්නා කාරණා වීම අතින් යම් සමාන බවකුත් තිබෙනවා. නිදහසටත්, වැලන්ටයින්ටත් වෙන් කෙරුණු පෙරවදන්  ඕනෑ තරම් ඔබට මුණගැසෙන්නට ඇති. එ් හැම මුණගැසීමක ම ඔබට සිහිපත් කෙරුණේ දිනූ නිදහස රැක ගැනීමත්, සැබෑ ආදරයත් මොන තරම් වටිනවා ද කියන කාරණය. ඉතිහාස පුවත් එකින් එක මතක් කරමින් නිදහස සමරපු මේ රටින් වගේ ම අවුරුද්දේ මේ එක ම එක දවසක ආදරය මහා වස්තුවක් සේ සලකපු ආදරවන්තයන්ගෙන් අසන්නට දෙයක් අපටත් තිබෙනවා. ඔබ කළ දේ හරි ද කියන ප‍්‍රශ්නය අපි ඔබෙන් අසන්නේ නැහැ. එහෙත්… ඔබ කළේ හරි ම දේ ද කියන ප‍්‍රශ්නය අපි ඔබෙන් අසනවා.

නිදහස… විජාතික පාලනයකින් අබිබවා ජාතික බලවේගයක් ලෙස එක් ව අප නිදහස වෙත පැමිණි ගමන් මඟ කථා කළ පමණින් හෝ, එ් නිදහස් සටනේ දිවි පරදුවට තබා රට ජාතිය වෙනුවෙන් ඇප කැප වූ ජාතික වීරයන් ගැන කථා කළ පමණින් හෝ, නිදහස් රටක් ආර්ථික සමෘද්ධිමත් භාවය කරා ගෙන යන පිඹුරුපත් ගැන විග‍්‍රහ කළ පමණින් හෝ, එදා දිනූ නිදහස අද වන විට පාවා දී ඇති බවට චෝදනා කිරීමෙන් හෝ, නිදහසේ සැබෑ ඵල අප නො ලද බවට දොස් නැගීමෙන් හෝ සැබෑ නිදහස අරුත් ගැන්වෙනව ද?
ආදරය… ඉෂ්ට කාන්ත ප‍්‍රියමනාප වචනවලින් කථා කළ පමණින් හෝ, කෙසේ හෝ සපයාගත් මුදලින් ත්‍යාගයක් රැගෙන පිරිනැමීමෙන් හෝ, එක්ව හිඳ අල්ලාප සල්ලාපයේ යෙදීමෙන් හෝ, අතේ තැබූ විට ගසේ තිබිය දී තිබූ නැවුම් බවට ද හානි පැමිණෙන සුලූ රතු රෝස මල් ඉලක්කම්වලින් ලැබූ අගයන්ගෙන් හුවමාරු කර ගැනීමෙන් හෝ සැබෑ ආදරය අරුත් ගැන්වෙනව ද?

මේ කාරණා එසේ ම සිදු වූවා නම් අපට සෑම වසරක් පාසා ම යළි යළිත් ‘රැක ගැනීමේ සහ පවත්වා ගැනීමේ’ වැදගත්කම ගැන සිහිපත් කරන්නට සිදු වන්නේ නැහැ. අමුතුවෙන් සිහි කැඳවීම් නො කළ යුතු තරමට ම ජීවිත හා බද්ධ වූ සැබෑ නිදහසක්, සැබෑ ආදරයක් අත්විඳින්නට අපට හැකි විය යුතුයි. නමත් මේ වන තෙක් අපට එ් නිදහසවත්, ආදරයවත් හිමි වී නෑ. අදටත් අපි නිදහස අහිමි, අනාදරයට පත් ජාතියක්… ඔබත් මාත් තවමත් සිටින්නේ නිදහසක් නො ලද, අනාදරයට පත් මිනිසුන් ලෙස…

බැලූ බැල්මට නිදහසත්, ආදරයත් අතර සම්බන්ධයක් නැති වුණත් ඇත්තට ම සැබෑ නිදහස කෙනෙකුට ලැබෙන්නේ සැබෑ ආදරයක් නිසා ම යි. රටට ආදරය කළ මිනිසුන් රට වෙනුවෙන් දිවි පුදා දිනූ එක්තරා නිදහසක් තමයි අපි පෙබරවාරි 04 වනදා සිහිපත් කරනු ලැබුවේ. එ් මිනිසුන් රටට ආදරය නො කළා නම් අප දිනූ නිදහස සනිටුහන් වන්නේ යටත්විජිතකරණයට එරෙහි වෙමින් රට රටවල ස්වෛරී භාවය ආරක්ෂා විය යුතු බව සිතමින් ලෝකයට ආදරය කරන ලෝකවාසීන්ගේ නාමය ඉදිරියෙන්. නමුත්, රටට ආදරය කළ මිනිසුන් මේ බිමේ බිහි වූ නිසාවෙන් පෙබරවාරියේ අප සමරන නිදහස අපේ ම මිනිසුන්ගේ මතකයන් යළි සිහි ගන්වන්නක් බවට පත් වුණා.

අපි නිදහස් රටක්… එ්ත්, අපි ප‍්‍රශ්න නැති රටක් නෙමෙයි. දුක් පීඩා නැති රටක් නෙමෙයි. භය සංකා නැති රටක් නෙමෙයි. රට දිනූ මේ නිදහස යම් ම මොහොතක අප වෙනත් රටක පාලනයට නතු වීමෙන් අහිමි වෙනවා. එ් වගේ ම අප නිදහස් රටක් වූවා කියා මේ රට පාලනය කරන පාලකයන් අප සියල්ලන්ගේ නියෝජිතයන් ලෙස අප පිළිගන්නේ නෑ. අපට තිබෙනවා පක්ෂ පාට. අපට තිබෙනවා ජාතිය පිළිබඳ දෘෂ්ටි. අපට තිබෙනවා නොයෙක් මතයන්. එ් නිසා යම් පිරිසකට රටේ පාලනය මහා යහපතක් වගේ පෙනෙද්දි තවත් පිරිසකට එය එදා මෙදාතුර වුණ ලොකු ම විපත ලෙසින් පෙනී යනවා. ඇතැම් විට අප ව පාලනය කරන්නේ එක් එක් ජනමාධ්‍යයන්ගේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂවරු දරන මතය මගින්. ඉතින් කොහොම ද අපි නිදහස් මිනිසුන් වන්නේ?

අවුරුදු පතා නිදහස සමරන රටක කිසි ම නිදහසක් නැති මිනිසුන් ලෙස ජීවත් වන්න සිදු වීම කවුරු නම් සතුටු වෙයි ද? නිදහසක් නැතත් අපට විවේකය ඇති කරවන ආදරයක් හිමි නම් එ් ගැන සතුටු වෙන්න තිබුණා. එ්ත් අපි ආදරය කරන දේවල්, අපි ආදරය කරන පිරිස් අපේ නිදහස, විවේකය විතරක් නෙමෙයි; නිදහස විවේකය වෙත යන ගමනත් වළක්වනවා.

දුක් පීඩා කරදර උපදවන ජීවිතයෙන් මඳක් හෝ වෙන් වෙලා හුදෙකලාවේ හිඳින්න ඔබ උත්සාහ කළොත් එයට මුලින් ම සහ වැඩියෙන් ම විරෝධතාවය දක්වන්නේ ඔබේ සමීප පිරිස්. ඔය කාරණයට ඔබ ඇතැම් විට එකඟ නො වේවි… කාර්යබහුල ජීවිතයට මඳ විරාමයක් තබලා පොහොය දවසට උපෝසථ සමාදන් වෙන්න, පින්කම්වලට සම්බන්ධ වෙන්න අනුග‍්‍රහ දක්වන, ඇප උපකාර කරන පිරිසක් ඔබ සමීපයේ සිටින්න පුළුවන්. එ් නිසා ඔබ කියාවි ‘‘මට නම් සිටින්නේ හුදෙකලා විවේකයට උපකාර කරන ආදරණීය පිරිසක්” කියලා. ඔවුන් ඔබට ආදරය කරන්නේ නැහැ කියා අපත් කියන්නේ නැහැ. එ්ත් ඔවුන්ගේ ආදරය සීමා සහිතයි. ඇතැම් විට එ් සීමාව උපෝසථ දිනයේ සීල සමාදානය වන්නට පුළුවන්. නැති නම් සති භාවනාවක් වන්නට පුළුවන්. හැබැයි, ගිහි ගෙයින් නික්මෙන්න ඔබ උත්සාහ කළොත්…! සසරින් නික්ම යන්නට ඔබ උත්සාහ කළොත්…! එ් ආදරය ම ඔබ ව වළක්වන්න වෑයම් නො කරාවි ද?

අපි හැමෝ ම ඇවිද ආවේ කෙළවරක් දකින්නට බැරි, අපමණ දුක් ඇති ඛේදනීය සසර ගමනක බව අසද්දි, කියවන්න ලැබෙද්දි ‘අනේ මගේ සතුරන්ට ද සියලූ දුක් නිවන මේ දහම ම අසන්න ලැබේවා…!’ කියා අපමණ ආදරයකින් ලෝකය දකින්න හැකි වුණේ කාට ද? දුකින් නිදහස් වෙන්න හිතුණා, සසර ගමන නවතන්නත් හිතුණා, හැබැයි මේ ජීවිතයේ අල්ලා ගත්ත දේවල් අත්හරින්න අපට හිතුණෙ නෑ. එ් වගේ ම යි, මේ ජීවිතයේ අපි අල්ලා ගත්ත දේවල් අපිට කවදාවත් කිව්වේ නෑ ‘‘අනේ තවත් නම් මේ සසරේ යන්න එපා. තවත් ප‍්‍රමාද වෙන්න එපා. ඉපදි ඉපදි මැරි මැරී යන මේ ගමනින් නිදහස් වෙන්න උත්සාහ කරන්න.” කියලා. නො කිව්වා විතරක් නෙමෙයි; එහෙම කරන්න  ඕනෑ කියලා අපි යම් මොහොතක කිව්වා නම් හිස ගිනි ගත්තා වගෙ කලබලත් වුණා…

හැබැයි කලාතුරකින් වුණත් ලෝකයට පහළ වෙනවා සියලූ ලොවට එක සේ ම ආදරය කරන, සැබෑ ලෙසින් ම ආදරය කරන උතුම් මනුෂ්‍ය රත්නයන්. එ් උතුම් මිනිසුන් ලෝකය විඳින දුක දකිනවා. එ් දුක නසන මඟ සොයනවා. දුකේ හේතු නසමින් දුකිනුත්, දුකින් පිරි සසරිනුත් සදහට ම නිදහස් වෙනවා. එ් විමුක්තියේ මාවත ලෝ සත වෙත පිරිසිදු ව ම විවෘත කරවනවා. එ් මිනිසුන් එතෙර වෙනවා. එතෙර වෙන්න ලෝකයට මඟ කියනවා. එ් නිදහස ලෝකයේ අසමසම යි. එ් ආදරයත් ලෝකයේ අසමසම යි.

එවන් අසමසම ආදරයක් නිසා ලොවට ප‍්‍රකට වුණු අසමසම නිදහස විමුක්තියේ ධජ දරා ගත් සම්බුද්ධ රාජ්‍යයක පුරවැසියන් අපි. අපි අපට ආදරෙයි නම්, අපි නිදහස ලබන්න කැමති නම් ගමන් කළ යුත්තේ එ් සුගත ප‍්‍රතිපදාවේ. යම් කෙනෙකුට අපි ආදරෙයි නම්, එ් අයගේ නිදහස අපි කැමති නම් ඔවුන්ට විවර කළ යුතු වන්නේත් මේ සුගත ප‍්‍රතිපදාව.
සිහි කර ගන්න සියලූ ලොවෙන් නිදහස් වූ එ් මුනිඳුන්ගේ භාෂිතය. ‘‘ඔබ යමෙකුට ආදරෙයි නම් ඔවුන් තිසරණයේ සමාදන් කරවන්න. ඔවුන් සීලයේ සමාදන් කරවන්න.” එ් තමයි ලොවට සැබෑවට ම ආදරය කරන අයුර. පෙබරවාරි දාහතරවනදාට පමණක් නෙමෙයි; හැමදාට ම, හැම මොහොතට ම.

එ් ආදරයෙන් ඵල ලැබුවොත් යම් අයෙක්, එ් පිරිස් නිසැකයෙන් ම සැබෑ නිදහස ලබනවා ම යි. මොකද, යම් කෙනෙක් මේ දහම් මෙඟ් ආරම්භයට පැමිණියොත් එ් කෙනා එ්කාන්තයෙන් ම එහි කෙළවරටත් පැමිණෙන නිසා…

එ් සැබෑ ආදරයත්, සැබෑ ම නිදහසත් අපට අහිමි නො වේවා!

මහාමේඝ 2016 නවම් කලාපය
WWW.MAHAMEGHA.LK

සටහන
උදුලා පද්මාවතී