චාතුම්මහාරජික දෙව්ලොව යක්ෂයන්ට අධිපති වූ වෛශ‍්‍රවණ දිව්‍යරාජයා මේ ගමන් කරන්නේ වැදගත් රාජකාරි කටයුත්තක් පිණිස ය. තම සුවිශාල යක්ෂ පිරිවර සේනාව අතර වෛශ‍්‍රවණ දෙවියන් තේජාන්විත බවෙනුත්, ආනුභාවයෙනුත් බබළයි. හදිසියේ ම ලැබුණු පණිඩිඩයක් හේතු කරගෙනයි උතුරු දිශාවේ සිට දකුණු දිශාවට පිරිවර සේනා සහිත වෙසමුණි දෙව්රජු මේ ගමන් කරමින් සිටින්නේ.

සැබැවින්ම මේ දඹදිව් තලය අතිශයින් ම රමණීය වූවකි. එ් සොභා සෞන්දර්යය රිසි සේ විඳිමින් අහස් ගමනකයි මේ දිව්‍ය පිරිස යෙදී සිටින්නේ. දැන් ඔවුන් මේ පැමිණෙන්නේ සීතවනය දෙසටයි. සීතවනය ගමෙන් බොහෝ දුරස් නො වූ; එහෙත් හුදෙකලා වාසයට සුදුසු වූ වනාන්තරයකි. විදහා ගත් අතුපතරින් සැඩ හිරු රැුස් වළකාලන දැවැන්ත වෘක්ෂයෝ මුළු සීතවනයට ම සිහිල් සෙවණ නො අඩුව සලසාලයි. මේ සොඳුරු වනපියසට ඉහළින් ගමන් කරමින් සිටි වෛශ‍්‍රවණ දිව්‍යරාජයාට නිරායාසයෙන් ම තමන් සරණ ගිය ශාස්තෘන් වහන්සේ සිහිපත් වන්නට විය.

‘මෙබඳු රමණීය වූ, අතිශයින් ම නිස්කලංක වූ, බණ භාවනාවට යෝග්‍ය වූ වන සෙනසුන් ඇසුරු කිරීමට අපගේ භාග්‍යවතුන් වහන්සේත් – එ් උතුම් ශ‍්‍රාවක සංඝයා වහන්සේලාත් අතිශයින් ම ප‍්‍රිය කරති. මේ වන පියසෙත් එ් උතුම් ශ‍්‍රාවකයන් වහන්සේලා වැඩ හිඳීමට පුළුවන. ඔව්! මා විසින් මඳක් විමසා බැලිය යුතුයි.’ මෙසේ සිතමින් වෛශ‍්‍රවණ දෙවියන් මහත් අවධානයෙන් යුතුව සීතවනයට ඉහළින් ගමන් කළේ ය.

වෛශ‍්‍රවණ දෙවියන් සතුටින් ඉල්පී ගියේ ය. හදවතින් ම සාදුකාරයක් පැන නැංගේ ය. අපේක්‍ෂා කළ පරිද්දෙන් ම තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවක භික්ෂූන් වහන්සේනමක් සිහිල් රුක් සෙවණක භාවනානුයෝගීව වැඩ සිටී. පළඟක් බැඳගෙන ඍජු කර ගත් කයින් යුක්තව වැඩ සිටින මේ ශ‍්‍රමණයන් වහන්සේ කවරෙක් ද?
රජගහ නුවර බ‍්‍රාහ්මණ මහාසාර කුලයක සිටු පුත‍්‍රයෙකු ලෙසයි මොහු උපත ලැබුවේ. සම්භූත යන නම් ලැබූ මේ සිටුපුත‍්‍රයා යොවුන් වියට එළබෙද්දී මැනැවින් සිප්-සතර හදාරා සිටියේ ය. මේ අතර ය ශාක්‍ය කුලයෙන් නික්මී සම්මා සම්බුද්ධත්වයට පත් වූ අංගීරස මුනිරජාණන් වහන්සේ රජගහ නුවරට වැඩම කොට වදාළේ. මිහිරි සුගන්ධයක් මෙන් එ් ගෞතම බුදුරජාණන් වහන්සේගේ කල්‍යාණ වූ කීර්ති රාවය රජගහ නුවර පුරා පැතිරී ගියේ ය. කුල භේදයකින් – වංශ භේදයකින් තොරව රජගහ නුවර වැසියෝ වනපියසට එක් රොක් වූයේ එ් ශාක්‍යයන්ගේ මහා මුනිරජුන් ව නෙත් පුරා දැකබලා ගනු පිණිස ය. එ් පිරිස අතරේ සිය හිතාදර මිතුරන් ද සමඟ සම්භුත තරුණයාත් පැමිණ සිටියේ ය.

අලාමක වූ මනස්කාන්ත රූපශ‍්‍රීයකි එ් සම්බුදුරජාණන් වහන්සේට තිබෙන්නේ්. ඊටත් වඩා එ් මුනිරජාණන්ගේ ගම්භීර ඤණය මනස්කාන්ත ය. එ් සම්බුදු ස්වරය තුරවීක කෙවිල්ලකගේ හඬටත් වඩා සුමිහිරි ය. සිංහරාජයෙකුගේ ගර්ජනාවටත් වඩා එ් හඬ තේජාන්විත ය. නො කැඞී ගලා හැලෙන සිහිල් නදියක් සේ එ් සම්බුදු මුවින් දහම් අර්ථ ගලා ගියේ ය. නුවණැති සම්භූත තරුණයාගේ සිත එ් දහම් දෙසුමට වසඟ විණි. කාමයන් පසුපස ම හඹා යමින්, කාමයන්ගෙන් ම සතුටු වන, කාමයන් අත්පත් කර ගැනීම පිණිස ම වෙහෙසෙන ජීවිතය ගැන ඔහු කලකිරුණි. අහස මෙන් නිදහස් වූ එ් උතුම් පැවිදි බවට ම කැමැත්ත ඇති විණි.

තම දෙමාපියන්ගේ අවසරය ලැබූ සම්භූත තරුණයා භුමිජ, ජෙය්‍යසේන හා අභිරාධන යන සිය මිතුරන් සමග සම්බුදු සසුනේ පැවිදි බවත් උපසම්පදාවත් ලබා ගත්තේ ය. ශාස්තෘන් වහන්සේ සමීපයේ හොඳින් ධර්ම විනය හැදෑරූ සම්භූත තෙරුන් වහන්සේ හුදෙකලාවේ වාසය කිරීම පිණිස තෝරා ගත්තේ මේ සීතවනයයි. දැන් උන් වහන්සේ මෙහි වැඩම කොට බොහෝ කලක් ගත වී තිබේ. දීර්ඝ කාලයක් සීතවනයේ ම වාසය කළ බැවින් දැන් සහෝදර ස්වාමීන් වහන්සේලා උන් වහන්සේට ආමන්ත‍්‍රණය කරන්නේ ද ”ආයුෂ්මත් සීතවනීය තෙරුන් වහන්සේ” ලෙසයි.

මේ රුක් සෙවණේ බවුන් වඩන්නේ එ් සීතවනීය තෙරුන් වහන්සේ ය. අහස් ගමන නවතා වෙසමුණි දෙව්රජු ඇතුළු පිරිස රුක් සෙවණ අසලට පැමිණියෝ ය. ගැඹුරු සමාධියකින් විඳින උතුම් සැපය එ් සීතවනීය තෙරුන්ගේ කාන්තිමත් වී ගිය මුහුණින් බාහිරට ද ප‍්‍රකට විණි. ‘මේ තෙරුණුවෝ කවර නිමිත්තක ද සිත සමාධිගත කරගෙන සිටින්නේ?’ වෛශ‍්‍රවණ දෙවියන් තම සිතින් සීතවනීය තෙරුන්ගේ සිත පිරිසිඳ බැලූවේ ය. කායගතාසති භාවනා අරමුණක් තුළ හොඳින් සිත එකඟ කරගෙන ය මේ උතුම් ශ‍්‍රමණයන් වහන්සේ වැඩ සිටින්නේ. කාමයන්ගෙන් ම සතුටුවන ලෝ සතුන් අතරේ කාමාශාව බැහැර කොට හුදෙකලාවෙන් සතුටු වන මෙබඳු ශ‍්‍රමණයන් වහන්සේලා දැකගැනීමට ලැබීමත් කොතරම් භාග්‍යයක් ද?

එක් දණ මඬලක් බිම තබා ෙදාහොත් මුදුන් දී වෛශ‍්‍රවණ දිව්‍යරාජයා සීතවනීය තෙරුන්ට වන්දනා කළේ ය. පිරිවර යක්ෂ සේනාව ද එ් දෙව්රජුන් අනුගමනය කළෝ ය. අනතුරුව තම පුත‍්‍ර තනතුරේ සිටි යක්ෂයන් දෙදෙනෙකු අමතා, ”ප‍්‍රිය දරුවනේ, මේ ශ‍්‍රමණයන් වහන්සේ භාවනාවෙන් නැඟී සිටි පසු මාගේ වචනයෙන් වන්දනා කරව්! මේ වනයේ මිසදිටු ගත් අමනුෂ්‍යයෝ සිටිය හැක. උන් මේ ශ‍්‍රමණයන් හට හිරිහැර කිරීමට ද පුළුවන. එනිසා මේ ශ‍්‍රමණයාණන් වහන්සේ තම පැවිදි කිස සම්පූර්ණ කරන තුරු උන් වහන්සේට ආරක්ෂාව ද සලසව්!” යයි පැවසුවේ ය. යළිත් අහසට නැගුණු වෛශ‍්‍රවණ දිව්‍යරාජයා ඇතුළු පිරිස දකුණු දිශාව බලා ගමන් කළෝ ය.

සීතවනීය තෙරුන් වහන්සේ සමාධියෙන් නැඟී සිට දෙනෙත් විවර කළහ. තමන් වහන්සේ දෙපස ආනුභාවසම්පන්න යක්ෂයන් දෙදෙනෙක් සිටගෙන සිටී. ඔවුන් ඉක්මනින් ම තෙරුන් වහන්සේට වන්දනා කළෝ ය.

‘‘ස්වාමීනී, යක්ෂයන්ට අධිපති වූ කුවේර නම් වූ වෙසමුණි දෙව්රජුන් ඔබ වහන්සේ ව වන්දනා කරනවා.”

සීතවනීය තෙරුන් වහන්සේ එ් යක්ෂයන්ගෙන් මෙසේ විමසූහ.

‘‘ඉතින් ඔබලා කුමක් ද මෙහි රැඳී සිටිමින් කරන්නේ?”

එ් යක්ෂයෝ ගෞරවයෙන් පිළිතුරු දුන්නෝ ය.

‘‘නුඹ වහන්සේ උතුම් වූ පැවිදි කිස සම්පූර්ණ කර ගන්නා තෙක් අපට ආරක්ෂාව සලසන්න කියා වෙසමුණි දෙවියන් අණ කළා.”

සීතවනීය තෙරුන් වහන්සේ මහත් සේ සංවේගයට පත් විය. ‘අහෝ! මාගේ පැවිදි කිස සම්පූර්ණ කර ගැනීම ගැන සැදැහැති දෙවිවරුන් උනන්දු වෙනවා. එහෙත් බාහිරින් රැුකවල් සලසා මේ සිඳී බිඳී යන කය නම් රැකිය හැක. මේ සිත රැුකිීමේ ආරක්ෂකයා නම් සිහියයි. එනිසා බාහිර රැුකවල් ලැබීම තථාගත ශ‍්‍රාවක වූ අපට මහා නින්දාවකි. මා තව තවත් අප‍්‍රමාදී විය යුතු ය.’ එ් යක්ෂයන් ඇමතූ තෙරණුවෝ මෙසේ පැවසූහ.

‘‘එම්බා යක්ෂයනි, ඔබලාගේ ආරක්ෂාව මා හට අවශ්‍ය නො වේ. සම්බුදු රජුන්ගේ ශ‍්‍රාවකයන්ට ‘සති ආරක්ෂා’ නම් රැුකවරණය ප‍්‍රමාණවත් ය. මා මෙසේ පැවසූ බව එ් වෙසමුණි දෙවිරජුට පවසන්න.”

සීතවනීය තෙරුන් වහන්සේ යළිත් කායගතා සතිය තුළ සිත සමාධිගත කර ගත්හ. එ් සමාධියේ පිහිටා විදර්ශනා ප‍්‍රඥව දියුණු කළහ. එ් සිතේ තිබූ සියලූ කෙලෙස්, සියලූ ආශ‍්‍රව, සියලූ තණ්හා සම්පූර්ණයෙන් ම ක්ෂය වී ගියේ ය. දැන් මේ රුක් සෙවණේ වැඩ සිටින්නේ පුනර්භවය නැති කළ රහතන් වහන්සේනමකි. එ් උතුම් වූ නිවන් සැපයට වඩා ශාන්ත වූත් – ප‍්‍රණීත වූත් සැපයක් නැත. දැන් මේ සීතවනීය මහ රහතන් වහන්සේ සිතු සිතු අයුරින් වළඳන්නේ එ් අමා නිවන් රසයයි!

‘යමෙක් පිළිවෙතින් යුතු වෙද –
මනසින් දැඩිකොට
නික්මෙන හැම කෙලෙසුන්ගෙන් – බුදුසසුනෙහි සිට
එ් උතුමන් පැමිණිය පසු –
සුන්දර නිවනට
වළඳති සුව සේ නිවන ම –
සිතු සිතු විලසට
මෙය බුදු පිරිසෙහි පවතින –
උතුම් ම මැණිකකි
සැබෑ බසින් මෙම –
සෙත සැලසේවා!’
(රතන සූත‍්‍රය)

සීතවනීය තෙරුන්ගේ ප‍්‍රකාශය ඇසු වෙසමුණි දෙව්රජු සලිත වී ගියේය. ‘අසිරියෙකි! මේ සම්බුදු ශ‍්‍රාවක උතුමන් කෙතරම් නිර්භීත පිරිසක් ද? නිරහංකාර පිරිසක් ද? උන් වහන්සේලා බුදුරජුන්ගේ ධර්මය ම දායාද කරගෙන ධර්මයට ම සත්කාර කරමින් නේ ද මේ වැඩ සිටින්නේ? සාදු! සාදු! එබඳු මහෝත්තමයන් ඇසුරු කිරීම ලාභයක් ම යි.’ ඉක්මනින් ම වෛශ‍්‍රවණ දෙව්රජු සීතවනය බලා පැමිණියේ ය. එහෙත් එ් මොහොතෙන් තෙරුන් වහන්සේ වැඩසිටින්නේ භාවනාවෙනි.

එනමුත් මීට පෙර දුටුවාට වඩා එ් මුහුණ කාන්තිමත් ය. ඉඳුරන් ද ප‍්‍රසන්න ය. ‘කුමක් ද මේ තෙරුන්ගේ භාවනා නිමිත්ත?’ වෙසමුණි දෙවියන් තම සිතින් තෙරුන් වහන්සේගේ සිත විමසන්නට මහන්සි ගත්තේ ය. එහෙත් පුදුමයකි! උන් වහන්සේගේ භාවනා අරමුණ වෙසමුණි දෙවියන්ට ද වටහා ගැනීමට නො හැකි විය. වෙසමුණි දිව්‍යරාජයා මහත් සේ සතුටට පත් විය. දැන් මේ වැඩ සිටින්නේ නිකෙලෙස් මුනිවරයෙකි. මෙබඳු රහතුන් දැකගැනීමත්, වන්දනා කිරීමත් කොතරම් දුර්ලභ ලැබීමක් ද?

සීතවනීය තෙරුන් හට වන්දනා කළ වෙසමුණි දිව්‍යරාජයා සීතවනයෙන් නික්මී සැවැත් නුවර දෙව්රම් වෙහෙරේ භාග්‍යවතුන් වහන්සේ සමීපයට පැමිණියේ ය. එ් තුන්ලෝකාග‍්‍ර වූ සම්බුදුරජාණන් වහන්සේට ආදරයෙන් වන්දනා කළ වෛශ‍්‍රවණ දෙව්රජ තෙමේ සිතේ හට ගත් ප‍්‍රීතියෙන් යුතුව මෙසේ පැවසුවේ ය.

‘‘සති ආරක්ඛ සම්පන්නෝ –
ධිතිමා විරිය සමාහිතෝ
අනුජාතෝ සත්ථු සම්භූතෝ –
තේවිජ්ජෝ මච්චුපාරගූ”

‘‘සති ආරක්ෂාවෙන් සමන්විතව වැඩ සිටියා වූ ධෛර්යවන්ත – වීරියවන්ත – සමාහිත සිතක් ඇති ශාස්තෘන් වහන්සේගේ සම්භූත නම් අනුජාත පුත‍්‍රයාණෝ ත‍්‍රිවිද්‍යාවන් ලබාගෙන මාර විෂය ඉක්මවා ගියේ ය.”

බොහෝ වේලාවක් අමා නිවන් සුවයෙන් වැඩ සිටි එ් සීතවනීය මහ රහතන් වහන්සේ නුවන් යුග්මය විවර කළහ. නිවී ගිය සිතින් යුතුව එ් අරහත්වයේ නිරාමිස සැපය ගැන, මේ ලොව අග‍්‍ර ම සැපය ගැන උදාන ගාථාවක් උන් වහන්සේගේ මුවින් නිකුත් විණි.

‘‘එ් භික්ෂුව සීතවනයේ සිටින කෙනෙක්. වාසය කරන්නේ හුදෙකලාවේ ම යි. ඉතා ම සතුටින් කල් ගෙවන්නේ, කෙලෙස් සටනින් එයාට ජය ලැබුණා. ලොමුදහගැනීම් කිසිවක් නැති එ් නුවණැති භික්ෂූව කායගතාසතිය මැනැවින් රැුකගෙනයි ඉන්නේ.”

(සීතවනීය තෙරුන්ගේ ගාථා – ථේර ථේරී ගාථා)

සම්බුදු ළය මඬලින් උපන් අනුජාත පුත‍්‍ර වූ එ් උතුම් රහතන් වහන්සේලාට නමස්කාර වේවා!!!

මහාමේඝ 2015  දුරුතු කලාපය
WWW.MAHAMEGHA.LK

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසින් සම්පාදිතයි.