මිතුරන් වනාහී අප කා හටත් සම්පතකි. අයහපතින් අප මුදවා යහපතට යොදවන මිතුරා, අධර්මයෙන් අප මුදවා ධර්මයට අප යොමු කරවන මිතුරා කලණ මිතුරෙකි. එවන් මිතුරන් සසර තෙර තරණයට අපට උපකාර කරන්නෝ ය. බිනර නවමල් බණ්ඩාරගේ හිතමිතුරු අනන්ත ද එවැනි ම කලණ මිතුරෙක් ව සුවසේ දහම් මඟ පුරුදු කරන්නට බිනරට උපකාර වූ අයුර අපි කසාවත ලිපි පෙළින් කියවූවෙමු. කසාවතේ මේ දසවන දිග හැරුම අගතියෙන් මංමුළා වන ලෝකයේ සිහි නුවණ උපදවා ගනිමින් දහම් මඟ පිළිසරණ ලබන සුපින්වත් චරිතාපදානයක තතු අපට කියා පායි…!
——————————————————-

ඒ රාත‍්‍රිය බොහෝ සුන්දර විය. මෝදු වන පුරසඳ එළියෙන් එ්කාලෝක වූ තරු වියන යට සිට භගවත් මුනි රජුගේ ශ‍්‍රාවකයන් වහන්සේනමක් සමඟින් දහම් පිළිසඳරේ යෙදෙන්නට හැකි වීමෙන් මා ලබාගත් සැනසීම මෙතෙකැයි කියා නිම කළ නො හැකි ය.

අද දින පුණ්‍ය භූමිය පුරා විශාල සැදැහැවත් පිරිසක් එක් රොක් වී සිටියහ. දිනය පුරා ම පැවති පූර්ණ උපෝසථය සඳහා වෙන් වූ දහම් වැඩසටහන් රාශියක් ක‍්‍රියාත්මක විය. ගුරු දේවයන් වහන්සේගේ දේශනාවක් ද ශ‍්‍රවණය කිරීමට මා හට අවස්ථාවක් ලැබුණි. සජීවී ව උන් වහන්සේගේ ධර්ම දේශනාවක් ශ‍්‍රවණය කළේ ප‍්‍රථම වතාවට යි. එය ද මා ලද භාග්‍යයක් සේ හඟෙයි.

අසපු භූමියේ රැඳෙන්න රැඳෙන්න ගත සිත නිවී සැනසී යන බැවින් පුන් පොහෝ් දා රාත‍්‍රියේ ද නිවසට නොයා මෙහි ම නැවතීමට මම තීරණය කළෙමි. එ් සඳහා පින්වත් ස්වාමීන් වහන්සේලාගේ අවසරය ද ලැබිණ. සැබැවින් ම මා අද දින නවාතැන් ගැනීමට කළ තීරණය, මා දිවි මගේ වාසනාවන්ත පිටුවක් පෙරලාවි යැයි සිහිනෙකිනුදු නො සිතුවෙමි.
‘‘බිනර….! මහන්සි ඇති නේ ද…” දිනය පුරා ම විවිධ වත් පිළිවෙත්වල නිරත ව සිටි අනන්ත රාත‍්‍රි 8ට පමණ මා මුණ ගැසී සැප දුක් සොයා බැලීමට අමතක කළේ නැත. ඔහු මා සොයා පැමිණ මගේ සුව දුක් විමසා සිටියි.

‘‘එ් තරම් මහන්සියක් දැනෙන්නේ නැහැ අනන්ත. අපි ? තිස්සෙ ටි‍්‍රප් ගියා ම මීට වඩා තෙහෙට්ටුයි. අද නම් ලොකු සතුටකුත් තියෙනවා. එ් නිසා මහන්සියක් දැනෙන්නෙ නෑ. අනන්තට නම් අද වෙහෙස ඇති. සැදැහැවතුන් වෙනුවෙන් නො අඩු ව ජලය ලබා දීම පිණිස අද දවස ම අනන්තයි, තවත් මල්ලි කෙනෙකුයි මහන්සි වුණා කියල මට වත් ශාලාවේ ස්වාමීන් වහන්සේනමක් පැවසුවා. ඉතිං අනන්ත ගිහින් සැතපෙන්න. මට නං නිදිමතක් නෑ. පැයක් දෙකක් ඉඳලා හාන්සි වෙලා බලනවා…” ඉතා ම කරුණා සහගත සිතකින් යුුතු ව මා ප‍්‍රිය මිත‍්‍රයාගේ වෙහෙසකර මුහුණ දෙස බලමින් වචන ගළපා ගත්තෙමි.

‘‘මහන්සියට හොඳ ම බේත තමයි එ් අතරෙ ම තවත් පිනක් කර ගන්න එක! මහන්සිය කියන්නේ කයේ වියපත් වීම. වියපත් වෙන කයට පොහොර වැටෙන්නෙ විවේකයෙන් නෙවෙයිනෙ. තවත් පිනක් කර ගන්න එකෙන්. විවේකයෙන් වෙන්නෙ, වියපත් වූ කය තවත් පැය කීපයක් වියපත් කරවල අතීතයට ඇදල දාන එක යි. එහෙම නේ ද..?” මඳ සිනහවක් අතරින් ඇඟටත් නො දැනී අනන්ත එ් වචන ටික කියා දැම්මේ ය. මගේ සිරුර කිළිපොලා ගියේ ය. කොපමණ සත්‍යයක් ද එය..! මහන්සියක් දැනුන ම අපි කරන්නෙ පැයක් දෙකක් විවේක ගැනීම යි. ඉන් වෙහෙස නිවෙනවා පමණක් නො වේ, පැයක් දෙකක් ම කය තවත් වියපත් වන්නට දී අපේ ජීවිතය නිෂ්ඵල ලෙස අතීතයට ඇද දමන්නේ ය. ඔහු කී දේ වටහා ගනිමින් තීරණයක් ගත් මම නැගී සිටියෙමි.

‘‘මෙහෙම ඉඳල බෑ අනන්ත. මට දැන් පිනක් කර ගන්න ඕන…!” නැගිට සරම සකසා ගනිමින් මා පැවසුවේ අනන්ත පවසන ඕනෑ ම වතක් පිළිවෙතක් කිරීමට සූදානම් වූ සිතකින් ය.

‘‘මම බිනර හමු වෙලා යන ගමන් කන්දෙ කුටියකට යන්න හිටියේ තවත් අලූත් පිනක් කර ගන්න යි. එහෙනම් බිනරත් එන්න. අපි දෙන්න ම කරමු. හෙට අලූතෙන් වඩින වැඩිහිටි ස්වාමින් වහන්සේනමක් වෙනුවෙන් කුටියක් පවිත‍්‍ර කරල සූදානම් කරන්න තියෙනවා. අපි දෙන්න ම එකතු වුණොත් පැය දෙකක වැඩේ පැයෙන් කළ හැකි වේවි.”

ඉතා ම සතුටු සිතින් යුතු ව සිල් දිනයට හැඳි ඇඳුමෙන් ම මම අනන්ත සමඟින් පිය මැන්නෙමි. ධර්ම ශාලා පරිශ‍්‍රය අසලින් යා යුතු ව තිබූ කඳුකර මාවතක අපිළිවෙළින් තැනින් තැන ඉදි වී තිබූ පියගැටපෙළ තරණය කරමින් අපි ඇවිද ගියෙමු. සඳ එළියත්, විටින් විට හමන සුළඟත් නිසා එ් මාවතේ පැවති පාළු ගතිය තුරන් වී ඇති බවක් මා හට හැඟී ගියේ ය. කකුල් කෙඩෙත්තුව ඇතිවීමට ඔන්න මෙන්න තිබිය දී පියගැට අවසන් වී තැනිතලා පෙත් මඟකට අපි අවතීර්ණ වීමු. තවත් යා යුතු කඳුකර කොටසක් තිබුණ ද එක හුස්මට නැඟිය හැකි උපරිම උසක දී මෙම සමතල පෙත්මඟ සකසා තිබෙන්නේ තරණය කරන්නාගේ වෙහෙස ගමන තුළ දී ම නිවා ගැනීමට යැයි අතර මඟ දී අනන්ත පහදා දුන්නේ ය. දුර දිග නො බලා පඩි කපාගෙන නො ගොස් මෙසේ සිතා බලා මෙම කඳුකර මාවත පිළිසකර කිරීම කෙතරම් නම් මෛත‍්‍රී සහගත කායකර්මයක් දැයි මා හට සිහිපත් විය. කයට දැණුනු විඩාව සන්සිඳීමට ප‍්‍රමාණවත් දුරක් කන්ද වටා ගමන් කළ අප හට නැවත පියගැටපෙළක් හමු විය. එ් වන විටත් වෙහෙස සන්සිඳී තිබූ නිසා අලූත් පියගැට
නැ`ගීමට තරම් ශක්තියක් මා තුළ තිබුණි.

දෙදණ නවමින් දිග හරිමින් ගතවෙන තප්පරයක් පාසා මාගේ සිරුර මුහුදු මට්ටමෙන් ඉහළට යන්නේ ය. වෙහෙසක් දැණුනත් උත්සාහය අත් නො හරින සෑම මොහොතක ම මා ඉලක්කයට ළඟා වේ. පඩියක් නැඟීම ඉතා ම සුළු දෙයක් සේ පෙණුනත් එ් සුළු ක‍්‍රියාව බොහෝ වේලාවක් කිරීමෙන් පඩි දහස් ගාණක් ඇති ශ‍්‍රී පාද මුදුනට වුව ළඟා විය හැකි නො වේ ද! සැබැවින් ම මා විසින් ධර්ම මාර්ගයේ ගමන් කිරීමේ දී ද කළ යුත්තේ මෙය ම නො වේ ද… ඉලක්කය කොතරම් දුර වුවත් වෙහෙස නො බලා අද කළ යුතු සුළු ප‍්‍රතිපදාව හෝ මේ මොහොතේ සිට කළ යුතු ය. එවන් වර්තමානයන් රාශියක් පසුකළ විට ඉලක්කය සාක්ෂාත් කරන වර්තමාන මොහොත අප කරා පැමිණේ. ඉදින් අප කළ යුත්තේ අත්නොහරින ලද උත්සාහයක්, වීර්යයක් සෑම මොහොතක ම රැුකගෙන අකුසලයන් දුරු කොට කුසලයක් උපදවාගෙන වැඩි දියුණු කර ගැනීම යි.

‘‘ඔන්න අපි කුටියට ආවා….” කඳු මුදුනේ ඇති කුටියක් අසල නැවතී එ් දෙසට පා තැබූ අනන්ත, මා දෙස නො බලා ම එසේ පවසමින්… කුටියේ ආලින්දයට ගොස් විදුලි ආලෝක දැල්වුයේ ය.

‘‘අතර මඟ එක කුටියක්වත් තිබුණෙ නෑ…”

‘‘මේ මාවත හදල තියෙන්නෙ මේ කුටියට ම යි බිනර…!” මා කී දෙයට අනන්ත ලබා දුන්නේ වෙනස් ම ආකාරයේ පිළිතුරකි. එ් පිළිබඳ ව ද මා සිතා බැලිය යුතු ය.

‘‘අපි ඉක්මනින් ම පටන් ගමු. මම වැසිකිළිය සහ පැන් පහසු වන කාමරය පිරිසිදු කරන්නම්. බිනර කාමරය ඇතුළේ සයනයත්, මේසයත් එක්ක ම කුටිය ඇතුළ පවිත‍්‍ර කරන්න. මේ කුටියේ මීට සති දෙකකට පෙර වැඩ සිටියේ භාවනාවට ම කැප වුණු හොඳින් සූත‍්‍ර විනය පිළිබඳ දැනුමක් තිබුණ ස්වාමීන් වහන්සේනමක්. මට දැනගන්නට ලැබුණු විදියට මේ කුටියේ වසර කිහිපයක් ම උන් වහන්සේ වැඩ සිට තිබෙනවා. එ් පින්වත් ස්වාමීන් වහන්සේ ඉදිරි තුන් මාසය ගත කිරීමට අපේ ම වෙනත් අසපුවකට වැඩම කළා. උන් වහන්සේ භාවිත කළ යමක් තිබුණොත් ප‍්‍රවේශමෙන් අර පේන කබඞ් එකට දාන්න. අවශ්‍ය වුණොත් මට කතා කරන්න…”

‘‘හොඳයි අනන්ත. මම එහෙම කරන්නම්…”

පෙනෙන තරම ට පවිත‍්‍ර කිරීමට තරම් දෙයක් නො තිබුණ බැවින් කාමරය ඉතා ම ඉක්මනින් අතු ගා දුහුවිලි ඉවත් කිරීමටත්, ඇඳ පුටු මේස පවිත‍්‍ර කිරීමටත් මා හට හැකි විය. ඉන් පසු මා හට ඉතිරි වූයේ උන් වහන්සේ භාවිත කළ ලියන මේසය පිළිවෙළට සැකසීම යි.

එම මේසය මත තිබුණේ සූත‍්‍ර පාඨ ලියූ කඩදාසි කිහිපයක් සහ ලියන පොත් රාශියකි. සිතෙහි ඇති වූ කුහුල නිසා අතට හසු වූ සෑම කඩදාසියක ම යටත් පිරිසෙයින් එක වදනක් හෝ කියවා නො බලා පසෙකින් තැබීමට මා හට නො හැකි විය. එ් සෑම පිටුවක ම සෑම පොතක ම වූයේ කුමක් හෝ ධර්ම පාඨ ගොන්නකි. පොතෙන් පොත, කඩදාසියෙන් කඩදාසිය සීරුවෙන් අස්පස් කරගෙන යද්දී ඉතා ම පුදුම සහගත වදනක් මාගේ දෙනෙතේ පතිත විය.

‘තුඹස කැඞීම’ පිටු අසූවක පමණ පොතක පිටකවරයේ ලියා තිබූ මාතෘකාවකි. පාසැලේ දී, විද්‍යාව ගණිතය ලෙසින් පිටකවරයේ ලියා ඇත්තාක් මෙන් පමණටත් වඩා විශාල අකුරෙන් කිසිදු මෝස්තරයකින් තොර ව එය ලියා තිබිණ. එ් වදන් පෙළ මසිත පැහැර ගැනීමට කොයි තරම් නම් සමත් වූයේ ද යත්, මා විසින් මෙතෙක් වේලා සම්පූර්ණ කරමින් සිටි කාර්යය පවා අමතක වී ගියේ ය.

පිටුවෙන් පිටුව පෙරලූවෙමි. මසිත, වර්තමානයෙන් අතුරුදහන් විය. කිසිදා නො විඳි නො දුටු ලෝකයක තනි වූ හුදෙකලා භික්ෂුවකගේ සිතක් තුළ දැන් මා සැරි සරන්නේ ය.

සටහන 01
අද පිණ්ඩපාතෙ වැඩම කළෙමි. අස්වැන්න පීදී කරල්බර වූ ගොයමක් දුටුවෙමි. මඳක් එ් දෙස බලා සිටියෙමි. කාත් කවුරුත් දුටුවත් මොකද! මා සිහි කළේ එ් අස්වැන්නේ යථා ස්වභාවය යි. මේරීමෙන් කරල් සමඟින් බර වූ වී ඇට, දිනෙක බතක් සකසනු ඇත. වී ඇටය සහල් ඇටයක් වී බත් ඇටයක් වූ විට ආයුෂය දවසකටත් වඩා අඩු වේ. ආයුෂය අඩු වූ මේ ගොයමෙන් ජනිත වූ අස්වැන්නේ බත් පිඬු මිනිසුන් සිය දහස් ගණනකගේ කුස පුරවනු ඇත.

ගොයමේ ද අටුවේ ද හැළියේ ද පරණ වී නැසී වැනසී යන මේ සහල් ඇට කා, තරවන කෙස්, මස්, අවයව, ඇටකටු විනාශ වී යාම අහන්නත් දෙයක් ද! විනාශ වී යන දෙයක් සකසන්නට මම ද ආහාර ගනිමි. මා ආහාර ගන්නේ වැනසෙන දෙයක් සකසන්නට ම ද…? නැත. මා ආහාර ගන්නේ, දුකෙන් නිදහස් වීම උදෙසා සුගති දිවියක් අවශ්‍ය නිසාවෙනි. ක්ෂණ සම්පත්තිය රැුකගෙන සිටීම වෙනුවෙනි. එසේ නො වේ නම්, මේ පිඬු සිඟා යාම නිරර්ථක ය. සිදුරු සහිත පාත‍්‍රයකින් පැන් ගෙන එන්නා සේ ය. මේ වෙහෙස අපතේ නො යන්නට මා මේ ගමන පුරාවට ම සිහි නුවණින් සිටිය යුතු යි. දිරා බැහැර වන ආහාරය දිරා යත්වා… මාගේ සිත සිහි නුවණේ රැුඳේ නම්… එ් ආහාරය මට කුමක් කරන්න ද!

සටහන 02
කාමච්ඡුන්දය බලවත් ව පැන නඟී. සක්මනේ ද මා හුදෙකලා නැත. කවුරුන් ද මේ රූප පෙන්වන්නේ… කවුරුන් ද මේ සිත තුළ සැඟවී කතා කියන්නේ. සක්මන් මළුවේ ඉඩ ඇත්තේ එ්කාත්මික සිතකට යි. දුවන සිත අද නම් කුසලයේ තැන්පත් නො වේ.

සටහන 03
කාමච්ඡන්දය පිළිබඳ වූ සූත‍්‍ර කිහිපයක් කියැවීමි. ප‍්‍රශ්නයත් උත්තරයත් හමු විය. ක‍්‍රියාත්මක කිරීම උදෙසා බුදුරජුන් කෙරෙහි වූ ශ‍්‍රද්ධාව උපකාරී කර ගන්නෙමි. මසිතේ පවතින අධිෂ්ඨානය උපකාරී කර ගන්නෙමි. වීර්යය ද ඊට සහය වනු ඇත. මා කළ යුත්තේ ප‍්‍රිය අප‍්‍රිය සියලූ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, සිතිවිලිවලට පවතින කැමැත්ත නැතිකර ගැනීම යි. එවිට මාගේ සිත එ් කෙරෙහි ඇදී නො යනු ඇත. යමකට ඡුන්දයක් නැත්නම්, එ් දෙසට ඇදී යන්නේ මක් නිසා ද! බුද්ධානුස්සති, මෛත‍්‍රිය, අසුභය සහ මරණසතිය බහුල වශයෙන් වැඞීමට සිතුවෙමි.

සටහන 04
බොහෝ කාලයකින් පොත අසලට පැමිණියෙමි. අද නම්, සිතත් – භාවනා අරමුණත් පමණක් සක්මන් මළුවේ සක්මන් කළේ ය.

සටහන 05
සතියක් අනුරාධපුරයේ මහ සෑ මළුවේ ගත කළෙමි. කුටියට පැමිණෙන විට පින්වතුන් පිරිසක් පැමිණ එහි තීන්ත ආලේප කොට ගොස් ය. දුකෙන් මිදීමට උපකාරී වන මේ කුටියේ බිත්තිය මතට පතිත වන, මේ සිරුරේ සෙවණැල්ලකින්වත් ඔවුන් පූජා කළ පවිත‍්‍ර බිත්තිය කිලිටි නො වේවා. එ් වෙනුවෙන් ම මා කාය කර්මය පවිත‍්‍ර කර ගත යුතු ය.
කාය කර්මයන්ගේ ඇසි පිය හෙළීමක් පාසා රාගයක් ද්වේෂයක් මෝහයක් ඇති නොවන සේ කය රැුක ගැනීමට සිහිය පිහිටුවාලීමට උත්සාහයක් පිහිටා ඇත.

සටහන 06
පැවිදි වී බොහෝ කල් ය. මාපියන් දුන් අහරින් සැකසුනු කෙස් ගසක්වත් දැන් නැත. දැන් මේ කයෙන් ඇද හැළෙන ඩා බිඳුවක් පාසා අයිති ශ‍්‍රද්ධාවෙන් දන් පැන් පූජා කළ සැදැහැවතුන්ගේ අත්හැරීමකට ය. මේ සිරුර අද පවතින්නේ එ් සැදැහැවතුන් නිසා ය. මා හට මෙය පෝෂණ මාත‍්‍රයකින්වත් අද අයිති නැත. අනුන් විසින් ශ‍්‍රද්ධාවෙන් පෝෂණය කරන සිරුරක් තණ්හාවෙන් නො මිදුනු සිතකින් පරිහරණය කිරීම කොයිතරම් නම් අවාසනාවක් ද…!

අද මා පැවිදි දිවිය පුරා වර්ධනය කරගත් සේඛ බල සිහි කරමින් වාසය කළෙමි. ගුරු දේවයන් වහන්සේ වැඳ පැවිද්ද ලබා දුන්නාට පින් දුන්නෙමි. ශ‍්‍රද්ධා, සීල, සුත, චාග, ප‍්‍රඥා මා තුළ ඇත. එ්ත් අසම්පූර්ණ ය.

සටහන 07
දානශාලාවේ දී අද සියලූ භික්ෂූන් වහන්සේලාට චාජ් කරන ටෝච් පූජා කළා. ඇතැම් අය ආසාවෙන් පිළිගත්තා. ඇතැම් අය එ් දෙස බැලූවේවත් නෑ.
මිනිසුන් අත් හරිනවා. භික්ෂුව අල්ලා ගන්නවා. මෙය නිවැරදි ද?

නෑ… මිනිසුන් අත් හරිනවා… භික්ෂුව ඊට සිය දහස් ගුණයකින් එ් දෙය අත් හරිනවා. ඔව්. තුන් සිවුරයි, පාත්තරයයි ඇති. කරුවල වෙලාවට ඉඳගෙන දෑස් පියාගන්නවා. භාවනාවත් ආලෝකයක් නෙව..!

පිරිකර සංඝයාගේ ගබඩාවට භාර දුන්නා. දාන ශාලාවෙන් කුටියට ගෙනාවේ අත්හැරීම ගැන සොඳුරු පාඩමක්…!

සටහන 08
විවේකය ගෙවී ගියේ සක්මනේ සහ පළඟ තුළ යි. සූත‍්‍ර දේශනා දහයක් පමණ කියවා ගත්තා.

සටහන 09
නිරාමිස විඳීමක්…! කුමක් ද කළ යුත්තේ…? අත් හරිනවා හැර වෙන කුමක් කරන්න ද!! සාර්ථකයි… නෞකාව පැටලූණේ නෑ. ඉදිරියට ම ඇදී යනවා…!!!

සටහන 10
රාත‍්‍රී කාලයේ ලාම්පු එළියෙන් සක්මන් කරමින් සිටිමි. පැය භාගයක් තිස්සේ අඩි දහයක් දොළහක් දුරෙන් යම් ශබ්දයක් ඇසේ. සෙම්ප‍්‍රතිශ්‍යාව සහිත කෙනෙක් හුස්ම ඉහලට ගනිද්දී ඇසෙන ‘සුරුස්’ යන ශබ්දය යි. ගොරෝසු සමක් කසන හඬක් ද ඇසේ. යකෙක් ද? මිනිසෙක් ද? සතෙක් ද?

පැය භාගයක් ම සිත තිබුණේ සක්මනේ නො වේ. මා හට විය හැකි උපරිම අනතුර නම් මේ කය කීතු කීතු කර හපා කා මා මරා දැමීම යි. මේ කය එ් ශබ්දය නො හඳුනයි. ශබ්දය අයිති කෙනාගේ කය මේ කය ද නො හඳුනයි. දැන් බිය වී සිටින්නේ සිත නො වේ ද?

කා දමන කෙනෙක් මා කා දාපුදෙන්. එතකන් මම භාවනා කරන්නෙමි. ශබ්දය තවමත් ඇසේ. නමුත් දැන් නම් මාගේ සිහිය පහසුවෙන් සක්මනේ රැඳේ.

සටහන 11
මාසයකින් පමණ කිසිවක් නො ලීවෙමි. සෙම්ප‍්‍රතිශ්‍යාවෙන් පෙළෙන අමනුෂ්‍යයා ගසක් උඩ සිට බලා සිටි බව දුටුවෙමි. මම විතරක් ද මේ ලෝකයේ ජීවත් වන්නේ… මම ඕපපාතික උපත විශ්වාස කරන්නෙක්මි. ඔවුන් ද මෙලොවේ දිවි ගෙවිය යුුතුයි.

ඔහුට අනතුරක් නො වේවා…! සුවපත් වේවා…! ඔහු ඔහුගේ පාඩුවේ. මා මගේ පාඩුවේ.

සටහන 12
භාවනා කරන භික්ෂුවට නො පෙනෙන ලොවෙන් කරදර වූ විට ඇතිකර ගත යුතු ගුණ ධර්ම කිහිපයක් කරණීයමෙත්ත සූත‍්‍රයේ ඇත. එනම්, නිවන් අවබෝධ කරන ප‍්‍රතිපදාවේ ඍජු බව, ත‍්‍රිවිධ රත්නයට කීකරු බව, මෘදු සිත, නිහතමානී බව, ලද දෙයින් සතුටු වීම, අඩු වෙහෙසකින් ජීවත් වීමට හැකි වීම. භාවනාවට බාධා වෙන තරමට කටයුතු වැඩිකර නො ගැනීම, සැහැල්ලූවෙන් වාසය කිරීම, ඉන්ද්‍රිය සංවරය, අවස්ථාවට අනුව නුවණ මෙහෙයවීම, දායක පවුල්වල නොඇලීම, අංශු මාත‍්‍ර වරදක්වත් සිදු නො කොට හොඳින් සිල්වත් වීම, සීල සමාධි ප‍්‍රඥා භාවිතයෙන් සුවසේ ජීවත් වෙමින් සියලූ සත්වයෝ සුවපත් වේවා යි සිතමින් වාසය කිරීම යන කරුණු වේ. පිළිවෙළින් මේ කරුණු ඇති කර ගනිමින් අඛණ්ඩව භාවනා කළෙමි.

සටහන 13
සති දෙකකි. අමනුෂ්‍යයාගේ ශබ්දය අතුරුදහන් ය. නමුත් ඔහු විටින් විට පෙනේ. ඔහුට සැබැවින් ම සෙම්ප‍්‍රතිශ්‍යාවක් තිබී ඇති බවකි. එය සුව වී ගොස් ය. මම විශාල සතුටක් අත්වින්දෙමි. අහෝ… ඔහු සුවපත් විය. ඔහු මෙන් ම සියලූ සත්වයෝ සුවපත් වේවා…!

සටහන 14
මේ පසළොස්වක පොහොයෙන් පසු අමනුෂ්‍යයා දක්නට නො වී ය. මාස තුනක් පමණ සක්මනේ දී අපහසුවක් ඇති කළ මදුරු කරදරය විස්මයකින් මෙන් අතුරුදහන් වී ඇත. එවන් කරදරයක් තිබුණා දැයි මා හට කල්පනා වූයේ එය අතුරුදහන් වී තිබෙනු දැකීමෙනි. මා වද වූයේ සිහිය රැක ගැනීමටත්, සියලූ සතුනට මෙත් සිත වැඞීමටත් ය. නැවත ඔහු නො පැමිණෙනු ඇත. මා සිතට බලවත් විශ්වාසයක් ඇති විය.

සටහන 15
අලූයම 3න් පසු කාලය ඉතා ම නිහඬයි. මේ තරම් සොඳුරු කාලයක මිනිසුන් නිදන්නේ ඇයි… මේ භාවනාව සඳහා ම පරිසරයෙන් වෙන් කර දුන් කාලය යි.

සටහන 16
ළිඳට වැටුණු අපි ළිං කටෙන් ම ගොඩ ආ යුතු ය. රූප වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණ නිසා ම දුකට පත් වී සිටින්නෙමු. සමාධියක් තුළ හටගන්නා නිරාමිස වූ රූප වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණ ම විදර්ශනා කොට දුකෙන් ගොඩ එන්නෙමු. අත්හළ යුත්තේ අල්ලාගත් දේ ම ය. වෙනත් දෙයක් නො වේ. ජය භූමිය වන්නේ ද පෙර පරාජය වූ භූමිය ම යි. එනම්, සිත යි. සිත අවිද්‍යාවත් තෘෂ්ණාවත් නිසා සසර පුරා පැරදිණි. එ් සිත ම, විද්‍යාවත් විමුක්තියත් උපදවා ගැනීමෙන් නිදහස් වී යයි.

‘යං භික්ඛවේ න තුම්හාකං, තං පජහථ’ – ‘මහණෙනි යමක් ඔබේ නො වේ නම් එය දුරස් කරන්න.’
‘තං වෝ පහීනං හිතාය සුඛාය භවිස්සති’ – ‘එය ප‍්‍රහාණය වූ විට ඔබට හිත පිණිස සුව පිණිස පවතින්නේ ය.’

‘‘බිනර…. කුටිය ඇතුළේ කටයුතු අවසන් ද!” අනන්තගේ ශබ්දය ඇසීමෙන් තිගැස්සුණු මම විරාගී ලෝකයෙන් මිදී ගොස් පින්වත් ස්වාමීන් වහන්සේ වාසය කළ කුටිය තුළ පියවි සිහියට පැමිණියෙමි. ඉතා ඉක්මනින් පොත වසා මේසය මත තැබූවෙමි.

නමුත් ගැටලූවකි. ඇත්තට ම මා පියවි සිහියට පැමිණියා ද..! කිසි දා නො පැමිණෙන ලෙස එ් ලොවේ ම මා නවාතැන් ගත්තේ ද..!! පිළිතුර අනාගතයට භාරයි..!!!

මතු සම්බන්ධයි….

ඇඟිල්ලෙන් පෙන් වූ
සඳ දෙස බලන්න.
ඇඟිල්ල දෙස නො බලන්න.
ඇඟිල්ල ගැන නො සොයන්න.
මේ ශ‍්‍රී සද්ධර්මය
ජීවමාන යි…!
එ් බව පමණක් අකුරු කරන්නෙමි.

මහාමේඝ 2015  නවම් කලාපය
WWW.MAHAMEGHA.LK

මතක සටහන
ජයලත්ගේ බිනර නවමල් බණ්ඩාර

මෙම ලිපිය පිළිබඳ ඔබේ අදහස් අපට කියන්න.
SMS Only – 077 063 08 68