‘ඇත්තෙන් ම මම ලස්සන කෙනෙක්. ඔව්… මම ගොඩක් ලස්සන කෙනෙක්. ඒ වගේ ම යි මට හොඳ පිළිගැනීමක් තියෙනවා. මට ධනය – බලය – හැකියාවන් තියෙනවා.’

මෙන්න මේ විදියට ඔබට ඔබ ගැන නොයෙක් වාර ගණන් සිතුවිලි එන්න පුළුවන්. ඒ හැමදේ ම ඇත්ත වෙන්න පුළුවන්. නමුත් ඔබ මේ ගැන මේ විදියට හිතුවා ද?

‘මට මේ ලැබුණු රූපය වයසට යන එකක්. දිනෙන් දින වයසට යනවා. ඒ ස්වභාවය ඉක්මවලා නෑ. ජරා, මරණ ඉදිරියේ සැලෙන එකක්. ඕනෑම රෝගයකට සාධාරණ දෙයක්. මේ ධනය – බලය මේ මොන දේවල් මා සතු වුණත් ඒ දේ තුළින් මට හැමදාම ජීවත් වෙන්න ආයුෂ ලබා ගන්න පුළුවන් ද? කිසි ම දෙයක් ඉදිරියේ නො නැමෙන මේ ජරා, මරණ මහා ගිනි කඳු වගේ මාව යට කරගෙන යනවා නේ ද? දඬුවම් ලබපු හොරෙක් වගේ ජරාවෙනුත් – මරණයෙනුත් මම දුක් විඳිනවා. මහා ගිනි කඳු වගේ ජරා මරණ ළඟට එනකොට ඒවාට ප‍්‍රතිවිරුද්ධව සටන් කරන්ට මට බලයක් නෑ…

මට වඩා ලස්සන අය කී කෝටියක් අතීතයේ හිටිය ද? ඒ හැමෝගෙ ම කෙස් ටික ටික පැහිලා ගියා, ලස්සනට තිබුණ හම රැළි වැටෙන්න පටන්ගත්තා, මූණු අවපාට වුණා, දත් එක දෙක හැලිලා ගියා. මටත් වඩා ධනය – බලය – හැකියාව තිබුණු කී දෙනෙක් මේ ලෝකේ හිටිය ද? ඒ බොහෝ අයගේ නාමයන්වත් අද ඉතිරි වෙලා නෑ නේ ද? මමත් ඒ ස්වභාවය ඉක්මවා ගිහින් නෑ නේ ද?

මගේ කෙස් කොයි තරම් ලස්සන වුණත් මේ ලස්සන කෙස් ගස් එක දෙක ඉදෙන දවසට ඒ දවසට ඒ දුක මට දරන්න වෙනවා. හැමදාම ක‍්‍රීම් – පවුඩර් දාලා ලස්සන කරන මේ හම අවපාට ගැහිලා, රැළි වැටෙන්න පටන් ගන්න කොට එදාට මට සැපක් නෑ. ලස්සනට තියාගෙන ඉන්න දත් ටික එක දෙක වැටිලා කැඩිලා ගිය ඉණිවැටක් වගේ වෙන දවසට මට සැපක් නෑ. ලස්සන අඩි උස වෛවාරණ සපත්තු දාලා තාලේට ඇවිදපු කකුල් දෙක පැලිලා යන කොට මට සැපක් නෑ. කොන්ද කුදු වෙලා අඩිය තියා ගන්න බැරි දවස එනකොට මට සැපක් නෑ. මගේ ධනය – බලය – රූපය – හැකියාව යන මේ සියල්ල ම ලෙඩ රෝග ඉදිරියේ නැතිවෙලා යනවා නම් මම මේ මොනව ද හොයන්නේ?

මොනවට ද මම මේ තාවකාලික දේවලින් සතුටු වෙන්න හදන්නේ? මම මේ ගහ මරා ගන්නේ, තරග කරන්නේ, ඊර්ෂ්‍යා කරන්නේ මම වගේ ම තවත් මැරෙන කෙනෙක් සමග නේ ද? මම වගේ ම දිරලා යන, ජරාවට පත් වෙලා යන කෙනෙක් එක්ක නේ ද? එතකොට මම වගේ ම දුකක් උරුම කරගෙන ඉන්න කෙනෙක් එක්ක මට තරගයක් තියෙනවා ද? මම වගේ ම ලෙඩ වෙලා යන – වැහැරිලා යන රූපයක් තියෙන කෙනෙක්ට මම ඉරිසියා කරලා මොනවා ලබා ගන්ට ද? මම වගේ ම ලෙඩ වෙන, අසරණ වෙන, අඬන කෙනෙක්ට මම බලපුළුවන්කාරකම් පෙන්වලා වැඩක් තියෙනවා ද? නෑ.

එහෙනම් මම ජරාවට පත් වෙන මේ ඇස් දෙකින් අනිත් අයගේ හොඳ ම දකින්න ඕන. මේ ටික කාලයකට ඇහෙන කන් දෙකෙන් යහපත් දේ ම අහන්න ඕන. ටික කාලයක් යනකොට හිතට එන සිතුවිල්ලක්වත් වචනයකින් කියා ගන්න බැරිව යන කටින් අනිත් අයගේ යහපත ම කථා කරන්න ඕන. හිත් හැදෙන වචන ම කථා කරන්න ඕන. මේ බැරි ගැහිලා යන අත් දෙකෙන් අනිත් අයට උපස්ථානයක් ම කරන්න ඕන. උපකාරයක් ම කරන්න ඕන. මේ හිතින් අනිත් අයට කරුණාව ම – මෛත‍්‍රිය ම දක්වන්න ඕන. ජරාව, මරණය ගිනි කන්දක් වගේ මාව යට කරගෙන යනකොට ඒවට ප‍්‍රතිවිරුද්ධව සටන් කරන්න මට බලයක් නෑ. පැනලා යන්න ජවයකුත් නෑ. ඒ නිසා ජරා, මරණ නම් වූ ගිනි කඳු මං කරා එනකොට මම මේ ලෝකෙට යහපත කරන්න ඕන කියලා හිතුවොත්…. සැබෑවට ම ඔබට ජරා, මරණ ඉදිරියේ හිනාවෙන කෙනෙක් වෙන්න පුළුවන්…!

– මැරෙන කෙනෙක් –