මුළු ලොව පැණවතුන් බිහි වූ යුගයක අති උතුම් ප‍්‍රඥාවන්තයා ලෙස ජම්බුද්වීපයේ ජන්මලාභය ලබා අනුත්තර සම්බෝධිය සාක්ෂාත් කොට වදාළේ අපගේ ශාස්තෘන් වහන්සේ ය. උන්වහන්සේ පුරා පන්සාළිස් වසක් එරට ගම්, නියම්ගම්, ජනපද, පුරවර, චාරිකාවේ යෙදෙමින් ධර්ම දේශනා කොට දහස් සංඛ්‍යාත මාර්ගඵලලාභීන් ලොවට බිහි කොට වදාළ සේක. ඒ, අප‍්‍රමාණ වූ දුකින් වෙළී සිටින සත්වයා ඉන් මුදා ගැනීමේ අටියෙනි.

බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු අවුරුදු පන්සියයක් පමණ ගත වන විට එතෙක් යටපත් ව තිබූ මිථ්‍යා දෘෂ්ටීන් යළි බලවත් වී බුදු දහම කෙමෙන් දඹදිවින් තුරන් වී යන්ට පටන් ගැනිණි. එහෙත් එම උතුම් දහම් මඟ ආරක්‍ෂා කොට තිරසර ලෙස පවත්වා ගෙන යාමේ භාග්‍යය හිමි වූයේ ශ‍්‍රී ලංකාද්වීපයට ය. මිහිඳු මහ රහතන් වහන්සේ විසින් බුදු දහම ලක්දිවට හඳුන්වා දෙන ලද වකවානුවේ දී ම රාජකීයයන් ඇතුළු මුළු මහත් රටවාසීන්ගේ සිත් තුළ ජනිත වූ ප‍්‍රසාද සංවේගය ඉතිර පැතිර ගියේ සදා නො සිඳෙන චින්තන ප‍්‍රවාහයක් පරිද්දෙනි.

එදවස රටවාසීන් තුළ ඇති වූ ආධ්‍යාත්ම සොම්නස කෙබඳු දැයි වටහා ගැනීමට රාජකීයයකු, එනම් දේවානම්පියතිස්ස රජතුමාගේ සොහොයුරු මහානාග යුවරජතුමා සෙල්ටැඹක කොටා තැබූ පහත සඳහන් ගීය පිටුබල වෙයි.

‘‘යගෙධම සෙ බයෙ නාම
සගවඩමන නාම මිචදිටික
ජන අමතයනෙ හතියෙ සග
(ආසාති සෝහ රාජකීය ගාමෙ)

මිච දිටි බිනක අටි
මථිම බුද සරණෙ ගතෙ
නාග උවරජ නාම
කඩ උවරජ කාලෙහි”

ව්‍යවහාර වර්ෂ පූර්ව තුන්වැනි සියවසෙහි ලියූ එම ගීය අද වහරන බසින් මෙසේ වෙයි:

තණ්හාවක් වේ ද භයට හේතුව එයයි
ඇලීම් වැඩි වේ ද එයයි මිසදිටු ගතිය
ඇලීමෙන් බැඳීමෙන්
වෙන් කළ නො හැක්කේ ද මිනිස් කැළ?
මෙය, මෙනෙහි කිරීමෙන් මිසදිටුව බිඳිනු වස්
රාජකීය ග‍්‍රාමයෙහි
නුවණ ලද නාග නම් යුවරජුන්
තමාගේ යුවරාජ කාලයෙහි
බුදුරජාණන් වහන්සේ සරණ ගියේ ය.

තෘෂ්ණාවෙන්, ඇලීමෙන් වෙන් වී ජීවිතය ගත කිරීම බුදු සමය විසින් අනුදැන වදාරන ලද අපිස් ජීවන පැවැත්මයි. එම අල්පේච්ඡ ජීවිකා වෘත්තිය ගත කිරීමේ නුවණ මහානාග යුව රජතුමා ලැබුවේ බුදුදහම වැළඳ ගැනීමෙන් පසු ව බව ඉහත සෙල්ටැම් ගීයෙන් හෙළිවෙයි.

එදා සමස්ත ලාංකික මානව වර්ගයා මෙන් ම ගහකොළ ඇතුළු පරිසරය රහතන් වහන්සේලාගේ සිල් සුවඳින් නව ප‍්‍රාණයක් ලබා අලූත් ශිෂ්ටාචාරයක උපත ලැබුවේ ය. රජ දරුවන් පිරිවරා ගත් රටවාසීන් සියලූ දෙනා එක්ව සාමූහිකව නිපදවාගත් භාෂාව, උපභෝග පරිභෝග භාණ්ඩ, කලා නිර්මාණ, ඇවතුම් පැවතුම් ආදි හැම දේකින් ම පිළිබිඹු වන්නේ බුදු දහම විසින් අපට උරුම කොට දුන් අපිස් ජීවන සම්ප‍්‍රදාය යි; අසමාන සන්සුන් පැවැත්ම යි. දෙදහස් පන්සිය වසරක් මුළුල්ලේ එබඳු වූ සන්සුන් පැවැත්මකින් ස්වකීය ජීවන මාර්ගය හසුරුවාගත් ජනකායක් ලෝකයේ ම නො දක්නා විරූ බව රොබට් නොක්ස්, ඩොයිලි, ජෝන් ඩේව්, හියු නෙවිල් ආදි විදේශිකයන්ගේ වාර්තා සටහන්වලින් අනාවරණය වෙයි.

භාෂාව වූ කලී ශිෂ්ට සම්පන්න ජනකායකගේ අධ්‍යාත්මය විදහා දක්වන කැඩපතක් වැන්න. සිංහල භාෂාව හැදී වැඞී විකාශනය වූයේ බුදුරජාණන් වහන්සේ දහම් දෙසා වදාළ පාළි භාෂාව ඇසුරෙනි. අපගේ රට ගැන ලියූ විදේශිකයන් ඒ පිළිබඳ ව නො දැන සිටිය ද සිංහල භාෂාවේ විශිෂ්ටත්වය ගැන ඔවුහු වර්ණනා කළහ. සිංහල භාෂාව ලංකාවට ම විශේෂ වූ භාෂාවක් ලෙස හඳුන්වන රොබට් නොක්ස් සිය ග‍්‍රන්ථයෙහි ලා තවදුරටත් මෙසේ දක්වා තිබේ:

‘‘සිංහල භාෂාව වූ කලි වාග් ශක්තියෙන් පොහොසත් වූ, ලාලිත්‍යයෙන් යුක්ත වූ, මටසිලිටි වූ, එය කතා කරන මනුෂ්‍ය වර්ගයා මෙන් ම ශිෂ්ට වූ ශ්‍රේෂ්ඨ භාෂාවකි. මේ භාෂාව කතා කරන්නෝ ප‍්‍රිය තෙපුලෙන් හා මිහිරි ආමන්ත‍්‍රණයෙන් ද අගතැන් පැමිණියෝ වෙති.”

රොබට් නොක්ස් මේ වාර්තා කරන්නේ 17 වැනි සියවසේ මැද භාගය වනවිට ලංකාවේ ජීවත් වූ මනුෂ්‍යයන් ගැන ය. එයින් පෙනී යන්නේ අවුරුදු දෙදහසක් ගත වන විටත් බුදු වදනට කීකරුව මේ රටේ ජනතාව ජීවත් වී ඇති බව ය. මෙලොව පරලොව දියුණුව අපේක්ෂා කරන සියලූ මනුෂ්‍යයන් විසින් නිතර වැඩිය යුතු පිළිපැදිය යුතු කාරණා දහයක් පිළිබඳ ව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සේක. අප්පිච්ඡු කතා, සන්තුට්ඨිකතා, පච්චේකමාන කතා ආදි එකී දසකතාවෙන් ශෝභමානව සිටි සිංහල ජනකාය ගැන ය රොබට් නොක්ස් ඉහත වර්ණනා කළේ.

සිංහල ජාතිය බුදු දහමෙන් උරුම කොටගත් අල්පේච්ඡතාව ගැන පළමුවෙන් ම ආදර්ශයක් සපයන ලද්දේ සිංහල රජවරුන් විසිනි. ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ උතුරේ දඹකොළපටුනෙන් මෙරටට වැඩම කළ දා මුහුදේ කරවටක් දියට බැස ගොස් සිය හිසින් පිළිගෙන ගොඩ බිමට වැඩම කරන ලද්දේ දේවානම්පියතිස්ස රජතුමා විසිනි. එසේ ම එතුමා සිය කිරීටය හා රාජාභරණ ගලවා බෝ සමිඳුන්ට පුදා තමන් ම රට වෙනුවෙන් දැක්විය හැකි ඉහළ ම පූජෝපහාරය සිරිමා බෝ සමිඳුන්ට පුද කළේ අපිස් හැඟුමෙන් හා නිහතමාන සිතින් යුතු ව ය. මිහිඳු මහ රහතන් වහන්සේගේ උපදෙස් අනුව මහාමේඝ උද්‍යානය රජතුමා බිම් සීමා ලකුණු කොට සඟ සතු කොට පූජා කෙළේ ඇතුන් විසින් අදින ලද නගුල තෙමේම අතට ගෙන භූමිය වටා හී ලකුණු යොදමිනි.

රට එක්සේසත් කරනු වස් සිව්රඟ සෙන් පිරිවරා මාගමින් පිටත්ව ගිය දුටුගැමුණු රජතුමා දිවා ආහාර ගැනීමට පෙර සංඝයා වහන්සේලාට දන් පිළිගැන්වීම සඳහා කිහිප ස්ථානයක දී කාල ඝෝෂා කළ බව සාහිත්‍යයික මූලාශ‍්‍රවල දැක්වේ. මහියංගනයේ ද්‍රවිඩ බලකොටුව අත්පත්කරගැනීමේ සටනට පෙර කදලීපත්ත ග‍්‍රාමයෙහි දුටුගැමුණු රජතුමා සිය සේනා සමඟ එකට වාඩි වී ආහාර අනුභව කළ බව කියැවේ. කෙසෙල් කොළවලට මාළු පිනි බෙදා ගත් හෙයින් එගම කදලීපත්ත ග‍්‍රාම නමින් හැඳින්විණි. සංඝයා වහන්සේලා කෙරෙහි ඉමහත් ගෞරවයක් දැක්වූ දුටුගැමුණු රජතුමා තමන් අනුභව කළ මිරිස් ව්‍යාංජනයක් අතපසුවීමෙන් සංඝයා වහන්සේලා වෙත පිළිගැන්වීමට නො හැකි වීම නිසා ඇති වූ කනස්සල්ල තුනී කරගනු පිණිස මිරිසවැටිය සෑය ඉදි කළ බව ජනප‍්‍රවාදයන්හි සඳහන් වෙයි. එතුමා ඇතුළු පසු කාලීන රජවරු කිහිප වතාවක් ම සිංහල රාජ්‍යය සම්බුද්ධ ශාසනයට පූජා කළහ.

අල්පේච්ඡ ජීවිතයක් ගත කළ අතීත සිංහල රජවරුන් බොහෝ අවස්ථාවන්හි උඩුකය සරසා ගත්තේ උතුරු සළුවෙන් පමණි. ආත්මීය යහපතට වඩා පරහිතධ්‍යාශය උතුම් කොට සැලකූ රජවරු පරපුරින් පරපුරට සිය දැහැමි පිළිවෙත් සුරක්‍ෂිතව පවතිනු පිණිස සෙල් ටැම්වල ලියා තැබූහ.

තමන්, ලද දෙයින් සතුටු නො වී අනුන්ගේ දේ ගැන ප‍්‍රාර්ථනා කරන ජනතාවක් එදා ලක්දිව බිහි නො වූයේ පාලකයන් ඊට ආදර්ශ නො දුන් හෙයිනි. බුදුදහම විසින් උරුමකොට දුන් අල්පේච්ඡ ජීවිත පැවැත්ම ඔවුහු අවිච්න්න උරුමයක් සේ රැකගත්හ. සාමකාමී අපිස් දිවිය දිවිහිමියෙන් රැකි හෙයින් රට කුඩා වුව ද අනෙකුත් ප‍්‍රාන්ත රාජ්‍ය ආක‍්‍රමණය කිරීමට සිංහල රජවරුන් පෙළඹුණේ නැත. අනුරපුරයෙන් රුහුණට ගිය මහානාග යුවරජතුමා මාගම සිය රාජ්‍යය පිහිටුවා ගත් කල්හි දේවානම්පියතිස්ස රජතුමා ඊට විරුද්ධ වූයේ නැත. කාචරාග‍්‍රාම, චන්දනග‍්‍රාම, ක්ෂත‍්‍රීය පාලකවරු ස්වාධීනව එම ප‍්‍රාන්ත පාලනය කළහ. ශ‍්‍රී මහා බෝධි රෝපණ උළෙලට සහභාගී වන ලෙසට ඔවුනට ද ඇරයුම් ලැබිණි. මහානාග යුව රජු මාගම සිය රාජ්‍යයේ පිහිට වූ සමයෙහි කතරගම වෙන ම පාලකවරු සිටියහ. ඔවුන් මාගම නව රාජ්‍යයට එරෙහිව අවි අමෝරා නැගී සිටියේ නැත. අනුරපුර ද්‍රවිඩ රාජ්‍යය මර්දනය කිරීම සඳහා පසුබිම සැකසූ කාවන්තිස්ස රජතුමා කැලණි, ගිරිනුවර, සෝම නුවර, සේරු නුවර පාලකයන් අවනත කර ගත්තේ රාජ්‍ය තාන්ත‍්‍රීක පිළිවෙතක් අනුගමනය කරගනිමිනි.

මේ වූ කලි බොදු පිළිවෙත් අනුගමනය කළ, ජාතියක් සුඛිත මුදිත භාවයට පත්කළ, පෙරදිග මහා ධාන්‍යාගාරය ගොඩනැඟූ පුණ්‍යවන්ත රටක අතීත කථා ප‍්‍රවෘත්තියයි. අසීමිත ආසාවන්හි එල්බ නො ගෙන අපිස් සැහැල්ලූ දිවි පෙවෙත් ගත කළ ජන පරපුරකගේ අභිමානවත් ඉතිහාසයයි.

ආසාවන්හි අගක් මුලක් හෝ ප‍්‍රමාණයක් නො මැති බව ලොවට මුලින් ම පෙන්වා දෙන ලද්දේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසිනි. නූපන් අකුසල් ඉපදීමටත්, උපන් කුසල්පිරිහීමටත් හේතුවන අත්පත් කරගැනීමේ මහා ආසාව හෙවත් මහිච්ඡතාව තරම් බරපතළ පාපයක් තවත් නො මැති බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ අයුරු අංගුත්තර නිකායේ දැක්වෙයි.

අල්පේච්ඡ ජීවිතයක් ගත කරන තැනැත්තා නිරතුරු ව ජීවත්වන්නේ සන්තෝෂයෙනි. තමන් සතුව පවත්නා දේ අල්ප වුවත් ඉන් සතුටු විය හැකි ගුණය හඳුන්වන්නේ සන්තුට්ඨිතා යනුවෙනි. එය ද යථා ලාභ සන්තුට්ඨිය, යථා බල සන්තුට්ඨිය, යථා සාරුප්ප සන්තුට්ඨිය යනුවෙන් තෙයාකාර වේ. ලැබෙන දේ හොඳ හෝ නරක හෝ එය භාරගෙන ඉන් සෑහීමට පත්වීම යථා ලාභ සන්තුට්ඨිය යි. තමන්ට ඔරොත්තු දෙන තරමට පමණක් භුක්ති විඳීම හා ඔරොත්තු නො දෙන දේ ගැන නො වෙහෙසීම යථා බල සන්තුට්ඨිය යි, ගැළපෙන දේ පමණක් තෝරා බේරා ගැනීමත්, නො ගැළපෙන දේ පසු පස හඹා නො යාමත් යථා සාරුප්ප සන්තුට්ඨිය ලෙස හැඳින් වේ.

අද මෙන් හැමදේට ම කුලල් කා ගන්නා ජනතාවක් අතීතයේ මෙරට වාසය කළේ නැත. එදා හෙළදිව රජමැති ඇමතිවරුන් ඇතුළු මුළු මහත් රටවැසි ජනතාව ඉමක්-කොනක් නැති ආසාවන් පසුපස ලූහුබැඳ ගියේ නැත. ලද දෙයින් සතුටු වී සැහැල්ලූ දිවි පෙවෙතක් ඔවුන් ගත කළේ බුදු දහමේ ඉගැන්වීම්වලින් ලද ශික්ෂණයේ ඵල වශයෙනි.

සාහිත්‍ය සටහන
දයාපාල ජයනෙත්ති