දීකිරි කෑ මුදියන්සේ

ඒ දඹදෙණි රාජධානි සමයයි. මාළිගාවිල පැරකුම් රාජ මන්දිරයේ අධිකරණ ශාලාවේ පසෙක හඳුනාගැනීමේ පෙරෙට්ටුවකි. ගැමියකු තමන් ඉදිරියේ වූ දීකිරි හට්ටි 06ක් රස බලමින් සිටියි. මේ අමුතු ම ආකාරයේ හඳුනාගැනීමේ පෙරෙට්ටුව දෙස නිරිඳුන් මහත් ඕනෑකමකින් බලා සිටින්නේ එහි තීන්දුව ලබාදීම තම රාජකාරිය බැවිනි. හතර වන කිරි හට්ටිය ද රස බලමින් සිටි ගැමියාගේ මුහුණේ ඉරියව්වල කිසිදු වෙනසක් නො වී ය. දැන් ඔහු එළඹෙන්නේ පස් වන කිරි හට්ටිය වෙත ය. කෙමෙන් වෙනස් වන මුහුණේ ඉරියව් මැනවින් නිරීක්ෂණය කළ රජතුමා තවමත් නිහඬ ය.

“අවසර මහරජතුමනි,”
සතුටින් පිරීගිය මුහුණින් යුතුව ගැමියා නිරිඳුන් අමතයි.
“මේ කිරි නම් මගේ එළදෙනගේ ම තමයි රජතුමනි”
“ම්ම්ම්… තමුන්ට හොඳට ම විශ්වාස ද?”
“එහෙමයි… එහෙමයි.. මහරජතුමනි”
“ගවපාලක, මේ උපාසක උන්නැහේගෙ එළදෙන නිදහස් කළා නම්…”
“එසේය මහරජතුමනි”

ගොවිතැන සිය ජීවිකාව කරගත් මේ ගොවි මහතාට අයත් ගව පට්ටියේ ගවයකු තණ බිමේ දී පැරකුම් නිරිඳුන්ගේ ගවපට්ටිය හා මුහු වී, එම ගව පට්ටිය භාර ගොපල්ලාගේ ද නො දැනුවත්කමින් ගාල් වී ඇත. ගොවි මහතා නිරිඳුන් වෙත මේ සිද්ධිය පැමිණිලි කළේ සාධාරණයක් බලාපොරොත්තුවෙනි. කරුණු කාරණා සොයා බැලූ රජතුමා සිද්ධියේ ඇත්ත නැත්ත දැන, තම එළදෙන නිවැරදි ව ම හඳුනාගන්නේ කෙසේදැයි විචාළ කල්හි, තම එළදෙනගෙන් ලබාගත් මුදවන ලද එළකිරි (දීකිරි) අතිශය මිහිරි රසයකින් යුක්ත බවත්, එය අනුභවකොට එළදෙන හඳුනාගත හැකි බවත් නිරිඳුන් හට පිළිතුරු ලෙස ලැබිණි. පෙර කී අපූරු හඳුනාගැනීමේ පෙරෙට්ටුව දඹදෙණිය මාළිගාවිල රාජ මාළිගයේ සූදානම් වන ලද්දේ ඒ අනුව ය.

ගොවියාගේ මෙම අපූර්ව ක‍්‍රියාකලාපය මෙන් ම අවංකභාවය පිළිබඳව ද අතිශය පැහැදීමට මෙන් ම විස්මයට පත් පැරකුම් නිරිඳුන් ‘දීකිරිකෑ මුදියන්සේ’ යන නම්බු නාමයත්, ගම්වරයකුත් මොහු වෙත පිරිනමන ලදී. එකී ග‍්‍රාමය ද ‘දීකිරිකෑව‘ නමින් ම පරසිදු විය. දීකිරිකෑ මුදියන්සේලාගේ පෙළපතේ ඇත්තෝ අදටත් දීකිරිකෑවේ ජීවමාන ය.

පණ ආ වැටිය

රත්මල්වැටිය, දීකිරිකෑව ගම් පියසේ ම තවත් සුන්දර ඉසව්වකි.

කාලිංග මාඝ හා චන්ද්‍රභානු වැනි දරුණු ආක‍්‍රමණිකයන් හා තෙවරක් ම එඩිතරව සටන්වැද ත‍්‍රස්තවාදී සතුරන් විනාශකොට සාර්ථක ව රටේ ආරක්ෂාව සලසාලන ලද දෙවන පරාක‍්‍රමබාහු රජසමය නිදහස් හා දැහැමි වකවානුවකි. එය වර්තමානය සේ ම පශ්චාත් යුද සමයකි. එසේ ම වර්තමානයේ මෙන් ම රටේ ස්වාධීනත්වය උදෙසා, දකුණු ඉන්දීය ආක‍්‍රමණයන් පිට පිට තෙවරක් ම සාර්ථක මානුෂීය මෙහෙයුම් ඔස්සේ පරාජය කිරීම හේතුවෙන් දිගින් දිගට ම ඔවුනගේ කෙනෙහිලිකම්වලට මුහුණපාන්නට සිදු වූ යුගයකි. එමෙන් ම රට අභ්‍යන්තරයේ ද වර්තමානයේ සිදුවන අයුරින් ම ඇතැම් පිරිස් දකුණු ඉන්දීය සහය ඇතිව රාජ්‍යය අස්ථාවර කරලීම පිණිස කැරලි ගැසීමට විටින් විට උත්සාහ කළහ. එවන් වූ කැරලිකාර තත්ත්වයක් මැඩපවත්වා තම සේනාව සමඟින් ආපසු දඹදෙණියට පැමිණෙමින් හුන් පැරකුම් මහ රජ සොයුරු බෝසත් විජයබා කුමරුවෝ රත්මල්වැටියේ මනරම් වෙල් යායක් අසබඩ තුරු සෙවණක ගිමන් හරිනට නතර වූහ. සතුරන් වෙත අත්කරලන ලද දරුණු පරාජයෙන් පසු සැඟවී හුන් කැරලිකරුවකුගේ මාරාන්තික නාග විෂ පෙවූ හීයක් බෝසත් විජයබා කුමරුන් ඉලක්ක කරමින් මුදා හැරෙන්නේ මේ මොහොතේ දී ය.

“නමෝ බුද්ධාය…!”

බෝසත් විජයබා කුමර මුවින්, සාමාන්‍ය නො වූ උච්ච, වේදනාබර ස්වරයකින් පැමිණි ඒ හඬ දෙසට සකල සේනාවේ ම දෑස් යොමු වූයේ පහව නො ගිය අනතුරක ඉව ඔවුනට දැනුන හෙයිනි.

“ආන් අර පැත්තෙන් හීය ආවෙ. එ්කව පණ පිටින් අල්ලපියව්..!”

ගුගුල සේනා ප‍්‍රධානියාගේ අණින් පිරිසක් සතුරා ලූහුබැඳ ගිය අතර සෙස්සෝ කුමරුවනට ප‍්‍රතිකාර කිරීමට යුහුසුළු වූහ.

හී සර වැදීමෙන් සිහි මූර්ජා වුව ද ලද ප‍්‍රතිකාරවලින් කුමරුන් යළි ප‍්‍රාණය ලද්දේ ය. රත්මල්වැටියේ දී කුමරුන් හට පණ ආ හෙයින් එය පසුව ‘පණ-ආ-වැටිය’ ලෙස ද අනතුරුව පනාවැටිය ලෙස ද අවසන ‘පනාවිටිය’ ලෙසින් ද ජනවහරට එක් වී තිබේ.

බත් කෝරලයට ආයුබෝවන්..!

දීකිරිකෑවේ යටගියාව ද රත්මල්වැටිය, පනාවැටිය ලෙසින් වහරට එක් වූ අයුරු ද ඔබ හමුවේ තබමින් අප මේ පිවිසෙන්නේ ඓතිහාසික සත් කෝරලයට යි. දෙවන පැරකුම් රජ සමයේ මෙම පෙදෙස් බත බුලතින් ආඪ්‍ය වූ නිසාවෙන් ම මෙය ‘බත් කෝරලය‘ ලෙස ද හැඳින්වින. සත් කෝරලය (වත්මන් වයඹ පළාත) වෙත අප පිවිසෙන්නේ පසුගිය දා එහි තබන ලද වාර්තා පිට වාර්තාවන් ගැන සටහන් තබන්නට හෝ පශ්චාත් මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා පිළිබඳ ජාත්‍යන්තරය දැනුවත් කොට ඩොලර් මලූ කිහිපයක් ඩැහැගැනීමට නො වේ.

ශ‍්‍රී ලංකාද්වීපය වූ කලී තෙවරක් ම රාජ්‍යත්වය විසින් බුදු සසුනට පිදුම් දුන් උත්තරීතර දේශයකි. සිව් බුදුරජ පහස ලද සුපුණ්‍යවත් දිවයිනකි. මනුෂ්‍යත්වයේ කිරුළු පලන් අසහාය මිනිසුන්ගේ සත්පුරුෂ දේශයකි. සාමකාමී සංක‍්‍රමණිකයාට කෙම්බිමකි. සැහැසි ආක‍්‍රමණිකයාට අමු සොහොනකි. මේ සියලූ කරුණු හෙළයන් විසින් අද දක්වා වූ ඉතිහාසය පුරාවට මැනවින් සපථ කොට ඇත්තේ වරක් දෙවරක් පමණක් නො වේ. ඒ ශ‍්‍රී ලාංකේය ප්‍රෞඩත්වයයි. හෙළයේ අභිමානයයි.

කරුණාවයි… කරුණාවයි…

ශ‍්‍රී ලාංකේය සංස්කෘතිය වූ කලී නිර්මල ථේරවාද ධර්මයේ පවුරු පදනම් මතින් ගොඩනැඟි අපූර්ව වූ සොඳුරු නිමැවුමකි. තමා සූරාකෑමට පැමිණි චෞර ආක‍්‍රමණිකයාට පවා මෙත් සිත් පෙරදැරිව ආගන්තුක සත්කාරයෙන් පුදනු ලද ජාතියක් ලොව වෙතොත් ඒ සිහළුන් ම පමණකි. එවන් ශ්‍රේෂ්ඨ සංස්කෘතියක් දරාගත් මිනිසුන් අභිමුව ආක‍්‍රමණිකයා පවා විමතියට පත්වීම අසාධාරණ නො වේ. ආත්මාර්ථයෙන් බැහැර වූ මිනිසා සිය උදාර මනස මෙහෙයවූයේ, කාලය කැපකරන ලද්දේ පොදු යහපත උදෙසා ය. විසුම්හල, ගිමන්හල, පැන්හල, සේතු මන්දිරය, ආගන්තුක ශාලාව, ඉසිඹුහල, හේ මැදුර, මාවත් මඩුව යන විවිධාකාර නාමයන්ගෙන් සමාජගත වූ ‘අම්බලම’ මේ විශිෂ්ඨයන්ගේ දේශයේ පරාර්ථකාමීත්වයේ කැටපතකි. කෙනෙකුගේ පහසුව, සැපය උදෙසා තවකෙකු විසින් ඉදිකරලන මේ සොඳුරු නවාතැන්පළ ‘කරුණාව’ නම් උත්තම බඹ විහරණයේ සැබෑ ප‍්‍රතිමූර්තියකි. ඒ ශ‍්‍රී සම්බුදු දහමේ විස්මිත ප‍්‍රායෝගිකත්වය යි. අම්බලම හරහා සමාජගත වන මානවහිතවාදීත්වයේ අගය තවදුරටත් තහවුරු කරනුයේ ඒ අසල ම ඉදිවන ළිඳ ය. එසේත් නැති නම් සිහිලැල් ජලය රැඳි පින්තාලිය ය. මේවා පිරිසිදුව රැකබලා ගැනීමට ද ස්වේච්ඡා පිරිස් මේ සෑම ගම් පියසක ම විසූ හ. කරුණාවේ මහිමයත්, මහත් ඵල වූ දානයේ මහානිසංසත් මැනවින් දත් පරපුර තුළ මේ උත්තම පුණ්‍යකර්මයන්ගේ බෙලෙන් දිව රෑ වැඩුණු පින් මහිමය සුළුපටු නො වේ.

අම්බලම වනාහී හුදෙක් ගිමන්හලක් පමණක් නො වේ. මූලික වශයෙන් එය ගමන් බිමන් යන්නන්ගේ සරතැස නිවනා, රාත‍්‍රියට ආරක්ෂා සහිත නවාතැන්පළක් මෙන් ම හෙළ රජ සමයේ රාජ පුරුෂයන්ට සිය සන්නිවේදන කටයුතු පවත්වාගෙන යාමටත්, තොරතුරු හුවමාරු මධ්‍යස්ථානයක් ලෙසත්, වෙළඳ නගර කරා ඇදෙන දෙස් විදෙස් වෙළඳුන්ගේ පහසුව සඳහාත්, ග‍්‍රාමීය වෙළඳ කේන්ද්‍රස්ථාන වශයෙනුත්, ඒ ඒ ප‍්‍රදේශයන් හි විවිධ සමාජ කාර්යයන් සඳහාත් අම්බලම එදා සමාජය තුළ අගනා මෙහෙයක් ඉටුකළ සෙවණකි. එමෙන් ම ‘අම්බලම’ හෙළ ගෘහ නිර්මාණ කලාවේ සුවිශේෂී අංගයක් බවට පත් කරවූයේ එහි දී භාවිත වූ අද්විතීය ශිල්පීය ක‍්‍රමවේදයන් මෙන් ම මනෝරම්‍ය නිර්මාණශීලීත්වය යි. එය පරිසරය හා මනා සබැඳියාවකින් යුතු ව ඉදිකොට තිබීම තවත් සුවිශේෂත්වයකි. අම්බලම් පිළිබඳ රසවත් පුරාවෘත්ත බොහොමයක් අපට හමු වන්නේ සන්දේශ කාව්‍යයන් හරහා ය. පරෙවි සන්දේශය, තිසර සන්දේශය, මයුර සන්දේශය මෙන් ම සැළලිහිණි සංදේශය ද මේ අතරින් ප‍්‍රධාන වේ.

වත්මන් පරපුර තුළ ‘අම්බලම’ යන නාමය ඇසෙනා විට දී පවා මනසේ ඇඳී යන චිත‍්‍රය ධනාත්මක හෝ සුභවාදී වූවක් නො වේ. සියවස් හයක් පුරාවට බටහිරයන් විසින් ඒ ධනාත්මක චිත‍්‍රය යළි ප‍්‍රකෘති කළ නො හැකි අන්දමට ම කුරුටු ගා දමා ඇත. ඒ අභිමානයේ පිටකොඳු බිඳ දමා සුණුවිසුණු කොට කෙලෙසා ඇත. අම්බලම යනු කෙසේ බිහිවූ, කවරාකාර ස්ථානයක් ද යන්න අපට දීර්ඝව කරුණු දැක්වීමට සිදුවූයේ මෙවන් ශෝචනීය පසුබිමක හිඳ ය.

රජ මාවත ඔස්සේ…

ඓතිහාසික දඹදෙණි නුවර පසුකොට ඇතුගල්පුර දෙසට මඳ දුරක් යන විට අප පිවිසෙන්නේ මැටියගනේ ප‍්‍රදේශයට යි. මැටියගනේ හන්දියෙන් වමට හැරී කඩහපොළ පාරේ කි.මී.03ක් පමණ දුරක දී හමුවන තුන්මං හන්දියේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සවිකරන ලද ‘පනාවිටිය අම්බලම’ ලෙසින් සඳහන් දිශා පුවරුවක් මුණගැසේ. එම මං සටහන් ඔස්සේ තවත් කි.මී. 02ක් පමණ ගිය විට පනාවිටිය, දීකිරිකෑවේ ශ‍්‍රී ලංකාතිලකාරාමය හමු වේ. විහාරස්ථානය පසුකරනවාත් සමඟ ම හමුවන්නේ එදා සුවහසක් දනන් උදෙසා සිහිලැල් ගිමන්හලක් වූ ද මෙදා අපගේ සොඳුරු ගමනාන්තය වූ ද ඓතිහාසික ‘පනාවිටිය අම්බලම’ යි.

බෝසත් විජයබා කුමරුන්ගේ යට කී සිද්ධියෙන් පසු දීකිරිකෑවේ සංචාරයෙහි නිරත වන සෑම අවස්ථාවක ම පනාවිටියේ මෙම අනුහස් සහිත භූමියට පැමිණ මඳ වේලාවක් ගත කිරීමට දෙවන පැරකුම් නිරිඳුන් අමතක නො කළේ ය. ග‍්‍රීෂ්මයේ දිනක මෙහි සපැමිණ තුරු සෙවණේ විවේක ගනිමින් කල්පනාවේ නිමග්න ව හුන් නිරිඳුන් සිය අතිජාත සමීපතමයා වූ මහාමාත්‍ය දේවපතිරාජයන් ඇමතී ය.

“දේවපතිරාජ, මේ බොහෝ ම අනුහස් තියෙන ඉසව්වක්. අපි මෙතන කාගෙත් පහසුව පිණිස අම්බලමක් හදමු ද?”
“යහපති මහරජතුමනි, එය මේ මෙඟ් යනෙන සියලූ දෙනාගේ පහසුව පිණිස වේවි. මම ඒ ගැන සොයා බලා කටයුතු සලස්වන්නම්.”
“දේවපතිරාජ, මම කැමතියි ඒ කටයුතු ඔබේ අධීක්‍ෂණය යටතේ ම සිදුවෙනව නම්… මොකද මේ තැන මට බොහොම ප‍්‍රිය යි.”
“එහෙමයි මහරජතුමනි”

ඉදිකළවුන් හට දිව රෑ පින් වැඩෙන මෙම මනරම් අම්බලමේ අත්තිවාරම එසේ සැකසිණ.

පනාවිටියට යළිත් පණක්

ඉපැරණි දඹදෙණිය – යාපහුව රජ මාවත ඔස්සේ වැටී තිබූ අම්බලම් ශ්‍රේණියෙන් මේ වන විට ශේෂ වී ඇත්තේ අම්බලම් 02ක් පමණි. පනාවිටිය අම්බලම ඉන් එකකි. අනෙක නම් කරගහගෙදර අම්බලමයි. මේ අතරින් වඩාත් සුමට, නිර්මාණශීලීත්වයෙන් පිරිපුන් නිමැවුම වන්නේ පනාවිටිය අම්බලමයි. දෙස් විදෙස් ගෘහ නිර්මාණ ශිල්පීන්, සුප‍්‍රසිද්ධ කැටයම්කරුවන් මවිතයට පත්කළ අසහාය නිමැවුමක් වූ මේ සොඳුරු ගිමන්හලේ ලී කණු, බාල්ක, යට ලී ඇතුළු බැලූ බැලූ අත දිස්වෙන සියුම් කැටයම් නිර්මාණ, ඓතිහාසික ඇම්බැක්කේ දෙවොලටත්, ශ‍්‍රී දළදා මාළිගාවටත් පමණක් දෙවෙනි වන බව ඉතිහාසඥයන්ගේ මතයයි.

කාලයේ වැලි තලාවන්ගෙන් වැසී යමින් කෙමෙන් ‘අනිත්‍යය’ නම් පොදු සත්‍යය වූ ධර්මයේ ඉරණමට ගොදුරු වෙමින් තිබූ පනාවිටිය අම්බලම, වර්ෂ 1961 දී එවක පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය චාල්ස් ගොඩකුඹුර විද්වතාණන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ එහි ඓතිහාසික වටිනාකමට හානි නො වනා අයුරින් 1962-1963 කාල වකවානුවේ දී ප‍්‍රතිසංස්කරණයට ලක් කෙරිණි. ජාතියක අභිමන කියාපානා මෙම විස්මිත නිර්මාණය සහ මෙහි සියුම් කැටයම් හෙට දවස වෙනුවෙන් සංරක්ෂණය උදෙසා, මූලික පහසුකම් ද අවම වූ යුගයක අප‍්‍රමාණ වෙහෙසක් දරා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉටුකොට ඇති මෙහෙය අතිශය පැසසුම් කටයුතු ය. වර්තමානය මෙන් ම අනාගතය විසින් ද ඒ ශ්‍රේෂ්ඨ ඉතිහාසය බුහුමන් ලැබිය යුතු ම ය.

අහසේ පාවෙන ඉසිඹුහල

දුරින් හිඳ බලන්නකුට මෙම අම්බලම දිස්වන්නේ පොළොවෙන් අඩි 2-3ක් පමණ උස් ව යම් ඍද්ධියකින් රැඳී තිබෙන්නා වූ ගොඩනැගිල්ලක් මෙනි. සැබැවින් ම මේ සම්පූර්ණ ගෘහය නිමැවී ඇත්තේ පොළොවේ ශක්තිමත් ලෙසින් පිහිටුවන ලද වටකුරු ගල් හතරක් මත සමබර කරනා ලද දැව තලාඳ 4ක් මත ය. ඒ මුළු ගොඩනැගිල්ලේ ම පාදමයි. මෙම ටැම්පිට ගොඩනැගිලි කලාව 19 වන සියවස දක්වා ප‍්‍රචලිතව පැවතුණකි. වටකුරු ටැම් 4 මඳක් අභ්‍යන්තරයට වන්නට පිහිටුවා ඇති බැවින් එක් වරම බැලූ විට එ්වා නො පෙනේ. මෙය බැලූ බැල්මට පාවෙන ගොඩනැගිල්ලක් ලෙසින් දිස්වනුයේ එහෙයිනි. ශ‍්‍රී ලංකාවේ භාවිතා වී ඇති මෙවන් සියුම්, දුර්ලභ ගෘහ නිර්මාණ ශිල්පීය විධි ක‍්‍රමයන් ලොව කිසි ලෙසකින් සුලභ නො වේ. අදට ද මේවා දැකබලා මවිත ව බටහිරයන්ගේ ඇස් උඩ යන්නේ එනිසාවෙනි. මුළුමනින් ම දැවයෙන් නිර්මිත මෙය නිතර වැසි දියෙන් තෙමීමෙන් ද වේයන් වැනි කෘමීන්ගෙන් ආරක්ෂා කිරීමේ අටියෙන් ද රාත‍්‍රී නවාතැන් ගන්නා පිරිස් හට සර්පයන් වැනි සතුන්ගෙන් සිදුවිය හැකි උපද්‍රව අවම කරගැනීමේ අටියෙන් මෙන් ම බොහෝ දෙනා පරිභෝජනය කරනා බැවින් නඩත්තු කටයුතුවල පහසුව උදෙසා ද මෙසේ පොළොවෙන් මඳක් උස් ව ඉදිකොට ඇතැයි සැලකේ. මෙහි වහලය ද ඉතා සුවිශේෂී නිමැවුමක් වන්නේ එහි මූට්ටු සවිකොට ඇති ආකාරය නිසාවෙනි. එසේ ම වහලයේ ලී ද කැටයම් කොට විසිතුරු අයුරින් වර්ණ ගන්වා ඇත.

විස්මිත ලී වඩුවාණෙනි ඔබ හට
අප ණයගැති නො වෙදෝ

ශ‍්‍රී ලාංකීය සාම්ප‍්‍රදායික කැටයම් රටාවන්ගෙන් පැහැදිලි ලෙසින් අපගමනය වූ පනාවිටියේ ලී කැටයම් තත්කාලීන සමාජයට කැටයමින් පණ දුන් සුවිශද නිර්මාණයකි. කල්පිත මනෝභාවයන් තුළ කැටයම් වූ මල්කම්, ලියකම් හෝ වෙනත් රූපකායන් වෙනුවට එදිනෙදා මඟතොටේ, විහාරයේ, බෝ මළුවේ, වෙල් යායේ, රජ වාසලේ, හටන් මඩුවේ, ඇත් හලේ දී නිතර නෙත ගැටෙනා යථාවාදී දසුන් පනාවිටියේ ගල් කණු මත අදටත් දිවමන් ව ඇත.

මල් පූජා කරන්නන්, අණබෙරකරුවන්, පණිවුඩකරුවන්, සක් පිඹින්නන්, ඇත් ගොව්වන් ආදීන් දැනුදු පනාවිටිය අම්බලමේ කණු මත ජීවමානව හිඳිනා අතර නාටිකාංගනාවන්, අංගම්පොර ශිල්පීන් මෙන් ම නළු නිළියන් ද මේ කැටයම් අතර වේ. නිසල බෝ මළුව ද පරිසර අසිරිය ද සත්ව ලෝකය ද මේ මහානීය නිමැවුමේ කොටස්කරුවෝ ය. මෙහි කැටයම් ව තිබෙනා සොඳුරු බෝ පත්, විසිතුරු නෙළුම් මල්, මුවන්, හස්තීන්, සිංහයන්, මොනරුන් මෙන් ම ගුරුලන්, නාගයන් හා යක්ෂයන් ද එදා කැටයම්කරුවාගේ නිර්මාණ වපසරිය මොනවාට කියාපායි. මේ සියල්ලන් වර්තමානය වෙත ගෙනහැර දක්වන්නේ අතීතයේ ශ‍්‍රී විභූතියයි. ඒ නිවහල් චින්තනයේ ආශ්චර්යය යි.

අංගම් පිටියෙන්…

පනාවිටියේ අම්බලම හා බැඳෙනා ජනශ‍්‍රැතීන් ද මෙම කැටයම් නිර්මාණ තරමට ම රසවත් ය. අපූරු ය.

ශ‍්‍රී ලංකාද්වීපයට ම ආවේණික වූ අංගම් හටන් කලාවේ ඉතිහාසය ලංකේෂ්වර රාවණා යුගයටත් එපිටින් වූවකි. මෙය බොහෝ ප‍්‍රචලිතව පැවතියේත්, පාරම්පරිකව පවත්වාගෙන එන ලද්දේත් ප‍්‍රධාන වශයෙන් ම රාක්ෂස ගෝත‍්‍රික ජනතාව විසිනි. අනෙකුත් ජන කොට්ඨාසයන් විසින් ද මෙම සටන් කලාව ප‍්‍රගුණ කළ අතර ඒ ඒ ජන වර්ගයන්ට, ඒ ඒ ප‍්‍රදේශවලට ආවේණික ලක්ෂණ ද දැකිය හැකි ය. දෙවන පෑතිස් රජ සමයේ සිට ම රාජ නියමයෙන් පරම්පරාගත ව විජය ශ‍්‍රී ජය ශ‍්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්ෂාව භාරව හුන්නේ ද රාක්ෂස ගෝත‍්‍රික අංගම් හටන් ශිල්පීන් ය. මොවුන්ට ම ආවේණික වූ ඇඳුම් වර්ග කිහිපයක් මේ සඳහා භාවිත වූ අතර මුල් කාලීන දිග කලිසමට නෑකම් කියනා, සරුවාලයට බෙහෙවින් සමානකමක් දක්වන ඇඳුම මේ අතරින් වඩාත් ප‍්‍රචලිත වූවකි. පනාවිටිය අම්බලමේ කැටයම් වූ අංගම් සටන්කරුවෝ ද මේ අයුරින් ම සැරසී සිටිති.

මානවහිතවාදීන්ගේ පැටිකිරිය

වර්තමානයේ මානව හිමිකම් වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලනා ඉංග‍්‍රීසීන් සැහැසි අවියේ බලයෙන් අපව සියවසකට අධික කාලයක් යටත් කොටගෙන සූරාකෑවා පමණක් නො ව, අපගේ උරුමයන් ද ඉතිහාසය ද විනාශ කිරීමට හැකි සෑම පියවරක් ම ගන්නා ලදී. පසුගිය දශක තුනක් පමණ පුරාවට ත‍්‍රස්තවාදී එල්ටීටීඊ සංවිධානය විසින් සිදුකළා සේ ම බටහිරින් මෙහි ගොඩබට මේ ඇත්තෝ ද උත්සාහ ගත්තේ අපගේ උරුමය මෙබිමින් තුරන් කිරීමට ය. විවිධ මුහුණුවරින් එදා සිට අද දක්වා ම විටෙක මිතුරුවත්, විටෙක සතුරුවත් මේ ක‍්‍රියාත්මක වන්නේ එක ම න්‍යය පත‍්‍රයක් බව වටහා ගන්නට ඕනෑ තරම් සාධක අප සතුව ඇත.

අග්නි මෙහෙයුම් බලකාය පනාවිටියට

ඒ 18 වන ශතවර්ෂයේ මැද භාගයයි. ලංකාද්වීපයේ බටහිර කොටස භාරව හුන් ඉංග‍්‍රීසි සේනාධිනායකයා තමන් විසින් ශ‍්‍රී ලංකා සිතියමේ පෙර සලකුණු කරනා ලද ස්ථාන කිහිපයක් පිරිසමින් සිටියි. වමත්කරුවකු වූ ඔහුගේ දබර ඇඟිල්ල දිවෙන්නේ ඓතිහාසික දඹදෙණිය – යාපහුව මාර්ගයේ දඹදෙණියේ සිට උතුරු දෙසට ය. දීකිරිකෑවට එළඹෙන ඔහුගේ ඇඟිල්ල රතු පැහැයෙන් ලකුණු කරන ලද එක්තරා ස්ථානයක නතර වෙයි. යම් කිසි දෙයක් තහවුරු කරගන්නා ලද බවක් ඔහුගේ මුහුණේ ඉරියව් කියාපායි.

ඊළඟ මොහොතේ පුටුවෙන් නැඟී සිටි ඔහුගේ කුරිරු අණින් සන්නද්ධ වූයේ සිය සේනාවේ අග්නි මෙහෙයුම් බලකාය යි. ලංකාව පුරා වෙහෙර විහාර, ඉපැරණි පොත්ගුල්, ගොඩනැගිලි ගිනිතබා සුණු විසුනු කරන ලද්දේ හිත්-පිත් නැති, පින-පව නො දත් මේ පව්කාර බලකාය විසිනි. මෙවර ඔවුන්ගේ ගොදුර ඉතා සැහැල්ලූ වූත්, පහසු වූත් එකකි. ඒ පනාවිටිය අම්බලමයි. සැබැවින් ම ඔවුන් සන්නද්ධ වූයේ පාළු ගෙයක වළං බිඳීමට ය.

අංගම්කරුගේ වීර වික‍්‍රමය

පසුදින දහවල් වනවිට සේනාවෝ පනාවිටියට ළඟා වූහ. අම්බලම තුළ කිසිවෙක් නො වූ අතර සුදු සේනාවක් අම්බලම දෙසට එන වග කන වැකී එහි දිව ආ ගම්මුන් කිහිපදෙනෙකු පමණක් අවට වූහ. සේනාවන් විසින් ඔවුන් තර්ජනය කොට පළවා හරින්නට වූ හෙයින් මඳක් ඈත් වී සිදුවන්නේ කුමක් ද යන්න ඔවුන් සැඟවී බලා සිටින්නට විය. අම්බලම තුළට ගොඩ වූ සේනාංක ප‍්‍රධානියාගේ නෙත මුලින් ම ගැටුණේ අංගම් සටන්කරුවාගේ කැටයම වෙත ය. මඳ වේලාවක් ඒ දෙස අවධානයෙන් බලා සිටි ඔහු අවට වූ අනෙකුත් කැටයම් දෙස උඩින් පල්ලෙන් මෙන් බලමින් අම්බලමින් පිටතට වැද, ආපසු හැරෙනා ලෙස තම සේනාංකයට අතින් සංඥා කරමින් පිටත්ව ගියේ ය. අම්බලම නිරුපද්‍රිතව සුරක්ෂිත විය.

එහෙම වුණේ ඇයි…?

බටහිරයන් සිතා සිටින්නේ ලොව සෑම දෙයක් ම මුලින් ම සිදුකළේ ඔවුන් විසින් කියා ය. ලොව මුලින් ම කලිසම් ඇන්දේ ද බටහිරයන් යැයි ඔවුහු සිතා සිටිති. එසේ ම එවක කලිසම් හැඳ සටන් කළේ ද බටහිරයන් පමණකැයි ඔවුහු සිතා සිටියහ. සුද්දන් 10 දෙනෙකු පමණ සමඟ එකවර සටන් කොට බිම හෙලිය හැකි, සුද්දාට පෙර කලිසම් හැඳි සිංහල අංගම් හටන් ශිල්පීන් පිළිබඳ සුද්දා නො දත්තේ ය. එහෙයින් පෙර කී සාවද්‍ය වූ පූර්ව නිගමනයන් ඔස්සේ ඔවුන් නිර්ණය කළේ මෙම සටන්කරුවන් ඔවුනට පෙර ලංකාව ආක‍්‍රමණය කළ පෘතුගීසීන් හෝ ලන්දේසීන් බව ද මෙය ඔවුන් විසින් නිර්මාණය කරන ලද්දක් බවට ද ය. පනාවිටිය අම්බලම සතුරු උපද්‍රවයට සාර්ථකව මුහුණ දුන්නේ එලෙසිනි.

සුරකිමු උරුමයක අසිරිය

ඉතිහාසය විසින් ද සොබාදහම විසින් ද පනාවිටිය අම්බලම අනාගතය උදෙසා ආරක්ෂාකොට දී ඇත්තේ ය. එය අනාගත පරපුර උදෙසා ද සුරක්ෂිතව උරුම විය යුතු ය. ඒ උදෙසා ඔවුන් තම උරුමයන් මෙන් ම ඉතිහාසය පිළිබඳ ව ද මැනැවින් දැනුවත් විය යුතු ය. දැනුමින් ශක්තිමත් විය යුතු ය. ආසියාවේ ආශ්චර්යය කරා යන ගමනේ දී ඉතිහාසය නො දත් දීන ජාතියක් ලෙසින් එම ඉලක්කය කරා එළැඹීම සිහිනයක් පමණි. අපේ උරුමය අපට වටින්නේ නැත. මෙය වෙනත් දේශයක වී නම්, අප මුදල් ගෙවාගෙන එහි ගොස් ඒවා නරඹා වර්ණනා ද කරනු ඇත. දන්නා හඳුනන අය ද යාමට පොළඹවනු ඇත. සංචාරක කර්මාන්තයේ දියුණුව උදෙසා කෝටි ප‍්‍රකෝටි ගණනින් වැය කෙරනා යුගයක, සංචාරකයන් මවිත කරවන මෙවන් අද්විතීය කලා නිර්මාණයන් ලොව හමුවේ ගෙනහැර දැක්වීමට අප විසින් ගෙන ඇත්තේ කවර ක‍්‍රියාමාර්ගයන් ද?

මේ අවධි වන්නට කාලයයි. අප ප‍්‍රමාද වන තරමට ම අපගේ උරුමයන් අප වෙතින් ගිලිහී යාම ඉක්මන් වනු ඇත. එදිනට අපවෙත පසුතැවීම විනා අන් කිසිවක් ශේෂ නො වනු ඇත.

ඇසුර : මහාවංශය, ථූපවංශය, පුරාවිද්‍යා වාර්තා හා ජනශ‍්‍රැති

මෙම ලිපිය පිළිබඳ ඔබේ අදහස්
අපට SMS කරන්න
071 018 94 30

යටගියාවක සටහන
ඒ. කේ. බී. උඩුගම්පළ