පින්වතුනේ, පින්වත් දරුවනේ,

දවසක් එක බ‍්‍රාහ්මණයෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා, ‘‘ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, වෙන් වෙන් විෂය අනුභව කරන, වෙන් වෙන් ගෝචර විෂය ඇති, ඇස, කන, නාසය, දිව, කය කියලා ඉන්ද්‍රියන් පහක් තියෙනවා. මේ ඉන්ද්‍රිය පහට තියෙන පිහිට මොකක්ද?”

මේ ඉන්ද්‍රියන් පහට වෙන් වෙන් ගෝචර විෂය කියලා කිව්වේ ඇසින් ශබ්ද අහන්න බෑ. ඇසින් කරන්නේ රූප දැකීම. කනෙන් තමයි ශබ්ද අහන්නේ. නාසයෙන් ගඳ සුවඳ දැනගන්නේ. දිවෙන් රස දැනගන්නේ. ශරීරයෙන් දැනගන්නේ පහස. එතකොට එ් එ් ආයතනයට එ් එ් ගෝචර විෂයන් තියෙනවා.

බුදුරජාණන් වහන්සේ වදාළා, ‘‘මේ ඉන්ද්‍රිය පහට තියෙන පිහිට තමයි මනස.” එ් කිව්වේ මනසේ ක‍්‍රියාකාරීත්වයක් තිබුණේ නැත්නම් මේ ඇසෙන් වැඩක් නෑ. එහෙම වුණොත් ඇසකින් කෙරෙන ක‍්‍රියාව කෙරෙන්නේ නෑ. මනසේ ක‍්‍රියාකාරීත්වයක් තිබුණේ නැත්නම් මේ කනෙන් වැඩක් නෑ. එහෙම නම් ඇස, කන, නාසය, දිව, කය කියන මේ පහේ ම ක‍්‍රියාකාරීත්වයට බලපාලා තියෙන ප‍්‍රධාන දේ තමයි මනස.

ඊට පස්සේ එ් කෙනා අහනවා, ‘‘එහෙම නම් මනසට තියෙන පිළිසරණ කුමක්ද?” කියලා. බුදුරජාණන් වහන්සේ වදාළා ‘‘මනසට තියෙන පිළිසරණ සිහියයි.” එතකොට ඇස, කන, නාසය, දිව, කය කියන ඉන්ද්‍රිය පහට පිළිසරණ මනසයි. එතකොට මනස පිළිසරණ කරගත්තු මේ ඉන්ද්‍රිය පහේ ක‍්‍රියාකාරීත්වයට ප‍්‍රධාන මනසයි.

එ්කයි බුදුරජාණන් වහන්සේ වදාළේ, (මනෝපුබ්බංගමා ධම්මා) මේ සෑම දේකටම (කුසල්වලට, අකුසල්වලට) මූලික වූ පූර්වාංගමය වෙලා තියෙන්නේ මනස කියලා. එහෙම නම් අපේ ජීවිතය තුළ අපි කරන කියන දේවල්, කතාබස් කරන දේවල්, ඊ ළඟට වචනයෙන් කතා කරන දේවල්, කයින් ක‍්‍රියා කරන දේවල් මේ සෑම දේකටම මුල් වෙලා තියෙන්නේ මනස. එතකොට එ් මනස මුල් වෙලා නම් තියෙන්නේ (පදුට්ඨ මනසා) දූෂිත මනසින් වැඩ කරන්න වුණොත් එ් ක‍්‍රියාව දූෂිත වෙලා යනවා. එ් වගේ ම (පසන්න මනසා) පහන් සිතින් වැඩ කරන්න වුණොත් ක‍්‍රියාව යහපත් වෙනවා. මනසට එකතු වෙන දේ අනුව නම් එ්ක සිද්ධ වෙන්නේ, එහෙම නම් මනසේ තමයි මේ ප‍්‍රධානම කාරණාව කෙරෙන්නේ. එහෙම නම් යම්කිසි කෙනෙක් එ් කෙරෙහි සිහිය පිහිටෙව්වොත් එ්ක මනසට පිළිසරණයි. එහෙම නම් මනසට පිළිසරණ වූ දෙයක් තමයි සිහිය.

මේ විදිහට යම්කිසි කෙනෙක් සිහිය පිහිටුවා ගන්න කල්පනා කළොත්, එ් සිහිය පිහිටුවා ගැනීමේ දී බුදුරජාණන් වහන්සේ පෙන්වූ විදිහට තමයි සිහිය පිහිටුවන්න තියෙන්නේ. සීල, සමාධි, ප‍්‍රඥා යන කොටස්වලින් සමාධි කියන කොටසට තමයි සිහිය අයිති. (සම්මා වායාම) මනාකොට වීරිය ගන්න කොට (සම්මා සති) යහපත් ලෙස සිහිය පිහිටනවා. එතකොට තමයි අකුසලයන්ගෙන් බැහැර වෙලා කුසලයේ සිත පිහිටුවා ගන්න පුළුවන් වෙන්නේ.

එතකොට අපි නිකම් ‘‘සිහිය පිහිටන්න! සිහිය පිහිටන්න!” කියලා කිව්වට එ්ක හරියන්නේ නෑ. එහෙම නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට සිහිය පිහිටුවන්න ඕන. උන් වහන්සේ සිහිය පිහිටුවන්න කියලා තියෙන ක‍්‍රමය තුළ සිහිය පිහිටියොත් අකුසල් දුරු වෙනවා.

මේ සිහිය මිච්ඡා සති, සම්මා සති කියලා දෙකක් තියෙනවා. මිච්ඡා සති කියලා කියන්නේ කෙනෙකුට අකුසල පාක්‍ෂික දේවල් සම්බන්ධයෙන් මෙනෙහි කර කර, කල්පනා කර කර, හිත හිත ඉන්නත් පුළුවන්නේ. එතකොට එ් අකුසල පාක්‍ෂික දේ ගැන හිත හිතා ඉන්න කොට ඔහු තුළ වැඩෙන්නේ මිථ්‍යා සිහිය. එතකොට මිථ්‍යා සංකල්පවලට, මිථ්‍යා වාචාවලට, මිථ්‍යා කම්මන්තයට, මේ හැමදේටම මේ මිථ්‍යා සිහිය හේතුවෙනවා. නමුත් එ් මිථ්‍යා සිහිය හිතට පිළිසරණක් නෙවෙයි. සිතට පිළිසරණ වෙන්නේ කුසල පාක්‍ෂික, කුසල් වැඩෙන්න උදව් වෙන සිහිය.

මේ දහම් කරුණු ඔබ හැම දෙනාටම උතුම් ධර්ම අවබෝධ කර ගැනීම පිණිස දහම් පඬුරක් ම වේවා!

හැම දෙනාටම තෙරුවන් සරණයි!

නමෝ බුද්ධාය!