highlights of the week
Home » NEW ARTICLES » ලෝක ජල දිනය – අපට සිතන්නට යමක්

ලෝක ජල දිනය – අපට සිතන්නට යමක්

1993 දී ආරම්භ කර, එවසර සිට සෑම වසරක ම මාර්තු මස 22 දින ජාත්‍යන්තර ජල දිනය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශ කර ඇත. මේ මාර්තු මාසය යි. 22 වන දින ලොව පුරා සැමරුම් වැඩසටහන් පැවැත්වෙනු ඇත. එහෙත් අප ජලය ගැන විශේෂ අවධානය යොමු කළ යුත්තේ ජාත්‍යන්තර ජල දිනය සැමරීම වෙනුවෙන් පමණක් ම නො වේ.

ජලය නම් මූලද්‍රව්‍යයක් නොමැති වූවා නම් අප ද නැත. දූවිල්ලක් පමණක් පවතිනු ඇත. ජලය ජීවයේ පැවැත්මට අවශ්‍ය මූලික සාධකයකි. අභ්‍යවකාශ ගවේෂණය කරන විද්‍යාඥයන් විශ්වයේ වෙනත් ග්‍රහලෝක ගැන සොයද්දී මුලින් ම බලන්නේ එහි ඔක්සිජන් සහ ජලය පවතිනවා ද යන්න ය. එම මූලද්‍රව්‍ය නොමැතිව ජීවයක් පවතින්නට හැකියාවක් නැති බැවිනි.

අපගේ සිරුරේ බරෙන් 55%-65%ක් ඇත්තේ ජලය යි. අලුත උපදින දරුවකුගේ මෙය 78% පමණ වේ. අපගේ මොළයෙන් 75%ක් ඇත්තේ ජලය යි. ඔබ කිලෝ 70ක් බර නම් ඉන් කිලෝ 42ක් ම ජලය යි. කෙනෙකුට මාසයක පමණ කාලයක් ආහාර නොමැතිව ජීවත් වන්නට හැකි ය. එහෙත් ජලය නොමැතිව සතියකට වඩා ජීවත් විය නො හැක.

ජලය, අගය කියා නිම කළ නො හැකි තරම් වටිනා සම්පතකි. එහෙත් අප එහි අගය හරි හැටි දකින්නේ නැත. ඒ කෙරෙහි එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැති නිසා ම සුරැකීම සඳහා හෝ දූෂණය වීම වැළැක්වීම සඳහා ගන්නා ක්‍රියාමාර්ගයක් ද නැත.

ජලය ගැන අපගේ දැනුම, අවබෝධය සැම විට ම රැවටිල්ලකි. එය පොළව මත තිබෙන සුලභ සම්පතක් බව අපට පෙනෙයි. අපට පෙනෙන්නේ අහසින් වැටෙන අසීමිත සම්පතක් වශයෙනි. නැත්නම් ඈත කොහේදෝ සිට ඇළ දොළ ගංගා මගින් ගලා එන දෙයක් වශයෙනි. එහෙත් ජලය කෙතරම් සීමිත සම්පතක් බව ඔබ සිතා බලා තිබේ ද? මෙම සංඛ්‍යා දෙස අවධානය යොමු කර බලන්න.

පොළවේ සමස්ත ජල ප්‍රමාණය ඝන සැතපුම් මිලියන 332.5ක් පමණ ඇතැයි ගණන් බලා ඇත. බැලූ බැල්මට ඒ අති විශාල ප්‍රමාණයකි.

මෙම ප්‍රමාණයෙන් 97%ක් ම ඇත්තේ සාගර සහ මුහුදුවල ය. ලවණ බැවින් එදිනෙදා මිනිස් පරිභෝජනයට ගත නො හැක. ඉතිරියෙන් ද වැඩි කොටස එනම් 2.7%ක් ඇත්තේ අපට ළඟා වීමට අසීරු, නො හැකි තැන්වල ය. එනම් අයිස් වශයෙන් ග්ලැසියරවල සහ පොළව අභ්‍යන්තරයේ ඇති ජලාශවල ය. ඇන්ටාක්ටිකා මහාද්වීපයේ පමණක් ලවණ නො වන පිරිසිදු ජල ප්‍රමාණයෙන් 61%ක් අයිස් ග්ලැසියර් වශයෙන් පවතී. අපට පරිභෝජනය කළ හැකි 0.3% ප්‍රමාණය පවතින්නේ මිහිපිට ජලාශ පොකුණු ගංගා ඇළ දොළ තෙත්බිම් යනාදියේ ය. තේරුම් ගැනීමට පහසු වීම සඳහා උදාහරණයක් ගනිමු. සමස්ත මිහිතලයේ ම ජලය ලීටර් හතරක් ජලය පිරවූ භාජනයකට සම කළා යයි සිතමු. එයින් තේ හැන්දක් පුරවා ජලය ඉවතට ගන්න. සමස්ත මානව ප්‍රජාවට ම පරිභෝජනය සඳහා ඇති ජලය ප්‍රමාණය එය යි. අද ජීවත් වන බිලියන 7ක් වන මිනිසුන් සහ අනෙක් සත්වයන්ට බෙදා හදා ගැනීමට සිදුව ඇත්තේ මෙය යි.

අපට ලබා ගත හැකි මෙම සොච්චම් ජල ප්‍රමාණය බීමට නෑමට ආහාර පිසීමට වැනි මූලික කාර්යයන් සඳහා පමණක් නො වේ. කෘෂිකර්මය සඳහා වාරි ජලය සැපයීමට, සත්ව පාලනයට, කර්මාන්ත ශාලාවල නිෂ්පාදන ක්‍රියාවලියට, විදුලිය නිෂ්පාදනයට, විනෝද ක්‍රීඩාවලට සහ වෙනත් ගෘහස්ත කාර්යන්ට ද භාවිත කළ යුත්තේ මෙම ප්‍රමාණය යි.

අප ජීවත් වන මිහිතලය ආවෘත වූවකි. එහි තේරුම නම් එය තුළ ඇති මූලද්‍රව්‍යවලට අලුතින් යමක් බැහැරින් නො ලැබෙන අතර පවතින දැය බැහැරට යන්නේ නැති බවයි. දැනට වසර මිලියනයකට පෙර මිහිතලයේ පැවති ජලය ප්‍රමාණය තාමත් නොවෙනස් ව පවතී. සමස්තයක් ලෙස බලන විට ජලය ස්ථාවර සම්පතක් ලෙස පෙනේ. එසේ නම් ලෝකයා ජලය සම්බන්ධව මෙතරම් සැලකිල්ලකින් කතා කරන්නේ මන්දැයි ඔබට ගැටලුවක් වනු ඇත.

අනෙක් සියලු ස්වභාවික සම්පත් මෙන් ම ජලය සම්බන්ධයෙන් ඇත්තේ ද කළමනාකරණ ගැටලුවකි. මිනිසාගේ අදූරදර්ශී ක්‍රියා නිසා ම ජලය එන්න එන්න ම දූෂණය වෙමින් පවතී. පරිභෝජනයට නුසුදුසු එමෙන් ම හිඟ සම්පතක් බවට පත් වෙමින් පවතී.

■ ලෝක ජනගහනයෙන් 6 දෙනෙකුගෙන් එක් අයෙකුට සනීපාරක්ෂාව සඳහා ජලය නො ලැබේ. මිලියන 800ක ප්‍රමාණයකට පිරිසිදු ආරක්ෂිත පානීය ජලය ලැබෙන්නේ නැත.
■ ජලය සහ සනීපාරක්ෂාව සම්බන්ධ රෝගවලින් වසරකට මිලියන 3.5ක් පමණ මිනිසුන් මිය යන බව ගණන් බලා ඇත. මෙලෙස මිය යන්නන්ගෙන් 99%ක් ම සංවර්ධනය වන රටවල ය.
■ සෑම තප්පර 15කට ම වරක් ජලය සම්බන්ධ රෝග තත්ත්වයක් නිසා වයස 5ට අඩු දරුවකු මිය යයි. එනම් දිනකට ළමුන් 6000කි. ලෝකයේ වයස 5ට අඩු දරුවන්ගේ මරණයට හේතු වන දෙවන ප්‍රධාන හේතු සාධකය පාචනය යි.
■ බිලියන 1.2කට වඩා මිනිසුන් ප්‍රමාණයක් දිනපතා මළපහ කරන්නේ විවෘත පරිසරයට ය. වැසිකිළි පහසුකම් නැති බැවිනි. වැසිකිළි භාවිතයට වඩා ජංගම දුරකථන භාවිත කරන සංඛ්‍යාව වැඩි බව ගණන් බලා ඇත.

කෙනෙකු කැලයක මළ පහ කිරීම එතරම් දෙයක් ලෙස කෙනෙකුට නො පෙනෙන්නට පුළුවන. එහෙත් ජල සම්පාදන මාර්ග අපවිත්‍ර කරන ප්‍රධාන ම සාධකය එය යි.

2017 ලෝක ජල දිනය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සුවිශේෂ තේමාවක් ලබා දී ඇත. එනම් අපවිත්‍ර ජලය යන්නයි (Waste Water) ඉවත දමන ජලය යන්නෙහි අරුත වන්නේ අප විසින් භාවිත කළ පසු ගුණාත්මක භාවය පහතට ගිය ජලය යි. වෙනත් වචනවලින් කියයි නම් දූෂිත ජලය යි. ගෘහ පරිභෝජනය, කාර්මික, වාණිජ සහ කෘෂිකර්ම භාවිතය නිසාත්, මතුපිට ගලා යාමේ දී අපද්‍රව්‍ය එකතු වීම නිසාත් ජලය අපවිත්‍ර වේ. වෙනත් වචනවලින් පවසන්නේ නම් අපට භාවිතයට ඇති ජලය එන්න එන්න ම අඩු වන්නේ අපගේ ම ක්‍රියාපිළිවෙළවල් නිසා ය.

දියුණු වෙමින් පවතින රටවල කෘෂිකර්ම, සත්ව පාලන සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ අපවිත්‍ර ජලය 90%ක් ම පරිසරයට මුදා හරිනු ලබන්නේ කිසිදු පිරිපහදු කිරීමකින් තොරව ය. මෙහි ප්‍රතිඵලයක් ලෙස බොහෝ රටවල ගංගා ඇළ දොළවල ජලජ ජීවීන් දැනටමත් විනාශ වී ඇත.

ලෝක ජනගහනයේ පැවැත්මට ජල සම්පත ඉටු කරන කාර්යභාරය ගැන අදාළ බලධාරීන්ගේ ප්‍රමාණවත් අවධානයක් යොමු වී තිබේ ද යන්න තාමත් පැහැදිලි නැත. පසුගිය වසර 40ක් තුළ ලෝක ජනගහනය දෙගුණ වී ඇත. එමෙන් ම පිරිසිදු ජල අවශ්‍යතාවය සිව් ගුණයකින් වර්ධනය වී ඇත. 2025 වන විට ලෝක ජනගහනයට තවත් බිලියනයක් එක් වීමට නියමිත ය. කෘෂිකර්ම, කර්මාන්ත සහ ජීවන අවශ්‍යතා සඳහා පිරිසිදු ජලය සපයා ගැනීම ශීඝ්‍රයෙන් ඉහළ යන අභියෝගාත්මක කාර්යයක් වනු ඇත. කෘෂි කාර්යයන් සඳහා පමණක් දැනට වඩා ජලය ඝන මීටර් ටි්‍රලියනයක් වුවමනා වනු ඇත. සංවර්ධනය වෙමින් පවතින රටවල සමස්ත ජල ඉල්ලුම 50%කින් ඉහළ යනු ඇත. දියුණු රටවල ඉල්ලුම 18%කින් ඉහළ යනු ඇත. මෙහි අවසාන ප්‍රතිඵලය විය හැක්කේ ජනගහනය බිලියන 1.8ක් අධික ජල ඌනතාවට භාජනය වීම ය. ලෝක ජනගහනයෙන් 2/3ක් ම ජලය හිඟකම නිසා පීඩාවට ලක් වනු ඇතැයි ලෝක බැංකුව පුරෝකථනය කරයි.

අපට කළ හැකි යමක් තිබේ ද?

ගෘහයක් ලෙසට, පුද්ගලයෙක් ලෙසට අපට ද කළ හැකි යමක් ඇත. ලොකු වැඩක් ලෙස නො පෙනුනත් අපට ද ආර්ථික වශයෙන් වාසියක් ද වන පහත සඳහන් ක්‍රියාමාර්ග ඉන් සමහරකි.

■ ඇස්තමේන්තු කර ඇති අන්දමට සංවර්ධනය වන රටවල 50%ක් නිවෙස්වල කුමන හෝ ජල කාන්දුවක් ඇත. නිවසේ කරාමයකින් ජලය බිංදුවක් තත්පරයකට කාන්දු වනවා යයි සිතමු. වසරකට ජලය ලීටර් 11400ක් ඉන් අපතේ යයි.
■ ෂවරයකින් ඔබ නානවා නම් නාන වේලාව විනාඩි 4ක් අඩු කිරීමෙන් ඔබට ජලය ලීටර් 120ක් ඉතිරි කර ගත හැකි ය.
■ අධිවේගී ෂවරයක් වෙනුවට මන්දවේගී ෂවරයක් භාවිතයෙන් විශාල ජල නාස්තියක් වැළකේ. කුමන ෂවරයකින් වුව ද ජලයෙන් 30%ක් වැටෙන්නේ ඔබේ සිරුරෙන් පිටතට ය.
■ හැකි සැම විට ම ඔබ වරක් භාවිත කරන ජලය වෙනත් කාර්යයකට යොදා ගන්න. මුලුතැන්ගේ සේදීමට භාවිත කරන ජලය ගෙවත්තේ වගාවකට යොදා ගත හැකි ය.
■ රෙදි සේදීමට යන්ත්‍රයක් භාවිත කරන්නේ නම් ඉන් සේදිය හැකි උපරිම රෙදි ප්‍රමාණය එකතු වන තුරු සිටින්න.
■ නිවසට ලැබෙන පානීය ජලය සඳහා අධික වියදමක් දරන්නට ද සිදු වේ.

ගෙවත්තේ ජල සංරක්ෂණය වන ආකාරයේ වගාවක් කිරීමෙන් පානීය ජලය වගාවන්ට යෙදීම සීමා කර ගත හැකි ය.

වඩාත් වැදගත් වනුයේ ජලය සීමීත සම්පතක් බව ඔබ දැනුම්වත් වීම, ඔබේ දරුවන් ද සෙසු සමාජය ද දැනුම්වත් කිරීම සහ ඒ අනුව ක්‍රියාත්මක වීම ය. ලෝක ජල දිනයක පරමාර්ථය ඉටු වූවා වන්නේ එවිට ය.

ආශ්‍රිතයන් –

www.unwater.org/campaigns/world-water-day/en
https://en.wikipedia.org/wiki/World_Water_Day
http://www.who.int/life-course/news/events/world-water-day-2017/en/

සටහන – කේ. ඒ. ජේ. කහඳව

Leave a Reply

Your email address will not be published.

x

Check Also

අධිරාජ්‍යවාදීන්ගෙන් මිහින්තලේ පුදබිම රැකගත් බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා

මිහින්තලේ පූජනීය භූමිය අත්පත් කර ගැනීම සඳහා බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් 1910 දී...