අරුණි මගේ හොඳම යෙහෙළියයි. අරුණිගේ පුංචි පුතාට තවම අවුරුදු දෙකයි. හුරතල් වයසේ පසුවෙන පුංචි පුතාගේ වදන්වලින් ඒ නිවස පිරී තිබුණා. හදිසියේම දිනකදී ඒ පුංචි පුතාට හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වුණා. මගේ යෙහෙළිය ඉක්මනින්ම පුතාව කොළඹ රිජ්වේ ළමා රෝහලට ඇතුළත් කළා.

එදා මම රෝහලට යනකොට අරුණි පුතාව තුරුළුකරගෙන ඉකිබිඳිමින් සිටියේ.

“අනේ අපේ පුතාගේ හදවතේ සිදුරක්ලු. ඉක්මනින් ප්‍රතිකාර නොකළොත් පුතා අපව දාලා යාවි” අරුණි ඉකිබිඳිමින් මගේ උරහිසට හිස තබා වැලපුණා.

ඇයව අස්වැසිය යුතු නිසා මම කිව්වේ අද අපේ රටේ මේ වගේ රෝගවලට සැත්කම් ඕනතරම් තිබෙන බවයි. ඒ සඳහා පුහුණු වෛද්‍යවරුන් ඉන්නා බවයි. ඇය කියන්නේ “ඒක ඇත්ත. ඒත් මේ වගේ දරුවන් තවත් හුඟක් දෙනෙක් අපේ රටේ රෝගීව ඉන්නවාලු. අපට දරුවාගේ සැත්කමට තවත් අවුරුද්දක් විතර පොරොත්තු ලේඛණයේ ඉන්න වෙනවා. ඒ අතරේ මොනවා වෙයිද කියලා අපි කොහොමද දන්නේ? අනේ මගේ දරුවා සුවපත් කරගන්නේ කොහොමද?” අරුණි නොනවත්වාම කියනවා.

ඇඳේ වැතිර සිටින සුරතල් පුංචි පුතා දෙස මම බැලුවේ කරුණාවෙන්. දුර්ලභව ලැබෙන මිනිසත් බව ඔහුට ලැබී තිබුණා.

බුද්ධෝත්පත්ති කාලයක ඔහු ඉපදී තිබුණා. බෞද්ධ පවුලක අංග විකල නොවී ඔහු මේ මනුස්ස ලෝකයට ආවා. ඒත්… මේ පුතාට ඉක්මනින් සැත්කමක් නොකළහොත් දුර්ලභව ලැබුණ මේ මනුස්ස ලෝකය අතහරින්න වේවි. මනුස්ස ලෝකය අතහැරුණ විට ඔහුගේ ඊළඟ උපත කෙසේ වේවිද? ඒත් හදිසි සැත්කම කළ යුත්තේ කෙසේද? ඒ මාපියන්ගේ ප්‍රශ්නයයි.

මේ වගේ පුංචි දරුවන් අපේ රටේ කොතරම් සිටිනවාද? පුංචි හදවත ලෙඩ වුණාම ඔවුන්ගේ මුළු ජීවිතය ම අකර්මණ්‍ය වෙනවා. ඒ නිසාම ඒ වෙනුවෙන් කළ යුතු විශාල කර්තව්‍යයක් අප සතුව තිබෙනවා.

මේ සඳහා රිජ්වේ ළමා රෝහලේ හෘද විශේෂඥ වෛද්‍යවරුන් ඉදිරිපත් වුණා. ඔවුන් දුටුවා මේ දරුවන් සහ ඔවුන්ගේ මාපියන් විඳින වේදනා. ඔවුන්ගේ පුංචි දරුවා සැත්කමට යොමුකරන්න ඔවුන් අපමණ වෙහෙසක් ගත්තා. ඉතින් මේ වෛද්‍යවරුන් ඉදිරිපත් වෙලා රජයේ අනුග්‍රහය ඇතුව ඒ සඳහා පූර්ණ පහසුකම් සහිතව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට මූලිකත්වය ගත්තා. ක්‍රම ක්‍රමයෙන් ඒ අදහස සඵල වුවත් එහි වේගය ඉතාමත්ම සෙමින් සිදුවුණේ. ඉතින් මේ විශේෂ වෛද්‍යවරුන් පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේට මේ අදහස ඉදිරිපත් කළා. උන්වහන්සේගේ පූර්ණ ආශීර්වාදය ඇතිව මහමෙව්නාවේ ශ්‍රද්ධා රූපවාහිනිය සමඟ ගුවන්විදුලියත් ඒ ව්‍යාපෘතිය වෙනුවෙන් අත්වැල් බැඳගත්තා.

little hearts ව්‍යාපෘතිය කුමක්ද ?

ශ්‍රද්ධා රූපවාහිනියේ අනුශාසක අළුදෙණියේ සුබෝධි ස්වාමීන් වහන්සේ ඒ පිළිබඳව මෙසේ පවසා සිටියා. “රිජ්වේ ළමා රෝහලේ තට්ටු දහයකින් යුතුව ළමා හෘද දැඩි සත්කාර ඒකකයක් පිහිටුවීමට අදහස් කර තිබෙනවා. එයට රුපියල් මිලියන 2000 ක පමණ මුදලක් වැය වෙනවා. ඒ මුදල උපයා ගන්න ශ්‍රී ලංකා ළමා රෝග වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය මුල්වී ලිට්ල් හාට්ස් නමින් සංවිධානයක් පිහිටුවාගෙන තිබෙනවා. ශ්‍රී ලංකා ළමා හෘද රෝග වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ වෛද්‍යවරු අපගේ ගුරුදේවෝත්තම පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගෙන් කරන ලද ඉල්ලීමකට අනුව ශ්‍රද්ධා රූපවාහිනිය මගින් ‘පුංචි හදට සුවය දෙන්න’ නමින් විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා.

මෙහි මූලික පරමාර්ථය රෝගී දරුවන් නීරෝගී කරගැනීමට යම් උපකාරයක් ලබාදීමයි. අපේ රටේ වසරකට දරුවන් ලක්ෂ තුන හමාරක් පමණ උපත ලබනවා. මේ දරුවන්ගෙන් 10% පමණ හදවත් රෝගීන් ලෙස හඳුනාගන්නවා. ඒ කියන්නේ ළමයින් 3200 විතර හෘද සැත්කම් කළයුතු ආකාරයට ඉපදෙන්නේ. නමුත් ලංකාවේ දැනට වසරකට දරුවන් 900 පමණයි සැත්කම් කිරීමට පහසුකම් තිබෙන්නේ. මේ අනුව බලද්දී දරුවන් 2100 කට පමණ හෘද සැත්කම් කිරීමේ අවස්ථාව නැතුව යනවා. ඉපදිලා පළමු අවුරුද්දේ මේ හෘද සැත්කම කළේ නැත්නම් ඒ දරුවන් මිය යනවා. ඒ නිසා මේ ව්‍යාපෘතිය සාර්ථක කරගත්තොත් එයින් එම බිළිඳු ජීවිත සියල්ල ම බේරා ගැනීමට හැකියාව තිබෙනවා.
මේ කුඩා දරුවන් තමයි අපේ මතු අනාගතය. අපේ රටේ ජීවනාලිය. ඔවුන් සුවපත් කරගැනීම අප සැමගේ ම යුතුකමක්” යැයි උන්වහන්සේ වදාළා.

මේ සඳහා මුල් වූ රිජ්වේ ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය සුමින්ද සමරසිංහ මහතා මෙසේ අදහස් ඉදිරිපත් කළා.

“ළමා රෝහලේ හෘද රෝග සඳහා දැඩි සත්කාර ඒකකයක් ගොඩනැගීමටයි මේ ව්‍යාපෘතිය අපි ආරම්භ කළේ. ඒ ව්‍යාපෘතිය අපි ලිට්ල් හාට්ස් නමින් නම් කළා. මහල් දහයක ගොඩනැගිල්ලක් ඉදිකිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ මහල් ගොඩනැගිල්ල තුළ ශල්‍යාගාර හතරක්, හෘද රෝග සඳහා ශල්‍යාගාරයක්, ශීතකරණ ඒකකයක්, හෘද ශල්‍ය දැඩි සත්කාර ඒකකයක්, වෛද්‍ය දැඩි සත්කාර ඒකකයක් සඳහා මහල් තුනක් වෙන්කිරීමට ද බලාපොරොත්තු වෙනවා. ඒ වගේම නවීන ශ්‍රවණාගාරයක් වගේම පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් ද එම ගොඩනැගිල්ලට ඇතුළත් වෙනවා. දැනට ළමා රෝග පිළිබඳව නියමාකාරව පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාව සතුව නැහැ. එයත් මේ ගොඩනැගිල්ලට ඇතුළත් වෙනවා. අප මෙහි වසරකට රෝගී දරුවන් දස දහසකට මේ තුළින් ප්‍රතිකාර කරන්න බලාපොරොත්තු වෙනවා. අවුරුදු 20කදී අපට දරුවන් ලක්ෂ දෙකකට මෙහිදී ප්‍රතිකාර කිරීමේ හැකියා සැකසෙනවා.

ඒ නිසා අපි අපේ රටේ ජනතාවගෙන් ඉල්ලන්නේ රුපියල් දස දහසක් වගේ මුදලක් එක් අයෙකුට වැය කරන්න පුළුවන් නම් ඒ තුළින් එක් දරුවෙකුගේ ජීවිතයක් බේරා ගන්න පුළුවන්. යම් අයෙකුට ලක්ෂ 5 මුදලක් පරිත්‍යාග කරන්නට පුළුවන් නම් ඔහුට ජීවිත 50ක් බේරාගන්න දායක වෙන්න පුළුවන්. ඒ වගේම තමුන්ට කැමති ජීවිත ප්‍රමාණයක් මේ හරහා බේරා ගැනීමේ හැකියාව තිබෙනවා.

මේ සඳහා රජයේ අනුමැතිය ලැබී තිබෙන අතර ජාතික ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ අනුමැතිය ද ලැබී තිබෙනවා. එයට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ලැබී තිබෙනවා. ලංකාවේ ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ CECB මධ්‍යම ඉංජිනේරු කාර්යාංශ උපදේශක ආයතනය මගින් මේ සඳහා සැළසුම් සකස් කරගෙන යනවා. අපි බලාපොරොත්තු වන්නේ මැයි මාසයේ වන විට හෝ මේ සඳහා මුල්ගල තැබීමටයි. ඉන්පසු අවුරුදු 1 1/2 පමණ කාලයකදී මෙහි සම්පූර්ණ වැඩ අවසන් කරන්න අපගේ බලාපොරොත්තුවයි. දැනට අපට තිබෙන මූලික ම ප්‍රශ්නය මේ දරුවන්ගේ ජීවිත බේරාගැනීමට මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමට මුදල් නොමැතිකමයි. ඒ නිසයි අපි තීරණය කළේ මහජනතාව මේ සඳහා සහභාගි කරගන්න. අප ජාතික කර්තව්‍යයක් ලෙස සළකා මෙයට දායක වීම වැදගත් වෙනවා. අප සියලුම දෙනා එකතු වුණොත් මේ මුදල සොයාගැනීම එතරම් අපහසු කටයුත්තක් නොවේ. සමහර වෙලාවට මෙම රෝහලට එන එකම දරුවාට සැත්කම් දෙකක් එකවර කරන්නට වෙනවා. ඒ සඳහා දීර්ඝ වේලාවක් ගතවෙනවා. දැනට අපට සුළු සැත්කම් ප්‍රමාණයයි කිරීමට හැකියාව ඇත්තේ. අපගේ ගණන් බැලීමට අනුව ශ්‍රී ලංකාවේ දරුවන් වසරකට 1000-1500 අතර පිරිසක් ප්‍රතිකාර ලැබීමේ පහසුකම් නොමැති නිසාම හෘද රෝග සහ වෙනත් අසාධ්‍ය රෝග හේතුවෙන් මිය යනවා. ඒ නිසා ඔබ මසකට රුපියල් 100 බැගින් වසර දෙකක් පුරා හෝ එකවර 2000/- පරිත්‍යාගයක් කර මේ කර්තව්‍යයේ කොටස්කරුවෙක් වන ලෙස අප ඉල්ලා සිටිනවා.

ඒ සඳහා ඔබගේ සියලු පරිත්‍යාග ලංකා බැංකුවේ බොරැල්ල ශාඛාවේ ලිට්ල් හාට්ස් නමින් ඇති අංක 79738633 දරණ ගිණුමට බැරකළ හැකියි. වැඩි විස්තර 0716441122 දුරකතනයෙන් දැනගත හැකියි.”

එසේ නම් මේ මිනිස් ලෝකයේ දුර්ලභ උපතක් ලද අප තවත් දුර්ලභ උපතක් ලද තවත් දරුවෙකුට සේවය කිරීම අපේ යුතුකම නොවේද? අප අපගේ පෞද්ගලික අවශ්‍යතා සඳහා මොනතරම් මුදලක් නිකරුණේ විනාශ කරනවාද? මේ ලෝකයේ කලාතුරකින් ලැබෙන මනුස්ස ජීවිතයක් ලබා දුක් විඳින අපේ අනාගත පරපුර වෙනුවෙන් ඔබට පුළුවන් ආකාරයට ඒ සඳහා මුදලක් පරිත්‍යාග කරන්න. එය මේ සුවිශාල පුණ්‍ය ව්‍යාපෘතියේ කොටස්කරුවෙකු වෙන්න පාලමක් වේවි. අනාගතයේ මේ රෝහලෙන් ප්‍රතිකාර ලබන්නේ ඔබේ ම දරුවෙකු විය හැකියි. නැතිනම් ඔබේ යෙහෙළියකගේ සොහොයුරියකගේ දරුවෙක් විය හැකියි. එසේ නොමැති වුවත් ඒ දරුවා ශ්‍රී ලාංකීය දරුවෙකි.

වැඩි විස්තර දැනගැනීම සඳහා පිවිසෙන්න – www.littlehearts.lk

සටහන – නයනා නිල්මිණි