‘‘බ‍්‍රහ්මාති මාතා පිතරෝ” අප භාග්‍යවතුන් වහන්සේ උතුම් මාතෘත්වයත්, පීතෘත්වයත් හැඳින්වූයේ එලෙසින්. තම දරුවා කෙරෙහි මෙත්තා, මුදිතා, කරුණා, උපේක්ෂා යන සතර බ‍්‍රහ්ම විහරණයෙන් යුතු මව, පියා බ‍්‍රහ්මයන් බඳු යැයි උන් වහන්සේ හඳුන්වා දී තිබෙනවා. දරුවා කුසේ පිළිසිඳ ගත් බව දැනගත් දිනයේ පටන් ඇය මෙලොව උතුම් මව් පදවිය ලබනවා; ඔහු උතුම් පිය පදවිය ලබනවා. ඉතාමත් දුර්ලභ වූ සුගති උපතකට මුල පුරන දරුවා කුස තුළ පිළිසිඳ ගත් දා පටන් මෙලොවට බිහි වන තුරු පෝෂණය කිරීමත්, ආරක්ෂා කිරීමත් මවක විසින් සිදු කළ යුතු යි; එ් සඳහා මව පෝෂණය කිරීමත්, රැකවරණය සැලසීමත් පියා විසින් සිදු කළ යුතු යි; මේ සඳහා මව් පිය දෙදෙනාට නිවසේ සිටින අනෙක් ඥාතීන් කරුණාවෙන් ඇප උපකාර කළ යුතු යි.

දරු සම්පතක් බලාපොරොත්තුවෙන් ඉඳලා, දරු පිළිසිඳ ගැනීමක වාසනාව ලැබීම සතුටක්. දරුවාගේත්, මවගේත් ආරක්ෂාව, සුව පහසුව ගැන ඉන් පසු මනා අවධානයක් යොමු කළ යුතු වෙනවා. මේ වෙනුවෙන්, දරුවා මව් කුස පිළිසිඳ ගත් බව දැනගත් දිනයේ දී ම උතුම් තිසරණ සරණ ගොස්, පංච සීලය සමාදන් ව පිරිත් සජ්ඣායනා කොට, සියලූ ලෝක සත්වයාට මෙත් සිත පතුරුවා තමාගේ ජීවිතයත්, දරුවාගේ ජීවිතයත් උතුම් තිසරණයට පූජා කිරීම සිදු කළ හැකි යි; දෙවියන්ට පුණ්‍යානුමෝදනා කොට දෙවියන්ගේ ධාර්මික රැකවරණය, ආරක්ෂාව ද සලසා ගත හැකි යි. එතැන් පටන් උදය හවස බුද්ධ වන්දනා කිරීමටත්, පිරිත් සජ්ඣායනා කිරීමටත්, සියලූ ලෝක සත්වයාට මෙත් වැඞීමටත් කාලය වෙන් කර ගත යුතු යි. මෙත් වැඞීමේ දී තමන්ට ඇප උපස්ථාන කරන ස්වාමියා ඇතුළු නිවසේ පිරිසත්, වෛද්‍යවරුන් – හෙදියන් ඇතුළු පිරිසත් සිහි කරමින් මෙත් වැඩිය හැකි යි.

ගැබිනි මව සුදුසු ආහාර පාන පරිභෝජනය කරමින්, නිවැරදි යහපත් ඉරියව් පිළිවෙත් දරමින් පිරිසිදු ව කල් ගත කිරීම ඉතා ම මැනවි. කායික අපහසුකම් නොමැති නම්, වෛද්‍ය උපදෙස් අනුව දුර ගමන් නුසුදුසු නො වේ නම් භාග්‍යවතුන් වහන්සේගේ ධාතූන් වහන්සේලා වැඩ හිඳින ස්වර්ණමාලි මහා සෑය, දළදා මැදුර, ගමේ විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේ වැනි පූජනීය ස්ථානයන්ට ගොස් වන්දනා මාන කොට පිරිත් සජ්ඣායනා කොට තමාගේ ජීවිතයත්, දරුවාගේ ජීවිතයත් උතුම් තෙරුවනට පූජා කළ හැකි යි.

නිතිපතා දරුවා පෝෂණය කිරීමෙන්, ආරක්ෂා කිරීමෙන් රැස් කරන පින් ද තෙරුවන් වන්දනා, මෙත් වැඞීම, පිරිත් සජ්ඣායනා ආදියෙන් රැුස් වන පින් ද තෙරුවන් කෙරෙහි ගෞරවාදර දක්වන දෙවිවරුන්ට අනුමෝදන් කර දෙවියන්ගේ ධාර්මික රැකවරණය ද සලසා ගත හැකි යි.

පුන් පොහෝ දින උපෝසථ සීලය ද හැකි නම් සතර පොහොය දිනවල දී ද උපෝසථ සීලය ද සමාදන් වී අපමණ පින් රැුස් කර ගත හැකි යි. මෙසේ පින් රැුස් කර ගැනීමේ දී අන් අයගේ කටයුතුවලට බාධා සිදු නොවන පරිදි, ගැටුම් හට නො ගන්නා පරිදි උපක‍්‍රමශීලීව එ් පිළිවෙත්වල යෙදිය යුතු වෙනවා. එසේ නො හැකි නම් ආජීව අෂ්ටමක සීලය වැනි උසස් සීලයක් අනෙකුත් පොහෝ දිනවල දී සමාදන් වන්නට පුළුවනි.

වෛද්‍ය විද්‍යාත්මක ව සඳහන් වන පරිදි දරු ගැබට මාස හත සම්පූර්ණ වන විට දරුවාගේ ශ‍්‍රවණ ඉන්ද්‍රිය මනා කොට වැඞී තිබීම නිසා දරුවාට ශ‍්‍රවණය කිරීමේ හැකියාව තිබෙනවා. ධර්ම ශ‍්‍රවණයෙන්, පිරිත් ශ‍්‍රවණයෙන්, යහපත් වචන කථා බස් කිරීමෙන් කුසේ සිටිය දී ම දරුවාට සුවපත්, සුවදායක පරිසරයක් සකස් කර දිය හැකි යි. මෙය ගැබිනි මවගේ පමණක් නොව නිවසේ සිටින අනෙකුත් පිරිසේ ද වගකීමක්.

සමහර මව්වරුන්ට ගර්භිණී කාල සීමා තුළ විශේෂිත ආහාර පාන කෙරෙහි කැමැත්තක් ඇති වීම ද සමහර මව්වරුන්ට යම්කිසි කාලයක් තුළ හෝ මුළු ගැබිනි සමයේ දී ම ආහාර අරුචිය ඇති වීම ද සිදු විය හැකි යි. සමහර මව්වරුන්ට ආහාර පාන ගැනීමට නො හැකි වීමෙන් ඉතාමත් දුර්වල තත්ත්වයට පත් වන්නට ද පුළුවනි. මේ සියලූ අවස්ථාවන්හි දී ම ඉවසීමෙන්, මෙත් සිතින් කල් ගත කළ යුතු යි; හැකි අවස්ථාවන්හි දී ධර්මය ශ‍්‍රවණය කරමින් සිත සුවපත් කර ගත යුතු යි; ඉපදීම නිසා සියලූ දුක් උරුම වන බව සිහිපත් කළ හැකි යි. කෙතරම් කායික පීඩා අපහසුතා තිබුණ ද දරුවා පිළිබඳ සෑම කල්හි ම කාරුණික සිතින්, මෙත් සිතින් යුතුව පසු විය යුතු යි.

නිවසක ගැබිනි මවක් වාසය කරන විට නිවසේ සිටින ස්වාමි පුරුෂයා ඇතුළු පිරිසට මෙය ඉතා විශේෂිත අවස්ථාවක් ලෙස සලකා ඇයට ගෞරවාදරයෙන් ඇප උපස්ථාන කර, රැකවරණය සලසා අපමණ පින් රැුස් කර ගත හැකි යි. අතිශය දුර්ලභ සුගති උපතක් කරා එන දරුවා ගැන මහත් වූ මෙත් සිතින් යුතු ව, කාරුණික ව මවට ඇප උපස්ථාන කළ හැකි යි. වෛද්‍ය විද්‍යාත්මක ව සඳහන් වන පරිදි ගැබිනි මවකගේ ශරීරය තුළ සිදු වන අපමණ වෙනස්කම්, හෝමෝන අසමතුලිතතා හේතුවෙන් ඇය ගැබිනි සමය තුළ ආහාර ගැනීම, එදිනෙදා කටයුතුවල නිරත වීම, හැසිරීම් රටාවන් යනාදියේ කුඩා වූ හෝ මහත් වූ හෝ වෙනස්කම් සිදු විය හැකි යි; ගැටෙන ස්වභාවයන් වැඩි විය හැකි යි. මෙම ස්වභාවය නිවසේ සිටින ස්වාමි පුරුෂයා ඇතුළු පිරිස මෙන් ම ගැබිනි මව ද වටහාගෙන ඉතාමත් ඉවසීමෙන් කටයුතු කළ යුතු වෙනවා. කෙසේ වුණත් ගැබිනි මව්වරුන් වෙත ස්වාමි පුරුෂයාගේත්, නිවසේ සිටින ඥාතීන්ගේත් කාරුණික අවධානය සහ නො මඳ ඇප උපකාර ලැබීම මහත් වූ අස්වැසිල්ලක්.

ඈත අතීතයේ පටන් ගැබිනි මවක් නිවසේ සිටින විට නිවසේ වෙසෙන වැඩිහිටි පිරිස ඉමහත් වගකීමෙන් ඇයව පෝෂණය කරනවා; රැකවරණය සලසනවා; ඇයගෙන් අයහපත් දේ මඟ හැරවීමටත් – අයහපත් වචනයෙන් වැළකී සුවදායී පරිසරයක් සකස් කර දීමටත් උත්සාහ කරනවා. එසේ ම නිවසක ගැබිනි මවක් වාසය කරන විට ඥති හිත මිත‍්‍රාදීන් ඇයගේ රුචි අරුචිකම් විමසා බලා ප‍්‍රණීත ආහාර වේල් සකස් කර දීම අතීතයේ සිට ම සොඳුරු චාරිත‍්‍ර ධර්මයක් ව පවතින දෙයක්. එවන් රසවත් ආහාර පාන, යහපත් වූ රැකවරණය ලබන මව එ් පිරිස වෙත මහත් වූ මෙත් සිතින් ආහාර පාන පරිභෝජනය කළ යුතු අතර පුණ්‍යානුමෝදනා කොට ඔවුනට සෙත් පැතිය හැකි යි. එසේ ම තම දරුවා නිසා මෙසේ තමන්ට රසවත් ආහාර පාන, රැකවරණය ලැබේ යැයි සිතා දරුවාට පුණ්‍යානුමෝදනා කොට සෙත් පැතිය හැකි යි. තමාට ලැබෙන විශේෂිත ආහාර පාන නිවසේ සිටින අන් අය සමඟ බෙදාගෙන අනුභව කිරීමෙන් දානමය පුණ්‍යකර්මය ද රැස් කර ගත හැකි යි.

දරු ගැබට මාස හතක් සම්පූර්ණ වූ කල්හි පින්වත් ස්වාමීන් වහන්සේලා නිවසට වඩම්මවා අංගුලිමාල පිරිත ඇතුළු පිරිත් දේශනා සජ්ඣායනා කොට ගැබිනි මවටත්, දරුවාටත් ආශීර්වාද සලසාලිය යුතු වෙනවා. මෙතැන් පටන් නිති පතා බුද්ධ වන්දනා කොට අංගුලිමාල පිරිත අර්ථය මෙනෙහි කරමින් සජ්ඣායනා කොට සුවසේ දරුවා බිහි වීම පිණිස සෙත් පතන්නට හැකි යි. එලෙස ම දරු ප‍්‍රසූතියට පෙර අංගුලිමාල රහත් මුනිඳුන් සිහිපත් කොට යම් කිසි පරිෂ්කාරයක් පූජා කර ගැනීමට ද පුළුවනි.

දරු ප‍්‍රසූතියට රෝහලට ඇතුළත් වූ පසු තමාට ඇප උපස්ථාන කරන වෛද්‍යවරුන්, හෙදියන්, සුළු සේවකයන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයට ම මෙත් වැඩිය යුතු යි. මෙතෙක් කල් දරුවා පෝෂණය කිරීමෙන්, ආරක්ෂා කිරීමෙන් රැස් කළ පින් දෙවිවරුන්ට අනුමෝදන් කළ යුතු යි. එසේ ම මේ දක්වා කුස තුළ සිටින දරුවා නිසා නොයෙක් අයුරින් අපමණ පින් රැස් කර ගත හැකි විණි යැයි සිතා දරුවාට සෙත් පැතිය හැකි යි. තෙරුවන් ගුණ සිහි කරමින්, අංගුලිමාල පිරිත මෙනෙහි කරමින් දරු ප‍්‍රසූතිය සඳහා සූදානම් විය හැකි යි. දරු ප‍්‍රසූතිය සිදු කරන අවස්ථාවේ දී ද මෙලෙසින් ම තෙරුවන් ගුණ, අංගුලිමාල රහත් මුනිඳුන්ගේ සත්‍යක‍්‍රියාව සිහි කළ හැකි යි.

මෙසේ මහත් වූ පින් සිතින්, කුසල් සිතින් යුතුව ම බිහි කළ දරුවා අපමණ මෙත් සිතින් තෙරුවනට පූජා කළ හැකි යි. මෙතෙක් රැස් කළ පින් නැවත දෙවිවරුන්ට අනුමෝදන් කොට ඉදිරියට ද දරුවා සුවසේ පෝෂණය කර ආරක්ෂා කිරීමට ආශීර්වාද ලබා ගත හැකි යි. තෙරුවන් සරණ ගොස් සිල්වත් ව, සුවසේ දරුවා පෝෂණය කරමින් ඉදිරි ජීවිත කාලය ද සසර සුවපත් කර ගනු පිණිස ගත කරන්නට අදිටන් කර ගන්නට ද පුළුවනි. උත්තරීතර මනුෂ්‍ය ගුණධර්ම තුළ පිහිටන්නට සතර බ‍්‍රහ්ම විහරණ වැනි ගුණධර්ම ඇසුරු කර ගනිමින් පිළිවෙත් පිරිය යුතු වෙනවා. එ් සඳහා ගැබිනි මවට ද පියාට ද නිවසේ සිටින අනෙකුත් පිරිසට ද ලැබෙන මහඟු අවස්ථාවක් ම යි, මෙම අසිරිමත් දරු පිළිසිඳ ගැනීම…!

සටහන
පියුම්නිල් ගමගෙදර