highlights of the week
Home » කතුවැකිය » අවවාදයට නොගැටෙමු

අවවාදයට නොගැටෙමු

බහ තෝරන වියට පළමු පටන් ම අවවාද ලැබීම මිනිස් ජීවිතයේ ස්වභාවයකි. ඒ අවවාද අපට යහපත හිතසුව පිණිස සිදු කෙරුණු බව අපට ඒ කාලයේ තේරුම් ගියේ නැත. පසුකාලීන ව වුව ද මනුෂ්‍ය ජීවිත වෙත ලැබෙන අවවාද සම්බන්ධයෙන් අනුගමනය කෙරෙන්නේ මෙම පිළිවෙත ම ය. එනම්, මේ අවවාද යහපත හිතසුව පිණිස ලැබෙන බව අපට තේරුම් නො යනවා සේ ම ඒවා අනුව පිළිපැදීම යහපත් බව අප පිළිගන්නේ ද නැත.

යථෝක්ත කාරණා නිසාවෙන් ස්වභාවයෙන් ම මිනිස් මනස අවවාදයන් හමුවේ ගැටේ. තමන් හට කෙරෙන අවවාද මැදහත් ව සලකා බලන්නට යොමු වන්නවුන් ඉතා දුර්ලභ ය. එහි නියත ප්‍රතිඵලය වන්නේ අවවාදයකින් සලසා ගත හැකි ව තිබූ යහපත අහිමි වී යාමයි. සැබැවින් ම අවවාදයන් අප විසින් පිළිගත යුත්තේ අපට ලැබෙන මහත් වූ ලාභයක් ලෙස ය.

සාරිපුත්ත මහරහතන් වහන්සේ ගෞතම සම්බුදු සසුනේ දකුණත් අග්‍ර ශ්‍රාවකයාණන් වහන්සේ ය. සම්බුදුරජාණන් වහන්සේ සේ ම දහම් සක ප්‍රවර්තනය කරලීමෙහි දක්ෂ වූ ධර්ම සේනාධිපතීන් වහන්සේ ය. ‘සම්බුදුරජුන්ගේ මුවමඬලින් උපන් පුතා’ කියා අභිෂේක ලැබූ, ප්‍රඥාවෙන් සම්බුදුරජුන්ට පමණක් දෙවැනි වූ උත්තමයාණන් වහන්සේ ය. ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ වරෙක වදාළේ එදින ම පැවිදි වූ සත් හැවිරිදි කුඩා සාමණේරයන් වහන්සේනමක් වුව ද තමන් වහන්සේට අවවාද කරන්නේ නම් නා කියා මනාව හැඳ පැලඳගෙන සිටින, අලංකාරයට කැමති තරුණ කුමරෙකු හෝ කුමරියක තම සිරසෙහි සොඳුරු මල් මාලාවක් පැලඳ ගන්නට ප්‍රිය වන්නේ යම් සේ ද තමන් වහන්සේ ද එසේ ම ඒ අවවාදය පිළිගන්නට කැමති බව ය.

මෙසේ නැණැති උතුමන් තමන් හට ලැබෙන අවවාදය මිස අවවාද කරනු ලබන්නේ කවුරුන් ද යන්න සලකා බැලුවේ නැත. නැණැති උතුමන් තමන් හට අවවාද කරන්නා සෑම කල්හි ම සත්පුරුෂයෙකු ලෙස සලකා කටයුතු කළහ.

“නිධීනං’ව පවත්තාරං – යං පස්සේ වජ්ජදස්සිනං
නිග්ගය්හවාදිං මේධාවිං – තාදිසං පණ්ඩිතං භජේ
තාදිසං භජමානස්ස – සෙය්‍යෝ හෝති න පාපියෝ”

“නිධානයක් තියෙන තැන පෙන්වා දෙන මිත්‍රයෙක් වගේ, නුවණැත්තා අඩුපාඩු දැක්කම, කරුණාවෙන් අවවාද කරලා, වරදෙන් මිදෙන්ට උදව් කරනවා. එබඳු නුවණැති සත්පුරුෂයන්වයි ඇසුරු කළ යුත්තේ. එබඳු උතුමන් ඇසුරු කිරීමෙන් යහපතක් ම යි සිදුවෙන්නෙ. අයහපතක් නම් නො වෙයි.”

(පණ්ඩිත වර්ගය – ධම්මපදය)

අපට ද වුවමනා සෑම කල්හි ම යහපත, අභිවෘද්ධිය සලසා ගැනීමට නො වේ ද? ඒ අභිප්‍රාය සපුරා ගන්නට සත්පුරුෂ උතුමන්ගෙන් ලැබෙන අවවාද අනුශාසනා මහානීය රුකුලකි. සම්බුද්ධ ශාසනයේ ආදර්ශයන් විමසා බලන කල පෙනී යන්නේ අවවාදයන් හමුවේ අප කළ යුත්තේ ඒ අවවාද කරන්නවුන් ගරු තැන්හි ලා සලකමින් අප වෙත ම හැරී විමසා බැලීම බවයි. එසේ තමන් වෙත හැරී ප්‍රත්‍යවේක්ෂා කරමින් බැලීම පිණිස පළමුකොට අවවාදයට නොගැටීම ඉතා වැදගත් වේ.

අපගේ යහපත හිතසුව කැමැත්තෙන් අප හට මැනැවින් ම අවවාද කොට වදාළ පරම කල්‍යාණමිත්‍රයාණන් වහන්සේ නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ය. ඒ සම්බුදු දහම අපට පහදා දෙමින් ධර්ම ප්‍රතිපදාවෙහි හැසිරෙන්නට උපකාර කරන්නේ කලණමිතුරු සඟරුවන ය. අවවාදය ලාභයක් ලෙස පිළිගැනීම හුරු නොකළහොත් යම් කලක අප සඟරුවන කෙරෙහි පවා ගැටෙමින් සාංසාරික ජීවිතයට මහත් අර්බුදයක් ඇතිකර ගනු ඇත. එනිසා, තමා වෙත ම හැරී බලමින් ලැබෙන අවවාදයන්ගෙන් ප්‍රයෝජන ලබා ගැනීමේ පුරුද්ද වහ වහා ඇතිකර ගැනීමට අප උත්සුක විය යුතු ය.

– මහාමේඝ –

One comment

  1. ගොඩක් ප්‍රයෝජනවත් වුනා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

x

Check Also

ඒ සත්‍යානුභාවයෙන් සැමට සෙත් වේවා!!!

"මේ සියල්ල තුළ පෙනී යන්නේ රෝග බිය, දුර්භික්ෂ බිය, අමනුෂ්‍ය බිය හාත්පසින් අප වට කොට තිබෙන බව නො වේ ද? "