මානව ඉතිහාසයේ සමාරම්භයේ පටන් මවු පිය සෙනෙහස අරභයා කවි ගී ලියන්නට ඇත්තේ ජන කවියන් විසින් බව පසුකාලයේ ලියැවී ඇති එබඳු නිර්මාණයන්ගෙන් පැහැදිලි වෙයි. ශ්‍රී ලංකාවේ මධ්‍යකාලීන යුගයෙන් එපිට රාජ්‍ය කාලයන්හි දී ලියූහයි සිතිය හැකි ජනකවි සාහිත්‍යය පිළිබඳ තොරතුරු අටුවා ග්‍රන්ථවලින් හා එළු සඳැස් ලකුණ වැනි පොත්වලින් ද සීගිරී ගීවලින් ද දත හැකි වෙයි. එහෙත් පුළුල් වශයෙන් ව්‍යාප්ත වූ ජනකවි සාහිත්‍යයක් බිහිවූයේ කෝට්ටේ යුගයේ පසු කාලයේ දී බව දැනට විද්‍යමාන ජනකවි එකතුවලින් ප්‍රකට වෙයි. ඊට හේතු වූයේ එසමයේ වියත් පඬිවරුන් බිහි නොවීම යි. විදේශාධිපත්‍යයට රට නතුවීම, ග්‍රන්ථ රචනයට වුවමනා විවේක බුද්ධිය නැතිවීම, රාජ්‍ය අනුග්‍රහය නොලැබීම හා සංඝ සමාජයේ පිරිහීම වියත් සාහිත්‍යයක් බිහි නොවීමට හේතු විය.

ජනකවි වශයෙන් හඳුනාගෙන ඇති දහස් සංඛ්‍යාත නිර්මාණ බිහිකළෝ මේ කවියෝ ය. එම කාව්‍ය සියල්ල ම බෞද්ධ සාහිත්‍යය ඇසුරු කොට ගෙන ලියැවී ඇති අතර ඒ අතුරෙන් මවු සෙනෙහස අන්තර්ගත දීර්ඝතම කාව්‍යාවලිය දක්නට ඇත්තේ වෙස්සන්තර ජාතක කාව්‍යයේ ය. ඉන් පසු කාලයක දී මුඛ පරම්පරාගත ව පැවත ආ මවු සෙනෙහස පිළිබඳ ව ලියැවුණු කවි රාශියක් ජනකවි සංග්‍රහයන්ට ඇතුළත් වී තිබේ. එසේ වුව ද පිය සෙනෙහස පිළිබඳ ව කියැවුණු ජනකවි දක්නට නොමැති තරම් ය. මීට හේතු පිළිබඳ ව සමාලෝචනයක් මේ දක්වා ඉදිරිපත් කිරීමට වියතුන් කුහුලක් නො දැක්වුව ද ඒ අරභයා කාලෝචිත මැසිවිල්ලක් මෑත කාලයේ ඉදිරිපත් වූයේ සුභාවිත ගීතයක වේශයෙනි. ඒ වූ කලී මාලනී ජයරත්න විසින් පබඳින ලදුව ටී. එම්. ජයරත්න ගායන ශිල්පියා විසින් ගැයුණු “පිය සෙනෙහසට කව් ගී ගියවුණා මදී” ගීතය යි.

“සිරුරේ දුවන්නේ මගෙ ලේ නොවැ පුතුනේ
කුසයේ නොදැරුවත් ඒ බර මට දැනුණේ
මහමෙරකට උසයි දරු පෙම හද පතුලේ
පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුණේ”

මේ ගී වැල් සවන් වැකෙන හැම විටෙක ම මසිතට නැගෙන්නේ දරු සෙනෙහස අරභයා උතුම් පියකුගේ මුවින් පළ කෙරුණ ගාම්භීරතම උදානය යි. එදා මෙදා තුර කිසිදු පියකුගේ මුවගට නොනැඟුණු පුත්‍ර ස්නේහය පිළිබඳ එම මහරු ප්‍රකාශය, බුදුරජාණන් වහන්සේ අභිමුව දී ඉදිරිපත් කරන ලද්දේ සුද්ධෝදන මහ රජතුමන් විසිනි.

“ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ගිහි ගෙය හැරපියා පැවිදි වූ විට මගේ හිතේ ඇති වුණේ මහත් දුකක්. නන්ද කුමාරයා පැවිදි වූ විටත් ඇති වූයේ දුකක්. ඒ හැම පුත්‍ර ස්නේහය කැටි කොට මා සැනසීම ලබමින් සිටි කුඩා රාහුල කුමරුවත් පැවිදි කරවීම නිසා ඇති වුණේ දැරිය නො හැකි වූ මහා කම්පාවක්. ස්වාමීනි, පියකු තුළ ඇති මේ දරු පෙම සම්, මස්, නහර, ඇට, ඇට මිදුළු සිඳගෙන යන්නකි.

“පුත්තපේමං භන්තේ ඡවිං ඡින්දති, ඡවිං ඡෙත්වා චම්මං ඡින්දති, චම්මං ඡෙත්වා මංසං ඡින්දති, මංසං ඡෙත්වා නහාරුං ඡින්දති, නහාරුං ඡෙත්වා අට්ඨිං ඡින්දති, අට්ඨිං ඡෙත්වා අට්ඨිමිඤ්ජං ආහච්ච තිට්ඨති”

“ස්වාමීනි, දරු සෙනෙහස වනාහි ඇඟ සිවිය, සම්, මස්, නහර, ඇට විනිවිද ගොස් ඇටමිදුළු මත රඳා පවතින්නේ ය.”

මානව ඉතිහාසය පුරා බිහිවූ අසංඛෙය්‍ය්‍යය මාපියවරුන්ගේ දරු සෙනෙහස මූර්තිමත් කෙරෙන පූර්වෝක්ත ප්‍රකාශය සියලු ම දරුවන් විසින් නිබඳ සිහිපත් කළ යුතු වන්නකි. මුවෙකින් කියා නො පෙන්වන මේ සා ගැඹුරු දාරක ප්‍රේමයක් දරා සිටින පියවරුන් පිළිබඳ ව කියන කවි ජන කවියකන් අතින් බිහි නො වූයේ මන්ද යන පැනය විමසා බැලිය යුත්තකි.

දරුවකු මවුකුසින් බිහිවූ දිනයේ සිට ම තුරුලේ හොවා ලේ කිරි කර පොවා හදාවඩා ගනු ලබන්නේ මෑණියන් විසිනි. හැම දරුවකු ම ලොකු මහත් වනතුරු නිබඳ දැවටෙන්නේ අම්මාගේ තුරුලේ ය. දරුවන්ගේ මලමුත්‍ර ආදිය ඉවත් කරමින් නාවා කවා පොවා සියලු රැකවරණ සලසන්නේ අම්මා ය. මේ ස්වභාවය පියවරුන් විසිනුදු අවබෝධ කොට ගෙන මුදිතා – උපේක්ෂා ගුණයෙන් යුතුව අම්මාගේ අගය දරුවන්ට පෙන්වා දුන් අවස්ථා ජන සාහිත්‍යයෙන් අනාවරණය වෙයි.

“අතට වෙරළු ඇහිඳ ගෙනේ
ඉණට පලා නෙළා ගෙනේ
බරට ම දර කඩා ගෙනේ
එයි අම්මා විගසකිනේ”

දරුවන් ලොකු මහත් වූ පසු ද වඩාත් සමීපව සිටින්නේ මව සමග ය. පියාට යමක් ප්‍රකාශ කළ යුතු නම් දරුවන් එය සන්නිවේදනය කරනුයේ මෑණියන්ගේ මාර්ගයෙනි. “අම්මා නැති කලේ – අප්පා කවර කලේ” යන ගැමි පිරුළ භාවිතයට පැමිණියේ අම්මාගේ රැකවරණය දරුවාට අත්‍යවශ්‍ය බව සමාජය පිළිගත් නිසා ය.

පිය සෙනෙහස අරභයා වෙසෙස් ලෙස කියවෙන ජනකවි දුලබ වුව ද මවුපිය දෙදෙනා ම උදෙසා කියූ පබැඳුම් ජන කාව්‍ය අතර හිඳහිට හමුවෙයි. හොඳ ගුණ යහපත් මවුපියන් දරුවන්ට ලැබෙන්නේ බොදු සිරිත් අනුගමනයෙන් හා පින් දහම් කටයුතුවල යෙදීමෙන් බව කියැවෙන ජන කවියක් මෙසේ ය:

“වෙහෙර මළුව වටට ම මල් වවාපන්
නිතර මල් කඩා වෙහෙරට පුදාපන්
බණ පිරිතේ ගුණ නිතර ම අසාපන්
පින් ඇති මවුපියන් ජාතියෙ ලබාපන්”

පැරණි ගැමි සමාජයේ සශ්‍රීකත්වය රඳා පැවතුණේ ප්‍රාථමික ඒකකය වන පවුල්වල තිබුණ එකමුතුකම මත ය. ඒ එකමුතුකම ගොඩනැගුණේ පියාගේ අයෝමය නායකත්වය කේන්ද්‍ර කොටගෙන ය. ඇතැම් ජන කවියකු පියා ශක්තිමත් කිතුල් ගසකට උපමා කළේ තමා අවටැති පරිසරයේ සාධක ද මෙනෙහි කරමිනි.

“අප්පච්චී ගේ දොරකඩ කිතුල වගේ
අපෙ අම්මා කිතුලේ බැඳි හැර වාගේ
ලොකු අක්කා කිතුලේ පිපි මල වාගේ
අපි ඔක්කොම ඒ කිතුලේ පැණි වාගේ”

ගැමි ජනකායගේ කුදු මහත් ජීවිතය තමා අවටැති පරිසරය සමඟ නිබඳ කළ සංධ්වනියක් වැන්න. ඔවුන් තම ජීවිතයේ හැම අවස්ථාවක ම පරිසරයේ සෞන්දර්ය මුසු කොට ගන්නේ තම හිතැතියකු වැළඳ ගන්නා ආකාරයෙනි. කුඩා දරුවකුගේ ඇසින් තම පවුලේ එකමුතුකම, සශ්‍රීක බව හා ප්‍රබෝධය ඉහත කවියෙන් ජන කවියා ඉදිරිපත් කළ ආකාරය අපූරු ය. අප්පච්චී ගේ දොරකඩ කිතුල නම්, අම්මා එහි ඵල පුබුදන්ට සවිය දෙන හැරපට වැන්න. ‘හැරපට’ යන වදන තුළ නො බි‍ඳිය හැකි, එකමුතුකම, ධෛර්යය හා වර්ධනය යන අරුත් ගැබ් වී තිබේ. කිතුල් මලේ රෑන් වැනි දිග කෙස් කළඹක් ඇති අක්කා ගෙදරට ගෙන දෙන්නේ සිරියාවකි. සියලු දෙනාගේ බැඳීම ජීවිතයට ප්‍රණීතවත් ආස්වාදයක් ගෙන දෙන්නකි.

අම්මා අහිමි වූ දරුවන්ට කුඩම්මා කෙනෙකුගෙන් ලැබෙන රැකවරණය හා සැලකිල්ල බෙහෙවින් අල්ප බව සමාජ සම්මත මතයකි. සුළු මවකගෙන් හිරිහැර ලබන දරුවන්ට පියාගේ සැලකිල්ල ද නො ලැබෙන අවස්ථා ගැන අසන්ට ලැබෙයි. මේ බව කියැවෙන අනුවේදනීය ජනකවියකි, පහත දැක්වෙන්නේ:

“අපේ කුඩම්මා දරු දුක නොදන්දැයි
හැන්ද පුරා බත් හැන්දක් නොදෙන්දැයි
නිලි වැස්සේ තෝ පල පල කියන්දැයි
මේ දුක බලා අප්පච්චී ඉඳින්දැයි”

ජන කවියන් අතින් ගිලිහී ගිය පිය සෙනෙහස පිළිබඳ කිවි පද බැඳුම්, ජන කවි ආර අනුගමනය කළ ඇතැම් නූතන කවියන් කිවිඳියන් අතින් ලියැවී ඇති අයුරු පොත පත විමසන විට පෙනී යයි. එම කවි වූ කලී ඔවුන් ගැමියන් අතර ඉපිද ගැමි කවි පරපුරේ සුහද ආස්වාදය ලැබීමේ ඵලයකැයි සිතමි. කැලණිය විද්‍යාලංකාර පිරිවෙණේ ආචාර්ය රාජකීය පණ්ඩිත පූජ්‍ය රත්කරව්වේ පේමානන්ද හිමිපාණන් විසින් රචනා කරන ලද පිය සෙනෙහස පිළිබඳ අගනා කාව්‍ය රචනාවක් මෑතක දී මට කියවන්ට ලැබුණි. ‘මවුපිය ගුණ වරුණ’ නමැති පොතේ 21 වෙනි පිටුවේ එන එම කවි පෙළේ මුල් කවිය මේ ය:

“සෙවණට පියස්සක් විලසින් සිටිය පියා
සිතූ පැතූ දේ දුන් සුරතුර ය පියා
අප රැක අපේ ලොව රජකම දැරූ පියා
දෝත් මුදුන් දී නමදිමි මගේ පියා”

පියා සෙවණට පියස්සක් බඳු යයි දැක්වීම උදාරත්වය හෙළිකරන ගැඹුරු කාව්‍යෝක්තියක් වෙයි. නිවසක පියස්ස සීමා වන්නේ නිවසට පමණි. එනමුත් පියා විසින් සලසනු ලබන සෙවණ නිවසෙන් පිටතත් මුළු ජීවිත කාලයටමත් ඔරොත්තු දෙන රැකවරණයකි. දරුවන් රැක බලා ඇති දැඩි කොට ඔවුන් රජ කරවා එහි කිරුළ දැරුවේ පියා ය. ‘අපේ ලොව රජකම දැරූ’ යන යෙදුම පියා ලද අපමණ සතුට ධ්වනිත කරන්නකි.

දරුවන් වෙනුවෙන් පියකු විඳි අපමණ වෙහෙස මෙම පැදි පෙළ පුරා වර්ණනා කොට ඇත්තේ අවස්ථාවෝචිත උපමා උපමේය භාවිත කරමිනි.

“වෙලේ කම්මලේ ගෙවුණේ කල දවස
උදේ ගිහින් ඔබ යළි ආවේ හවස”

“ඔබ සිප් සතර නම් කඳු පාමුලේ සිට
මුදුනේ තැබුවෙ මා ලොව රජ කරවන්ට”

සිව්පද පැදි පහකින් යුතු මෙම කව් පෙළින් ඉදිරිපත් කරන අත්දැකීම සෑම පියෙකුට ම සාධාරණ ය. සිය පුතුන් සිප් සත නමැති ගිරි මුදුනේ තැබූ පියා තවමත් කඳු පාමුල ය. පුතු රජ කරවා තුටු වන පියවරුන්ගේ නොනිමි මෙහෙවර නිම විය යුත්තේ සසර ගමන අවසන නිවනින් බව දක්වමින් පේමානන්ද හිමිපාණන් සිය පිය ගුණ වරුණ පැදි පෙළ නිමා කරයි.

ව්‍යවහාර වර්ෂ පූර්ව 3 වැනි සියවසේ සිට ව්‍ය. ව. 10 වැනි සියවස දක්වා සිංහල පද්‍ය සාහිත්‍යයේ විපුල් සැපත් ඵල නෙළාගත් නුවර කලාවියේ ජනකවි පරපුරේ උරුමය හා ආස්වාදය නොමඳව පළ කෙරෙන පිය ගුණ වරුණ පැදි පෙළක් 2009 වසරේ දී පළ කෙරුණ ‘සඳ එළිය කළුවරයි’ නමැති පද්‍ය සංග්‍රහයෙන් මා අතට පත් විය. පැදි පෙළේ නම ‘අප්පච්චී’ වී ය. කිවිඳිය උදුලා පද්මාවතී ය.

සමස්ත පැදි පෙළ තුළින් මා ඇසුවේ (ආස්වාදනය කළේ) වැවෙන් උපන් ශිෂ්ටාචාරයේ වැවු තාවලු, කෙත්වතු පිස හමා එන සුළඟට මුසු වූ රන් දහදිය සුවඳ ය. මා අභිමුව මැවුණේ ඒ රන් දහදිය සුවඳ වැගුරූ මිනිසාගේ රූපකාය යි. දෙසවන් වැකුණේ රන් කෙත් සිසාරා නැඟි අඬහැරය යි. ඒ අඬහැරය නැඟූ අප්‍රමාණ මිනිසා, අප්පච්චී අප හැර ගොස් ය.

“අන්දර වැටේ මල් එක දෙක පරවෙච්චී
කිරි වැදි රන් කරල් බිමට ම හැරවෙච්චී
අඬහැර පාන හඬ සදහට ගොළුවෙච්චී
නුඹ කොතැනදැයි කියපන් මට අප්පච්චී”

ජනකවි වූ කලී දුකින් විපතින් පෙළනු ලැබූ සිංහල ගැමියන්ගේ හදින් නැගී කටින් පිටවූ සුසුම් ගී වැනි යයි වරක් මාර්ටින් වික්‍රමසිංහ කීවේ ය. පියෙකුගේ මරණය පරිසරයේ සංකේතාත්මක නිරූපණ මගින් පළ කළ අපූරුව මනරම් ය. විපතින් පෙළනු ලැබූවකු නො හඬා පිට කරන සුසුමක පවත්නා හැඟුම් සමුදාය වදන් සිය ගණනකින් වුව පළ කළ හැක්කේ ද?

පරිසරයට නොහිම් සෙනෙහස දැක්වූ පියකුගේ ගුණ සමුදාය කිවිඳිය අනුස්මරණය කරන්නේ ඔහු ඇලුම් කළ පරිසරයේ සාධක ඉවහල් කොටගෙන ය. බොහෝ මවුපිය ගුණ වරුණ කවිවල කියැවෙන්නේ දෙමව්පියන් අහිමිවීමෙන් තමන්ට වුණු පාඩුව හෝ තමන්ගෙන් ඔවුන් උදෙසා ඉටු විය යුතු යුතුකම් මඟ හැරීම වැනි ස්වායත්ත හැඟීම් ය. මේ පැදි පෙළ පුරා ම දැවටී ඇත්තේ කෙත් වතු පිටි, සතා සීපාවා, වැව් තාවුලු සහිත පරිසරය සමඟ නිබඳ සුහද සංධ්වනියක යෙදී සිටි අප්පච්චි නොමැති වීමෙන් ඇති වුණු මහා පාළුවයි.

“දෑතේ වීරිය දැක පෙරළුණි පොළෝ පස
දහදිය මතින් සුපිපුණි මල් කරල් රැස
නගුලට උදැල්ලට පුරුදුයි නුඹේ බස
දෙඩුවකු නොමැත උන්හට ලොව නුඹ ම මිස”

“ඕවිට පිටල් ඇල වැව් තාවල්ලෙ දිය
දවසක් නෑර සිපගෙන ඇත නුඹේ කය”

කෙතට ම ජීවිතය වැය කළ අප්පච්චිගේ හඬට අචේතනික වස්තූන් පවා සංවේදී වන බව දැක්වීම ජනකවි රීතියට අනුගත වීමකි. “තෙමා වැටේ මගෙ සළු පිළි නෙත් පුරවා” යනුවෙන් යසෝදරාවත කවියා කීවේ ය.

මෙම පැදි පෙළේ සමුදයාර්ථය උත්කර්ෂයට නංවන සිව්වැනි කවිය, උතුම් පියතුමකුගේ මහා පෞරුෂයත් – ඔහු ඇසුරු කළ පරිසරයත් විනිවිදින සංකේතාර්ථ නිරූපණ පෙළහරක් වැන්න:

“රන්ගිර නැගුණ හිරු ගෙන ගිය කෙත වෙතට
රන්හිරු මඬල ගෙට වැඩි බිම් කළුවරට
රන් කෙත ගොළු ය ඒ රන් රුව නැති කමට
රන්කොත ගිලිහුණා අපෙ පින් මදි කමට”

මේ පද්‍ය පාදයන්හි අර්ථ ධ්වනිය, ශබ්ද ධ්වනිය, අනුප්‍රාසය යන මේ සියල්ලන්ගේ සංකලනයෙන් ඉමක් කොණක් නො පෙනෙන අහසෙහිත්, පොළවෙහිත් ගාම්භීරත්වය හා උදාරත්වය පිළිබඳ හැඟීම අප තුළ තියුණු කෙරෙයි. රන්ගිර, රන්හිරු මඬල, රන් කෙත, රන් රුව යන පද අනුපිළිවෙළින් නඟන හැඟීමත්, අරුතත් කෙමෙන් තියුණු වී දිවි අරුත සඵල කර ගත් ජීවිතයක නිමාව හඟවමින් “රන්කොත ගිලිහුණා” යන පුණ්‍ය සංකේතවත් යෙදුමෙන් අවසන් වෙයි.

අප්පච්චීගෙන් හිස් වූ කෙත් වතු පිටි පාළුවට ගොස් ඇත. වැට ඉනි මතින් නිදිකුම්බා වැල් නැගී තිබේ. මායිම් නියර වල් බිහිව ගොස් ය. රත්තී, වසුපැටියා, ටොමියා බලාගත් අතේ බලාගෙන සිටිති. බුදු පුදසුන මත පිදෙන සුදු මල් හිඟ ය. පරිසරය සිසාරා සැරිසරා ඊට ජීවය දුන් මිනිසා සියල්ලන්ගේ ම අප්පච්චී ය. ඔහුගෙන් තොර වටපිටාව මිලින වී ගිය අයුරු අනතුරු පැදි තුනෙන් දක්වා ඇත්තේ සශ්‍රීකවත් යුගයක අවසානය පිළිබඳ ඉඟියක් ද පළ කරමිනි. ජනකවි රීතියෙන් පබඳින ලද ‘අප්පච්චී’ නමැති පිය ගුණ වරුණ පැදි පෙළේ අවසාන කවියෙන් පෙර කී යුග නිමාව පිළිබඳ ඉඟිය උත්කර්ෂයට නංවා තිබේ.

“සක්විති නුඹ ය හිස මිණි මුතු නැති වෙච්චී
හිත ගත නුඹේ අප රැකි දඬුවැට වෙච්චී
ඒ සා විසල් රැකවල් කොහි සැඟවෙච්චී
නුඹ කොතනදැයි කියපන් මට අප්පච්චී”

සටහන – මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පරිපාලන ලේකම් දයාපාල ජයනෙත්ති