highlights of the week
Home » අපේ ආච්චිගේ ලස්සන බණ කථාව » අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 3

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 3

දත් අපට හරීම සතුටු දවසක්. අපි හැමෝ ම කිරිවෙහෙර වඳින්ට ආවා. කතරගම කිරිවෙහෙර වහන්සේ හරීම ලස්සනයි. දුටු පමණින් සිත පහදිනවා. ඇත්තෙන් ම අපිට අපේ ආච්චි ඉන්න එක මොනතරම් දෙයක් ද! මේ වන්දනාවෙදිත් ආච්චි තමයි අපට හැම දේම කියාදුන්නේ. අපි හැමෝ ම මල් අරගෙන බුදු ගුණ කියමින් කිරිවෙහෙර වහන්සේ පැදකුණු කළා. රාත්‍රියට කිරිවෙහෙර මළුවේ වාඩිවෙලා ඉන්න හිතෙනවා. ආච්චි ලස්සනට ගාථා කියවලා, සිංහල තේරුමත් කියවලා වන්දනා කෙරෙව්වා. අපි හැමෝ ම කිරිවෙහෙර මළුවේ පසෙකින් වාඩිවුනා. ඒ වෙලාවේ තාත්තා අපේ ආච්චිගෙන් අපූරු ප්‍රශ්නයක් ඇහුවා.

“අම්මේ… ස්වල්ප පිනක් වුනත් ටිකක්ය කියලා අතාරින්ට එපාය කියලා අපේ භාග්‍යවතුන් වහන්සේ වදාළා ගාථාවක් තියෙනවාද?”

“නැතුව පුතේ…. ඇයි මතක නැද්ද? ධම්ම පදයේ නොවැ ඒ ගාථාව තියෙන්නේ. අර බිළාලපාදක සිටුතුමාගේ කතාවෙ නේ ඒ ගාථාව තියෙන්නේ”

“ආච්චි මං ඒ කතාව දන්නවා. පින ගැන තියෙන තව කතාවක් ආච්චි දන්නෙ නැද්ද?” කියලා නංගි ආච්චිගෙන් ඇහැව්වා. එතකොට අපේ ආච්චි සුපුරුදු සිරියාවන්ත සිනහාවෙන් මෙහෙම කිව්වා. “මොකෝ දරුවො මතක නැත්තේ…. මතකයි මතකයි”

“අනේ…. ආච්චියේ…. අද නම් කතාවක් අහන්ට හොඳම වෙලාවයි මේ” කියලා මං ආච්චිව උනන්දු කළා.

“දරුවනේ, ඔයාල දන්නවා නේ අපේ දුටුගැමුණු මහරජ්ජුරුවෝ. උන්නාන්සේ මහා දුෂ්කර වැඩක් කළා නොවැ. මුළු ලංකාවෙන් ම දෙමළ බලය පලවා හැරියා. අපේ රට එක්සේසත් කළා. ඒ කියන්නේ එකම රජෙකු ගේ අණසක යටතට ගත්තා. ඉතින් උන්නාන්සේ අනුරාධපුරයේ රාජ මාළිගාවේ වැඩ උන්නේ.

දරුවනේ, අපේ දුටුගැමුණු රජ්ජුරුවන්ට යුද්ධයේදී ගොඩාක් උපකාරී වුනේ කඩොල් ඇතා. දවසක් මේ කඩොල් ඇතා දම්වැල් කඩාගෙන පැනල ගියා. නැගෙනහිර පැත්තට ගියා. මහ වනාන්තරේට වැදුනා. වනයේ තියෙන ගස් බිඳගෙන කකා යද්දී ඈත තිබුනා මහනදුරු කියල ආරණ්‍යයක්. ඔය ආරණ්‍යයටත් ගියා. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේලා ගස් යට භාවනා කරනවා. සක්මන් කරනවා. ඇතැම් ස්වාමීන් වහන්සේලා මිහිරට ධර්මය සජ්ඣායනා කරනවා. මේ දර්ශනය දැකපු කඩොල් ඇතා පැහැදුනා. එදා පටන් එතැනින් ඈතට ගියේ නෑ. වනේට ගොහින් ඉදුනු පළතුරු ගෙඩි වර්ග කඩාගෙන ඇවිත් ස්වාමීන් වහන්සේලාට පූජා කරනවා.

අපේ දුටුගැමුණු රජ්ජුරුවෝ කඩොල් ඇතාව සොයන්ට හතර දිසාවට ඇමැතිවරු පිටත් කළා. ඔයින් නැගෙනහිර පළාතට පිටත් කළේ තිස්ස කියන අමාත්‍යතුමාව. මේ ඇමතියා වනය පීරාගෙන දිගට ම යද්දී එයත් මේ මහනදුරු කියන ආරණ්‍යයට ආවා. ඉතා ශාන්ත ඉරියව් වලින් යුතුව, සිත පහදවන හැසිරීමෙන් යුතුව, නිතරම බණ භාවනාවේ යෙදී ඉන්න භික්ෂූන් වහන්සේලා දැක්කාම තිස්ස ඇමතියත් පැහැදුනා. ඒ වෙලාවෙ තමයි කඩොල් ඇතා කැලෙන් මතුවුනේ. හප්පේ බලන්ට එපායැ මහ උපාසකයෙක් වගේ ඇතා එන හැටි. හොඳට ඉදුණු ගෙඩි තියෙන කර අතුත් හොඬින් ගෙනැවිත් ස්වාමීන් වහන්සේලාට පූජා කරලා වැන්දා. මේ ආශ්චර්යය බලා සිටිය තිස්ස අමාත්‍යයා මෙහෙම කල්පනා කළා.

‘හප්පේ හරිම ආශ්චර්යයක් නොවැ. මේසා චණ්ඩ පරුෂ ගති ඇති මිනීමරු තිරිසන් සත්තු පවා ධර්මයේ හැසිරෙන අපගේ ආර්යයන් වහන්සේලාගේ ගුණයට පැහැදිලා කීකරු සේවකයන් වගේ වතාවත් කරනවා නොවැ. අනේ මුන්වහන්සේලා ගේ පැවිදි ජීවිතය මොනතරම් උතුම් ද! තමනුත් සසරෙන් ගැලවිලා තමන්ට සිව්පසයෙන් උපස්ථාන කරන අයටත් සුගතිය සලසනවා. අහෝ! අප භාග්‍යවතුන් වහන්සේ ගේ ධර්මය නිසාම යි මේ ආශ්චර්යය වුනේ’ කියලා ඒ මහනදුරු සෙනසුනේ සිටි භික්ෂූන් වහන්සේලා ගැන සිත ගොඩාක් පහදවා ගත්තා.

ඉතින් දරුවනේ ඊටපස්සේ තිස්ස ඇමතියා ආපහු අනුරාධපුරයට ගොහින් අපේ දුටුගැමුණු රජ්ජුරුවන්ව බැහැදැක්කා. මෙහෙම කිව්වා. “දේවයන් වහන්ස, මං අපේ කඩොල් ඇතාව දැක්කා. හරි පුදුමයි දේවයන් වහන්ස, ඒ ඇත්රජා කීකරු සේවකයෙක් වගේ මහනදුරු සේනාසනයේ ඉන්න භික්ෂූන් වහන්සේලාට වතාවත් කරනවා නොවැ”

අපේ දුටුගැමුණු රජ්ජුරුවෝ කඩොල් ඇතාගේ ගතිගුණ ගැන දන්නවා නොවැ. රජ්ජුරුවෝ මෙහෙම කිව්වා. ‘එසේ නම් තිස්සයෙනි, ඔබම නැවත යන්න. ගිහින් අපේ ඇත්රජාව කැඳවාගෙන එන්න’

ඉතින් දරුවනේ, එතකොට තිස්ස ඇමතියා උක්සකුරු, ඉදුණු පළතුරු ආදිය අරගෙන මහනදුරු සේනාසනයට ගියා. ගිහින් පළතුරු මිරිකා යුෂ අරගෙන උක්හකුරු සමග භික්ෂූන් වහන්සේලාට මහා ශ්‍රද්ධාවෙන් පූජා කරගත්තා. කඩොල් ඇතාවත් කැඳවාගෙන අනුරාධපුරයට ගියා. එදා තිස්ස අමාත්‍යයා සංඝයා උදෙසා පූජා කොරගත්තු ගිලන්පස පූජාව විතරයි හොඳට ම කරගත්තු පින. බලන්ට දරුවනේ, පිනක මහිම. ඒ තිස්ස අමාත්‍යයා මිය ගියාට පස්සේ ආයෙමත් මනුස්ස ලෝකෙට ම ආවා. අනුරාධපුරේ ම උතුරු පැත්තට වෙන්ට අඹවිටි කියලා ගමක් තිබුනා. ඒ ගමේ ධනවත් පවුලක පුතෙක් වෙලා උපන්නා. දෙමව්පියන් මේ දරුවාට තිස්ස යන නම දැම්මා.

ඉතින් මේ තිස්ස තරුණ වයසට පත් වුනාට පස්සේ දෙමාපියන් ගැලපෙන තරුණියක් කසාද බන්දලා දුන්නා. නමුත් සසරේ පුරුද්දට වගේ තිස්ස නිතර නිතර අපේ ස්වාමීන් වහන්සේලා ඇසුරු කළා. සසරින් මුදවන ධර්මයත් ඇසුවා. මෙයා ගේ සිත ගිහි ජීවිතේට ඇලුනේ නෑ. බිරිඳගෙන් අවසර අරගෙන පැවිදි වුනා. කලින් ආත්මේ තිස්ස ඇමතියා පැහැදුනේ ධුතාංගධාරී භික්ෂූන් වහන්සේලාටයි. ඒ නිසා මේ තිස්ස තෙරුන් ඉතාම ඕනෑකමින් ධුතාංග සමාදන්ව සිටියා. ඒ නිසා ම ‘ප්‍රතිපත්තිසාර තිස්ස තෙරුන්’ කියලා මේ ස්වාමීන් වහන්සේ ප්‍රසිද්ධ වුනා.

ඉතින් දරුවනේ, දවසක් මේ තිස්ස තෙරුන් වහන්සේ තවත් භික්ෂූන් වහන්සේලාත් සැදැහැවත් පිරිසකුත් සමග දඹදිව වන්දනාවේ යන්ට නැව් නැගලා පිටත් වුනා. අනේ මේ ඇත්තෝ නැවේ යද්දි පානය කරන්ට ගෙනිච්ච වතුර අතරමගදී අවසන් වුනා නොවැ. තවම නැව මුහුදේ. තිස්ස තෙරුන්ට ගොඩාක් පිපාසේ ඇතිවුනා. වළඳින්ට පැන් ටිකක් සොයා බැලුවා. නැවේ කා ළඟවත් පැන් නෑ. මුන්නාන්සේට හොඳට ම පිපාසයි. බැරිම තැනේදි අනේ අපොයි පාත්තරේ මුහුදු දියට පාත් කරලා මුහුදු වතුර ටිකක් ගත්තා. හිත හදාගෙන වළඳන්ට සූදානම් වුනා විතරයි දරුවනේ මහා ආශ්චර්යයක් නොවැ වුනේ. පාත්තරයට ගත්තු ඒ මුහුදු වතුර ඉතාම මිහිරි පානීය ජලය බවට පත්වුනා. ඉතින් තිස්ස තෙරුන් කුසපුරා පැන් වැළඳුවා. නැවේ හැමෝට ම පැන් දුන්නා. ඒ පාත්තරෙන් මොනතරම් පැන් දුන්නත් අඩු වුනේ නෑ.

වන්දනා පිරිස ඉතාම සතුටින් දඹදිව වන්දනා කරගත්තා. ඒ වන්දනා ගමනේදීත් ආපසු එනකොටත් හැමෝටම ලැබුනේ තිස්ස තෙරුන්ගේ පාත්තරෙන් ගත් මිහිරි ජලයයි. තිස්ස තෙරුන්ට හරිම සතුටුයි. ඒ ආත්මේ ඉතා හොඳින් මහණදම් පුරාගෙන අපවත් වුනාට පස්සේ දෙව්ලොව උපන්නා. දෙව්ලොවේදීත් තිස්ස දිව්‍ය පුත්‍රයා ගේ විමානයේ තිබුන පැන් ඉතාම මිහිරි රසයෙන් යුක්ත වුනා. අනිත් දෙවිවරු ඇවිත් තම තමන්ගේ විමාන වලට පැන් අරගෙන ගියේ තිස්ස දෙව්පුතුගේ විමානයෙන්.

ඕං බලන්ට දරුවනේ පින විපාක දුන්නු හැටි. මේ ලෝකේ ශ්‍රද්ධාව ඇති අය, පින ගැන අවබෝධය ඇති අය ස්වල්ප වූ නමුත් පැන් පූජාව මහත් ශ්‍රද්ධාවෙන් සිදු කරනවා. බොහෝ ම දන්පැන් පුදනවා නම් කොහොම විපාක ලැබේද කියලා අපේ ආච්චි ඉතා මිහිරට මේ කවිය කිව්වා.

සිත පහදා ගෙන ලොවේ ටිකක් නමුත් පැන් පුදා
රැස් කර ගත් පින පසුපස ආවේ ම ය සැප සදා
පිදුවේ නම් යමෙක් බොහෝ දානය සතුටින් මෙදා
එයින් ලැබෙන මහ විපාක කොහොම කියන්නද සදා

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

(සද්ධර්මාලංකාරය ඇසුරිනි)

Leave a Reply

Your email address will not be published.

x

Check Also

කිරිමුත්තා කිව්වා මෙසේ….

තොපි ඍජු සිතකින් ත්‍රිවිධ රත්නය සරණ ගියොත් ආං අර සඳ මඬල ටිකෙන් ටික පිරී ගොහින් පුර හඳක් වුණා වගේ තොපිටත් යහපතක් ම උදාවේවි.