කර්මය යනු සියලු ලෝ සතුන්ගේ සසර ගමන තීරණය කරන ප්‍රධානතම සාධකයයි. අපගේ ශාස්තෘන් වහන්සේ ඒ ගැන මෙසේ දේශනා කළ සේක.

කම්මං සත්තේ විභජති යදිදං හීනපණීතතාය. උසස් පහත් බවට සත්වයන්ව බෙදන්නේ කර්ම විසිනුයි.”

චේතනා පහළකොට සිත, කය, වචනය මෙහෙයවා කරන ලද යහපත් වූ හෝ අයහපත් වූ හෝ කර්මය තමාට ම දායාදය වන නිසා සසරේ ඒ ඒ ජීවිතවල දී තමාට ම යළි යළිත් තමා ව ම හමුවනවා. බුදුරජාණන් වහන්සේ මෙය නිතර සිහි කළ යුතු දෙයක් බව මෙසේ දේශනා කළ සේක.

“මම කර්මය තමාගේ දෙය කරගෙන සිටිමි. කර්මය දායාදය කරගෙන සිටිමි. කර්මය උප්පත්ති ස්ථානය කරගෙන සිටිමි. කර්මය ඥාතියා කරගෙන සිටිමි. කර්මය පිළිසරණ කරගෙන සිටිමි. යහපත් වූ හෝ අයහපත් වූ හෝ යම් කර්මයක් මා විසින් කරනු ලැබුවහොත් එහි විපාකය මට දායාදය හැටියට ලැබෙන්නේ යැයි, ස්ත්‍රියක් විසින් වේවා, පුරුෂයෙක් විසින් වේවා, පැවිදි ශ්‍රාවකයෙක් විසින් වේවා, ගිහිගෙදර වසන අයෙක් විසින් වේවා නිතර නිතර සිහි කළ යුත්තේ ය.”

ඒ වගේම කරත්ත රෝදය කරත්තයට සම්බන්ධ වන ලෙස ගැසූ කඩඇණය මෙන් ලෝක සත්වයා කර්මය තුළින් සසරට සිරවී සිටින බව ද බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් සේක.

මෙසේ විපාක පිණිස කර්ම සැකසෙමින් යන සසරේ ඇති බියකරු බව අප දැන සිටිය යුතු ය. එලෙස කාලයේ වැලිතලාවෙන් වැසී යන අතිශයින් ම සංවේගජනක සිදුවීම්, කරුණක් පැන නැගී කල්හී බුදුරජාණන් වහන්සේ වදාරණ සේක.

දිනක් හිමිදිරි උදෑසන බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්ති ඤාණයෙන් ලොව දෙස බලා වදාළ සේක. ඒ වෙලාවේ දී ධර්මාවබෝධයට නුවණ මුහුකුරා ගිය උග්ගසේන තරුණයා පන්සිය දෙනෙකුගෙන් යුතු සර්කස් කණ්ඩායමක පිනුම්කාරයෙක් ව සිටිනු දුටුවා. බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා ද පිරිවරා ඒ සංදර්ශන මණ්ඩපය අසලට වැඩම කොට වදාළා. බුදුරජාණන් වහන්සේ වැඩම කරනු දුටු මහා ජනකාය ඒ දෙසට නෙත් අයා සාදු නාද පවත්වන්නට වුණා. මෙය දුටු උග්ගසේන මෙහෙම කල්පනා කළා.

‘වසරකට වතාවක් තමයි මම මේ වගේ සංදර්ශනයක් පවත්වන්නේ. ඒත් අද ඒකත් වැඩක් නැති වේවි. ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ මෙතනටත් වැඩම කළා නොවැ.’

මේ සිතුවිල්ල දුටු බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ සංදර්ශනය බැලීමට වැඩම කළ බව පවසා උග්ගසේන තරුණයාට “දැන් සංදර්ශනය පවත්වන්න” යැයි දැනුම් දුන්නා. බුදුරජාණන් වහන්සේ තමන් දෙස බලා සිටින බව දැනගත් උග්ගසේන එයින් වඩාත් සතුටට පත් වූවා. වෙනදාටත් වඩා දක්‍ෂ ලෙස රිටක් මුදුනට නැගී කරණමක් ගසා සිට ගත්තා.

ඒ සැණින් බුදුරජාණන් වහන්සේ මිහිරි ස්වරයෙන් මේ දහම් පදය වදාළා.

“අතීතය ගැන පසුතැවෙන එක අත්හරින්න. අනාගතය මවන එකත් අත්හරින්න. වර්තමානයට බැඳෙන එකත් අත්හරින්න. මේ භවයෙන් එතෙර වෙන්න. හැම දේකින් ම මිදුණු සිතක් ඇති කෙනෙක් වෙන්න. ආයෙ ආයෙමත් මේ ඉපදෙන දිරන ලෝකයට නො එන කෙනෙක් වෙන්න.”

තමන්ගේ ජීවිතයට මේ උතුම් දහම් පදය ගළපාගත් සියුම් නුවණැති උග්ගසේන තරුණයා නිකෙලෙස් ශ්‍රාවකයෙක් ලෙස ඒ වෙලාවේ ම ඒහි භික්ෂු පැවිදි උපසම්පදාව ද ලැබුවා.

මෙම සිදුවීම දුටු අනෙක් ස්වාමීන් වහන්සේලාට හරි ම පුදුමයි. ධනවත් සිටු පවුලක සිටි උග්ගසේන දෙමාපියන්ගේත්, නෑදෑයින්ගේත් අකමැත්තෙන් ම දිළිඳු පිනුම්කාරියක් විවාහ කරගෙනයි හිටියේ. උග්ගසේනත් ඒ පිරිස සමඟ ම පිනුම් ගසමින් ඇවිද ගියා. එහෙම සිටිය දී රිටක් උඩ හිඳ කරණමක් ගසන අතරේ එක ගාථාවක් ශ්‍රවණය කිරීමෙන් අරහත්වයටත් පත් වුණා. ස්වාමීන් වහන්සේලා මේ ගැන බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටියා. බුදුරජාණන් වහන්සේ කාශ්‍යප බුදු සසුනේ සිදු වූ අතීත සිදුවීමක් මෙසේ වදාළා.

මේ උග්ගසේනත්, බිරිඳත් දෙදෙනා නෑයන් සමඟ කැවිලි පෙවිලිත් සාදාගෙන කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ රනින් කළ ධාතු ස්ථූපය වන්දනා කරන්නට පිටත් වුණා. අතරමග දී රහතන් වහන්සේ නමක් දැක, දානය පූජා කර, ‘ඒ අමා නිවන් සුව අපට ද පසක් කරගැනීමට මේ පින හේතු වේවා!’ යි අධිෂ්ඨාන කළා. මෙය ඇසූ රහතන් වහන්සේ එම අදහස අනාගතයෙහි සඵල වනු දැක සිනහ පහල කළා. ඒ සිනහව අර කාන්තාවට පෙනී ගියේ විකට සිනහවක් වගෙයි. මෙය දුටු බිරිඳ රථයේ නැගී යන ගමන් “ඒ ස්වාමීන් වහන්සේ ඉස්සර පිනුම්කාරයෙක් ද දන්නෙ නෑ.” යැයි උපහාසයට කථා කළා. එයට සිනහ වූ මොහු ද “එහෙම වෙන්න ඇති සොඳුරිය.” යැයි පැවසුවා.

සිදු වූයේ එපමණයි. මේ බුදු සසුනේ දී එම කාන්තාව සර්කස් කණ්ඩායමක පිනුම්කාරියක්. පෙර ඇයගේ සැමියා මේ ජීවිතයේ උග්ගසේන සිටු පුත්‍රයා වෙලා ඇය ව විහාර කරගෙන ඒ සිටු සම්පත් ද අතහැර සර්කස් කණ්ඩායමේ පිනුම් ගසමින් පැමිණියා. එයට හේතුව වුණේ එදා උපහාසයට කථා කළ වචනය යි.

බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පාපයේ විපාකය අළු ගොඩක් ඇතුළේ තියෙන ගිනි පුපුරු වගේ, විපාක දීමට කාලය පැමිණි විට එය ඉදිරිපත් වන බවයි. එවැනි සිදුවීම කීපයක් මේ කියා දෙන්නේ.

දුර පළාතක සිට ස්වාමීන් වහන්සේලා පිරිසක් සැවැත් නුවර ජේතවනාරාමයට බුදුරජාණන් වහන්සේ වන්දනා කිරීමට වැඩම කළා. අතරමග දී ගම්වැසියන් පිරිසක් දානයක් සූදානම් කළා. ඒ එළිමහනේ තිබුණ ළිපකට සුළඟක් හමා ඇවිත් ළඟ තිබුණ පිදුරු ගස් කීපයක් ඇවිළුණා. එතැනින් ඉගිල ගිය කපුටෙක් එයට හොට දැම්මා. ඒ කපුටා ගින්නෙන් පිළිස්සී මැරී වැටුනා.

තවත් ස්වාමීන් වහන්සේලා පිරිසක් දුර රටක සිට නැවකින් වැඩම කරද්දී නැව මුහුද මැද නැවතුනා. කිසිම විදිහකින් එන්ජිම පණ ගන්වන්නට බෑ. “කවුරු හරි අවාසනාවන්තයෙක් ඇති. ඒ කෙනා සොයාගන්නට ඕනෙ.” කියල හැමෝගෙම නම් තුණ්ඩු කෑලිවල ලියල වතුර භාජනයකට දැම්මා. එක තුණ්ඩුවක් වතුරේ ගිලුනා. එහි තිබුණේ ප්‍රධාන නාවිකයාගේ බිරිඳගේ නමයි. තුන් වතාවක් ම තුණ්ඩු දැම්මා. තුන් වතාවෙ ම ඇගේ නම තිබෙන තුණ්ඩුව විතරක් යට ගියා. අවසානයේ ඇගේ බෙල්ලේ ගලක් ගැට ගසා මුහුදට දැම්මා. නැවේ එන්ජිම පණ ගැන්වුණා.

මේ අතර තවත් ස්වාමීන් වහන්සේලා හත්නමක් සැවැත් නුවරට වැඩම කරන අතරමග විහාරයක ගල් ලෙනක නැවතුනා. රාත්‍රී කාලයේ ගල්ලෙනට උඩින් තිබූ විශාල ගලක් පෙරළී ගල් ලෙනේ දොර වැසුනා. එහි සිටි නේවාසික ස්වාමීන් වහන්සේලා ගම්වාසීන් සමඟ ගල ඉවත් කරන්නට දවස් හතක් පුරා වෙහෙසුණා. හත්වෙනි දවසේ ගල ඉබේ ම පහළට ලිස්සා වැටුණා. ස්වාමීන් වහන්සේලා හත්නම දින හතක් පුරා පිපාසයෙන්, බඩගින්නෙන් ක්ලාන්ත ව හිඳලා එළියට වැඩම කළා. බුදුරජාණන් වහන්සේ දම්සභා මණ්ඩපයේ දී ඒ සියලු සිදුවීම්වල අතීත කර්මය දේශනා කළා.

ඒ කපුටා ඉස්සර බරණැස් නුවර ගොවියෙක්. මේච්චල් කරන්න අමාරු එක ගවයෙක් ගැන කේන්තියෙන්, ඒ ගවයාගේ ඇඟට පිදුරු ගොඩක් දමා ගිනි තිබ්බා. ගවයා එතන ම මරණයට පත් වුණා. ඒ කර්මයේ විපාක විදිහට ඔහු නිරයේ ඉපදුණා. එහි ඉතිරි විපාකය විදිහට සත් වතාවක් ම ඔය විදිහට අහසේ මිය ගියා.

අර දියේ ගිල්වන ලද කාන්තාවත් කලින් ජීවිතයක කාන්තාවක් ව ඉපදිලා ඒ ජීවිතයේ දී හුරතලේට බලු පැටියෙක් ඇති කළා. ඒ බලු පැටියා වෙලා හිටියේ ඊට ජීවිත තුනකට කලින් ඇගේ ම ස්වාමියා. ඒ සසර පුරුද්දට මේ බලු පැටියා ඇය යන යන තැන පස්සෙන් යනවා. ඒ ගැන කිය කියා මිනිසුන් ඇයට විහිළු කරනවා. මේ බලු පැටියා ඇයට මහත් වදයක් වුණා. බල්ලා වතුර වළක් ළඟට එක්ක ගිහින් කළයක් ගැට ගසා ඌව වතුරට දැම්මා. ඒ කර්මයේ විපාක ලෙස ඇය නිරයේ ඉපදුණා. සිය වතාවක් ම ඔය වගේ ජලයේ ගිලී මරණයට පත් වුණා.

ස්වාමීන් වහන්සේලා හත්නම කලින් ජීවිතයක ගොපලු ළමයි. එක් දිනක් ගවයින් දක්කාගෙන යන අතරමඟ දී තලගොයෙක් දැක්කා. ඌව අල්ලන්න පන්නාගෙන යද්දී ඌ තුඹසකට රිංගුවා. කොළ අතු හිර කරලා තුඹසේ සිදුරු වැහුවා. ළමයින්ට ඌව මතක් වුණේ දවස් හතකට පස්සෙ. අර සිදුරු ඇරියා. තලගොයා අමාරුවෙන් එළියට ආවා. ඌ ගැන අනුකම්පා හිතිල නිදහසේ යන්න ඇරියා. තලගොයා නො මැරූ නිසා නිරයේ ගියේ නෑ. නමුත් ආත්මභාව දාහතරක් ම දවස් හත ගානේ බඩගින්නේ පිපාසයෙන් දුක්වින්දා. මේ සිදුවීම මුල්කරගෙන බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළා. “අහසේ සිටියත්, කඳු මුදුනක සිටියත්, මුහුද මැද සිටියත් කළ පාපයන්ගේ විපාකයෙන් ගැලවෙන්න බෑ. එබඳු තැනක් ලෝකයේ කොහේවත් නෑ.” කියල.

තමන් කරන ලද පාපකර්මයන්ගේ විපාකයට අනුව ප්‍රේත ලෝකයේ ඉපදී දුක් විඳින ජීවිත ගැනත්, තමන් කරන ලද පුණ්‍යධර්මයන්ගේ විපාකවලට අනුව සුගති සැප විඳින ජීවිත ගැනත් පේත වත්ථු – විමාන වත්ථු දේශනාවන්හි විස්තර වශයෙන් සඳහන් වෙනවා. ඒ වගේම කරන ලද පව්වල දුක් විපාක කරත්තයේ බැඳි ගොනා පසුපස එන කරත්ත රෝදය මෙනුත් කරන ලද පින්වල සැප විපාක සෙවනැල්ල මෙනුත් තමා පසුපස එන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. මේ උතුම් දේශනා තුළින් අප ජීවිතයට ගත යුතු ආදර්ශය උතුම් රහතන් වහන්සේලාගේ උදාන ගාථා තුළ මෙසේ සඳහන් වනවා.

“හරි ම ඉක්මනට මේ රෑ – දවල් ගෙවිල යනවා. ජීවිතේ අවසන් වෙන්නේ හරි ම වේගයෙන්. උපන් සත්වයන්ගේ ආයුෂ ගෙවිල යන්නේ පුංචි fදාළපාරක ගලන වතුර ටිකක් වගේ. එහෙත්, පව් කරන මෝඩ ජනතාව මේක තේරුම් ගන්නේ නෑ. අන්තිමේ දී දුක් විපාක විඳින්නට සිදුවන්නේ ඔවුන්ට ම යි. පාප කර්මවල විපාකත් පාපී ම යි.”

(හේරඤ්ඤකානි රහත් මුනිඳුන්ගේ ගාථා)

ඉදින් ඔබ දුකට අකමැති නම් රහසේ හෝ එළිපිට හෝ පව් කරන්න එපා! ඉතින් ඔබ අනාගතයේ පව් කරනවා නම්, දැන් පව් කරනවා නම් කොයිතරම් පැනල යන්න හැදුවත් ඒ දුක් විපාකවලින් නිදහස් වෙන්ට බෑ.
ඉතින් ඔබ දුකට භය නම්, දුකට අකමැති නම් කළ යුත්තේ මෙය යි.

“අකම්පිත සිත් ඇති බුදු සමිඳුන්වත්, ශ්‍රී සද්ධර්මයත්, ආර්ය සංඝරත්නයත් ආදරයෙන් සරණ යන්න. සිල් සමාදන් වෙන්න. ඔබට එය ගොඩාක් යහපත පිණිස පවතීවි…!”

(පුණ්ණා රහත් තෙරණියගේ ගාථා)