උපාදාන යනු

උපාදාන යන වචනය බොහෝ අය අර්ථ දක්වා ඇත්තේ ග‍්‍රහණය කර ගැනීම, තදින් අල්ලා ගැනීම යන අදහසින් ය. නමුත් හේතු ඵල දහම අනුව තේරුම් ගැනීමේ දී පටිච්චසමුප්පාදයේ අංග අපි තේරුම් ගත යුත්තේ කර්තෘත්වයකින් තොරවයි. මෙය තේරුම් ගැනීමට සංයුත්ත නිකායේ දෙවන පොත් වහන්සේගේ මෝළියඵග්ගුන සූත‍්‍රය අපට බෙහෙවින් උපකාර වෙයි.

මෝළියඵග්ගුන තෙරණුවෝ බුදුරජාණන් වහන්සේගෙන් මෙසේ විමසූහ.

“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, උපාදාන කරන්නේ කවුරුන් ද?”

මෙම ප‍්‍රශ්නය තුළ තිබෙන්නේ ආත්ම දෘෂ්ටිය යි. උපාදානය කරන්නා වූ ආත්මයක් හෙවත් ජීවයක් තිබේ යන්න එහි අදහස යි. එනිසා භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු සැපයීමට පෙර එම ප‍්‍රශ්නය නිවැරදි කළ සේක.

“උපාදාන කරන්නේ ය යැයි මම නො පවසමි. ඉදින් මම කියනවා නම්, තදින් අල්ලා ගන්නේ ය කියා, උපාදාන කරන්නේ කවුරුන්දැයි ඇසීම සාධාරණ ය. එහෙත් මම එසේ නො කියමි. එසේ නො කියන්නා වූ මගෙන් මෙන්න මේ ආකාරයටයි ප‍්‍රශ්නය විමසිය යුත්තේ. ස්වාමීනි උපාදානය හට ගන්නේ කුමක් නිසා ද කියා ය. එ් ප‍්‍රශ්නය මේ ධර්මයට අදාළ වේ. උපාදාන හට ගන්නේ තෘෂ්ණාව හේතු කරගෙන ය.”

(වැඩි විස්තර : මෝළියඵග්ගුන සූත‍්‍රය – සං. නි. 02)

මේ අනුව උපාදාන යන වචනයේ අර්ථය අපට මෙසේ හඳුනාගත හැකි ය. එනම් උපාදාන යනු ‘ග‍්‍රහණය වීම, බැඳී යාම’ යන අර්ථය යි.

කාම උපාදාන

ඉෂ්ට කාන්ත මනාප රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේ ලෝකයේ තිබෙන්නා වූ දේවල් ය. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ එ්වා කාම ගුණ ලෙසට ය. නමුත් සත්වයාගේ සිතේ මේ කාම ගුණ කෙරෙහි ඇලීමක් හට ගනී. එය සංකල්පයකි. පුරුෂයාගේ හිතේ ඇති වන කාමය එයයි.

(වැඩි විස්තර : නිබ්බේධික සූත‍්‍රය – අං. නි. 04)

බුදුරජාණන් වහන්සේ මේ සත්වයා කාමයට වසඟ වී මහත් වූ දුකට වැටී ඇති ආකාරය පෙන්වා දෙන සේක. උන්වහන්සේ වදාළේ මේ කාමයන් වනාහී ඉතා ම අල්ප වූ ආස්වාදයකින් යුක්ත (අප්පස්සාදා කාමා), බොහෝ දුක් සහිත (බහු දුක්ඛා), බොහෝ කරදර සහිත (බහුපායාසා), බොහෝ ආදීනව තිබෙන (ආදීනවෝ එත්ථ භිය්‍යෝ) දේවල් වශයෙන් ය.

සසර දුකින් එතෙර වනු කැමති ශ‍්‍රාවකයා මේ කාමයන්ගේ ආස්වාදය ආස්වාදය වශයෙනුත්, ආදීනවය ආදීනවය වශයෙනුත්, නිස්සරණය නිස්සරණය වශයෙනුත් අවබෝධ කර ගත යුතු ම ය. කාමයන්ගේ ආදීනව තේරුම් ගැනීමට බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙන්නේ අපූරු උපමාවන් ය.

1. කාමයන් වනාහී බලු පැටවකු ලෙව කමින් සිටින ඇට සැකිල්ලක් වැනි ය.
2. උකුස්සන් රංචුවකට මැදි වූ උකුස්සකු ඩැහැගෙන යන මස් කුට්ටියක් වැනි ය.
3. තමා දෙසට හුළඟකින් ගිනිදැල් පැමිණෙද්දීත් අල්ලා ගත් ඇවිළ ගත් හුළු අත්තක් වැනි ය.
4. ගිනි අඟුරු වළක් වැනි ය.
5. නින්දේ දී දුටු සිහිනයක් වැනි ය.
6. ණයට ඉල්ලා ගත් අන් සතු දෙයක් වැනි ය.
7. යකඩ හුලක් වැනි ය.
8. විෂඝෝර සර්පයෙකුගේ හිස පැත්ත වැනි ය.

(වැඩි විස්තර : අලගද්පදූම සූත‍්‍රය – ම. නි. 01)

දිට්ඨි උපාදාන

විවිධ ආකල්ප, විවිධ මතවාදවලට ග‍්‍රහණය වීම දිට්ඨි උපාදානය යි. මේ දිට්ඨි ගැන දිනක් දීඝනක නම් තාපසයා භාග්‍යවතුන් වහන්සේගෙන් මෙසේ විමසා සිටියේ ය.

“භවත් ගෞතමයන් වහන්ස, මම් වනාහි මේ ආකාර වාද ඇති මේ ආකාර දෘෂ්ටි ඇති කෙනෙක්මි. එනම් සියලු දෘෂ්ටි ගැන මගේ කැමැත්තක් නැත.”

එවිට බුදුරජාණන් වහන්සේ මෙසේ විමසූ පැනයෙන් දීඝනකගේ ඇස් ඇරුණි.

“දීඝනක, සියලූ දේ ගැන මගේ කැමැත්තක් නැත යන දෘෂ්ටියට ඔබ කැමතියි නේ ද?”

(වැඩි විස්තර : දීඝනික සූත‍්‍රය – ම. නි. 02)

බුදුරජාණන් වහන්සේ වැඩ සිටි යුගයේ මෙවැනි එක එක ආකාර වූ දෘෂ්ටි හැට හතරක් පමණ තිබුණි. එ් සියලු දෘෂ්ටි ඇති වීමට හේතු වන්නේ අයෝනිසෝ මනසිකාරය යි. මේ දෘෂ්ටි හටගන්නා ආකාරය භාග්‍යවතුන් වහන්සේ මෙසේ පෙන්වා දෙන සේක.

“පින්වත් කච්චායන, මේ ලෝක සත්වයා බොහෝ සෙයින් සිටින්නේ අන්ත දෙකක් තුළ ය. එහි ම බැස ගත්තේ වේ. එය ම බන්ධනයක් බවට පත්වූයේ වේ. එනම් ‘සියල්ල ඇත’ යන මෙය අන්තයකි. ‘සියල්ල නැත’ යන මෙය දෙවන අන්තය යි.”

(කච්චාන ගොත්ත සූත‍්‍රය – සං. නි. 02)

“සියල්ල ඇත යන අන්තය තුළින් හට ගන්නේ ශාස්වත දෘෂ්ටිය යි”

“සියල්ල නැත යන අන්තය තුළින් හට ගන්නේ උච්ඡේද දෘෂ්ටිය යි.”

මේ සියල්ලෙන් ම වෙන් වී හේතු ඵල දහම අනුව කල්පනා කරන ශ‍්‍රාවකයාට පමණි සියල්ලෙන් ම නිදහස් විය හැක්කේ.

සීලබ්බත උපාදාන

තමාගේ යහපත පිණිස උපකාර වේවායි සිතා විවිධ සීල ව‍්‍රතවලට බැඳී යාම මෙහි ස්වභාවය යි. බුද්ධ කාලීන සමාජයේ මෙය බහුල වශයෙන් දකින්නට තිබුණි. පිරිසිදු වීම පිණිස සමහරු ගඟට බැස දිය නෑම සිදු කළහ. තවත් සමහරු නිර්වස්ත‍්‍ර විය, තවත් සමහරු නිර්මාංශ විය. සමහරු ඉතා උග‍්‍ර තපස් රකිමින් ශරීරයට දුක් දුන්හ. මෙලෙස විවිධ මිත්‍යා ව‍්‍රතයන් සමාදන් ව එය සීලය යැයි පෙන්වා තමන් උස් කොට අන් අය හෙළා දැකීමට පෙළඹුනාහ.

නමුත් භාග්‍යවතුන් වහන්සේ සීලය යැයි පෙන්වා වදාළේ කයෙන් වචනයෙන් සිදුවෙන වැරදි අකුසල සහගත ක‍්‍රියාවන් වළකා කිසි කෙනෙකුට පීඩා නොවන අයුරින් තම ජීවිතය හැසිරවීම යි. මෙවැනි සීල ව‍්‍රතවලට බැඳී ගිය විට රැස් වන්නේ අවිද්‍යා සහගත කර්මයන් ම ය.

අත්තවාද උපාදාන

ස්ථීර වූ සදාකාලික ආත්මයක් මේ ජීවිතය තුළ තිබෙන්නේ ය යන අදහස මුල් කොටගෙන මම ය, මාගේ ය, මාගේ ආත්මය ය වශයෙන් සත්වයා උපාදාන වෙති. මෙය බලවත් වූ උපාදානයකි. අත්තවාද උපාදානයෙන් සදහට ම නිදහස් වන්නේ රහතන් වහන්සේලා පමණි. අනාගාමී උතුමන් තුළ පවා මේ අත්තවාද උපාදාන අනුසහගතව හෝ බලපවත්වයි.

උපාදානය යනු භවය පිණිස හේතු වූ කරුණ වේ. එසේ නම් එය ප‍්‍රබල හේතුවකි. එයිනුයි උපත සිදු වන්නේ.

“පින්වත් වච්ඡ, මා උපතක් ගැන පවසන්නේ උපාදාන සහිත තැනැත්තාට ය. උපාදාන රහිත තැනැත්තාට නො වේ. වච්ඡ, ගින්න දැල්වෙන්නේ උපාදාන සහිතව ම ය. උපාදාන රහිතව නො වේ. එලෙසින් ම පින්වත් වච්ඡ, මා උපතක් ගැන පවසන්නේ උපාදාන සහිත තැනැත්තාට ය, උපාදාන රහිත තැනැත්තාට නො වේ.”

(වැඩි විස්තර : කුතුහලසාලා සුත්ත – සං. නි. 04)

මෙලෙස අපව සසරට ම ඇද දමමින් යළි යළිත් උපතක් කරා ම රැගෙන යන මේ උපාදානයෝ හඳුනාගැනීම ඉතා දුෂ්කර ය. කෙසේ හෝ සසරින් එතෙර වනු කැමති ශ‍්‍රාවකයා මේ උපාදාන අවබෝධ කර ගන්නේ ම ය. අපට ද එ් උපාදානයන්ගේ සැබෑ ස්වභාවය අවබෝධ කරගෙන මේ උපාදානයන්ගෙන් නිදහස් වී අමා මහ නිවන පසක්කර ගන්නට වාසනාව උදා වේවා!!!

මහමෙව්නාව භාවනා අසපුවේ
ස්වාමීන් වහන්සේ නමක් විසින් සම්පාදිතයි