මේ පැත්තට එන්න… කෝ… ඉස්සරහට… ඉස්සරහට… ඔය කොහෙද යන්නෙ? ඉස්සරහට නේ ද යන්න කිව්වේ?”

එක අතකින් මුත‍්‍රා බෑග් එක එල්ලා ගත්ත, අනිත් අතින් සරම කෙටි කරලා අල්ලා ගත්ත, කට කොණකින් කෙළ බේරෙන රෝගියා තමන්ගේ ලොකු ඇස් තවත් ලොකු කරලා බලන් ඉන්නවා.

‘‘එන්න, එන්න… මේ… මේ පැත්තට…”

සෞඛ්‍ය සේවා පුහුණුවක නියැළෙන එක සිසුවෙක් රෝගියාට යා යුතු දිශාව පෙන්නනවා. එ්ත් ඔහු එ් පැත්තට හැරෙන්නේ නැහැ. සිසුවාගේ උස් හඬ හාත්පස පැතිරෙනවා. ඔහුගේ ජේ්‍යෂ්ඨ වෘත්තිකයෙක් රෝගියා ළඟට එන්නේ නොඉවසිල්ලෙන්.

‘‘මෙන්න මෙහෙට හැරෙන්න… නමකුත් නෑ… ගමකුත් නෑ… කියන දෙයක් තේරෙන්නෙත් නෑ… මොනවා කරන්න ද මන්දා මෙයා එක්ක නම්….”

මේ දෝෂාරෝපණයේ උස් හඬින් රෝගියා හැරෙනවා. තොල කණපිට හරවලා, දෑස් බිමට යොමු කරගෙන යටින් බලමින් ඔහු නොකැමැත්ත පෙන්නනවා. මුහුණ අඳුරු වෙලා. හුස්ම ඉහළ පහළ හෙළීම වේගවත් වෙනවා. සිසුවා රෝගියාගේ අතින් අල්ලාගෙන වුවමනා තැනට රෝගියා ව ගෙන යනවා. එ්ත් දැන් රෝගියා ඉන්නේ කිසිසේත් ම ප‍්‍රතිකාරවලට සහය දෙන මානසික තත්ත්වයක නෙමෙයි. ඔහු අසල වුණ පුටුව දෙසට හැරෙන්නේ තමන්ට ඉඳ ගන්නට වුවමනා බව පෙන්නුම් කරමින්. නරක් කර ගත්ත මුහුණකින් යුතුව රෝගියා පුටුවේ වාඩි වෙනවා.

මේ රෝගියා ව මට මුණගැසුනේ දෙවැනි දවසටයි. ඔහුගේ ඇඳ ඉහපත් වාර්තාව මං පෙරළා බැලූවේ ‘නමක් ගමක් නැති’ කියන වචන ගැන උපන් කුතුහලයෙන්. මේ තවත් නම නො දන්න දේවදූතයෙක් ද?

ඔව්…! නම නොදත් රෝගියෙක් ලෙසිනුයි ඔහු ව රෝහල්ගත කොට තිබෙන්නේ. හදිසි අනතුරකට ලක්වී තුවාල ලබා සිටිය දී රෝහල් හදිසි අනතුරු අංශයට ඇතුළත් කෙරුන ඔහුගේ අනන්‍යතාවය තහවුරු කරන කිසිවක් මුණ ගැසී නැහැ. හිසේ අභ්‍යන්තර රුධිර වහනයක් නිසාවෙන් ශල්‍යකර්මයකට බඳුන් කෙරුණ ඔහු මාස හතරක් තිස්සේ රෝහලේ නේවාසික ප‍්‍රතිකාර ලබනවා. අඩි කිහිපයක් පමණයි ඔහුට තනිව ඇවිද යා හැක්කේ. මුත‍්‍රා පිට කරන්නට මුත‍්‍රා බට සවි කරලා. කිසිදු වචනයක් පිට කරන්නට බැහැ.

ඔහුගේ ශල්‍යකර්මයෙන් මාස දෙකකට පමණ පසු තමයි ඔහු අන් අයට ප‍්‍රතිචාර දැක්වීම ආරම්භ කොට තිබෙන්නේ. තුන් මසකට පසු කථන චිකිත්සකවරුන් ඔහුගේ නම සහ අනෙක් තොරතුරු පිළිබඳ ව දිගින් දිගට ම කළ පරීක්ෂණවල දී ඔහු ‘සුනිල්’ යන නමට ප‍්‍රතිචාර දක්වා තිබුණා. එතැන් පටන් ඔහු ‘සුනිල්’ ලෙසයි හඳුන්වා තිබෙන්නේ. මේ තොරතුර කියවපු මම හිස ඔසවලා සුනිල් දෙස බැලූවා. ඔහු තවමත් පුටුවේ වාඩි වී සිටිනවා.

‘‘සුනිල්….!!!”

මගේ ආමන්ත‍්‍රණයෙන් හිස ඔසවා බලපු ඔහුගේ මුහුණේ ඇඳී ගිය සතුට මට මේ දක්වා ම මතකයි. කය ඍජු කර ගත් ඔහු කට පුරා සිනහසෙමින් ‘‘ම්… ම්… ම්….” හඬින් ප‍්‍රතිචාර දැක්වූයේ පුදුමාකාර සතුටකින්. දෑස ඉඟිමරා මා ඔහුට සිනාසුණේ නො දන්න දෙයක් දැනගන්නට ලැබීම අගය කරන ආකාරය අඟවමින්. ඊට සුළු මොහොතකට පෙර ඔහුගේ සිත රිදවූ සිදුවීමක් මෙහි සිදු වුණු බව දැන් ඔහුට මතක නැහැ. කමිසයට කටුවකින් ගසා තිබුණ ලේන්සුව ඔසවා ඔහු කෙළ පිස ගත්තා. උපන් මහා සතුටෙන් ම නැඟී සිටි සුනිල් ඇවිදින්නට උත්සාහ කරනවා. ඔහුගේ උපකාරයට කිහිප දෙනෙක් ම එකතු වුණා. දවසේ ප‍්‍රතිකාරවලට ඔහු එතැන් පටන් ලබා දුන්නේ හොඳ සහයෝගයක්.

සුනිල්ගේ කථාව එපමණයි.

මේ කථාව ඔබට මට කාටත් අද හෝ හෙට හෝ කෙදිනක හෝ මුහුණ පාන්නට සිදු වන කථාවක් වන්නටත් බැරිකමක් නැහැ නේ ද… ඇඟට ඇතුල් වන ඇසට පෙනෙන තරම් වත් නො වන පුංචි ම පුංචි විෂබීජයකට පුළුවනි ඔබ ව, මා ව මේ ජීවිත කාලයට ම ගොළු කරවන්න, අන්ධ කරවන්න, අප‍්‍රාණික කරවන්න… එවැනි ඉරණමකට මේ මනුෂ්‍ය ජීවිතේ දී ම මුහුණ දෙන්නට සිදු වුණොත් එයින් නැගී සිටීමක් ගැන අපට තිබෙන සහතිකය මොකක්ද? අන්න එ් සහතිකය ගැන මතක් කරන්නයි සුනිල්ගේ කථාව පසුබිම් කරගෙන මේ සත්‍ය කථාවත් ඔබට කියන්න ඕන කියලා මට හිතුණේ…

‘‘ඔපරේෂන් එක ඉවර වෙලා වාට්ටුවට ගෙනත් දාලා සිහිය ආව ම මට ඕන වුණේ එක ම එක දෙයයි. ඉක්මනට ගෙදර ගිහින් වැඩපළ ටික කර ගන්න පුළුවන් වුණොත් එ් ඇති කියලයි මට හිතුණේ. එ්ක හින්දා වචන හරි හැටි පිට වෙන්නේ නෑ කියලා තේරෙද්දි මට බයක් දැණුනෙ නෑ.

අපි හරි දුප්පත් මහත්තයෝ. දර ළිපක පොල් කොළ, පොල් අතුවලින් තමයි උයන්නේ. මට පපුවේ හතිය හින්දා ඊයේ පෙරේදා දුව ගෑස් ළිපක් ගෙනල්ලා. දරුවෝ, මහත්තයා මට සලකනවා. මට කථා කරන්න බැරි වුණත් එයාලා මට නො සලකන්නේ නෑ. එ්ත් එයාලත් හැමෝම වැඩ කරලනේ මට කන්න දෙන්නෙත්. මට ඕනෙ ඉක්මනට වැඩට යන්නයි. වැඩපළේ අය හොඳයි. මට පපුවේ අමාරුව කියලා දැන ගත්තට පස්සේ එයාලා මට බර වැඩ කරන්න දුන්නේ නෑ.

කථා කරන්න බැරි වෙලා ගියත් මොනවා කරන්න ද මහත්තයෝ…? පපුවේ හතිය හැදෙන්න කලින් නම් මං දිගට ම පෝයට සිල් ගත්තා. හාමුදුරුවෝ බණට අපිට මේවා කියලා දීලා තියෙනවා. ඕනේ දෙයක් ඕනෙ වෙලාවක වෙන්න පුළුවන් කියලා මං දන්නවා… ගමේ පන්සල තියෙන්නේ කන්දක. හතිය නිසා මට කඳු නඟින්න අමාරුයි. පෝය ගාණක් ම මට සිල් ගන්න යන්න බැරි වුණා. දැන් නම් මට හොඳ නිසා සිල් ගන්න යන්නත් පුළුවන් වෙයි…

අපි ජීවත් වෙන්නේ මහන්සි වෙලා වැඩ කරලා. අන්න එ් දේ කරන්න බැරි වෙයි ද කියන බය විතරයි මට තිබුණේ මහත්තයෝ.”

ඉන්දුලතා මේ උත්තරේ දුන්නේ ‘‘කථා කරන්න බැරි වෙයි කියලා බය හිතුණ ද?” කියන මගේ ප‍්‍රශ්නයට උත්තරයක් විදිහටයි. හදවත් කපාටයක ඇති වුණ රෝගී තත්ත්වයක් නිසා කපාට බද්ධ කිරීමේ ශල්‍යකර්මයකට ලක් වී සිටියදීයි ඉන්දුලතා ව මට මුණගැහුනේ. ශෛල්‍යකර්මයෙන් පසුව ඇයගේ කථා බස් කිරීමේ හැකියාව අඩු වී තිබුණා. නමුත් දැන් එ් තත්ත්වය බොහෝ දුරට නිවැරදි වෙලා. කලින් විදිහට ම කථා කරන්න පුළුවන් වෙයි නේ ද කියලා ඉන්දුලතා මගෙන් ඇහුවට පස්සෙයි මම ”කථා කරන්න බැරි වෙයි කියලා බය හිතුණ ද?” කියන ප‍්‍රශ්නය ඉන්දුලතාගෙන් ඇහුවේ.

ඉන්දුලතාට හදවත් රෝගී තත්ත්වයක් තිබෙන බව මුලින් ම දැන ගනිද්දි ඇය දෙවැනි දරු උපතට සූදානමින් සිටි ගැබිණියක්. එ් මොහොතෙදී නම් දරුවාටත්, තමන්ගේ ජීවිතයටත් ප‍්‍රශ්නයක් වෙයි ද කියන බිය ඉන්දුලතාට තිබිලා. එයින් අවුරුදු දහයකට පස්සේ හදවතේ පළමු ශල්‍යකර්මය කරද්දිත් ඇයට යම් බියක් ඇති වෙලා. නමුත් අද වන විට ඇය එ් ගැන බියපත් වන්නේ නැහැ. නූතන වෛද්‍ය විද්‍යාත්මක දියුණුව තුළ ශල්‍යකර්ම සාර්ථකව සිදු කිරීම එයට එක හේතුවක් වන්නට ඇති. එ් වගේ ම අවස්ථා කිහිපයක දී ම මේ තත්ත්වයන්ට මුහුණ දුන් නිසා එහි යම් හුරු පුරුදු බවක් ඇති වී තිබෙනවා වන්නටත් පුළුවන්. නමුත් ඊට වඩා වැදගත් හේතුවක් මේ බිය අඩු බව පිටුපස තිබෙන බව ඉන්දුලතාගේ වචන අපට පෙන්වා දෙනවා.

‘‘හාමුදුරුවෝ බණට අපිට මේවා කියලා දීලා තියෙනවා. ඕනේ දෙයක් ඕනෙ වෙලාවක වෙන්න පුළුවන් කියලා මං දන්නවා…”

ඕනේ දෙයක් ඕනෙ වෙලාවක වෙන්න පුළුවන් කියලා ඔබත් දන්නවා ද? ස්වාමීන් වහන්සේලා ඔබටත් එ් බව කියා දීලා තිබෙනවා ද? ඔබ එයට සූදානම් ද? මෙන්න මේ කථා අතරින් එකක් සැබෑවට ම ඔබේ කථාව නම්…. ඔබ එයට සූදානම් ද?

මෙවැනි දුක් මේ ජීවිතයට උරුම විය හැකි බව පසක් කර ගන්නට අප එ් අවස්ථාවන්ට මුහුණ දිය යුතු ම නැහැ. කැමති දේ නොලැබීමේ දුක ඉපදුණු සත්ව වර්ගයාගේ උරුමයක් බව සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. ‘අප ලෙඩ නො වේවා!’ කියා කෙතරම් පැතුවත් එය පැතුමකින් ලැබිය හැක්කක් නො වෙයි. ඉපදීමත් සමඟ උරුම වන මුළු මහත් දුක්ඛස්කන්ධය ගැන කල්‍යාණමිත‍්‍ර සංඝයා වහන්සේලාගෙන් ඔබටත්, මටත් නිතර නිතර අසන්නට ලැබෙනවා නේ ද? අසන්නට ලැබුණු එ් දුක් සැබෑ ලෙස ම විඳින මිනිසුන් අතරේ ඉන්නේ සුනිල් හෝ ඉන්දුලතා හෝ තව කිහිප දෙනෙක් හෝ පමණක් නෙවෙයි; ඔබත්, මාත් සිටින්නේ ම එ් දුක් විඳිමිනුයි… එ් එ් තැන සතුටින් පිළිගනිමින් අප විඳින්නේ දුකක් කියා තේරුම් ගෙන නොසිටීම පමණයි සිදු වී තිබෙන්නේ… එ් නිසා, ලෝකයත් අපත් පොදුවේ විඳින මේ සියලූ දුක් හමුවේ ප‍්‍රියයන්ගේ උපකාර මත තෘප්තියට පත් නො වී, එ් උපකාර මත යැපෙමින් නො සිට දුක අවබෝධ කර ගන්නට මහන්සි වීමයි අප කවුරුත් කළ යුතු… එ් වෙනුවෙන් කළ යුත්තේ සුගත මඟ පුරුදු පුහුණු කිරීම යි.

විශ‍්‍රාමිකයන්ට – රැකියා විරහිතයන්ට සීමා නො වුණු, සියලූ දෙනා විසින් සියලූ කාලයන්හි දී පුරුදු පුහුණු කළ යුතු වූ එ් ධම්මානුධම්ම පටිපදාව තුළ හික්මීමේ වාසනාව කෙනෙකුට ලැබුණහොත් පමණ ම යි මේ ඇස, කන, නාසය, දිව, කය කවර විපර්යාසයකට ලක් වුණත් බියක් නැති, සැකක් නැති, විසාරද බවින් යුතු ව මරණයට මුහුණ දෙන්නට හැකි වන්නේ. පරිපූර්ණව ම එ් දේ කළොත් මේ ජීවිතයේ දී එ් කෙනා අත් හැර දමන්නේ සසරේ අවසන් සිරුර යි…!

ඔය තිබෙන්නේ එ් පිවිතුරු නිවන් මඟ කියා දෙන කල්‍යාණ වූ සඟ රුවනේ සේවනය පිරී ගත් පුණ්‍ය තීර්ථයන්… ඉදින්, කුමකට නම් අප පමා විය යුතු ද….
සත්‍ය කථාවක් ඇසුරිනි. නම් ගම් මනඃකල්පිතයි.

මහාමේඝ 2016 දුරුතු කලාපය
WWW.MAHAMEGHA.LK

මෙහි සඳහන් නම් ගම් සියල්ල මනඃකල්පිතයි

සටහන
කලණ ගංගානාථ