අද අපි ඉගෙන ගන්නේ කායානුපස්සනාවට අයත් සති සම්පජඤ්ඤ භාවනාව යි. ‘‘සම්පජානකාරී හෝති” කියා වචනයක් භාග්‍යවතුන් වහන්සේ අපට හඳුන්වා දී වදාළා.

සම්පජානකාරී හෝති කියන්නේ හොඳ සිහි නුවණින් යුක්තව වාසය කිරීම. එනම් අකුසල ධර්මයන් එන්න නො දී කුසලයේ සිත පිහිටුවාගෙන වාසය කිරීම යි. අකුසලය කියා සාමාන්‍යයෙන් අදහස් කරන්නේ පංච නීවරණ පිළිබඳව යි. (සාමාන්‍යයෙන් භාවනා කරන කෙනෙකුගේ ස්වභාවය ගත්තොත් එයා සිල් රකින, ඕලාරික අකුසල් නැති යහපත් කෙනෙක්.) මානසිකව භාවනාව දියුණු කිරීමේ දී මේ පංච නීවරණ ගැන හඳුනාගෙන තියෙන්න ඕනෑ.

පංච නීවරණ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන පංච කාම ගුණයන්ට ආසාවෙන් සිත ඇදී යාමට (කාමච්ඡන්ද), පටිඝ අරමුණු ඉදිරියේ හිත ගැටීමට (ව්‍යාපාද), කම්මැලි අලසකම, නිදිමත, කරන්න බෑ කියා මනසින් පසුබාන ගතියට (ථිනමිද්ධ), පසුතැවීම සහ හිතේ විසිරීමට (උද්ධච්ච කුක්කුච්ච), ධර්ම මාර්ගය සම්බන්ධයෙන් විශ්වාසයක් නැතිකම හෙවත් සැකයට (විච්කිච්ඡා). මේ නීවරණ හැම තිස්සේ ම අපේ සාමාන්‍ය ජීවිතය තුළ බල පවත්වනවා. නමුත් මේ භාවනාව දියුණු කර ගන්න කැමති කෙනා හොඳ සිහි නුවණින් යුක්තව නීවරණවලින් සිත වළක්වා ගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාළා එ් ශ‍්‍රාවකයා ඉදිරියට යනකොටත්, ආපසු එනකොටත් හොඳ සිහි කල්පනාවෙන් ඉන්නවා (අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හෝති). වටපිට බලනකොටත් හොඳ සිහි කල්පනාවෙන් ඉන්නවා. වටපිට බැලීම හේතුකරගෙන පංච නීවරණයන් හිතට ඇතුල්වෙන්න නො දී, තරහ ඇතිවෙන්න නො දී, පසුතැවිල්ලකට විසිරීමට සිත යන්න නො දී, සැකයක් ඇති වෙන්න නො දී හොඳට හිත රැකගෙන තමයි එයා වටපිට බලන්නේ (ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති). ඊ ළඟට අත පය හසුරුවන කොට හොඳ සිහියෙන් ඉන්නවා. අත පය හසුරුවද්දී සිහි නුවණින් යුක්තව අත පය හකුලනවා, දිග හරිනවා. මේ කි‍්‍රයාවලිය තුළත් නීවරණ ධර්මයන් එන්න නො දී හොඳ සිහියෙන් ඉන්නවා (සම්මිඤ්ජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති). හැම දෙයක් ම කරන්නේ හොඳ සිහි නුවණින් ම යි

ඊ ළඟට වදාළා සිවුරු පොරවන විටත්, පාත‍්‍ර දරන විටත් (ගිහි පින්වතුන් නම් ඇඳුම් පැලඳුම් අඳින විට) සිහි නුවණින් කරන්න කියා (සංඝාටිපත්තචීවර ධාරණේ සම්පජානකාරී හෝති). එ් කියන්නේ සිවුරු ආදිය දැරීමේ දී අර්ථය දැනගෙන කරන්න ඕනැ. එ්ක තමයි සිහියෙන් සිටීම කියන්නේ. ඇඳුමක් අඳින කොට එ්කේ අර්ථය තමයි විලි වසා ගැනීම. මැසි මදුරුවන්ගෙන් වන පීඩාවලින් වැළකීම. ශීත උෂ්ණ දෙකෙන් වැළකීම. ශරීරයේ රැකවරණයට රුකුල්දෙන දෙයක් මේ ඇඳුමෙන් සිදුවෙනවා.

‘‘පටිසංඛායෝනිසෝ චීවරං පටිසේවාමී. යාවදේව සීතස්ස පටිඝාතාය. උණ්හස්ස පටිඝාතාය. ඩංස මකස වාතාතප සිරිංසප සම්ඵස්සානං පටිඝාතාය. යාවදේව හිරිකෝපින පටිච්ඡාදනත්ථං”

මේක තමයි ඇඳුමේ ප‍්‍රයෝජනය. ඇඳුම් අඳින වෙලාවට එ් අර්ථය සිහිකරමින් සිහිය පිහිටුවා ගන්න ඕනෑ.

ඊ ළඟට ආහාර – පාන ගන්න වේලාවට අර්ථය නුවණින් මෙනෙහි කරන්න ඕනෑ (අසිතේ පීතේ ඛායිතේ සායිතේ සම්පජානකාරී හෝති). එ්කට කියනවා ආහාර ප‍්‍රත්‍යවේක්ෂාව කියලා. ප‍්‍රත්‍යවේක්ෂාවේ යෙදෙනවා කියන්නේ යළි යළිත් යම්කිසි කාරණයක් පිළිබඳ ව නුවණින් සිහි කිරීම. බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධර්මය ප‍්‍රගුණ කරන කෙනා අනවශ්‍ය විදිහට කෑම පස්සේ දුවන කෑම දාසයෙක් නො වෙයි. එ් ශ‍්‍රාවකයා ජීවිතය අවබෝධ කර ගැනීම පිණිස උපකාරයක් හැටියට විතරක් ආහාරය පාවිච්චි කරන කෙනෙක්. එහි දී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ ආහාර ගන්නේ ‘‘ජවය ඇති කර ගන්න නෙවෙයි. මදය පිණිස නෙවෙයි. ඇෙඟ් අඩුතැන් පුරවන්න නෙවෙයි. ඇඟ ශෝභාසම්පන්න කර ගන්න නෙවෙයි. මේ කය පවත්වා ගන්න විතරයි. ආහාර නො ගැනීමෙන් ඇතිවෙන වෙහෙස ක්ලාන්ත ගතිය දුරුකර ගන්න විතරයි. උපන් බඩගිනි වේදනා නැතිකරගෙන, අලූතින් වේදනා ඇති වීම වළක්වාගෙන සුවසේ ධර්ම මාර්ගයේ හැසිරීම පිණිස යි. මේ ජීවිත යාත‍්‍රාව සුවසේ පවත්වා ගැනීම පිණිස යි.” කියා.

‘‘පටිසංඛායෝනිසෝ පිණ්ඩපාතං පටිසේවාමි. නේව දවාය, න මදාය, න මණ්ඩනාය, න විභූසනාය. යාවදේව ඉමස්ස කායස්ස ඨිතියා යාපනාය. ඉතිපුරාණඤ්ච වේදනං පටිභංඛාමි. නවඤ්ච වේදනං න උප්පාදෙස්සාමී. යාත‍්‍රා ච මේ භවිස්සති. අනවජ්ජතාච ඵාසු විහාරෝති.”

මේ සිත දියුණු කර ගන්න කැමති, ශාන්ත සිතක් ඇතිකර ගන්න කැමති ශ‍්‍රාවකයා එ් විදිහට සිහි නුවණ පවත්වනවා. ඊ ළඟට බුදුරජාණන් වහන්සේ වදාළා වැසිකිළි – කැසිකිළි කරද්දි පවා සිහියෙන් ඉන්න ඕනෑ කියා (උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති). එතකොට පේනවා ජීවිතය කියන්නේ එ් එ් ඉරියව් පැවැත්වීමයි. වැසිකිළි කැසිකිළි කරද්දි පවා සිහියෙන් ඉන්න එකේ තේරුම තමයි එතනදිත් අපේ මේ සිත නොමඟ යන්න ඉඩ තිබීම.

එ් වගේ ම බුදුරජාණන් වහන්සේ වදාළා, ගමන් කරන විට, හිටගෙන සිටින විට, වාඩි වී සිටින විට, නිදන විට, නිදි වරන විට, කතා කරන විට, නිශ්ශබ්දව සිටින විට සිහි නුවණින් යුක්ත වෙන්න කියා (ගතේ ඨිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ, භාසිතේ, තුණ්හිභාවේ සම්පජානකාරී හෝති). එ් සෑම අවස්ථාවක දී ම පංච නීවරණ ඇතුල් වන්නට නො දී සිත රැකගන්න ඕනෑ.

බුදු පියාණන් ඇසුරේ ම වසමු

සකුණග්ගී සූත‍්‍රයේ දී සිහිය ගැන බොහොම ලස්සන උපමාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහි සඳහන් වෙනවා එක්තරා ගිජු ලිහිණියෙක් ආකාසයේ පියාසර කර කර ඉන්නැද්දී චූටි කැට කිරිල්ලියෙකුත් ආකාසයේ පියාසර කරනවා. මේ ගිජුලිහිණියා අර කැට කිරිල්ලිව අල්ලා ගත්තා. එතකොට කැට කිරිල්ලී මේ විදිහට කෑ ගහන්න පටන් ගත්තා. ‘‘අය්යෝ මං මේ ආකාසයේ පියාඹන්න ගිහිල්ලයි මේක වුණේ. මට පිය උරුමයෙන් ආපු තැනක් තියෙනවා. මම එතන හිටියා නම් උඹට මාව කවදාවත් අල්ලගන්න බෑ.” කියලා කෑ ගැහැව්වා. එතකොට ගිජුලිහිණියා කල්පනා කළා, ‘මේ කැට කිරිල්ලී මොකක්ද මේ කියන කතාව? මොකක්ද මේ පිය උරුමයෙන් ආපු තැන?’. ගිජුලිහිණියා එ් ප‍්‍රශ්නය කිරිල්ලියගෙන් ඇහුවා. ඉතින් අර කැට කිරිල්ලී කිව්වා ”මගේ පිය උරුමයෙන් ආපු තැන තමයි මේ කුඹුරේ පස් පෙරලෙනකොට පස් පිඩැල්ල යට කොටසේ ඇති චූටි ගුහාව වගේ තැන” කියලා. මේක අර ගිජුලිහිණියාට මහා සිනහා උපදවන කථාවක් වුණා. ගිජුලිහිණියා එ්ක ගණන් ගන්නෙ නැතුව කැට කිරිල්ලට මෙහෙම කිව්වා. ‘‘එම්බා කැට කිරිල්ල, එහෙනම් මම දැන් නුඹව අතහරිනවා. දැන් නුඹ ඔච්චර අභිමානවත්ව කියනවා නම් මේක පිය උරුමයෙන් ආපු තැන කියලා පුළුවන් නම් මගෙන් බේරියන්, මම නුඹව අල්ලාගන්නවා ම යි.” කැට කිරිල්ලී මොකද කළේ? කෙළින් ම කුඹුරට ගිහිල්ලා පස් පිඩැල්ල උඩ හිටගෙන කෑගහලා ගිජුලිහිණියාට කිව්වා ‘‘ගිජුලිහිණිය, දැන් වර” කියා. ගිජුලිහිණියා සමබරව තටු දෙක හදාගෙන හිමීට පාත්වෙලා වේගයෙන් ඊ තලයක් වගේ පහළට පියාඹාගෙන ආවා. කැට කිරිල්ලී ඉක්මනින් ම පස් පිඩැල්ල යටට රිංගුවා. එතකොට ගිජුලිහිණියාගේ පපුව පස් පිඩැල්ලේ වැදී මරණයට පත්වුණා. එ්ක බුදුරජාණන් වහන්සේගේ උපමාවක්. එ්කෙදි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළේ සිහිය නැති ජීවිතේ බාහිර අරමුණුවලට හසුවී විනාශ වෙනවා. නිවන් මඟ වඩන ශ‍්‍රාවකයා කැටකිරිල්ලී වගෙයි. පංච කාම අරමුණු තමයි අගෝචර ස්ථානය. ගිජුලිහිණියා වගෙයි පාපී මාරයා. ආරක්ෂිත පස්පිඩැල්ල තමයි සතර සතිපට්ඨානය. එ් නිසා බුදුරජාණන් වහන්සේ වදාළා ‘‘පින්වත් මහණෙනි, ඔබට තථාගතයන් වහන්සේ තමයි පියාණන්. තථාගතයන් වහන්සේගෙන් ලැබුණු උරුමය තමයි සතර සතිපට්ඨානයේ සිහිය පිහිටුවා ගැනීම.” කියා.

එම නිසා බුදුරජාණන් වහන්සේ දේශණා කළ යුතු සියල්ල දේශනා කරලයි තිබෙන්නේ. එ් විදිහට අපි අනුගමනය කළොත් ප‍්‍රතිඵල ලැබෙනවා ම යි. එ් නිසා සතිසම්පජඤ්ඤයේ දී මනා කොට සිහිය පිහිටුවගෙන සෑම ඉරියව්වක් ම පවත්වනවා. සෑම කටයුත්තක් ම මනා සිහි නුවණින්, නීවරණ ධර්මයන් හිතට පිවිසෙන්න නො දී කරන්න මහන්සි ගන්නවා. එ් ශ‍්‍රාවකයාට එ් එ් ඉරියව් පැවැත්වීමේ දී හොඳට අනිත්‍ය සිහිකරන්න පුළුවන්කම එවිට ලැබෙනවා. එ් විදිහට කෙලෙස් තවන වීර්යයෙන්, සිහි නුවණින් යුතුව ශ‍්‍රාවකයා නිවන් මඟ වඩනවා.

මේ සම්පජඤ්ඤ භාවනාවත්, ඉරියාපථ භාවනාවත් (සිහියෙන් යුතුව ඉරියව් පැවැත්වීම) එකිනෙකට උපකාරී භාවනා දෙකක්. ධර්ම මාර්ගයේ දියුණුවක් සලසාගන්න කැමති හැම කෙනෙක් ම මූලික භාවනාවක් විදිහට මෙය පුහුණු කර ගත යුතු බව බොහෝ බුද්ධ දේශනාවලින් පැහැදිලි වෙනවා. කෙලෙසුන්ගෙන් කිලිටි වී ගිය භව ගමනක වැටුණු ජීවිතය පිරිසිදු කරගෙන සසරින් නිදහස් වීම ලෙහෙසි කටයුත්තක් නෙවෙයි. බලවත් කැපවීමකින් හා බලවත් සිහි නුවණකින් යුක්තව මේ ධර්මයෙහි හැසිරිය යුතු වෙනවා. එවිට සෑම කි‍්‍රයාවක් කෙරෙහි ම කෙලෙසුන් ප‍්‍රහාණය කිරීමේ වීර්යයෙන් යුතු ව (ආතාපි), නුවණින් යුතු ව (සම්පජානෝ), බලවත් ව සිහිය (සතිමා) දියුණුකර ගත හැකිය.

ඇසුර – අති පූජනීය කිරිබත්ගොඩ ඤණානන්ද ස්වාමීන් වහන්සේ විසින් රචිත ‘සිතට සුව දෙන භාවනා’ ග‍්‍රන්ථය.

මහාමේඝ 2016 දුරුතු කලාපය
WWW.MAHAMEGHA.LK

මහමෙව්නාව භාවනා අසපුවාසී
ස්වාමීන් වහන්සේනමක් විසින් සම්පාදිතයි