highlights of the week
Home » Archives » පින ම යි සැප සලසන්නේ

පින ම යි සැප සලසන්නේ

පුංචි අපේ ජීවිත ගොඩාක් යහපත් කර ගන්න උදව් කරන වටිනා ම ගුණධර්ම කියාදෙන මහා කාරුණික බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

පින්වත් දුවේ පුතේ, ඔයාලා හැමෝම සතුටින් ඉන්න කැමතියි නේ ද? ඔයාලා හැමෝම ලස්සනට ඉන්නත් කැමතියි නේ ද? ඉතින් දරුවනේ ඔයාලා වගේ ම ලෝකයේ ඉන්න හැමෝම කැමතියි සතුටින්, ලස්සනට ජීවත් වෙන්න. එ්ත්…. අපි කැමති වූ පමණින් ම සතුට පිරුණු, ලස්සන ජීවිතයක් ලබාගන්න අවස්ථාවක් ලැබෙන්නෙ නෑ. ඉතින් දරුවනේ ඔයාලා කැමති නම් දුක් කරදර නැති, සතුටු සොම්නස පිරුණු ජීවිතයක් ලබාගන්න එ් සඳහා අපි යම් වැඩ කොටසක් කළ යුතුයි. එ් සතුට පිරුණු ජීවිතයක් අපට උදා කරලා දෙන වැඩපිළිවෙළට කියන්නේ ‘පින් කිරීම’ කියලයි. අද අපි ඔයාලාට කියල දෙන්න යන්නේ, මිනිස් ලෝකයේ ඉද්දී ‘පින්’ කරගෙන දිව්‍යලෝකයට ගිහින් බොහෝ ම සතුටින් ලස්සනට ජීවත් වෙන නැන්දා කෙනෙකුගේ කතාව යි.

ඔයාලා එ් කතාව අහන්න කැමති ද?

ඉතින් දරුවනේ, මින් වසර දෙදහස් හයසිය හතරකට පෙර අපේ රට ආසන්යේ ම තියෙන ඉන්දියාවේ (ජම්බුද්වීපයේ) විශේෂ සිදුවීමක් වුණා. එ් තමයි ‘සිද්ධාර්ථ’ නමින් සිටි ඉතා ම වීර්යවන්ත තරුණ කුමාරයෙක් ‘සිද්ධාර්ථ ගෞතම’ නමින් සම්බුදු බවට පත් වුණා. මේ කතාව මුළු ඉන්දියාව පුරා ම වේගයෙන් පැතිරිලා ගියා. එහි සිටි මිනිසුන් බුදුරජාණන් වහන්සේ දකින්න බොහෝ දුර ගෙවාගෙන පැමිණියා. ඉතින් බුදු සමිඳාණෝ එ් මිනිසුන්ට ජීවිතය හොඳින් ගත කරන ආකාරය ගැන, ගුණධර්ම ඇතිකර ගන්නා ආකාරය ගැන ඉතා ම පැහැදිලිව කියලා දුන්නා. එ් විස්තර අහපු බොහෝ දෙනා ඉතා ම ආදරයෙන් බුදුරජාණන් වහන්සේව සරණ ගියා..! ධර්මය සරණ ගියා..! එ් අතර සිටි බොහෝ තරුණ පිරිස් බුදු සමිඳුන් ළඟ පැවිදි වුණා…! සියලූ දුකින් නිදහස් වුණා…! ලෝකයට මහා සංඝරත්නය පහළ වුණා…! ඉතින් එ් පින්වත් ස්වාමීන් වහන්සේලා ඉන්දියාව පුරා ම චාරිකාවේ වැඩියා. ගමින් ගමට වැඩියා. බොහෝ මිනිසුන්ට ගුණධර්ම ඇතිකර ගන්න ආකාරය කියලා දුන්නා. ‘පින්’ ගැන කියලා දුන්නා. ඉතින් එ් ධර්මය අහපු බොහෝ දෙනා තමන් කරමින් සිටි නරක දේවල් අතහැරියා. හොඳ දේවල් ඇතිකර ගත්තා. එ් ගොල්ලෝ දන් පැන් පූජා කරන්න, සිල් රකින්න භාවනා කරන්න, ස්වාමීන් වහන්සේලාට ඇප උපස්ථාන කරන්න පටන් ගත්තා. ඉතින් දරුවනේ, දැන් මුළු ඉන්දියාවේ ම වගේ පින ගැන ම කතා කරනවා. දුකින් නිදහස් වෙලා ලබන සතුට, පිරුණු ජීවිතය ගැන කතා කරනවා. දුප්පත් පොහොසත් භේදයක් නැතිව, වැඩිමහලූ බාල භේදයක් නැතිව හැමෝම වගේ පින් දහම් කරනවා.

ඉතින් දරුවනේ, එ් කාලේ වැඩ හිටපු ස්වාමීන් වහන්සේලා දානේ වැළඳුවේ එක වේලයි. එ්ත් උදේ කාලේ විතරයි. (උදෑසන 5.30 පමණ සිට දහවල් 12.00 දක්වා කාලය අතර දී පමණයි.) ඉතින් එ් ස්වාමීන් වහන්සේලා දානය සොයාගන්නේ ‘පිණ්ඩපාතේ’ වැඩලා. (පිණ්ඩපාත දානය කියන්නේ දරුවනේ, සිවුරු පොරවගෙන පාත‍්‍රය අරගෙන ස්වාමීන් වහන්සේලා පාරදිගේ වඩිද්දී, එ් පාර අයිනේ තියන ගෙවල්වල මිනිස්සු තමන්ගේ ගෙදර බත්, ව්‍යංජන හදලා තියෙනවා නම් එයින් කොටසක් ස්වාමීන් වහන්සේලාට පූජා කිරීමයි.)
ඉතින් එක දවසක් එක්තරා ස්වාමීන් වහන්සේනමක් ඔය විදිහට පිණ්ඩපාතේ වැඩියා. වැඩලා එක්තරා නිවසක් ඉදිරිපිට නැවතුණා. එතකොට එ් ගෙදර හිටපු නැන්දා මේ ස්වාමීන් වහන්සේ ව දැක්කා. එ් නැන්දා තෙරුවන් කෙරෙහි පැහැදීමෙන් හිටපු කෙනෙක්. ඉතින් අර ස්වාමීන් වහන්සේ ව දුටු පමණින් ම ඇය ගොඩක් සතුටට පත්වුණා. ”මගේ නිවසට වඩින්න.” කියලා ස්වාමීන් වහන්සේට ආරාධනා කළා. ස්වාමීන් වහන්සේ එ් නිවසට වැඩියා. එතකොට එ් නැන්දා රන්වන් පාට රෙදිකඩක් ගෙනැවිත් ආසනේට ඇතිරුවා. එ් පින්වත් ස්වාමීන් වහන්සේට වැඩසිටීම පිණිස එ් ආසනේ පූජා කළා. ඊට පස්සේ ඉතාම ගෞරවයෙන් පසඟ පිහිටුවා (දණහිස් දෙක – වැළමිටවල් දෙක හා නළල යන අංග පහ පොළවේ ස්පර්ශ කරමින්) ස්වාමීන් වහන්සේට වන්දනා කළා. නමස්කාර කළා. එ් නැන්දාට පුළුවන් ආකාරයට දානේ සකස් කරලා එ් ස්වාමීන් වහන්සේට පූජා කළා. ඇය එ් හැම දෙයක් ම කළේ ගොඩාක් සතුටින්. පින් කළොත් ‘සැප’ ලැබෙනවා කියන කාරණය හොඳට හිතේ තියාගෙන. ඉතින් දරුවනේ, දන් වළඳලා අවසන් වෙලා එ් ස්වාමීන් වහන්සේ, එ් නැන්දාට ධර්මය දේශනා කරලා පිටත් වුණා.

ඉතින් දුවේ පුතේ, ටික කාලයක් ගත වූණා. එ් නැන්දා ටික ටික වයසට ගියා. හදිසියේ ම වගේ එක්තරා ලෙඩක් හැදුණා. හොඳට ම අමාරු වුණා. බෙහෙත් ගත්තා. එ්ත් ලෙඬේ හොඳ වෙන පාටක් නැහැ. නැන්දට අසනීපෙ වැඩිවුණා. මරණාසන්න වුණා. ඉතින් දරුවනේ, ලෙඩ ඇඳේ බොහෝ… ම වේදනාවෙන් ඉන්න නැන්දාට දැන් මතක් වෙන්නේ ම තමන් අර කලින් ස්වාමීන් වහන්සේනමකට ආසනයක් පූජා කරලා, දානේ පූජා කර ගත්තු සිදුවීම. මතක් වෙද්දි වෙද්දි එ් නැන්දාට ලොකු සතුටක් ඉපදුණා. දුක් පීඩා අමතක වෙලා ගියා. ටික වෙලාවකින් නැන්දා මරණයට පත් වුණා. එ් නැන්දා කර ගත් පිනේ ආනුභාවයෙන් තව්තිසා දෙව්ලොව දෙව්දුවක් වෙලා ඉපදුණා. ඇයට උපස්ථාන කරන්න දිව්‍ය අප්සරාවෝ දාහක් ආවා. එ් නැන්දා මනුස්ස ලෝකෙදී ස්වාමීන් වහන්සේනමකට වැඩ හිඳින්න ආසනයක් පූජා කළ නිසා එ් දෙව්දුවටත් ආසනයක් (පුටුවක්) ලැබුණා. එ් පුටුව කිලෝමීටර් 10ක් විතර දුරට පැතිරුණු විශාල එකක්. එ් විතරක් නෙමේ, එ් පුටුවේ ඉඳගත්තා ම ඉතාම වේගයෙන් අහසින් ගමන් කරන්න පුළුවන්. ගුවන් යානයකටත් වඩා වේගයෙන් එ් පුටුව ගමන් කරනවා.

බලන්න දුවේ පුතේ, සිත පහදවාගෙන ස්වාමීන් වහන්සේනමකට ආසනයක් පූජා කර ගැනීමෙන් ලැබුණු පිනක අසිරිය…! එ් පිනෙන් ම එ් නැන්දාට විශාල දිව්‍ය
මාළිගාවක් පහළ වුණා. එ් මාළිගාවේ විශාලත්වය යොදුන් දොළහක්. එ් කියන්නේ දරුවනේ කිලෝමීටර් එකසිය විස්සක (120) විතර ප‍්‍රදේශයක පැතිරුණු ඉතා ම විශාල, ඉතා ම ලස්සන මාළිගාවක්…! එ් විතරක් නෙවෙයි. එ් දෙව්දුවට අතිශය ශෝභමාන දිව්‍ය ආභරණ පහළ වුණා. එ් දිව්‍ය ආභරණවලින් සැරසුණු ඇය, හිරු සඳු මෙන් බබළන්නට පටන් ගත්තා. ලස්සන ජීවිතයකට උරුමකම් කියන්න පුළුවන් වුණා.

ඉතින් පින්වත් දරුවනේ, මිනිස් ලෝකේ සිටිද්දී තමන් කර ගත් පින් නිසා ම යි එ් නැන්දාට යහපත උදාවුණේ. දෙව්ලොව උපතක් හිමි වුණේ. එ් නිසා පින් කිරීමට කැමැත්තක් ඇතිකර ගන්න ඕනෙ. තමන් කර ගන්න පිනෙන් ම යි දරුවනේ.. තමන්ට සැප උපදවා දෙන්නේ…!

තෙරුවන් සරණයි!

(විමාන වත්ථුවල පළමු කථාව ඇසුරෙන්…)

මහාමේඝ 2015 උඳුවප් කලාපය
WWW.MAHAMEGHA.LK

Leave a Reply

Your email address will not be published.

x

Check Also

දෙව් අසුන ලැබගත් පුණ්‍යවන්තී

ලෙඩ ඇඳේ බොහෝ ම වේදනාවෙන් ඉන්න නැන්දාට දැන් මතක් වෙන්නේ ම තමන් අර කලින් ස්වාමීන් වහන්සේනමකට ආසනයක් පූජා කරලා, දානේ පූජා කරලා කරගත්තු පිනමයි.