highlights of the week
Home » අක්මුල් සොයා » බස මැරීම සහ රට නැසීම

බස මැරීම සහ රට නැසීම

පසුගිය කලාපයෙන් අපි අපට අහිමි වෙමින් යන, මිල කළ නො හැකි බොහෝ දේ ගැන කථා කළා.. මේ පිළිබඳ ව බොහෝ පාඨක ප‍්‍රතිචාරත් ලැබුණා… එ් අතර වැඩි වශයෙන් තරුණ දරුවන් සිටීම සිතට හරි ම සැනසිල්ලක්… පින්වත් දුවේ පුතේ, මේ ලියන – සාකච්ඡා කරන අපි අපේ ජීවිතයෙන් වැඩි කාලයක් ගෙවලා ඉවරයි.. මේ මිල කළ නො හැකි දැනුම ඔයාලට නො දී අපිත් යන්නට ගියොත් අනාගත පරපුරට ඉතිරි වන්නේ බටහිරින් නූල නටවන කොට මෙහේ ඉඳන් නැටවෙන රූකඩ ටිකක් වෙන එක විතරයි..

පින්වත් දුවේ…. පුතේ… ඔයාලා අපේ රටේ වසර දහස් ගණනක් සුරැකිව තිබුණ මේ අති විශිෂ්ට දැනුම් නිධානය සොයා යන්න. එහි හිමිකරුවන් වෙන්න. ශ‍්‍රී සද්ධර්මය පරපුරෙන් පරපුරට රැගෙන ගියා වගේ මේ වටිනාකම් රැගෙන යාමේ යුග මෙහෙවරට උර දෙන්න. මොකද? අනාගතයේ අපි බටහිරට ම ගැතිවෙලා නව තාක්ෂණයේ නාමයෙන් එන හරසුන් හැම දේ ම අපේ කරගෙන අපේ දේ අමතක කළොත් අපට ධර්මයේ හැසිරෙන්නට තබා නිරෝගීව ජීවිතය පවත්වා ගන්නටවත් අවස්ථාව නැති වේවි.

ඉතින් අද අපි කතා කරන්න කල්පනා කළා කෘෂිකර්මයෙදි වගේ ම අනෙකුත් අවස්ථාවලදිත් අපි භාවිත කළ කෙම් ක‍්‍රම ගැන. සාමාන්‍යයෙන් කෙම් ක‍්‍රමවල දී කෙම හෙළිදරව් කළාට එහි ඇතුළාන්තය හෙළිදරව් කරන්නෙ නෑ… එ්ත් අපේ රටට වෙලා තියෙන වින්නැහිය තමයි මේකෙ ඇතුළාන්තය බටහිර විද්‍යාත්මකව පැහැදිලි නො කළොත් එ්ව හණමිටි අදහස් කියල බැහැර කරන තත්ත්වයට අද අපේ සමාජය පත් වෙලා තිබීම… ඇත්තටම ඇවිල්ල නෙවෙයි; සැලසුම් සහගතව ගෙනල්ල. එ් හින්ද මේ කෙම් ක‍්‍රම කීපයක ඇතුළාන්තය පැහැදිලි කරල දෙන්න අපි තීරණය කළා… එ්ත් මතක තියාගන්න මේ දේශීය ඥානය මුළුමනින් ම බටහිර විද්‍යාවෙන් පැහැදිලි කරන්න බෑ… අපේ දැනුම තියෙන්නෙ බටහිර දැනුමට වඩා ගව් ගාණක් ඉදිරියෙන්

ඉතින් මේ කෙම් ක‍්‍රම ගැන දැනගන්න අපි නැවතත් ප‍්‍රවීණ පරිසරවේදී තිලක් කන්දේගම මහතා මුණගැහුණා.

‘‘කන්දෙගම මහත්තයා, අපේ කෘෂිකර්මයෙදි පැරැන්නො යොදාගත්ත කෙම් පහන් ක‍්‍රමත් අද අභාවයට ගිහිල්ල නේ ද?”

‘‘සුදර්ශන මහත්තයා.. දැන් අපි කෙම් ක‍්‍රම දන්නෙත් නෑ.. වෙලාවට කලාවට වැඩ කරන්න දන්නෙත් නෑ…. වෙලාවට කලාවට වැඩ කරනව නම් ආයෙ කෙම් ඕනෙ වෙන්නෙත් නෑ… දැන් මේ වෙලාවට කලාවට වැඩ කරනව කිව්වම මේක නිකම් වචන දෙකක් විතරක් කියලයි බොහෝ අයට හිතෙන්නෙ.

‘වෙලාව’ කියන්නෙ සූර්යාගේ දෘශ්‍ය වර්ණාවලිය අනුව තියෙනව ගස්වල මුල් ඇදෙන කාලයක්.. ගෙඩි හැදෙන කාලයක්.. එ් වාගෙ ම රාත‍්‍රී කාලයෙදි මේ වර්ණාවලිය ම චන්ද්‍රයාගෙන් පරාවර්තනය වෙලා පොළවට වැටෙන චන්ද්‍රයාගේ කලාව සොබාදහමට බලපානවා. මේ වෙලාව කලාව අනුව හරියට ගොවිතැන් කළා නම් කිසිම ප‍්‍රශ්නයක් ඇතිවෙන්නෙ නෑ… අපේ දේශීය කෘෂිකර්මය ගැන පැහැදිලි කරද්දි මම මේක විස්තර වශයෙන් කියල දෙන්නම්… ඉතින් යම් හේතුවකින් මේ වෙලාව කලාව මග හැරුණොත් අන්න එතකොට තමයි ඔය කෙම් ක‍්‍රම ඕනෙ වෙන්නෙ.

මේ කෙම් ක‍්‍රම අතිශයින් ම විද්‍යාත්මකයි. ඔන්න අපි හිතමු ගොයම් මැස්සන්ගෙන් තර්ජනයක් කියල… එ් කියන්නෙ අර මම මුලින් කිවුව වගේ අපි වෙලාවට කලාවට වැඩ කරල නෑ. තවත් පැහැදිලි කළොත් ගොයම් මැස්සො මතුවෙන කාලෙට පීදෙන විදියට අපි ගොයම් හිටවල ඉවරයි. දැන් මොකද කරන්නේ…

ඔන්න කෙම… උපන් ඇඳුමෙන්.. මඩු ගහක් ළඟට ඇවිල්ල මඩු ගහට වැඳල පිටි අතින් මඩු මලක් අරගෙන කුඹුරට ගිහිල්ල හුළං අත බලල කුඹුරෙ හිටවන්න ඕනෙ.

ඕක විද්‍යාත්මකව පැහැදිලි කරනව නම් මේ පෘථිවියෙ ගෙවන හෝරාවල් අතරින් ශාන්ත ම හෝරාව තමයි පාන්දර බ‍්‍රහ්ම මුහුර්තිය. මේ වේලාවට මිනිසාගේ රැස් මාලාව තරංග මාලා 27ක් වදිනව. මේ වෙලාවට ශාකයක රැස් මාලාව තරංග මාලා 23ක් වදිනව. මේක අර නූතන ඔලිම්පස් 2000 කැමරාවට අපූරුවට අහුවෙනවා… දැන් උපන් ඇඳුමෙන් යන්න කියන එක හේතුවක් තමයි අර මිනිසාගෙ රැස් මාලාව ගහට දැනෙනවා. අනික දවාලක එහෙම යන්නත් බෑනෙ.. ඊට පස්සෙ ගහට වඳින්න කියන්නෙ ඇයි..? ගස්වලට අපි හිතන පතන දේ දැනෙන බවත් අද අර පොලිග‍්‍රාප් යන්ත‍්‍රයෙන් හොයාගෙන තියෙනව. මෙහෙම වඳින කොට ගහ තව තවත් තෘප්තිමත් වෙනවා… මඩු මල පිටි අතට ගේන්න කියන්නෙ එතකොට එ්ක තව දිග ඇරෙනව. මඩු මලේ ස්වභාවය තමයි කැපුවහම මල් ඔක්කොම පිපෙන එක. මේක ගෙනල්ල හුළං අත බලල කුඹුරෙ හිටෙව්වහම මේකෙන් එන්නෙ හරියට ම ග‍්‍රැමක්සෝන් ගඳ ම යි.. ඉතින් එක මැස්සෙක්වත් පළාතෙ එන්නෙ නෑ… දැන් බලන්න කිසි ම ජීවියෙක් නො නසා, පොළවට බෝගවලට වස විස මිශ‍්‍ර නොකර මේ ප‍්‍රශ්නෙ ජයගත්ත හැටි. දැන් බටහිර ප‍්‍රතිකර්මවලට සාපේක්ෂව මේකෙන් පාරිසරිකව වගේ ම ආධ්‍යාත්මිකව ලැබෙන ලාභය මිල කරන්න පුළුවන් ද?

තව එකක් කියන්නම්. පිළව් ඉන්න මී වදයක් කඩල ගෙනල්ල කෝටුවකින් කුඹුරෙ හිටවන්න ඕනෙ. පිළව් ඉන්න වදයක් ගෙනාව ම මී මැස්සො එනව ම යි…

මී මැස්සන් පියාසලන්නෙ කෙටි තරංගයකට අනුව.. උඩ පියාඹන මී මැස්සො ගෙන්න ගන්න යකඩෙකට කෙටි පහරවල් ගහල හඬක් නිකුත් කරනව ඔබ දැකල ඇති. මේ කෙටි තරංග සංඛ්‍යාතය ගොයම් මැස්සන්ගෙ සංඛ්‍යාතයට පරස්පර විරෝධියි.. එහෙම වුණා ම ගොයම් මැස්සො එන්නෙ නෑ..

තවත් එකක් තියෙනවා. ගොයම් මැස්සෙක් අල්ලල ඇඹුල් දොඩම් ගෙඩියක මැදට දාලා, ඉරටුවලින් වටේ සම්බන්ධ කරලා ඌ ව හිර කරලා, කෝටුවක ගහල කුඹුරෙ හිටවනවා. අව්ව වැටෙන්න වැටෙන්න මේ ගෙඩියෙන් පැඟිරි සුවඳ විසිරෙනව. එ්ත් එක්ක ම ඇතුළෙ ඉන්න ගොයම් මැස්සා අනතුරකදි නිකුත් කරන ගඳත් පරිසරයට නිකුත් වෙනවා.. මේ සංඥාවෙන් මේ කලාපය ගොයම් මැස්සන්ට අනතුරු සහිත කලාපයක් බව තේරුම් ගන්න අනිත් ගොයම් මැස්සො පැත්ත පළාතෙ එන්නෙ නෑ.

මම වෙදකම පැත්තෙ කෙමක් කියන්නම්. ඔන්න අපි හිතමු උගුරෙ මාළු කටුවක් ඇනුන කියලා. අපි පුංචි කාලෙ පාරෙ යන කොට අර පොල්ගස්වල ගොබය කුරුමිණියො කාලා පොළවට වැටිල බිම ඇනිල තියෙන කොළ දැක්කම අපේ පැරැන්නො කියනව ඔන්න ඕක පිටි අතින් ගලවල විසිකරන්න කියල.. ඉතින් අපිත් එහෙම කරල යනවා. ඊට වඩා දෙයක් අපි දන්නෙ නෑ… දැන් කෙම තමයි කාගෙ හරි උගුරෙ මාළු කටුවක් වගේ දෙයක් ඇනිල තියෙනව නම් කවද හරි දවසක අර පොළවෙ ඇනිල තිබුණ පොල් කොළයක් ගලවල විසිකරපු කෙනෙක්ට එ්ක සිහිකරල එ් අතින් උගුර පහළට අතගාන්න කියනවා. එ් ලෙඩේ එයින් සනීපයි… විද්‍යාව තමයි කටුවක් උගුරෙ දිගට ම ඇනිල තියෙන්නෙ නැති බව අද ඕනෙම වෛද්‍යවරයෙක් දන්නව. එ්ත් මේක ඇනුන කෙනාගෙ හිතෙන් මේක යන්නෙ නෑ.. හැමතිස්සෙ ම හිතෙන්නෙ තව ම කටුව තියෙනව කියල… මේ උපක‍්‍රමයෙන් එයාගෙ මනස සුවපත් වෙනවා..

මම තව එකක් කියන්නම්. ඔන්න කුඹුරෙ ගොයමට මීයො බෝවෙලා කියල හිතන්න. මොකක්ද කෙම? උදේ පාන්දර කුකුල අඬලන්න කලින් මී ගහක් ළඟට යන්න ඕනෙ. එ් මී ගහ වතුර ඇළක් ළඟ තියෙන එකක් වෙන්න ඕනෙ. මී ගහට හතර පැත්තට වැඳල උතුරු පැත්තෙන් උඩ ඉඳල පහළට පොතු කෑලි 46ක් ගලවන්න ඕනෙ. ඊට පස්සෙ ගෙදර ගෙනල්ල වංගෙඩියෙ දාල කොටල කූඹුරට විසිකළා ම මීයො ආයෙ පළාතෙ එන්නෙ නෑ…

මේක විද්‍යාත්මකව පැහැදිලි කළොත් මී ගහ මීයන්ට විසයි. මේ විස තවත් වැඩිකර ගන්න තමයි පාන්දර බ‍්‍රහ්ම මුහුර්තියෙන් යන්නෙ. උතුරු පැත්තෙන් පොතු ගන්නෙ ඇයි..? කාන්දම් බලයෙ ක‍්‍රියාකාරිත්වය නිසා වැඩිපුර විස තියෙන්නෙ උතුරු පැත්තෙ. එ්කයි වෙදකමකට කවදාවත් ගහක උතුරින් පොතු ගන්නෙ නැත්තෙ… උඩ ඉඳල පහළට පොතු ගලවන්න කියන්නෙ මොකද? ගහක වතුර අදින්නෙ පහළ ඉඳල උඩහට නිසා. පහළ ඉඳල ගැලෙව්වොත් පොතු ගලවන අතරෙ පවා එ් ඇදීම අනුව විස අඩු වෙනවා. ඉහළ ඉඳල ගලවද්දි ගලවන පොත්තට තව එකතු වෙන එකයි වෙන්නෙ. 46ක් ගන්නෙ මොකද? අපි දන්නව සමකයෙ ඉඳල මකර නිවර්තනයට හෝ කර්කටක නිවර්තනයට සූර්යයා ගමන් කරන්න දවස් 92ක් යනවා. මේ කාලයෙ තමයි ගසක් වර්ධනය වෙන්නෙ. 46 කියන්නෙ එයින් හරි අඩක්… ඇයි හරි අඩක් ගන්නෙ? ගොයම් ගස අඩක් වැවීගෙන එන විට තමයි මේ මී ප‍්‍රශ්නෙ එන්නෙ.. සුදර්ශන මහත්තයා, මේ දැනුම ගැන හිතන කොට වර්තමානෙ අපි දන්නෙ මොනව ද කියල අපිට ම ලැජ්ජ හිතෙනව නේ ද?”

‘‘කන්දේගම මහත්තයා මේ කෙම් ක‍්‍රම ගැන දැනගනිද්දි අපේ පැරැුන්නො බෞද්ධ සම්ප‍්‍රදාය තුළ පංච සීලයත් කඩකර නො ගෙන, තමන්ගෙ වගා කටයුතුත් සාර්ථක කරගෙන තියෙන බව පේනවා. එ්ත් අද අපි මේ සදාචාරයක් නැති බටහිර විද්‍යාව සරණ ගිහිල්ල අපගෙ මෙලොව පරලොව දෙක ම නැති කරගෙන තියෙනවා කියලයි මට හිතෙන්නෙ.”

‘‘සුදර්ශන මහත්තයා, අපි තෙරුවන් සරණ ගිහිල්ල නැත්නම්, පංච සීලය රකින්නෙ නැත්නම් අපි කිසි ම කෙනෙකුට බෞද්ධයෙක් කියල කියන්න බෑ කියලයි මම කියන්නෙ. දැන් බලන්න පුංචි ළමයෙක් වුණත් දන්නව ප‍්‍රාණඝාතය සම්පූර්ණ වෙන්න කරුණු පහක් වුවමනා වෙන බව. ඔන්න ගොයමට මැස්සො ඇවිල්ල බව දැනගත්ත. මැස්සො නසන්න වුවමනා නිසා කෘමිනාශක ගෙනාවා. මැෂින් එකක් දාල කෘමිනාශක ගැහුවා. මැස්සො මැරිල ගියා. දැන් බලන්න අර කරුණු පහ ම සම්පූර්ණයි නේ ද? එක සතෙක් දෙන්නෙක් ද? ලක්ෂ ගානක් නේ ද? කර්මය කොහොම තියෙයි ද? දැන් මේ අයට බෞද්ධයො කියන්න පුළුවන් ද? දැන් මේ ගහන වස විස සහල්වලට එකතු වෙලා, පසට එකතු වෙලා, ජල මූලාශ‍්‍රවලට එකතු වෙලා වක‍්‍රාකාරයෙන් තව සතුන් කීයක් මිය යනව ද? මිනිසුන් කී දාහක් අකාලයේ ලෙඩ රෝගවලට ගොදුරු වෙලා දුක් විඳල මිය යනව ද? මෙහෙම විනාශයක් කරල තමනුත් විනාශ වෙන කෙනෙකුට බෞද්ධයෙක් කියල කියන්නෙ කොහොම ද කියල මට නම් තේරෙන්නෙ නෑ.

මම ඉන්දුනීසියාවේ බාලි දූපතට ගියා. එහෙ කුඹුරු යායක් මැද්දෙ කණු හතරක් ගහල, වහලයක් ගහල හරක් දෙන්නෙක් ගාල් කරල ඉන්නව. උන්ට කුඹුරෙ ම පිදුරු දීල නියරෙ වල් කපල දීල හොඳට සලකනව. මේ මොකට ද? එ් දෙන්නගෙන් ලැබෙන ගව මුත‍්‍ර ටිකයි ගොම ටිකයි මේ කුඹුරට සම්පතක් බව එ් අය දන්නව. මේ වැටහීම අපේ ගොවියන්ට අද තියෙනව ද? ‘ආපෝ… හරක්ගෙන් හාන්න, ගොයම් පාගන්න බෑ.. ට‍්‍රැක්ටරේ ගේන්න’ කියනවා. අපේ තියෙන මේ වහල් චින්තනයෙන් නිදහස් වෙනකල් අපි අගාධයට ම යි යන්නෙ මහත්තයා.

දැන් විද්‍යාත්මකව බැලූවත් හොයාගෙන තියෙනව ප‍්‍රධාන පළිබෝධකයො නව දෙනෙක් ඉන්නව කියල. එ් කියන්නෙ ගස් කන සත්තු නව දෙනයි. තව නව දෙනෙක් ඉන්නව විලෝපිකයො. එ් කියන්නෙ සතුන්ව ආහාරයට ගන්න සත්තු. මේ සත්තු බෝ වෙන්නෙත් අපූරු ආකාරයකට. එක ගහක් එක්ක එක සතෙක්. උදාහරණයක් විදියට මල්බෙරි ගහත් එක්ක පට පණුවා. කැබැල්ල ගහත් එක්ක සුදු සමනලයා. අට්ටික්ක ගහත් එක්ක කෝඳුරුවා. ජම්බු ගහත් එක්ක නිල් සමනලයා. කෝන් ගහත් එක්ක කෝන් පැණියා. ඔන්න ඔය ආකාරයට. ඉතින් ඔන්න ඔය නව දෙනා ගෙන්න ගන්න ඕන නිසා තමයි අපේ පැරැන්නො නවදලූ හේනක් හැදුවෙ. එ් කියන්නෙ බෝග වර්ග නවයක් හැදුව. මේ මොකට ද? ස්වභාවික පළිබෝධ පාලනයට. ඉතින් ආයෙ තෙල් බේත් මොකවත් ඕනෙ වුණේ නෑ….. මේ නවදලූ හේන කියන වචනයත් අද දන්නෙ නෑ… ඕනෙම රටක් යටත් කර ගත්තට පස්සෙ ඉස්සෙල්ල ම කරන දේ තමයි එ් රටේ බස මරන එක. බස තිබුණොත් සියල්ල තේරුම් ගන්නවා. බස මරල දැම්මම පරම්පරා දෙකකින් ඔක්කොම කම්මුතුයි..

මේ කවිය තේරෙනව ද බලන්න.
‘එක්වෙනි තුන්වෙනි විසේ නො ගන්නේ
තුන්වෙනි දිනයක් සරිකර ගන්නේ
කොහු පුරුකේ මල බෙහෙත් තබන්නේ
බඩහැලයගෙ කළ ඔක්කොම ගන්නේ’

දැන් අයට මේකෙ අගක් මුලක් තේරෙන්නෙ නෑ නේ ද? ඕක කිතුල් මලට බෙහෙත් තැබීම ගැන අපේ ව්‍යවහාරයේ ආපු කවියක්. දැන් මේක තේරුම් ගන්න නම් ඉස්සෙල්ල ම විසේනිය දැනගන්න ඕනෙ. අතහරින්න ඕනෙ මොන විසේනිය ද කියල තේරුම් ගන්න ඕනෙ. තුන්වෙනි දිනයක් කියන්නෙ බදාද දිනයක් මේ වැඬේට යොදාගන්න කියන එකයි. කොහු පුරුක කියන්නෙ කිතුල් මලේ කොතන ද කියන එක. එ්ක නම් ඉතින් ගහට නැගල මල හාරල ම තමයි පෙන්නන්න වෙන්නෙ. ඉතින් හරියට මෙතන මේ විදියට බේත් තිබ්බොත් මල තැම්බිලා එන තෙලිජ්ජ ප‍්‍රමාණය වළං හදන මිනිහ ළඟ තියෙන කළ ඔක්කොම පුරවලත් ඉවර කරන්න බෑ කියන එකයි මේකෙන් කියන්නෙ…

දැන් මේක විහිළු කවියක් කියල අද අය අතහැරල දායි. එ්ත් මේක කළ අය දන්නව මල හොඳට තැම්බෙනවා. මල තැම්බිලා වැඩි නම් නවත්තන්න මොකක්ද කරන්න ඕනෙ? කැප්පෙටිය කෝටුවක් ගහන්න ඕනෙ. නැත්නම් අංගුළුවා කට්ටක් ගහන්න ඕනෙ. දැන් මල බර වැඩිවෙන කොට මල කඩාගෙන වැටෙනවා. මේකට ගහන ආධාරකය තමයි ඔලොම්බින්න කියන්නෙ. මේකට නිකම් කෝටුවක් ගහල හරියන්නෙ නෑ. මූදු කැන්ද කෝටුවක් ගහන්න ඕනෙ. දැන් බලන්න බස මැරුවහම අපේ ඊ ළඟ පරපුර විසේනිය දන්නෙත් නෑ. කොහු පුරුක දන්නෙත් නෑ. ඔලොම්බින්න දන්නෙත් නෑ. මූදු කැන්ද දන්නෙත් නෑ… එ් හින්ද කිතුල් පැණිත් නෑ… හකුරුත් නෑ….. බටහිරින් එන සුදු සීනි කාල ටික කාලෙකින් ලෙඩ වෙලා බටහිර ඖෂධ ජාවාරමේ ගොදුරක් වෙලයි නවතින්නෙ…

දැන් මේ දැනුම අපි මතු පරපුරට නො දී අපිත් මැරිල ගියොත් එ්ක අපරාධයක් නෙවෙයි ද?”

‘‘දැන් කන්දේගම මහත්තයා අපි මේ දේශීය දැනුම යොදාගෙන, කෙම් ක‍්‍රම යොදාගෙන මේ සතුන් මරන්නේ නැතිව මේ යුගයේ වගා කරල සාර්ථක ප‍්‍රතිඵල ගන්න පුළුවන් වෙයි ද?”

‘‘එන්න බලන්න මගේ මාතලේ උකුවෙල සොබාදහම් ගොවිපොළට. අක්කර දාහතරක් තියෙනව කොහොඹ ඇටයක්වත් තලල එ්කට ඉහින්න තහනම්. සත්තුන්ගෙන් කිසි ම හානියක් නැතිව යස අගේට වගා කරනවා.”

‘‘එතකොට මේ බටහිරින් ආව වස විස කෘෂි රසායනවලට අපි මෙච්චර පුරුදු වුණේ කොහොම ද?”

‘‘පුරුදු වෙලා නෙවෙයි; අපි උගුලක අහු කරල තියෙන්නෙ. දැන් බලන්න ඕනෙ කෙනෙක් දන්නව ගහක කඳේ වතුර වැඩි නම් එ්ක සත්තු කනවා. පුරට ගහක් කැපුවොත් එ් ලීයට ගුල්ලො ගහන්නෙ එ්කයි. දන්න අය හෙවිල්ලන්න ගන්න පොල් අත්තක් ඉලූක් කොළයක් වත් පුරට කපන්නෙ නෑ. මොකද එ්ව ඉක්මනට දිරනව. පුරට ගොයම කපන්නෙ නෑ වී ටික පරිස්සම් කර ගන්න ඕනෙ නම්. පුරට පීදෙන්න හිටවන්නෙ නෑ මැස්සො බොන එක නවත්ත ගන්න. දැන් මොකද කරන්නෙ…? බටහිරින් කියනව අස්වැන්න වැඩිකර ගන්න ගොයමට යූරියා ගහන්න කියල. යූරියාවල තියෙන්නෙ මොනව ද? ලවණ. ලවණ වැඩි වුණා ම ගහට වතුර උනන එක වැඩි වෙනවා. ගොයම් ගහේ වතුර වැඩිවෙන්න වැඩිවෙන්න කෘමීන්ගෙ ආකර්ෂණය වැඩි වෙනවා. ඔන්න දැන් කෘමිනාශකවලට හොඳ වෙළඳ පොළක් නිර්මාණය වෙනව. මේවා බොහොම සැලසුම් සහගතව අපේ බස මරල, අපේ දේශීය ඥානය අහිමි කරල දාල, අපේ දේශීය බීජ අහිමි කරලා, අපිව අහුකරල තියෙන මර උගුල්…

අපේ පැරණි දේශීය ගොයම් වර්ගවල ගහ ගොරෝසුයි. වැඩිය වතුර ඕනෙ නෑ. මේ ගහට කෘමීන් කැමති නෑ… ගහ උස යනවා. එ් හින්ද ඔය බටදැල්ල තුනැස්ස තුන්හිරිය ආදි කිසි ම වල් ගසකට ගොයම් ගහ පරදල ඉහළ නගින්න බෑ… එ් නිසා වල් නාශක ඕන වෙන්නෙ නෑ.. ගොයම මේ වල් ගස්වලට හිර වෙලා තියෙන හින්ද ගොයම වැටෙන්නෙත් නෑ… මේ වල් ගස්වල තමයි අර මම කලින් කිව්ව හිතකර කෘමීන් ඉන්නෙ… එ් විදිහට ස්වභාවික පළිබෝධ පාලනය සිදුවෙන නිසා කෘමිනාශක කොහෙත්ම ඕනෙ නෑ…

සුදර්ශන මහත්තයා, අපි අපේ තිබුණ වටිනා දේ අතහැරල මේ බටහිර උගුලට අහුවෙලා මොනව ද මේ කරගෙන තියෙන්නෙ?

රටක් කෘෂිකර්මයෙන් ස්වයංපෝෂිත වෙනව නම් විදේශයෙන් ගේන යෙදවුම් අතහැරල තමන්ගෙ දේශීය දැනුම යොදාගෙන නැගිටින්නට ඕනෙ. එහෙම නො කරන තාක් කල් අපි යදමින් බැඳ නො තිබුණත් වහලූන් ම තමයි…”

ප්‍රවීණ පරිසරවේදී තිලක් කන්දේගම මහතා සමගින් සිදු කරනු ලබන සංවාදමය ලිපි පෙළෙහි තවත් කොටසක් මී ළඟ කලාපයෙන්…

මහාමේඝ 2015 ඇසළ කලාපය
WWW.MAHAMEGHA.LK

සටහන
සුදර්ශන ශ‍්‍රී විජේසිංහ

ඔබේ අදහස් අපට කියන්න. අක්මුල් සොයා යන ගමනට අපිත් එක්ක එකතු වෙන්න.
076 771 76 44
akmulsoya@gmail.com 

 

Leave a Reply

Your email address will not be published.

x

Check Also

දැයක් පුබුදු කළ සුභාවිත ගීතය

ගීතය කියන්නේ අපූරු දෙයක්... එක තාලයකට ගැළපෙන පද මාලාවල් එකතු වුණා ම හරි ලස්සනට ඒ කියන දේ හදවතට කිඳා බහිනවා....