පීනස… වර්තමානයේ බොහෝ පිරිස් පීඩා විඳින රෝගී තත්වයක්.

වෛද්‍යතුමියනි, පළමුවෙන්ම අපි දැන ගන්න කැමතියි පීනස කියන්නෙ මොන වගේ රෝගී තත්ත්වයක් ? පීනස රෝගයේ රෝග ලක්ෂණ මොනවා ? කියලා.

ආයුර්වේදයේ පීනස් රෝගය විස්තර වන්නේ ස්වාස රෝග යටතේය. පීනස් රෝගයේ දී නිතර කිවිසුම් පිටවීම, සොටු දියර ගැලීම, ඇස්, නාසය කැසීම ආදී රෝග තත්ත්වයන් ඇති වේ. මෙය බෝවන රෝගයක් නොවේ. මෙම රෝගය නොසලකා හැර කල් පැවතීමෙන් ඇදුම වැනි රෝග, අකලට කෙස් පැසීම ඇති විය හැක. පීනස් රෝගයේ දී ගඳ සුවඳ නොදැනේ.

වගේම වෛද්‍යතුමියනි, අපට පැහැදිලි කර දෙන්න පීනස් රෝගය යම් අයෙකුට වැළඳීමට හෝ රෝගී තත්ත්වය වැඩි වීම කෙරෙහි බලපාන සාධක.

මෙම රෝගයෙන් වැඩිපුර පීඩා විඳින විශේෂිත වයස් සීමාවන් තියෙනවාද?

පීනස් රෝගය යම් අයෙකුට වැළඳීමට බොහෝ විට හේතු වන්නේ සෙම් රෝග නොසලකා හැරීමය. එනම් සෙම්ප්‍රතිශ්‍යාව වැනි තත්ත්වයක් ඇති වූ විට අපත්‍ය ආහාර විහරණ නිසා ප්‍රතිශ්‍යාව කල් අල්ලා පීනස් තත්ත්වයට ඒමට පුළුවන. සෙම්ප්‍රතිශ්‍යාව ඇති විට එය සුව වන තෙක් නොසිට නෑම, ශීතල ද්‍රව්‍ය පරිහරණය (අයිස් ක්‍රීම්, ශීත කළ ජලය ආදී..), නිතරම හවස් වේලාවන් හි නෑම (මෙවිට ප්‍රතිශක්තිය අඩු අයට ඉක්මනින්ම පීනස ඇති විය හැක), හවස නෑමෙන් පසු හිස කෙස් හොඳින් වියළා නොගැනීම ආදී වැරදි සෞඛ්‍ය පුරුදු සහ ආහාර රටා නිසා පීනස් රෝගය වැළඳීම හා පීනස් රෝගී තත්ත්වය වැඩි වීම ද සිදු වේ.

මෙම රෝගයෙන් වැඩිපුර පීඩා විඳින විශේෂිත වයස් සීමාවක් නැත.

විශේෂයෙන් බණ භාවනා කටයුතු, අධ්‍යාපනික කටයුතු ආදියෙහි නිරත වන්නට උදෑසනින් අවදි වීම සිදු වෙනවා. මෙසේ උදෑසනින් අවදි වීම පීනස් රෝගී තත්ත්වය කෙරෙහි බලපාන්නේ කුමන ආකාරයෙන් ?

උදෑසනින් අවදි වීම නිසා පීනස් රෝගී තත්ත්වයක් නැති අයෙකුට පීනස් රෝගය ඇති වන්නේ නෑ. පීනස් රෝගයෙන් පෙළෙන අයෙක් නම් උදෑසනින් අවදි වීම (විශේෂයෙන් වැසි කාල වලදී) සහ නිදි වැරීම අහිතකරයි. පීනස් රෝගියෙකු උදෑසනින් අවදි වී වැඩ කටයුතු වල නිරත වන්නේ නම් උණුසුම් පරිසර තත්ත්වයක එම කටයුතු වල නිරත වීමෙන් එම අහිතකර තත්ත්ව බොහෝ දුරට මඟ හරවා ගත හැක. එසේම පීනස් රෝගීන්ට දහවල් කාලයේ  නිදා ගැනීම ද අගුණයි. තවද පිනි බෑම ද අගුණයි.

දුම්, දුවිලි ඇති තැන්වල සිටීම, පනු රෝග නිසා ඇතිවන ආසාත්මිකතා සහ අර්ශස් රෝග නිසා ද පීනස් රෝගය ඇති විය හැක. එවිට මූල රෝගයට ප්‍රතිකාර කිරීමෙන් පීනස් රෝගය ද සුව වේ.

එසේම වෛද්‍යතුමියනි, පීනස නිට්ටාවට සුව කළ හැකි රෝගයක් ? මෙම රෝගය සුව කර ගැනීමට භාවිතා වන ප්‍රතිකාර විධි මොනවාද ?

පීනස නිට්ටාවට සුව කළ හැකි රෝගයක්.

පීනසට අපත් දේ (නුසුදුසු දේ)

1. ශීතල ජලය පානය කිරීම, තැඹිලි, ශිතල ආහාර ( කැකිරි, පිපිඤ්ඤ, බණ්ඩක්කා, ඇඹුල් කෙසෙල්, ඇම්බන්..)

2. ශීතල ජලයේ ගිලී සිටීම, ශීතල ජලය ස්නානය

3. මළ මූත්‍ර වේග දැරීම

4. දුම්, දුවිලි ඇති ස්ථාන වල ගැවසීම

පීනසට පත් දේ (සුදුසු දේ)

1. උණුසුම් ජලය පානය

2. උණුසුම් ස්ථාන වල ගැවසීම (වායු සමීකරණ තත්ත්ව නුසුදුසුය)

3. රතු ඵෑණු, ගොටුකොළ, කෙසෙල් වර්ග වලින් කෝලිකුට්ටු, සීනි කෙසෙල්

නුසුදුසු දේ අත් හැරීමත්, සුදුසු දේ දැරීමත් හා නියමිත ප්‍රතිකාර ගැනීමත් සමඟින් පීනස නිට්ටාවට සුව කර ගත හැකිය.

 

වෛද්‍ය සන්ධ්‍යා එන්. ගුණරත්න 
කාර්යය භාර වෛද්‍ය නිළධාරී
ආයුර්වේද රෝහල, තැන්න, මාතලේ