මේ ලෝකයේ කලින් කලට බල සම්පන්න රජවරු බිහි වෙනවා. අතිශය බල සම්පන්න, ශක්තිමත් රාජධානි බිහි වෙනවා. එ් රජවරුන් යටතේ ජීවත්වන වැසියන් රජුගේත්, රාජධානියේත් ශක්ති සම්පන්න භාවය කෙරෙහි තිබෙන්නා වූ විශ්වාසය නිසා රජුත්, රටත්, තමනුත් සියලූ බියෙන් නිදහස් වී සුරක්ෂිතව වාසය කරන බව සිතනවා. එහෙත් එය හුදු සිතිවිල්ලක් ම පමණක් ම බව සහතික කරමින් ලොව එදා මෙදා තුර බිහිවූ සෑම ප්‍රබල රජ කෙනෙක් ම, සෑම ප්‍රබල රාජධානියක් ම නැසී වැනසී ගියා. සතුරන් පරදවා ජය කෙහෙළි නැගූ රජවරුන්, පවුරු ප්‍රාකාර දිය අගල් සහිත වූ සුරක්ෂිත රාජධානි ඉදි කළා වූ රජවරුන්, ස්වකීය දේශය පර සතුරු උවදුරුවලින් සහ බිය තැතිගැනීම්වලින් සහමුලින් ම නිදහස් කොට ගත් බවට උදම් ඇනූ රජවරුන් කිසිවෙකුට අඩුම තරමේ තම ජීවිතයවත් බිය තැති ගැනීම්වලින්, පරාජයට පත් වීමේ අවදානමෙන් නිදහස් කර ගන්නට හැකි වුණේ නැහැ.
ශක්ති සම්පන්න භාවය නිසා ම හට ගත් බල කාමය නිසා ඇතැම් රජවරුන් රටවැසියන්ගේ සුඛිත මුදිත භාවය වෙනුවට ස්වකීය බල පරාක්‍රමය සමාජය මත පතුරුවා හැරීම සිදු කරන්නට යෙදුණා. එයින් තම බලය ස්ථාවර වන බවක් ඔවුන් සිතුවත් පීඩිත පිරිස් විසින් සෑම අවස්ථාවක දී ම එවන් නොපනනත්කම් පිටු දකිනු ලැබුවා. එවැනි රජුන් සහ එසේ නොකටයුත්තෙහි යෙදීම පිණිස බලය යොදා ගත් රාජධානි ඉතිහාසයේ බොහෝ අවස්ථාවල හිටිහැටියේ මැකී ගොස් තිබෙනවා. එසේ සිදු වන්නේ ශක්ති සම්පන්න යැයි මතුපිටින් පෙනෙන, අසීමිත බලපරාක්රමයකින් යුතු යැයි මතුපිටින් පෙනෙන එ් රාජ්‍ය යාන්ත්‍රණය තුළ බිය, සැක, තැතිගැනීම, කායික – මානසික පීඩාවන් එ් සියලූ බලවත්කම් අබිබවා ඉස්මතු කෙරෙන නිසයි. බිය සැක දුරු කරන, සන්සිඳීම ඇති කරවන පාලන තන්ත්රයක් ලෝකයේ බිහි නොවන තාක් කල් එ් සියලූ පාලනයන් යම් මොහොතක ජනතාව අතින් ම ප්‍රතික්ෂේප වනවා. එසේ නො වුණහොත් ඉතා පහසුවෙන් පරසතුරු ආක්රමණයන්ගේ ගොදුරක් බවට පත් වනවා.
මේ කාරණා සියල්ලෙන් ම විනිර්මුක්ත වූ, සියලූ බිය තැති ගැනීම් දුරු කරන්නා වූ, සන්සිඳීම – සුඛිත මුදිත භාවය ම තිර කරන්නා වූ යම් රජ කෙනෙක් ලෝකයේ බිහි වෙනවා නම් එ් තමයි ලෝකයේ යහපත පිණිස ම බිහි වන රජු… එ් රජු යටතේ බිහිවන රාජධානිය තුළ ද්වේෂයට ඉඩක් නැහැ… වෛරයට ඉඩක් නැහැ… අසත්පුරුෂකමට ඉඩක් නැහැ… එ් රජුත්, රාජධානියත් නිර්මාණය වී තිබෙන්නේ අනුත්තරීය වූ සත්පුරුෂ භූමියේ. එ් නිසා ම එකී රාජධානියේ වැසියෙක් වන්නට වාසනාව ලබන්නා මේ ලෝකයේ පරම උත්තම රැකවරණය සලසා ගන්නවා. එවන් රජෙකු හෝ එවන් රාජධානියක් හෝ නසා වනසා දමන්නට, විනාශ කරන්නට මේ ලෝකයේ කිසිවෙකුට බැහැ. එවන් රජ කෙනෙකුගේ සොඳුරු ආඥාදායකත්වය කලින් කලට වෙනස් වන්නක් නෙවෙයි. එ් වගේ ම කලෙක දී යහපත, අර්ථය සලසා කලක දී අයහපත, අනර්ථය සලසන්නක් ද නෙවෙයි. දිවා රැයේ, අතීත අනාගත වර්තමාන යන තුන් කාලයේ දී ම එකී ආඥදායකත්වය ස්වකීය ජීවිතය මෙහෙයවන බලවේගය බවට පත් කර ගන්නවුන්ට අනූපමේය වූ යහපත ම සලසා දෙනවා. එවන් රජ කෙනෙකු කෙසේ පරදවන්න ද? එවන් රාජධානියක් කෙසේ බිඳ වට්ටවන්න ද? එවන් රජ කෙනෙකු හෝ එවන් රාජධානියක් කුමක් නිසා නම් නෙරපා හරින්න ද? එවන් රජ කෙනෙකුගේ යටත් වැසියෙකු වන්නට හැකි නම් අප කිසි දිනක පරාජයට, බියට, තැතිගැනීමට පත් වන්නේ නැහැ.
එ් අසමසම වූ, විපුල වූ, අනුත්තරීය වූ රාජධානියත්, රජුත් අදටත් ජීවමානයි කියා අප පැවසුවහොත්…? සත්පුරුෂ ධර්මයේ අධිපති බව ඇතිව සත්පුරුෂ ධර්මය ම ඇසුරු කරමින් සත්පුරුෂ ධර්මය තුළ ම පිහිටමින් පතුරුවා හරින ආඥා චක්රයකින් යුතු වූ, කිසිවෙකුට පරාජය කළ නො හැකි, පෙරළා දැමිය නො හැකි එ් රාජධානියේ වැසියෙක් වන්නට ඔබටත් ඉඩක් හිමි බව අප පැවසුවහොත්…? සිහි කිරීම් මාත්‍රයෙන් පවා බිය, තැතිගැනීම්, ලොමුඩහගැනීම් දුරු කරලන එ් පරම ශ්‍රේෂ්ඨ රාජධානියේ රැකවරණය දැනුදු ඔබට විවෘත බව අප පැවසුවහොත්…? ඔව්, අප එය ඔබට එසේ ම පවසනවා. විශ්වාසනීයව, තිරව, පැහැදිලිව ම පවසනවා…!
‘‘එ්වං බුද්ධං සරන්තානං
ධම්මං සංඝඤ්ච භික්ඛවෝ
භයං වා ඡුම්භිතත්තං වා
ලෝමහංසෝ න හෙස්සතී’ති”
‘‘මෙසේ පින්වත් මහණෙනි – සම්බුදු රජුන් හා
උතුම් සිරි සදහම් ද – ශ්‍රාවක සඟ රුවන ද
සිහි කරන විට ඔබ හට – බියක් හෝ තැති ගැනීමක් හෝ ලොමුඩහගැනීමක් නො වන්නේ ම ය…”
(ධජග්ග සූත්‍රය)
ලොව එදා මෙදා තුර බිහිවූ නො බිඳිය හැකි, අභියෝග කොට ජය ගත නො හැකි මහා රාජධානිය නම් එ් බුද්ධ රාජ්‍යය ම යි. මිනිසෙකුට තබා දෙවියෙකුට, බඹෙකුට, මාරයෙකුටවත් පරදවාලිය නො හැකි මහා රජුන් නම් එ් භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ම යි. එ් ශ්‍රේෂ්ඨ රජුගේ් ශ්‍රේෂ්ඨ වූ රාජධානිය දේශ සීමා, ජාති භේද, වර්ණ භේද, ගිහි – පැවිදි භේද, ස්ත්‍රී – පුරුෂ භේද යන කිසිවකින් කිසි ලෙසකින් කැබලි වන්නේ නැහැ… එ් එක ම බුද්ධ රාජ්‍යයක්…! එ් බුද්ධ රාජ්‍යයේ එ්කීය භාවය කිසි විටක බිඳී යන්නේ නැහැ. එ් ධර්මරාජ වූ සම්බුදුරජාණන් වහන්සේ ස්වකීය රජු ලෙසත්, එ් මහානීය වූ ධර්ම රාජ්‍යය ස්වකීය රාජධානිය ලෙසත් පිළිගන්නා අයෙකු කවර මොහොතකවත්, කවර හේතුවක් නිසාවත් බෙදී වෙන් වී සිටින්නේ නැහැ. බුද්ධ රාජ්‍යයේ එ්කීයත්වය තුළ, සම්බුද්ධ රාජධානියේ ශ්‍රේෂ්ඨත්වය තුළ ඔවුන් තමන්ගේ රැුකවරණය පිළිබඳ නිසැක භාවයට පත් වනවා. එවන් පිරිසකට තම ආරක්ෂාව භාර දෙනු වස් රජ කෙනෙකු සොයා ගන්නට හෝ රාජධානියක් ගොඩ නගන්නට තවත් වරණයක් කිසිසේත් ම වුවමනා නැහැ. එ් හැම කෙනෙකුට ම වුවමනා පවිටු බලවේගයන් හමුවේ මේ රාජධානීය වළලා නො දමා සුරක්ෂිත කරගන්නා වූ ආරක්ෂකයන් පමණයි. එසේ ආරක්ෂකයන් වන්නේ දහම අනුදකින, දහමේ හැසිරෙන, දහමේ කලණ වැට නො සිඳ පවත්වා ගන්නා බුද්ධ ශ්‍රාවකයන් ම යි…
දසබලධාරී වූ එ් සම්බුද්ධරාජයාණන් වහන්සේට වඩා බලසම්පන්න වූ රජෙකු අප කොහෙන් සොයන්න ද? එ් අනුත්තරීය වූ ධර්ම රාජ්‍යයට වඩා ශ්‍රේෂ්ඨ වූ රාජධානියක් අප කෙසේ ගොඩ නගන්න ද? එ් ශ්‍රාවක සඟ පිරිසට වඩා උතුම් වූ පිරිවරක් අප කොතැනක දකින්න ද? එ් තථාගතයන් වහන්සේට සමාන වන මාණික්‍ය රත්නයක් මෙහි හෝ පරලොව හෝ කිසිදු තැනක නැහැ. එ් දහමට සම කළ හැකි කිසිවක් මේ ලෝකයේ නැහැ. එ් ශ්‍රාවක සඟ පිරිසට සම කළ හැකි වෙනත් පිරිසක් දෙව් මිනිස් ලෝකයේ නැහැ. එ් අග්‍ර වූ, අනුත්තරීය වූ, උත්කෘෂ්ට වූ සම්බුද්ධ රාජධානියේ, සම්බුද්ධරාජයාණන් වහන්සේ හැර අපට තවත් රජෙකු කුමකට ද?
අප රොද බැඳ ගත යුත්තේ එ් අද්විතීය නායකත්වය වටා ම යි. එවිට අප එ් සොඳුරු ආඥාදායකයාගේ ධර්ම චක්‍රයෙන් මෙහෙයවනු ලබන්නන් බවට පත් වනවා. කවරෙකු හෝ එ් සම්බුදුරජාණන් වහන්සේ සරණ ගියා නම් ඔහු එ් සම්බුද්ධ රාජ්‍යයේ වැසියෙක්. සම්බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිය දී බ්‍රාහ්මණ, ක්ෂතී්රය, වෛශ්‍ය, ශුද්‍ර යනාදී භේදයන් සම්බුද්ධ ශාසනයේ දකින්නට ලැබුණේ නැහැ. එ් කවර කුලගොත් දැරුවත් සම්බුද්ධ ශාසනයට ඇතුළු වූවායින් පසු සියල්ලෝ සම්බුදු සව්වන් බවට පත් වුණා. අදත් යම් කෙනෙක් සම්බුදුරජුන් සරණ ගොස් දහමේ පිහිටා කටයුතු කරනවා නම් එ් කෙනාගේ ශ්රාවකත්වයට ජාති, වර්ණ, භාෂා, පක්ෂ පාට භේදයක් පනවන්නට බැහැ. මෙකී කාරණා නිසා අප කවරෙකු හෝ බෙදී වෙන් වනවා නම් අප තව දුරටත් සම්බුදුරජාණන් වහන්සේගේ ශ්රාවකත්වයේ පිහිටා, සම්බුද්ධ රාජ්‍යය නම් වූ එ්කීය රාජ්‍යයේ සම්බුද්ධරාජයාණන් වහන්සේව එකම රජු ලෙස හිස් මුදුනේ දරා ගත්තවුන් වන්නේ නැහැ.
සියලූ බෞද්ධයන් එ්කරාශි විය යුත්තේ එ් නායකත්වය වටා ම යි. දෙව් මිනිස් ලෝකයා හමුවේ පිළින දී තිබෙන පරිද්දෙන් ම එ් දම්රජාණන් වහන්සේ ධර්මය ම ඇසුරු කරගෙන, ධර්මයට ම සත්කාර ගරුකාර කරමින්, ධර්මයට ම පුද පූජා පවත්වමින්, ධර්මය ම ධජයක් ලෙස තබා ගනිමින්, ධර්මය ම කොතක් ලෙස තබා ගනිමින්, ධර්මය ම අධිපති භාවයට පත් කර ගනිමින්, සිව්වනක් පිරිසට ධාර්මික රැුකවරණය සලසා දෙනවා. එවන් නායකයෙකුගේ, එවන් රජ කෙනෙකුගේ, කිසිවෙකුට ආපසු හැරවිය නො හැකි ධාර්මික ආඥා චක්‍රයට අවනතව සම්බුද්ධ රාජ්‍යයේ වාසය කරන්නට ලැබීම වචනයෙන් පමණ කළ නො හැකි භාග්‍යයක් ම යි. එ් දම්රජාණන්ට හිමි තැන අන් කිසිවෙකුට දිය යුතු නැහැ. එ් දම්රජාණන් හැර තව රජ කෙනෙකු හෝ එ් ධාර්මික ප්‍රතිපදාව හැර වෙනත් ප්‍රතිපදාවක් හෝ අප දිවි දෙවැනි කොට පුද සත්කාර කරමින් පවත්වා ගත යුතු නැහැ. අපමණ අගයකින් මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතය ප්රභාවත් කරමින්, අප්‍රමාදීව විජය ධජ ඔසවමින් එ් ධර්මරාජයාණන් වහන්සේගේ සම්බුද්ධ රාජ්‍යය තුළ ම නිවී සැනසෙන්නට අපට දුර්ලභ වූ භාග්‍යය උදා වේවා!
‘‘තිලොව සෙත සැලසීමෙන් –
භව දුකට පිහිට වීමෙන්
දහම් ඝොස පැතිරීමෙන් –
මොහඳුර නසාලීමෙන්
අම නිවන් සලසාලූ –
දම්රජාණන් වහන්සේ
සිහි කොට උතුම් සරණ මම් –
බුද්ධරාජා නමාමි…!”
ඔබත් කියවන්න.
ධම්මරාජ සූත්‍රය – අංගුත්තර නිකාය 3,
ධජග්ග සූත්‍රය – සංයුත්ත නිකාය 1.
Recent Comments