මේ ජීවිත ගමනෙ එකපාර ම අපේ ජීවිත කඩා වැටෙන සිදුවීම්, බලපොරොත්තු නොවුණු දුක් කඳු පිටින් අපිව යට කරගෙන යනවා. ඒ දේවල් නවත්වා ගන්න කොච්චර අපි උත්සාහ කළත් අපට ඒවා නවත්වන්න බෑ. ඔයාගෙ ජීවිතෙත් එක පාරම මෙහෙම වෙන්න පුළුවන්.
“ඔයාගෙ කෙස් ගහක් සුදු වෙලා.”
“මොකක්?” “ඔව්. ඔයාගෙ කෙස් ගහක් සුදු වෙලා.” “අය්යෝ… දැන් මේ කොණ්ඩෙ ඔක්කොම සුදු වෙයි ද? තියෙන ටික ගැලවෙනවත් එක්ක. ඒ මදිවට සුදු වෙන්නත් පටන් අරන්. කොච්චර විටමින් ගත්තත් කොණ්ඩෙ වෙනසකුත් නෑ. හමේ වෙනසකුත් නෑ. ඒ මදිවට කණ්ණාඩිත් දාන්න වුණා.”
ඔයා, මම, උපන් සියලු සත්වයෝ මේ විදියට ජරාවට යනවා. ජරාවට යන එක දුකක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ‘අනේ මං ජරාවට යන්න එපා.’ කියලා හිතුවට ඒක තමන්ට ඕන විදියට කරගන්න බෑ, තමාගේ වසඟයේ තියාගන්න බෑ කියලා දේශනා කළා. ‘ජරාවට යාමේ දුක’ නමැති දුක ඔබ යට කරගෙන යද්දී ඒ සම්බුදු වදන් අනුව හික්මුණොත් ඔබ තනි වෙලා නෑ.
“මං දැන් මොකද කරන්නේ? හිතුවෙවත් නැති විදියට, හිතුවෙවත් නැති වෙලාවක මේ කොහේදෝ තිබ්බ ලෙඩක් ආවනෙ. දැන් දිගටම ක්ලිනික් යන්න ඕන. ඉක්මනට ම මෙහෙම වෙයි කියල කවුද හිතුවෙ. ජීවිතේ සැලසුම් එහෙම ම යි තව. මේ ලෙඩේ නිසා ඒ හැම දෙයක් ම මට නැති වෙයි. ඒ කාලෙ මං හොඳට දුවල පැනල වැඩ කළා. දැන් ඉන්න අය වගේ නෙවේ. හොඳට හයිය හත්තිය තිබ්බා. ඕන දේකට ඔරොත්තු දෙනවා. ඒත් දැන් මට වාරු නෑ. වයස වැඩි නිසා රස්සාවෙනුත් අයින් වෙන්න වුණා. දැන් කවුරුත් මාව ගණන් ගන්නෙ නෑ. ගෙදර උඩ තට්ටුවට නැඟ ගන්නෙත් හරිම අමාරුවෙන්. ගමනක් යන්න වුණොත් වාහනේ අරන් යන්න කෙනෙක් හොයාගන්න වෙනවා. හැමදේම අනික් අය ලවා කරගන්න වෙලා. හීනයක් වගේ, ඒ කාලෙයි මේ කාලෙයි වෙනස…”
ලෙඩවෙන එක ඉපදුණ කෙනාට උරුම දෙයක්. ඒක දුකක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ‘අනේ මං ලෙඩවෙන්න එපා’ කියල හිතුවට හිතූ පමණින් ඒ දේවල් තමන්ට ඕන විදියට පාලනය කරගන්න බෑ. ලෙඩ වීමේ දුක නැති කරගන්න නම් ලෙඩ වීමට හේතුවයි නැතිකර ගන්න ඕන කියල බුදුරජාණන් වහන්සේ ලෙඩ වීමේ දුකෙන් නිදහස් වෙලා ම ඒ මඟ පෙන්වා දුන්නා. ලෙඩ වීමේ දුක ඔබ කරා එද්දි ඔබේ පිහිටට බුදුරජාණන් වහන්සේ වදාළ දහම තියෙනවා. ඔබ තනි වෙලා නෑ.
“අනේ මගේ අම්මා. අම්මා නැතිව මං කොහොමද ජීවත් වෙන්නෙ? මේ දේවල් කර ගත්තෙ, හැමදේටම මට හිටියෙ මගෙ අම්මා. ඒත් හිතුවෙවත් නැති වෙලාවක හරි ඉක්මනට අම්මා මාව දාලා ගියා. කොහොමද දෙවියනේ මේ දුක මං දරාගන්නේ. අනේ අම්මේ ආයේ මයෙ ළඟට එන්නකෝ.”
මේ විදිහට දුක් වුණා කියලා, හැඬුවා වැළපුණා කියල මැරුණ කෙනා ආයෙ එන්නේ නෑ. ඔයාගෙ අම්මා එයා කරපු හොඳ නරක අරගෙන එයාගෙ ගමන ගියා. ඉපදුණ සත්වයා මැරෙනවා, මැරෙන එක දුකක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ‘අනේ මැරෙන්න එපා’ කියල හිතුවට හිතපු පමණින් ඒක එහෙම වෙන්නෙ නෑ. තමන්ගෙ ආයුෂ තමන්ට ඕන විදියට තියාගන්න බෑ. මරණයේ දුක නැති වෙන්න නම් මරණයට හේතුව නැතිකරන්න කියල බුදුරජාණන් වහන්සේ දේශනා කළා. බුදුරජාණන් වහන්සේ මරණයේ දුකෙන් නිදහස් වෙලයි අපටත් ඒ මඟ පෙන්වා දුන්නේ. මරණයේ දුක ඔබ යට කරගෙන යද්දි ඒ දුකෙන් මිදෙන මඟ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා. ඔබ තනි වෙලා නෑ.
“අයියෝ මෙන්න මෙයා මෙහාටත් ඇවිල්ලා. කොච්චර මඟ අරින්න හැදුවත් වැඩක් නෑ. කොහේහරි හම්බ වෙනවනෙ. ඒ මදිවට මේ අම්මණ්ඩිත් ඇවිල්ලා. යන යන තැන පේන්න බැරි කවුරු හරි ඉන්නවා.”
අප්රිය පුද්ගලයන් හා අප්රිය වස්තූන් සමඟ එකතු වෙන්න වෙන එක දුකක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් කේන්ති ගත්තා කියල හරි, මඟ ඇරල ගියා කියල හරි කැමති නැති අය, කැමති නැති දේවල් එක්ක එක් වෙන එක නවත්වා ගන්න බෑ.
බුදුරජාණන් වහන්සේ වදාළා ඒකට හේතුවයි නැතිකර ගන්න ඕන කියලා. හේතු නැතිකර ගත්තොත් ප්රශ්නෙ ඉවරයි. බුදුරජාණන් වහන්සේ ඒ හේතු නැති කරල, ඒ දුකෙන් නිදහස් වෙලා අපටත් ඒ මඟ පෙන්වා දුන්නා. ඒ මඟ ඔයත් පුරුදු කළොත් ඔයාටත් අකමැති අප්රිය අය මුණගැහෙන දුකෙන්, අකමැති අප්රිය දේවල් එක්ක එකතු වෙන්න වෙන දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. ඔයා තනි වෙලා නෑ.
“මං එයාට ගොඩක් සෙනෙහසින් හිටියේ. එයා තමයි මගේ පණ. මගේ හැමදේම… එයා නැති වුණොත් මගෙ හුස්ම ටිකත් නවතීවි. හැමතිස්සෙම හෙව්ව බැලුවා. හැම මොහොතක් ම ගත වුණේ එයාගෙ සුන්දර මතක එක්ක. ඒත් එකපාර ම හෙණයක් වැදුන වගේ එයා මාව දාලා ගියා. කොහේදෝ ඈතක ගියා. හිතාගන්න බෑ මට මොකක්ද වුණේ කියල. කිසිදෙයක් කරගන්න වාරු නෑ. මං කොහොමද මේ හිත හදා ගන්නෙ? මට ජීවිතෙත් එක්ක එපා වෙලා තියෙන්නෙ.”
දැන් කොච්චර ඒ ගැන හිතුවත්, සුසුම් හෙළ හෙළ හිතුවත් ඵලක් නෑ. මේ දුක නැති වෙන්නෙත් නෑ. එයා ආපහු එන්නෙත් නෑ. ප්රිය අයගෙන් ප්රිය දේවලින් වෙන්වෙන්න වෙන එක දුකක් කියල බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ‘මට අහිමි වෙන්න එපා’ කියල හිතුවට, ‘මාව දාලා යන්න එපා’ කියලා හිතුවට හිතපු පමණින් ඒක එහෙම වෙන්නෙ නෑ. මේ දේවල් තමාට ඕන විදියට තමාගේ වසඟයේ තියාගන්න බෑ. මේ වගේ දුකක් තමන් කරා එද්දි ඒ දුක නැති කරගන්න තියෙන්නේ ඒ දුකට මුල් වුණ හේතුව නැති කිරීමෙන් කියල බුදුරජාණන් වහන්සේ දේශනා කළා. බුදුරජාණන් වහන්සේ ඒ දුක නැති කරල දුකෙන් මිදෙන මඟ අපටත් පෙන්වා දුන්නා. එහෙනම් ප්රිය අයගෙන්, ප්රිය දේවලින් වෙන් වීමේ දුක ඔබ යට කරගෙන යද්දි ඒ බුදු වදන් අනුව හික්මුණොත් ඔබට ආය ඒ වගේ දුකක් නෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තවමත් ජීවමානයි.
“තව කී කාලයක් මේ දුක ඉවසන්න ද? මෙච්චර වේදනාවක් කොහොම දරා ගන්න ද? කිසි දෙයක් හිතපු විදියට වුණේ නෑ. නොහිතපු විදියට හැමදේම වෙනස් වුණා. මේ දුක වෙහෙස කවදාක නම් ඉවරයක් වෙයි ද?”
කම්පා වුණා, සුසුම් හෙළුවා, ඇඬුවා වැළපුණා කියල මේ දුක අවසන් වෙන්නෙ නෑ. බුදුරජාණන් වහන්සේ වදාළා මේ දේවල් දුකක් කියලා. මේ දුකෙන් නිදහස් වෙලාම බුදුරජාණන් වහන්සේ අපටත් ඒ මඟ පෙන්වා දුන්නා. එහෙනම් මේ දුකෙන් යට වෙලා ඉන්න ඔබ බුදුරජාණන් වහන්සේ පෙන්වූ මඟ යන්න. දුක නැති වෙනවා. ඔබ තනි වෙලා නෑ.
“කැමති කැමති හැමදේම ඈතට ම ගියා. මෙච්චර ඉක්මනට ජරාවට යයි, ලෙඩ වෙයි, මරණයට මූණදෙන්න වෙයි, අකමැති අය අකමැති දේවල් එක්ක ඉන්න වෙයි. කැමති අය, කැමති දේවලින් ඈත් වෙන්න වෙයි කියලා හිතේ කොතනකවත් තිබ්බෙ නෑ. ඒත් ඒක එහෙම වුණා. නොහිතපු විදියට හැමදේම වෙනස් වුණා.”
කැමති දේ නොලැබීම දුකක් කියල බුදුරජාණන් වහන්සේ දේශනා කළා. බුදුරජාණන් වහන්සේ ඒ දුකෙන් නිදහස් වෙලා ම අපටත් දුක නැති කරන මඟ පෙන්වා දුන්නා. ඇයි ඉතින් ඔබ තවත් මේ දුකේ ම ගිලිලා ඉන්නේ? බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් මඟ යන්න. ඔයාගෙ මේ හැම දුකක් ම නැතිකර ගන්න පුළුවන් වෙනවා. ඔයා තනි වෙලා නෑ..
මේ සසර ගමන තුළ ඔබ ඉන්නකම් ම දුක ඔබව වෙලාගෙන තියෙන්නේ. කාමයන් පිනවීමට ඇති කැමැත්ත නිසා ඔබ අන්ධ වෙලා. ඔබට තේරුමක් නෑ මේ කොයි ආකාරයෙනුත් දුක ඔබ ව වෙලාගෙන යට කරගෙන බව. බුදුරජාණන් වහන්සේ දුක, දුකට හේතුව, දුක නැති වීම, දුක නැති වීම පිණිස පවතින මාර්ගය පෙන්වා දුන්නා. දුක නැති වීම පිණිස මඟ වුණ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කළොත් දුකට හේතුව වුණ තණ්හාව දුරු කරන්නට පුළුවන්. ඒ බුදු වදන් අනුව හික්මෙමින් භගවත් මුනිඳු ළඟින් ම ඇසුරු කරන කෙනාට ඉපදීම, ජරාවට පත් වීම, ලෙඩ වීම, මරණය, අප්රිය දේවල් හා අප්රිය වස්තූන් සමඟ එක්වන්නට සිදු වීම, ප්රිය පුද්ගලයින් හා ප්රිය දේවලින් වෙන්වන්නට සිදු වීම කියන්නේ සුවපත් වෙමින් පවතින රෝගයක්. ඒ කෙනාට දුක වීසි කරල සතුටින් ඉන්න පුළුවන් හැම මොහොතක ම. ඒ නිසා අප්රමාදී වන්න. මේ අවස්ථාව මග ඇරුණොත් සම්බුදු සසුනක් ආය ළඟපාතක නෑ. ඇත්තෙන්ම තවමත් ඔබ තනි වෙලා නෑ.
න කහාපණවස්සේන – තිත්ති කාමේසු විජ්ජති
අප්පස්සාදා දුඛා කාමා – ඉති විඤ්ඤාය පණ්ඩිතෝ
“රන් කහවනු වැස්සක් වැස්සත් තනි පුද්ගලයෙක් මේ පංචකාමයන් ගැන තෘප්තියකට නම් පත්වෙන්නෙ නෑ. මේ කාමයන්ගේ ආශ්වාදය හරිම චුට්ටයි. නමුත් දුක් නම් ගොඩක් තියෙනවා. බුද්ධිමත් කෙනා ඔය ඇත්ත තේරුම් ගන්නවා.”
(ධම්මපදය – බුද්ධ වර්ගය)
මහමෙව්නාව අනගාරිකා අසපුවාසී මෑණියන් වහන්සේනමක් විසිනි.
Recent Comments