ධුත යනුවෙන් හැඳින්වෙන්නේ සියලු කෙලෙසුන් කම්පා කර වදාළ උතුම් රහතන් වහන්සේලා බව අපි ඉගෙනගත්තෙමු. එමෙන් ම ධුතවාදී යනුවෙන් හැඳින්වෙන පිරිසක් ද මේ සොඳුරු බුදු සසුනෙහි සිටිති. ධුතාංගයන් තුළ අන්‍යයන් සමාදන් කරවන පුද්ගලයා ධුතවාදී යනුවෙන් හැඳින්වේ.

අග්‍ර ආරෝග්‍යලාභී වූ බක්කුලයන් වහන්සේ ධුතාංගයන් දැරීමෙන් කෙලෙසුන් කම්පා කොට වදාළ හෙයින් ධුත නම් වන සේක. නමුත් උන්වහන්සේ ධුත ගුණ තුළ අන්‍යයන් සමාදන් කරවීමෙහි උත්සාහවත් නො වූ හෙයින් ධුතවාදී නො වෙති.

ශාක්‍යපුත්‍ර උපනන්ද භික්‍ෂුව ධුතාංගයන් දැරීමෙන් කෙලෙසුන් කම්පා නො කළ හෙයින් ධුත නාමයට සුදුසු නො වූයේ ය. එහෙත් උන්වහන්සේ ධුත ගුණයන්හි අන්‍යයන් සමාදන් කරවූ හෙයින් ධුතවාදී වූ සේක.

ලාලුදායි නම් භික්‍ෂු තෙමේ ධුතගුණ දැරීමක් ද ධුතගුණයේ අන්‍යයන් සමාදන් කරවීමක් ද නො කළ හෙයින් ධුත නාමයට ද ධුතවාදී නාමයට ද සුදුසු නො වූයේ ය.

අග්‍ර ප්‍රඥාලාභී සාරිපුත්ත ධර්මසේනාධිපති මහෝත්තමයන් වහන්සේ ධුතංගයන් දරමින් කෙලෙසුන් කම්පා කළ හෙයින් ධුත නම් වන සේක. එමෙන් ම උන්වහන්සේ අන්‍යයන් ද ධුතගුණයෙහි සමාදන් කරවූ හෙයින් ධුතවාදී නාමයට ද නිසි වන සේක.

මෙසේ ධුත සහ ධුතවාදී නාමයන්ට සම්බන්ධ වූ පුද්ගලයෝ සතර දෙනෙකි. ධුත නාමයට ද සුදුසු ව ධුතවාදී ව වැඩ සිටි සඟ පිරිස අතර අග්‍ර භාවයට පත් වී වදාළේ අපගේ මහා කස්සපයන් වහන්සේ ය. ඒ බව භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

“මේ පින්වත් මහා කස්සපයන් වනාහි ධුතාංගධාරී ව සිට එහි ගුණ පසසන භික්‍ෂුන් අතුරින් අග්‍රභාවයට පත් වෙනවා.”

(ඒතදග්ගපාලි, අං. නි. 1)

තමන් වහන්සේ ධුත ගුණ දරා වැඩ සිටි ආකාරය පිළිබඳ මහා කස්සපයන් වහන්සේ ම තමන් වහන්සේගේ පැවිදි ජීවිතය ගැන සිහිපත් කරන අතරතුර දී මෙසේ වදාළ සේක.

“මහා මුනිවරයාණන් වූ බුදු සමිඳුන්ගේ සකලවිධ බුද්ධ ක්ෂේත්‍රය තුළ උන්වහන්සේ හැරුණු කොට ඒ ධුතාංග දරාගන්ට ඉන්නේ මං විතරයි. ඒ ධුතාංග තුළ මම ශ්‍රේෂ්ඨත්වයට පත්වුණා.”

(මහා කස්සප ථේරගාථා)

සසරෙහි කරන ලද පැතුමන්ට හා පුරන ලද පින් මහිමයට අනුකූල ව උන් වහන්සේ දරා වැඩ සිටි දෙවන ධුතාංගය අයත් වන්නේ ද චීවර ප්‍රතිසංයුත්ත ධුතාංග ගණයට යි. භික්‍ෂූන් වහන්සේලා පරිහරණය කරනු ලබන සිව්පසයෙහි ප්‍රථම අංගය වශයෙන් ද සඳහන් වන්නේ චීවර ය. මෙම ධුතාංග පැනවීමෙහි දී භාග්‍යවතුන් වහන්සේ අදහස් කරන ලද්දේ, සිව්පස පරිහරණයේ දී උපදින කෙලෙස් නිසා නිවන් මග පමා වීම වළක්වා, නිවන් මග වේගවත් කරවීම බව දැකගත හැක.

ආර්ය වූ බුදු පසේබුදු අරහත් මහෝත්තමයන් වහන්සේලා ගතෙහි දරා වැඩ සිටි අසිරිමත් වස්ත්‍රය චීවරය යනුවෙන් හඳුන්වනු ලබයි. කෙලෙස් නැසීමේ සංග්‍රාමයේ දී ඔසවා තබන ලද ධජයක් බඳු හෙයින් චීවරය අරහත් ධජය යනුවෙන් ද හඳුන්වනු ලබයි. පරිබ්‍රාජක ආදි අන්‍ය තීර්ථක පැවිද්දන් හට ද කිසිදු ගිහියෙකුට ද චීවරය පරිහරණය කළ නො හැක. සම්මා සම්බුදුරජුන් විසින් චීවරයෝ නව දෙනෙක් භික්‍ෂූන් වහන්සේලා උදෙසා අනුදත් සේක. ඒවා මෙසේ ය:

  1. දෙපොට සිවුර (සංඝාටිය)
  2. තනිපොට සිවුර (උත්තරාසංග)
  3. අඳන සිවුර (අන්තර වාසක)
  4. හිඳිනා ඇතිරිල්ල (නිසීදනය)
  5. සාංඝික සෙනසුන්හි දී ඇඳ පුටු ආදියෙහි අතුරන පසතුරුණ නම් ඇතිරිල්ල (පච්චත්ථරණය)
  6. මුහුණ පිසදැමීමට භාවිත කරන ඉඳුල් කඩක් වැනි වස්ත්‍රය (මුඛ පුඤ්ජන චෝළකය)
  7. වැසි සළුව (වස්සික සාටික)
  8. දද, කුෂ්ට ආදි රෝගයක් ඇති කල්හි භාවිත කරන වස්ත්‍රය (කණ්ඩු පටිච්ඡාදිකය)
  9. වස්ත්‍රයන්ගෙන් කරන ලද ලේන්සු ආදි සෙසු කැප පිරිකර (පරික්ඛාර චෝළ)

මෙම චීවරයෝ නව චීවර යන නාමයෙන් හැඳින්වෙති. කුසතණ, නියඳ, දර කැබලි, හිසකෙස්, ගෝණි, සම්, බකමූණු පියාපත්, ගස් සුඹුලු, වැල්, කෙසෙල් පට්ටා, තෘණ, බටපතුරු ආදියෙන් සිවුරු සකසා ගැනීම භාග්‍යවතුන් වහන්සේ විසින් තහනම් කරන ලද්දේ ය. චීවරය සකසා ගැනීමෙහි දී භාවිත කළ යුතු වන්නේ ඛෝම නම් ගස් වර්ගයෙහි කෙඳිවලින් සැකසූ වස්ත්‍ර, කපු රෙදි, පට රෙදි, ලොම් රෙදි, හණ රෙදි සහ මිශ්‍ර නූලෙන් සකසන ලද වස්ත්‍රයන් ය.

නිවන උදෙසා ම කැප කරන ලද දිවිය ඇති භික්‍ෂු තෙමේ විවිධ කටයුතු උදෙසා, විවිධ සිවුරු සෙවීමෙන් බැහැර ව සිවුරු තුනක් පමණක් භාවිත කරන්නේ නම්, එය තෙචීවාරිකංගය යි. තනිපොට සිවුර, දෙපට සිවුර සහ අඳන සිවුර එබඳු භික්‍ෂුවක් විසින් භාවිත කරනු ලබන තුන් සිවුරු ය. මෙම ධුතාංගයෙන් යුතු භික්‍ෂුව කිසිදු විටක සතරවෙනි සිවුරක් පරිහරණයට යොමු නො වෙයි. එනමුත් තුන් සිවුරු දරන භික්‍ෂුව හට අසංකඩය නම් වූ පොරවන පරිෂ්කාරය පරිහරණය කළ හැකි බව සඳහන් වේ.

තුන් ලොවෙහි ම මෙම ධුතාංගය දරාගත හැකි වන්නේ උපසම්පදාව ලද භික්‍ෂු – භික්‍ෂුණී යන උභතෝ සංඝයාට පමණෙකි. තුන් සිවුරෙන් යුක්තව පමණක් දිවි ගෙවන භික්‍ෂුව,

  1. අඩු බරකින් යුතුව පක්‍ෂියකු සේ කැමති දිශාවක වඩින්නේ ය.
  2. අඩු වැඩ කටයුතු ඇති වන්නේ ය.
  3. පසුව ප්‍රයෝජනයට ගැනීම සඳහා වස්ත්‍ර රැස් නො කරන්නේ ය.
  4. සැහැල්ලු පැවතුම් ඇති වන්නේ ය.
  5. චීවර උදෙසා ලෝභය නුපදවන්නේ ය.
  6. සිවුරු පිළිගැනීමේ පමණ දන්නේ ය.
  7. කෙලෙස් විනාශ කරන විහරණයෙන් යුතු වන්නේ ය.
  8. ආශාවන් අඩු බව ආදි බොහෝ ගුණ සම්පත් උපදවා ගන්නේ ය.

මේ වනාහි තෙචීවරිකංගයේ අට වැදෑරුම් ආනිසංසයෝ ය. පැරණි මහ තෙරුන් වහන්සේලා විසින් මෙම ධුතාංගයේ ආනිසංසයෝ මෙසේ ද වර්ණනා කරන ලද්දාහ.

අතිරේක වත්ථ තණ්හං – පහාය සන්නධිවිවජ්ජිතේ ධීරෝ
සන්තෝස සුඛ රසඤ්ඤූ – තිචීවරධරෝ භවති යෝගී

“අතිරේක වස්ත්‍ර පිළිබඳ ව ඇල්ම ප්‍රහාණය කොට, වස්ත්‍ර එක්රැස් කිරීමෙන් තොර වූ නුවණැති යෝගාවචර භික්‍ෂුව, ලද දෙයින් සතුටු වීමෙන් උපදින සැපයෙහි රසය දැනගැනීමෙන් තුන් සිවුරින් යුතු ව දිවි ගෙවන්නේ ය.”

තස්මා සපන්න චරණෝ – පක්ඛී ව සචීවරෝ ව යෝගිවරෝ
සුඛමනු විචරිතුකාමෝ – චීවර නියමේ රතිං කයිරා

“පියාපත් පමණක් සහිත ව හැසිරෙන පක්‍ෂියකු සේ තුන් සිවුරින් යුතුව දිවි ගෙවන යෝගාවචර භික්‍ෂුව සුවසේ හැසිරෙනු කැමති ව තෙචීවරිකංගයට ඇලුම් කරන්නේ ය.”

රවීන් කෝදාගොඩ