තරුණ විය ඉක්මවමින් හතළිස් දෙවන වියේ පසු වන සුජාතා ඉපදී හැදී වැඩුණේ පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ පිටිසර කැලෑබද ගම්මානයක ය. උසින් අඩු වුවත් ඇඟපත වෙහෙසා කුඩා කාලයේ සිට ම වැඩ කළ නිසා දෝ සවි ශක්තිය ඇති කාන්තාවකගේ පෙණුම ඇය තුළින් දිස් විය. මරණීය දණ්ඩනය නියම වූ සිරකාරියක ඇඳිය යුතු සුදු රෙද්දක් ද සුදු හැට්ටයක් ද ඇඳ බය ගතියෙන් යුතු ව මා දෙස බැලූ ඇයගේ පාලූ කන් දෙක ඉස්මතු කර පෙන්වූයේ ඇයගේ ජීවිතය පුරා ම පැතිරී ගිය හිස් පාලූ බවයි. දරුවන් දස දෙනෙකුගෙන් යුතු පවුලක සහෝදරයින් හතර දෙනෙක් ද සහෝදරියන් පස් දෙනෙක් ද සුජාතාට සිටියහ. අම්මා අහිමි ව කලක් ගත වී ඇතත් තම පියා මිය ගොස් ඇත්තේ මීට වසර හතරකට පමණ පෙර ය. තාත්තාගේ ඇතුළු පවුලේ අයගේ රැකියා මාර්ග කුලී වැඩ ඉක්මවා ගියේ නැත. ඒ නිසා ම ඉන්න හිටින්නට හරියාකාර තැනක් නැතුවා මෙන් ම කුඩා කල සිට ම සාමාජික සංඛ්‍යාව වැඩි පවුලකට මුහුණ දෙන්නට වන අගහිඟකම් ඔවුන්ට ඉහවහා ගොස් තිබුණි.

ළමා වියේ දුක් කරදර
හිතේ ධෛර්යය නිසා පාසල් ගියත් ඇයව උනන්දුවෙන් පාසල් යවා උගතෙකු කරවීමට කිසිවෙකුට බරපතල උවමනාවක් තිබුණේ නැත. කිලෝ මීටර් දෙකක් පමණ දුරක් පාසලට පයින් ගමන් කළ යුතු වූ අතර එම පාරේ කොටසක් ගෙයක් දොරක්, මිනිස් වාසයක් නැති කැලෑ තීරුවක් හරහා වැටී තිබුණත් ගම් වැසියන්ට එම පාරේ ගමන් කිරීම අරුමයක් නො වී ය. ටිකක් ප‍්‍රමාද වී පාසලෙන් පිට වීමට සිදු වුවහොත් මේ පාලූ පාරේ සුජාතාට ගමන් කරන්නට ඇත්තේ තනිව ම ය. සුජාතාට මෙය හුරු පුරුදු වූ දෙයක් වූ නිසා බයක් සැකක් ද නො වූ බව ඇය පැවසුවා ය. දෙමව්පියන් මෙන් ම සහෝදර සහෝදරියන් නව දෙනෙකු ම සිටියත් ඇයට ආරක්ෂාව සැලසීම ගැන විශේෂ උනන්දුවක් දක්වා නැත. මේ වන විට සුජාතා වයසින් අවුරුදු 13 ක් වූ අතර පෙනුමෙන් ඇඟපත වැඞී තිබුණි. තරුණයෙකු ඇය පසු පසු එමින් යම් යම් යෝජනාවන් කරන්නට පටන් ගත්ත ද ඇය ඒ කිසිවකට අනුබල දී නැත. ඒ සියල්ල මඟ හැර පාඩුවේ සිටීමට ඇය වගබලා ගත්තේ තමා තවමත් කුඩා ළදැරියක් බව දන්නා නිසා ය. ගම් ප‍්‍රදේශයේ සිටින දයාසේන නම් වූ මංකොල්ලකාරයෙකු, මැරයෙක් ගැන අසා තිබුණත් මේ තමා පසු පස හඹා එන්නේ ඔහු බව සුජාතා දැන සිටියේ ද නැත.

ළමා අවධියේ ම දෛවය වෙනස් කළ අයුරු
එක් අවසනාවන්ත දිනයක ඇය පාසල් අවසන් වී පාරේ ගමන් ගත්තේ තනිව ම ය. ඉහත කී තරුණයා පාපැදියක් අවහිර කොට ඇය ඔසවා ගත් අතර ඔහු හා පැමිණි මිත‍්‍රයා ද සමඟ කැලයට දිව ගොස් ඇත. සුජාතාගේ කට මිත‍්‍රයා තදින් මිරිකාගෙන සිටි නිසා කෑගැසීමටවත් නො හැකි වී ඇත. අතරමඟ දී සුජාතාගේ සිහි මුර්ජා විය. කැලයට ඔසවා ගෙන යනු ලැබූ සුජාතා දයාසේන විසින් දූෂණයට ලක්කරනු ලැබිණි. ටික වේලාවකින් පසු සිහි ලද ඇය වහ වහා ගෙදර දිව ගොස් තමාට වූ කරදරය මවට පැවසුවා ය. මේ පිළිබඳ ව බියටත් කෝපයටත් පත් වූ සුජාතාගේ මව තම සැමියාටත් දන්වා ඔහු ද කැටි ව දයාසේනගේ දෙමව්පියන් හමුවට ගොස් දෝෂාරෝපණය කරන්නට පටන්ගෙන ඇත. ඔවුන් මේ ගැන පොලිසියේ පැමිණිලි නො කරන ලෙස ඉල්ලා සිටියේ ඔවුන් තුළ පැවති බිය නිසා ය. නිවසට ම විවාහ රෙජිස්ටාර්වරයෙකු ගෙන්වා ගත් දෙමව්පියෝ වයස අවුරුදු 13 ක් වූ සුජාතාගේ, වසය අවුරුදු 18 ලෙස සටහන් කොට වයස අවුරුදු 22 ක් වූ දයාසේනට කරකාර බැඳ දුන්හ. විවාහයෙන් පසු ව පාසල් ගමන ද අත්හැරීමට සිදු වූ අතර දයාසේනගේ දෙමව්පියන්ගේ නිවසේ සුජාතා පදිංචි විය. උද්ගත වූ තත්වය මත විවාහ කර ගත් නමුත් දයාසේනගේ අබ මල් රේණුවක තරම් වත් ආදරයක් සුජාතා වෙත නොවී ය.

කටුක දිවිය
දයාසේනට කිසිදු රැකියාවක් නො වී ය. සොරකම, මංකොල්ලකෑම සහ මත්පැන් විකිණීම ඔහුගේ ජීවනෝපාය මාර්ගයන් විය. කට ගොන්නක් බීගෙන සුරාමතින් සවසට ගෙදරට එන දයාසේන සුජාතාට නොයෙකුත් තාඩන පීඩන කළේ ය. උපයන සෑම දෙයක් ම මත් පැන් බීමට වැය කළ ඔහු ගෙදර කෑම බීම ආදියටවත් සැළකීමක් කර නැත. කෙසේ වුවත් ඔහුට ලොකු බත් පිඟානක් නම් අවශ්‍ය වූ අතර ආහාරයට මස් මාළු නො තිබුණොත් එය ආරවුකට මුල ය. බැරි ම තැන සුජාතා කුලී වැඩ කරන්නට පටන් ගෙන ඇත. ඇය කුඹුරු හා හේන්වල කුලියට වැඩ කිරීමෙන් ගෙදරට අවශ්‍ය දෑ මිලට ගත්තා ය. මේ අතරතුර සුජාතාට දුවක් ලැබුණි. ඇය මවක් වන විට යන්තම් අවුරුදු 14 වයසේ පසු විය. රෙදි තොටිල්ලක දරුවා එල්ලා ගෙන කුලී වැඩ කර දවසේ වියදම පිරිමසා ගත් බව සුජාතා පැවසූයේ තමා විඳි දුක් සිහි කොට කඳුළු සලමිනි. 1985 දී ලොකු දුවත් බාල පුතාත් පාසැල් ගිය අතර දෙවැනි පුතා පැවිදි බිමට පත් කෙරුණි. දිනපතා ම වාගේ සිදු වන අතවර ඉවසා ගත නො හැකි වූ තැන ඇය තම දරුවන් දෙදෙනා මල්ලී වෙත භාර දී මැද පෙර දිග රැකියාවකට ගියා ය. දරුවන්ට නිවී සැනසිල්ලේ තමාගේ මාමා ළඟ ඉන්නට නුදුන් දයාසේන කෝලාහල කොට ඔවුන් තමා වෙතට ගෙන්වා ගත්තේ ය. මේ අතර ඇයට දියණියගෙන් නිතර ලිපි ලැබෙන්නට වූයේ තම පියාගෙන් වන අඩත්තේට්ටම් ගැන පැමිණිලි සඳහන් කරමිනි. අවුරුදු තුනක් මැද පෙරදිග සේවය කිරීමෙන් පසු ඇය ලංකාවට පැමිණියා ය.

පියකු යැයි කිව හැකි ද?
දැන්වත් යහපත් ජීවිතයක් ගත කිරීමට හැකි වේ දැයි සිතුව ද දයාසේනගේ ගති පැවතුම් තව තවත් නරක අතට හැරී ඇති බව තේරුම් යාමට සුජාතාට වැඩි කල් ගත නොවිණි. සුජාතා දිවයිනට පැමිණ සුළු කලකින් තම දියණිය වැඩි වියට පත් විය. චාම් උත්සවයක් ද පවත්වා දැන්වත් මනුෂ්‍යයන් වශයෙන් ජීවත් වෙමුයි සුජාතා ඇවිටිලි කළත් දයාසේන හරි මඟට ගැනීම අසීරු කරුණක් විය. ඉන් මාස කීපයක් ඇතුළත තම දියණිය නිදා සිටිය දී ඇයට අතවරයක් කිරීමේ අදහසින් තදට ම බීමත් ව සිටි දයාසේන උත්සාහක් කර ඇත. ඒ දුටු සුජාතාට වහා ම සිහි වූයේ අවුරුදු 13 වයසේ දී මේ මෘගයා තමාට කළ අපරාධය ගැන ය. කෝපයට පත් සුජාතා දයාසේනට බැණ වැදුනේ ය. ඉන් කිපුණු දයාසේන ඇයට අතින් පයින් පහර දෙන්නට විය. එය දුර දිග ගියේ සඟවා තිබුණු කඩුවක් අමෝරා ගෙන දයාසේන සුජාතා බිම හෙළීමට පැමිණිමෙනි. වෙරි මතින් කෙළින් සිටීමට නො හැකි වූ දයාසේන ඇද වැටුණි. නැඟිට ගත්තොත් තමාගේ මරණය නිසැක බව තේරුම් ගත් සුජාතා කඩුව උදුරා ගෙන දයාසේනගේ හිසට පහර දී ඇත. දයාසේන තවත් නැගිට්ටේ නැත.

කෙළවරක් නැති දුක
තමාගේ සැමියාගේ මරණය සිදු කරනු ලදැයි සැක පිට සුජාතා අත් ඩංගුවට ගනු ලැබුණි. මාස ගණනක් රිමාන්ඞ් භාරයේ කල් ගත කළ සුජාතාට අවුරුදු 14 ක් පමණ විඳි නිරා දුකට වඩා හිර ගෙදර සැප යයි සිතුණි. මාස කීපයකින් පසු ව ඇය ඇප ලබා යළි ගෙදර පැමිණියේ ය. දයාසේනගේ මරණය නිසා ඔහුගේ දෙමව්පියන් වත් කම්පා නො වුණේ ඔහු නොයෙක් වර දෙමව්පියන්ට ද පහර දෙමින් අඩම්තේට්ටම් කළ බැවිනි. කෙසේ වුව ද ඇයගේ හිස අවුල් වන තරමට මහත් පීඩාවක් ඇති වූ බව පවසන සුජාතා හොර රහසේ නැවත පිට රට යාමට තීරණය කළා ය. නීතියට ද පටහැනි ව රටින් පිට වූ සුජාතා නැවත ගෘහ සේවිකාවක් ලෙස මැද පෙරදිගට ගියා ය. මුදලක් උපයගෙන ඉන්න හිටින්නට තැනක් තනා ගැනීමට ඇය සැලසුම් කළා ය. දයාසේන සිටිය දී වතුර ටිකක් බොන්නට කෝප්පයක් වත් සතුව නො තිබුණු සුජාතා ඉඩම් කැබැල්ලක් මිලට ගෙන කුඩා නිවසක් ද තැනීමට කටයුතු කළා ය. නඩුව ආරම්භ වූ විට නැවත ලංකාවට පැමිණ අධිකරණයට භාර වූ සුජාතා නඩුවට මුහුණ දුන්නා ය. නඩු විභාගය අවසානයේ දී තම සැමියා මැරීමේ චෝදනාවට වැරදිකාරිය වූ සුජාතාට මරණීය දණ්ඩනය නියම විය. මේ වනවිට වැඩි මහල් දියණිය විවාහ වී එක් දරු මවකි. දෙවැනි පුතා උසස් අධ්‍යාපනයක් ලබන අතර බාල පුතා ද ඉගැනීමේ යෙදී සිටී.

දුකට උපන් කාන්තාව
කුඩා කාලයේ බරපතල පවුලක අගහිඟකම් නිසා සැපතක් සතුටක් නො ලැබූ සුජාතා ළමා වියේ දී ම කාමුකයෙකුගේ අතවරයට භාජනය වීම නිසා දුකටත්, කම්පනයට පත් ව ඒ එක්ක ම විවාහ ජීවතයකට ද එළබ ළමා වියේ දී ම ලාබාල මවක් විය. ඇයට දරුවන් තුන් දෙනා ම ලැබෙන විටත් වයස 20 ඉක්මවා නො තිබුණි. අවුරුදු දාහතරක් පුරාවට ගැහැනියක් අත්විඳිය හැකි දරුණුතම පීඩාකාරී තත්වයන්ට ඇය මුහුණ දුන්නා ය. මෙරටත්, පිටරටත් බැල මෙහෙවර කර දුක්මහන්සියෙන් වැඩ කළ හැටි ඇය සිහිපත් කළේ කඳුළු සලමිණි. දැන් ඇය තම සැමියා ද අහිමි ව දෙමව්පියන් ද අහිමි ව දරුවන්ගෙන් ද ඈත් වී මරණීය දණ්ඩනයට මුහුණ දී සිරබත් කයි. තමා අත කිසිදු වරදක් නැති ව කෙළවරක් නැති දුක් පීඩා වින්දේ පෙර ආත්මයක දී කරන ලද පව් පළ දීමෙන් නො වේ දැ’යි ඇය මගෙන් විමසී ය. සුජාතා තරම් ම නො වූවත් මෙබදු කටුක අත්දැකීම්වලට මුහුණ දෙන බිරියන් අද රටේ කොතෙකුත් ඇත. මෙබදු ගෘහස්ත හිංසනයන් නිසා පීඩා විඳින බොහෝ දෙනාට හඬක්වත් නැඟීමට ඉඩක් නො මැති ව හැඬූ කඳුළින් සිටින අවස්ථා අපමණ ය.

විසදුම නිවැරදි ද?
තමා විදි පීඩාවලින් මිදීමට සැමියා මරණයට පත් කිරීම නිවැරදි ද? ඇය පවසන අන්දමට තමාට කර කියා ගන්නට දෙයක් නොවුණු තැන මරණ භය නිසා ගත් පියවරෙන් ඔහු මරණයට පත් ව ඇත. ව්‍යවහාරික නීතිය අනුව ඇයට මරණීය දණ්ඩනය නියමිත වී ඇත. මරණින් මතු මෙය කෙසේ විපාක දෙන කර්මයක් වේ ද? ඇය තමා අතින් සිදු වූ ප‍්‍රාණඝාත අකුසලය ගැන තැවෙමින් සිටී. තම දරුවන්ට පියෙකු නැති වීම ඇයට ඇති තවත් දුකකි. ඇය ගේ කථාව අසා සිටි මට සිතුණේ දහමේ දක්වෙන ආකාරයට ඇය භවයන් කීපයක දී මෙවන් දුක් සහිත ඉරණම්වලට මුහුණ දෙන්නට ඇති වගයි. සුජාතා ගේ කතාව ඉසිදාසි කතා පුවත හා ගැලපීමට මට සිතිනි.

ඇයට විපාක දී ඇත්තේ කවර ආකාරයේ කර්ම විපාකයක් දැයි දහමට අනුව විමසීම වටී. මෙවන් විපත්තිදායක තත්වයක් මතු භවයක දී ඇති නො වේවා යි! ඇය ප‍්‍රාර්ථනා කරයි.

දහමට නැඹුරු වීම
තම පරලොව ජීවිතය යහපත් කර ගත හැක්කේ කෙසේ දැ යි මාගෙන් විමසූ ඇයට දිය හැකි වූ එක ම උපදෙස වූයේ හැකි පමණ ධර්මයෙහි හැසිරෙමින් පින් රැස් කිරීම යි. ලූණු කැටයක් කුඩා වතුර වීදුරුවකටත්, විශාල ජලාශයකටත් දැමුවොත් ජලයේ ඇති වන වෙනස උදාහරණයක් ලෙස දක්වා හැකි පමණ පින් දහම් කිරීමටත් තැන්පත් සිතක් ඇති කර ගැනීමටත් ධර්මාවාදයක් කළෙමි. දැනටත් පෝයට උපෝසථ ශීලයෙහි යෙදෙන ඇය බුද්ධ පූජා පින්කම් මෙන් ම භාවනාවේ ද යෙදෙන බව කිය යි. සසරින් එතෙර වීම සදහා පැවිදි බිමට පිවිසීමට ඇය මහත් ආශාවක් දක්වයි. බන්ධනාගාරයේ කාන්තා අංශයේ පුස්තකාලයක් ඇතත් එහි දහම් පොත් අවශ්‍යය තරම් නො වන බවත් ගෞරවනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ගේ දහම් පොත් සහ මහමෙව්නාවේ දහම් ප‍්‍රකාශන ලබා ගැනීමේ බලවත් ආශාවක් ඇය තුළ පවතින බවත් සඳහන් කරයි. සුජාතාට මා දුන් ධර්මාවාදය කණට වැටුණු තවත් සිරකාරියක් කීපදෙනෙකු ද මාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටියේ දහම් පොත්පත් සහ පිරිත් පොත් ප‍්‍රමාණයක් ලබා දෙන ලෙස යි. එය ඉටු කිරීම මහත් පුණ්‍ය කර්මයක් බව මාගේ විශ්වාසය යි.

(සියලූ නම් ගම් මන:කල්පිත ය.)

සටහන
තරුණ කටයතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්
නීතිඥ සිරිපාල විරිතමුල්ල