චාටු බසට රැවටීම
කෙනෙකු විසින් කරනු ලබන වැරදිවලට දඬුවම් ලබන්නේ බන්ධනාගාරයේ දී පමණක් නො වේ. බන්ධනාගාරයේ දී සිර දඬුවම් අවසාන කොට හිරෙන් නිදහස් වී පිටතට පැමිණියත් තම පවුලේ අයට, නැදෑ හිතවතුන්ට සහ පොදුවේ සමාජයට ම මුහුණ දෙන්නට නො හැකි ව, අවසාන වශයෙන් ජිවිතයේ සැඳෑ සමය ගත කිරීම සඳහා ලැබෙන විශ‍්‍රාම වැටුපත් අහිමි ව අනේකවිධ සිත් තැවුලෙන් පසු වන රජයේ සේවකයින් කීපදෙනෙකුගේ වතගොත පසුගිය මහාමේඝයෙන් එළි දරව් කළෙම්. මා මෙවර සොයා ගියේ වෙනස් අත්දෑකීමකට මුහුණ දුන් කෙනෙකු හමු වීමටයි.

නම ගිය කලාකරුවෙක්
විසි නව අවුරුදු සිර දඬුවමක් විඳිමින් බන්ධනාගාරයේ හිරබත් කන මේ පුද්ගලයා නම ඇසූ පමණින් ඔබ දන්නා කෙනෙකු විය යුතු ය. සුප‍්‍රකට චිත‍්‍රපට නිෂ්පාකදයෙකු වූ ඩී. බී. නිහාල්සිංහ මහතා ළඟ කලාවට අත්පොත් තැබූ මේ පුද්ගලයා ජනපි‍්‍රය සහ නිර්මාණශීලී කලාකරුවෙකි. කීර්තියට හානියක් වීම වැළැක්වීම සඳහා ඔහුට ‘විදුර’ යැයි ආරූඪ නමකින් අමතමු. විදුරගේ කථාව මීට පෙර මාධ්‍ය මඟින් පවා විකාශය වී ඇති නමුත් තම සැබෑ නමින් මේ කථාව ලියනවාට මැළිකමක් දැක්වුව ද සමාජයට ආදර්ශයක් වනු පිණිස සත්‍ය කතන්දරය එලෙස ම පළ කරන්න යැයි ඔහු මගෙන් ඉල්ලීමක් කළේ ය.
ජනපි‍්‍රය චිත‍්‍රපට ගණනාවක ශ‍්‍රව්‍ය දෘෂ්‍ය අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කළ ඔහු කලක් විත‍්‍රපට අධ්‍යක්ෂකවරුන්ට නැතිව ම බැරි පුද්ගලයෙකු විය. අහම්බෙන් ලැබුණු අවස්ථාවක් නිසා එක් විත‍්‍රපටයක නළුවෙකු ද විය. ජනපි‍්‍රය විකට නළුවෙකුගේ නම ආදරයෙන් සිහිපත් කළ ඔහු එම විත‍්‍රපටයේ දී එම නළුවා සමග ගීතයක් ගයමින් නටන දර්ශනයක් ඇතුළු එම චිත‍්‍රපටයේ ජවනිකා කීපයක නටා රඟ පෑ බව කීවේ මුවට සිනහවක් ද නඟා ගනිමිනි. රඟපෑමට වඩා ඔහු විත‍්‍රපටකරණයේ පසු බිමේ සිට තම වැඩි ම නිර්මාණශීලී දායකත්වය දක්වා ඇත. පුංචි තිරයට අවතීර්ණ වූ විදුර ඉතා ජනපි‍්‍රය මාලා ටෙලි නාට්‍යය ඇතුළු ටෙලි නාට්‍යය 65කට දායකත්වය සපයා ඇත. ‘‘කිරිමාමා” (ව්‍යාජ නමකි) නමින් අඛණ්ඩ ව කලක් මෙහෙය වූ ගුවන්විදුලි ළමා වැඩසටහන මඟින් විදුර කලාකරුවෙකු වශයෙන් ජනතා හදවත් තුළට ළං කිරීමට සමත් වූවා පමණක් නො ව ඒ මඟින් දහස් ගණනක් කැකුළු කලාකරුවන් සහ රසිකයින් නිර්මාණය කිරීමට ප‍්‍රශංසනීය දායකත්වයක් දරා ඇත. ඒ හැරුණු විට එකල ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාවේ බාහිර වැඩ සටහන් සම්පාදකයෙකු ලෙස සේවය කරමින් තවත් ඉතා ජනපි‍්‍රය ගුවන් විදුලි වැඩ සටහන් රැසක් ද සම්පාදනය කර ඇත.

පූර්ණ කාලීන ව කලා කටයුතු වල නිරත වීමේ අරමුණින් තමාගේ ම පෞද්ගලික සමාගමක් ඔහු ආරම්භ කළේ එක් අතකින් එය ඉතා හොඳ රැකියා මාර්ගයක් ද වූ නිසා ය. මේ වන විට තමාගෙන් ඉටු වන සමාජ මෙහෙවරට අමතර ව සැලකිය යුතු ආදායමක් ද ලැබුණු නිසා ඔහුට ඉතා හොඳ ආර්ථික ශක්තියක් ද ගොඩනැඟී තිබුණි. අගහිඟකම් ඇති කලාකරුවෙකුට යම් ඇවෑමක් වූ කළ විදුරගෙන් වූ පිහිට කාගෙත් පැසසුමට ලක් විය.

නාඳුනන මිතුරා
පාසලේ 7 – 8 පන්තිවල එකට ඉගෙන ගත් ඉතා පැරණි මිතුරෙකු තමා හමුවීමට දිනක් පැමිණියේ විදුරගේ දෛවය වෙනස් කරන්නට විය යුතු ය. ‘‘මාව හඳුනන්න බැරි ද? අපි එකට ඉස්කොලේ ගියේ. එක පන්තියේ හිටියේ. මම ‘චරක’ මතක නැද්ද?” අවුරුදු හතළිහක පමණ අතීතයකින් එළියට පැමිණි මේ අමුත්තා විදුරට මහත් සුන්දර අත්දැකීමක් විය. වතගොත කථා කළ ඔහුට දැන ගැනීමට ලැබුණේ චරක වැඩි අධ්‍යාපනයක් නො ලබා ම සයිප‍්‍රසයේ රැකියාවකට ගිය බවයි. මුල දී දුක සේ කාලය ගත කලත් සයිප‍්‍රස් කාන්තාවක් ද විවාහ කරගෙන එහි ඇඟලූම් කර්මාන්තශාලා කීපයක හිමිකරුවෙකු ද වී විශාල නිවෙස් කීපයකට හිමිකම් ඇති ව චරක ඉතා සුඛෝපභෝගී ජීවිතයක් ගතකරන බව විදුරට පැවසී ය. හොඳ වර්ගයේ වටිනා අත්ඔරලෝසුවක් ද රසවත් පිටරට චොක්ලට් මල්ලක් ද තෑගි ලැබීමෙන් විදුර ද පිනා ගියේ ය. එදා විදුරගේ ගෙදරින් දවල් කෑම කෑ චරක කෑම වේල වර්ණනා කළේ කලකින් මව්රටේ ගෙදර හදන කෑම ආහාරයට ගැනීමට ලැබුණු අවස්ථාවක් ලෙස සලකමිනි. ඉන් පසු ව එළඹි දින ගණන පුරාවට ම විදුරට ද කොළඹ ලොකු ලොකු හෝටල්වලින් ආහාරපාන ලබා දීමට, ගමන් බිමන්වලට සම්බන්ධ වීමට ද අවස්ථාව ලැබුණි. කලකින් හමු වූ මිතුරා විදුරට ගෙන දුන්නේ මහත් සතුටකි. චරක නිර්ලෝභී ව මුදල් වියදම් කළ නිසා සසිප‍්‍රසයේ ඔහුගේ ජීවින තත්වය පිළිබඳ ව විදුරට මහත් විශ්වාසයක් ගොඩනැඟුණි. චරක, විදුර ව සොයා එන්නේ මෙරට සිටින කාලය තුළ පාවිච්චි කිරීම සඳහා කුලියට ගත් සුඛෝපබෝගී වාහනයකිනි. මේ සියල්ලට ම වඩා විදුරගේ සිත ඇදී ගියේ චරක තම ශක්තිය උපයෝගී කරගෙන විදුරගේ කලා කටුයුතුවලට අත හිත දෙන බවට කරන ලද ඉඟිය නිසා ය.

කලාවෙන් පිටස්තර ජාවාරමක්
චරකගෙන් විදුරට ව්‍යාපාරික යෝජනාවක් ඉදිරිපත් විය. චරකගේ ගම රට සංචාරයේ අරමුණ වී ඇත්තේ ඔහුගේ ඇඟලූම් කර්මාන්ත ආයතනවලට මෙරටින් සේවක පිරිසක් ගෙන යාම බැවින් ඒ සඳහා උදව් කරන ලෙස විදුරට ඉල්ලීමක් කර ඇත. මුල් වරට ගෙන යාමට ගැහැනු සහ පිරිමි තරුණ ළමයින් 210ක් අවශ්‍ය බව චරක කීවේ ය. ළමයින්ගෙන් කිසිම අතිරේක මුදලක් හෝ ඒජන්සි ගාස්තුවක් අය නො කරන බවත්, සයිප‍්‍රස් යන සෑම කෙනෙකු ම ගෙවිය යුත්තේ තම ගුවන් යානා ටිකට් පත‍්‍රයේ ගාස්තුව වන රු. 29400/-ක් පමණක් වන බවත් කියා තිබුණෙන් ඉතා වාසිදායක ගනුදෙනුවක් බව විදුරට වැටහුණි. මෙය තමාට හිතවත් අයගේ දරුවන් පිරිසකට සහ නැති බැරි තරුණ පිරිසකට අත හිත දී උදව්වක් කිරීම සඳහා තමාට ලැබෙන මාහැඟි අවස්ථාවක් ලෙස විදුර සිතුවේ ය. එපමණක් නො වේ, එසේ ගෙන යන ළමයින්ගේ මාසික වැටුප් ගෙවීම පටන් ගැනුණු පසු මාස් පතා විදුරගේ ගිණුමට සැලකිය යුතු කොමිස් මුදලක් තැන්පත් වන බව ද සඳහන් කළ නිසා ඒ මුදල්වලින් ටෙලිනාට්‍ය කලාව වඩාත් සාර්ථක ව කරගෙන යාමේ විදුරගේ සිහිනය සැබෑ වන ලකුණු ද පහළ විය.

මිතුරාගේ ඇස් වැසීම
චරක නිතර ම විදුරට දකින්නට සැලැස්වූයේ ඔහු සතු සයිප‍්‍රස් ගමන් බලපත‍්‍රය යි. ඒ නිසා ම චරකගේ ස්ථායිතාව පිළිබඳ සටහනක් විදුරගේ සිත තුළ ඇති විය. මේ වන විට විදුර බෙහෙවින් කාර්ය බහුල විය. ආරංචිය පැතිරත් ම හිතවතුන් ද නෑදෑයන් ද දන්නා නො දන්නා බොහෝ දෙනා ද විදේශ රැකියාවක් ලබා ගැනීමේ අරමුණෙන් විදුර වටා එක් රොක් වන්නට පටන් ගැනුණි. චරක මිතුරා, හදිසියේ පැමිණ ‘‘මම හෙට සයිප‍්‍රස් යනවා සති තුනකින් ආපහු එනවා. ආපහු ලංකාවට එනකොට ළමයි 210 දෙනෙක් සූදානම් කර තියන්න” විදුරට කීවේ ය. විදුරට පොඩි සැකයක් ඇති වුණත් ඇත්තෙන් ම සැකයක් හිතන්නට දෙයක් නැත. සයිප‍්‍රස් යන ගුවන් ටිකට් පත විදුර සියැසින් දැක්කේ ය. මිත‍්‍රයා ගුවන් තොටුපලට ඇරලීමට ගියේ විදුර ම ය. ගුවන්තොටුපලෙන් පිට වන විට තමා සිප වැලඳගෙන සමුගත් බවත්, සයිප‍්‍රසයේ දුරකතන අංක දෙකක් ලබා ගත් බවත් විදුර කියයි. ඇත්තට ම ඔහු ගුවන් තොටුපලට ගොස් ගුවන් ගත විය. විදුර සෑහීමට පත් වෙයි. චරක ගුවන් ගතවී දින තුනකට පසු විදුරගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලැබුණි. කිසිදු අවිස්වාසයක් නැත. එම දුරකතනයේ ලැබෙන ඇමතුම සටහන් වුණේ චරක කලින් ලබා දී තිබූ අංකය ම ය. ‘‘කොයිකටත් කියා කන්ටි‍්‍ර කොඞ් එකත් යොදා මාත් සයිප‍්‍රස්වල චරකට දුරකතන ඇමතුමක් ගත්තා. චරක ඊට කථා කර විස්තර කී නිසා මගේ ටෙලිනාට්‍යවලට සම්බන්ධ අයට මේ කාරණය දැනුම් දී විශ්වාසවන්ත මිතුරාට හොඳ කම්මැලි නැති දක්ෂ සේවක පිරිසක් සොයා දීම සඳහා මා බලවත් වෙහෙසක් ගත්තා”. පැමිණි පළියට ඔහු පුද්ගලයින් තෝරා ගත්තේ නැත. නොයෙකුත් සහතික පරීක්ෂා කොට ඔවුන්ගේ යෝග්‍යතාව ගැන සෑහීමටකට පත් වීමට විදුර සැලකිලිමත් විය. මේ වන විට ඉතා හොඳ තරුණ තරුණියන් 113 දෙනෙකු තෝරා ගෙන ලයිස්තු ගත කිරීමටත්, ගමන් බලපත‍්‍ර සකස් කරවා ඕනෑ ම මොහොතක විදේශ ගත වීමට සූදානම් කිරීමටත් විදුරට හැකි විය. මේ 113 දෙනා අතුරෙන් ටිකට් පතකට මුදල් ගෙවා ගැනීමට වත්කමක් නො තිබුණු ළමයින් 40 දෙනෙකුට පසු ව වැඩට ගොස් වැටුප් ලැබුණා ම ගෙවන පොරොන්දුව මත රු.29,400/- බැගින් තමා අතින් ම ගෙවීමට විදුර භාර ගත්තේ ය. දැන් 113 දෙනෙකු සූදානම් ය. විදුර බලවත් සේ මට කියා සිටි ආකාරයට ගුවන් ටිකට් පත් ගාස්තුව ලෙස රු.29,400/- ක් හැරුණු විට එක සතයක්වත් ළමයින්ගෙන් විදුර අයකර ගෙන නැත.

පොරොන්දු වූවාටත් කලින්, එනම් දින 18ක් ගත වෙත් ම චරක ලංකාවට පැමිණි අතර කෙළින් ම තම මිතුරා හමු විය. විදුරගේ සතුට නිම්හිම් නැති විය. ළමයින්ගෙන් තමා එකතු කර ගත් මුදල එකවර දුන්නත් ‘‘මට සල්ලි එපා. එන්න මා එක්ක ටිකට් ගන්න යන්න” යි පවසා චරක විදුර ද සමඟ ටිකට් පත් මිලයට ගැනීමට කොළඹ කොටුවේ ගුවන් යානා සමාගම් ඒජන්සියකට ගියේ ය. ‘‘එහි ගොස් දින 45කට ඉදිරියට දින තබා ටිකට් පත් සඳහා මුදල් බැඳ පරිගණක පි‍්‍රන්ට් අවුට් එකකුත් අරගෙන මට පෙන්නුවා” යැයි විදුර කීවේ ය. ‘‘ඇත්තට ම මට වැටහුණු විදියට එහි බුකිං කෝඞ් එකකුත් තිබුණා.” විදුර කියයි. වීසා ඇරගෙන එන බව කියා චරක ආපසු සයිප‍්‍රස් ගියේ ය. හරියට ම මාසයකින් චරක ලංකාවට පැමිණිමෙන් විදුරගේ පමණක් නො ව පිටරට යන්න පුලපුලා බලා සිටින තරුණ, තරුණියන්ගේ සිත්වල මල් ඵල ගැන්විණි.එහෙත් සියලූ දෙනාගේ ම බලාපොරොත්තු සුන් වුණේ ඒ එන ගමනේ දී චරක 118 දෙනාට වීසා ගෙනැවිත් නො තිබීම නිසා ය. චරක දින තුනකින් ආපසු සයිප‍්‍රස් කරා ගියේ නො පමාව වීසා එවන බව පවසමිණි. වාසනාවන්තයින් හතර දෙනෙකුගේ නම්වලට වීසා එවා තිබුණි. සතියක් ඇතුළත ඒ හතර දෙනා සයිප‍්‍රස් බලා ගියහ. ඔවුන්ට එහි දී රැකියා ලැබී තිබුණි. විදුරට දුරකතනයෙන් කථා කළ එකී සතර දෙනා තමා සුව සේ පැමිණි බවත් දැන් සයිප‍්‍රසයේ රැකියා කරන බවත් දන්වා ඇත.

උගුලට හසු වී හමාරයි
දින සති මාස ගත විය. ඉතිරි 114 දෙනාට වීසා ලැබුණේ නැත. මේ අතරතුර ඉතිරි පිරිස ද තෝරා ගෙන අවසන් ය. නමුත් මුදල් අයකරගෙන නැත. දැන් දැන් මුදල් ගෙවූ ළමයින්ගෙන් සහ තෝරා ගනු ලැබූ අනෙක් ළමයින්ගෙන් විදුරට විසුමක් නැත. දිනපතා පැයෙන් පැයට දුරකතන පණිවුඩ ලැබේ. මුලින් ඇවිටිලි. එන්න එන්න ම දැඩි කථා බහ බැණුම් දෝෂාරෝපණ විදුරට එල්ල වන්නට පටන් ගැනුණි. චරකගේ දුරකතන නිහඬ ය. ඔහු පිළිබඳ තොරතුරක් වත් නැත. ඉන් පසු චරක ලංකාවට පැමිණියා දැයි වත් නො දනී. දැන් විදුරගේ සිරුර දැවෙයි. ළමයින්ගෙන් පොලිසිවලට පැමිණිලි වැටුණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ ඇරඹුණි. මායාකාරී කපටියා දිවයිනේ නැත. ඔහු සුවසේ සිටී. අරුමය නම් චරක මේ මුදල් වංචා කර ලබා ගත්තේ කෙසේ ද යන්න පිළිබඳ ව අදටත් විදුරට සිතා ගන්නටත් බැරි වීම ය. චරක නම් වූ කපටියාගේ ශූරකම එයින් ම වටහා ගත හැකි ය.

දඬුවමේ කටුක බව
විදුරට විරුද්ධ ව වංචා චෝදනා මත නඩු පැවරුණි. නඩු මගේ දී විදුරගේ සේසතම නැති විය. ළමයින් 59 දෙනෙකු මුල දී පැමිණිලි කර තිබුණත් පසු ව නඩුවට ඉදිරිපත් වූයේ ළමයින් 12 දෙනෙකු පමණි. තමාට ලැබුණු උපදෙස් මත 59 දෙනාට ම තමාගේ අතින් රු. 29400/-බැඟින් රු. 1734600/- විදුර ගෙවා දැම්මේ ය. ඒත් අධිකරණයේ දී අවාසනාවන්ත ලෙස විදුර වංචා චෝදනාවට වැරදිකරු විය. එක් නඩුවකට මාස 6 බැගින් නඩු 59ට අවුරුදු 29කුත් මාස 6ක සිර දඬුවම විදුරට නියම විය. සන්තාපයෙන් කාලය ගත කරන විදුර බන්ධනාගාරය තුළ ද තම කලා කුසලතා නිසා ජනප‍්‍රියතාවක් උසුලයි. බන්ධනාගාරයේ වෙසක් තොරණේ කථාව නිර්මාණය කරන්නේ ඔහු ය. අද බන්ධනාගාරය තුළ නාට්‍ය දර්ශන සහ වෙනත් කලා කටයුතු මෙහෙයවන ප‍්‍රධාන කලාකරුවා විදුර ය.

අසේවනා ච බාලානං
මේ භයානක විපතට විදුර යොමු වුණේ පාප මිත‍්‍ර ඇසුර හේතුවෙනි. අසනිපාතයක් මෙන් ඇද වැටුණු පාප මිත‍්‍රයා නිසි ලෙස තෝරා බේරා ගෙන හඳුනා ගැනීමට සමත් නො වීම විදුරගේ අභාග්‍යය උදා කළේ ය. පාප මිත‍්‍රයා පැමිණෙන්නේ අරුම පුදුම වෙස් මවා ගෙන ය. විදුර මෝඩයෙකු නො වේ. කලාකරුවෙකු වශයෙන් යමක හරි වැරුද්ද වටහා ගැනීමේ හැකියාව මනා ලෙස තිබිය යුතු කෙනෙකි. කලාව තුළින් ම ඔහුට පුළුල් අද්දැකීම් සම්හාරයක් හා මනා හික්මීමක් තිබිය යුතු කෙනෙකි. එහෙත් ඔහුට දහමේ ආලෝකය ලැබී තිබුණා යැයි මට නො සිතේ. දහමේ ආලෝකය ලැබී තිබුණා නම් මේ කපටියාගේ උගුල වටහා ගන්නට විදුරට හොඳින් බුද්ධිය මෙහෙයවන්නට හැකියාව තිබුණි යැයි මට සිතේ. විදුරට කුමක් සිදු වී දැයි තවමත් ඔහුට හිතා ගන්නට බැරි ය.

උගුලේ නො වැටෙන්නට පාඩම්
අංක වශයෙන් ගණන් කොට මේ සිද්ධිදාමය හරහා තමා උගත් පාඩම් හතරක් මට සඳහන් කළේ ඒවා සමාජයේ ඇත්තන්ට හැදෙන්නට නම් අවශ්‍ය දේවල් ලෙස හුවා දක්වමිණි.
01. කපටියෙකු මැවූ සුරංගනා කථාවලට තමා රැවටුණු බව විදුරගේ මතය යි.
02. තමා හොඳින් නො දන්නා, විශේෂයෙන් විදේශයක සිට පැමිණෙන අමුත්තන් කියන දේවලින් ප‍්‍රවේසම් වීම ඔහු ලැබූ තවත් පාඩමකි.
03. තම ලාභ ප‍්‍රයෝජන උදෙසා හිතමිතුරන් වුවත් අමාරුවේ දමන අය ඕනෑ තරම් සමාජයේ සිටී.
04.තමාට හුරු පුරුදු කර්යයන්ගෙන් පිටස්තර කාරණාවලට අත දැමීමේ දී ප‍්‍රවේසම් විය යුතු යි.

අද සමාජයේ වෙස් වලාගෙන එන පුද්ගලයින් නිසා අහිංසකයින් උගුල්වලට වැටී මෙලොවත් අඳුරු කරගෙන පරලොවත් දුක් පීඩා විඳින අය අප අතර කොතෙකුත් සිටිති. ඔබට ද මෙවැනි සක්විතිලා ජීවිතයේ එක් වරක් හෝ හමු වන්නට ඇත. ඔබගේ පිනට මේ වන විටත් ඔබ ඔවුන්ගෙන් බේරී යන්නට ඇත. පසු ගිය කාලය තුළ මායාකාරී බොරුකාරයින්ගෙන් ඔබ නූලෙන් බේරී ගිය අවස්ථා එමට ඇත. ඒ ඔබ බුද්ධිය මෙහෙය වූ අවස්ථාවන් බව ආවර්ජනයෙන් වටහා ගන්නවා නො අනුමාන ය. එහෙත් හෙට හෝ අනිද්දා ඔබ වෙත එන බොරුකාරයා කවුරුන් දැයි හඳුනාගෙන ප‍්‍රවේසම් වීමට විදුරගේ කථාව අගනා පාඩමකි.

වැඩි ලාභ අරමුණෙන් පසුගිය කාලයේ කඩා වැටුණු මූල්‍ය ආයතනයක, තමා විදේශගත ව උපයාගත් රුපියල් ලක්‍ෂ පන්සීයක් පමණ ආයෝජනය කොට සේසත ම අහිමි කර ගත් මගේ මිත‍්‍රයෙකු අද පත් වී සිටින ඉරණම සෝචනීය වේ. ඔහු අද සිහි මඳ ගතියෙන් කල් ගෙවයි. වැඩි තණ්හාව නිසා පුද්ගලයින් අමාරුවේ වැටුණු අපමණ අවස්ථා ඔබ ද දනී.

චරක නම් කපටියා ඒ අහිංසක විදුර කොපමණ නම් මයාවෙන් නො මග යැව්වා ද? ඒ කථාවේ අදියරක් අදියරක් පාසා විමසිල්ලෙන් බලන විට සුළු හෝ අවිශ්වාසයක් විදුරට ඇති නො වන්නට චරක කටයුතු කර ඇත්ද යන වග හොඳින් පෙනේ. පුද්ගලයකු අපට සුන්දර ලෝකයක් මවන්නට ආවොත් හෝ අහිමි දෙයක් ලබා දෙන්නට අවොත් හෝ වැඩි ඇල්මකින් ආවොත් හෝ ප‍්‍රවේසම් වීම කොතරම් අවශ්‍ය ද? මාළුවෙකු බිලි බාගත්තේ ඇමකට කුඩා සතෙකු අමුණා රැවටීමෙනි. කුඩා ඇමකට විශාල මසෙකු හසු කර ගත හැකි බව මසුන් මරන්නා දනී. ඇමට රැවටෙන මසෙකු මෙන් නුදුටු සම්පත් හෝ ආශාවන් පසු පස හඹා යන්නට අප යොමු වුවහොත් අත් වන්නේ බියකරු විපාක බව ලොවුතුරු දහම අපට පසක් කරයි.

(සියලූ නම් ගම් මන:කල්පිත ය.)

සටහන
තරුණ කටයතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්
නීතිඥ සිරිපාල විරිතමුල්ල