හුදෙකලාව ම දිනාගත් ජය ඇති භාග්‍යවතුන් වහන්සේ විමුක්ති සුව විඳිමින් ද කෘතගුණ දක්වමින් ද සති හතක් ම ගත කළ සේක. සාමාන්‍ය සතට කිසිසේත් ම සිතා ගැනීමට පවා අපහසු ඉතා වෙහෙසකර ආයාසකර ගමනකින් පසු, වෙනත් කිසිදු කිසිවෙකුගේ අල්පමාත්‍ර හෝ උපකාරයකින් තොරව අධිකතර වීර්යයෙනුත්, පුරන ලද පාරමිතාවල පුණ්‍යානුභාවයෙනුත් සකල ධර්මයන් පිරිපුන්ව අවබෝධ කොට දිනාගත් සම්බුදු බව ඇතිව සිටි අප මහා මුනිඳුන්ට ‘කම්සුවයෙහි ම ඇලී ගැලී, රාග ද්වේෂයෙන් මඩිනා ලද සිත් ඇතිව සිටින්නවුන්ට මේ ධර්මය දැකීම දුෂ්කර ය. එනිසා දහම් දෙසීම මට ම වෙහෙසක්, ක්ලාන්තයක් ඇති කරනවා පමණ ය.’ කියා සිතීම පුදුම නැත. එදා එම සිතිවිල්ල දුටු සහම්පති මහ බඹහු විසින් සම්බුදු හිරු මඬල හුදෙකලාව ම බැස යන්නට නොදී අරුණෝදය පිණිස ඇරයුමින් මුල පිරී ය. ඉන්පසු බුදු ඇසින් ලොව පියුම් කෙත දුටු අප සදහම් ඇස් ඇතියාණන් වහන්සේ සවන් ඇත්තවුන්ට සැදැහැ සිත් මුදන්ට කියා නිවන් අමා දොරටු විවර කොට, අමා බෙරය වැයීම පිණිස බරණැස ඉසිපතන මිගදාය බලා වැඩි සේක. එසේ වඩින අනන්තයට ම දිනූ අප මුනිඳුන්ට උපක ආජීවක ව අතරමඟ දී මුණගැසුණ මුත්, මංගල දම් දෙසුම ඇසීමේ භාග්‍යයේ නියම හිමිකරුවා ඔහු නොවූ බැවින්, අප මුනිඳුන්ට ‘අනන්ත ජින’ යැයි පවසා පසුව පිළිසරණ ලබන්නෙකුව, සැදැහැ සිත පිහිටුවා ඔහු වෙනතක යන්නට ගියේ ය.

බරණැස මිගදායෙහි නියම හිමිකරුවෝ සිටියහ. සම්බුදුරජුන් ඔවුන් වෙනුවෙන් ම එහි වැඩි සේක. එහෙත් පුදුමෙකි! “මහණෙනි, මනාකොට සවන් යොමවු. මා විසින් අමා නිවන ලබන ලදී. තොපට ද එය පසක් කරනු පිණිස අනුශාසනා කරමි.”‍ යි පැවසුව ද ඔවුන් එයට සූදානම් නැත. දුකින් මිදුමට එකම විසඳුම ලෙස ඔවුන් සැලකූ සිරුරට අධික දුක් පීඩා දීමේ පිළිවෙත අත් හළ කරුණින් දැන් සම්මා සම්බුදුන් ව සැක ය. මේ දිවියේ පමණක් නොව පෙරුමන් පිරූ සසරේ පවා සිය දිවියටත් වඩා ඉහළින් සුරැකි මහා අගනා මැණිකක් අප මුනිඳාණෝ එවිට පස්වග මහණුන්ට විදහා පෑහ. “මහණෙනි, මා මින් පෙර කෙදිනක හෝ ‘මම් රහත්මි, සම්මා සම්බුදු ය, අමා නිවන අවබෝධ කරන ලදී’ යි කියා පවසා ඇත් ද?” යයි විමසූහ. ‘සච්ච නාම’ වූ අප බුදුරජුන්ගේ අනන්ත ගුණ මාණික්‍ය ගබඩාවෙහි සුරැකිව තිබූ ‘සත්‍යය’ නම් වූ අගනා මාණික්‍ය රත්නය දුටුව කල්හි උදක ප්‍රසාද මාණික්‍යය බොර දියෙහි දැමුව කල්හී බොර පහවී නීල විමල පැන් මතුවන්නා සේ කොණ්ඩඤ්ඤයන් වහන්සේගේ සිතෙහි සැක සංකා නම් බොර පහවී සම්බුදුරජුන් කෙරෙහි ප්‍රසාදය නම් වූ නිමල පැන් ජනිත විය. එහෙයින් මඟු‍ල් අමා ඵලයෙහි හිමිකරුවා වූයේ ඔහු ම ය.

එතැන් පටන් දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් උතුර උතුරා පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සුනිල විමල සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රී මුඛ බුද්ධ වචන ගංගාව, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින් ගලා බසින්නට පටන් ගති. එය ඉතා පැහැදිලි ය. අතිශය පිරිසිදු ය. මනා අරුතින් යුතු ය. හරි පිළිවෙළ ය. පිනැති නුවණැතියන්ගේ දෙසවනින් ඇතුල් වී චිත්තාභ්‍යන්තරයෙහි කෙලෙස් ගිනි නිවා සතර අපා බියෙන් ද සියලු‍ සසර දුකින් ද මුදවන්නට අති සමර්ථ ය. මනුලොව පස් දෙනෙකු ද කෝටි ප්‍රකෝටි ගණනින් දෙවි බඹහු ද හා හා පුරා කියා ඒ දහමට කන් යොමු කළහ. බෝසත් පුතු උපන් කෙණෙහි පටන් දෙවි බඹුන් පුන පුනා බලා සිටියේ මෙයට ම නොවේද?

ලොව ඇත්තේ මාවත් තුනක්‍ ය. එයින් කම් සැපයට ඇලී ගැලී වාසයත්, සිරුරට අධික ලෙස දුක් දීමත් යන මේ අන්ත දෙක නිවන පිණිස නොපවතින්නේ ය. අරි අටඟින් යුතු මැදුම් මග පමණක් දහම් ඇස උපදවා දෙයි, ඤාණය උදා කරයි, සංසිඳීම ඇති කරයි, අවබෝධය පිණිස පවතියි, සම්බෝධිය පිණිස පවතියි, නිවන පිණිස පවතියි කියා ලොව කවුරු නම් දැන සිටියේ ද? ලොව දැන සිටියේ මාවත් දෙකකි. ඒ දෙක ම නොමඟ ය. නිවනෙහි අහලකටවත් නොපැමිණේ. කිසිවෙක් නොදත් අලු‍ත් මාවත තනිවම පාදාගත් අප මුනිඳු එමඟින් සසර දුකින් එතෙරව ලෝ සත කෙරෙහි මහා කරුණාවෙන් එදා ඇසළ පුන්පොහෝදා සවස් යාමයේ අත දිගු කොට ගගන’ඹරෙහි ඇසළ සඳ පෙන්වන්නා සේ මනාව අරි අටඟින් යුතු මැදුම් මාවත පෙන්වා වදාළහ.

අප භාග්‍යවතුන් මුලින්ම වදාළෝ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි පළමු අංගය වන සම්මා දිට්ඨිය පිළිබඳව ය. එනම් චතුරාර්ය සත්‍යය ධර්මයන් පිළිබඳව අවබෝධය ය.

“මහණෙනි, දුක නම් වූ ආර්ය සත්‍ය යනු මෙය ය. එනම් ඉපදීම ද දුකකි. ජරපත් වීම ද දුකකි. රෝගී වීම ද දුකකි. මරණය ද දුකකි. අප්‍රිය පුද්ගලයන් හා අප්‍රිය වස්තූන් සමඟ එක් වන්නට වීම ද දුකකි. ප්‍රිය පුද්ගලයින්ගෙන් හා ප්‍රිය වස්තූන්ගෙන් වෙන් වන්නට සිදු වීම ද දුකකි. මේවා නොලබා සිටින්නට කැමති නමුදු එසේ කැමති දේ නොලැබීම ද දුකකි. කෙටියෙන්ම කීවොත් උපාදානස්කන්ධයෝ පස ම දුකකි.”‍ ලොව සමහරු දුකෙහි ම කිමිදී වාසය කළ ද දුකක් තිබේ ද කියාවත් වගක් නැත්තේ ය. ඒ දුක මත සිටගෙන ම එය වසා දැමීමට පංච කාමයෙන් සතුටුව සුළුකල් විසඳුම් සොයති. තවත් සමහරුන්ට දුකක් ඇති වග යන්තමින් දැනුන ද එය හරියට ම මෙයයි කියා විග්‍රහ කර ගත නොහැකි වෙයි. එවන් ලොවක දුක යනු නිවැරදිව ම මෙයයි කියා අප මුනිඳුන්ගේ සොයා ගැනීම සැබැවින් ම පුදුම සහගත නොවේද?

“මහණෙනි, දුක උපදවන හේතුව නම් වූ ආර්ය සත්‍යය නම් මෙය ය. එනම් නැවත ඉපිද විපාක විඳීම පිණිස කර්ම සකස් කර දෙන, ආශ්වාදයෙන් ඇලෙන ස්වභාවයෙන් යුතු යැයි, ඒ ඒ තන්හි ලත් ආත්ම භාවයන් සතුටින් පිළිගන්නා වූ, යම් මේ තණ්හාවක් ඇද්ද එය ය. ඒ කවර තණ්හාවක් ද යත් කාමයන් පිළිබඳ තණ්හාව ය, භවය පිළිබඳ තණ්හාව ය, විභවය පිළිබඳ තණ්හාව ය.”‍

ප්‍රශ්නයක් තිබේ නම් එයට හේතුවක් ද තිබ්බ මනා ය. ඒ හේතුව නිවැරදිව හඳුනාගෙන එය ඉවත් කළහොත් ප්‍රශ්නය විසඳී යාම නිතැතින් ම සිදු වන්නකි. එහෙත් දුකට හේතුව සෙවීම නම් කිසිසේත්ම ලෙහෙසි පහසු කටයුත්තක් නම් නොවේ. එය සොයන්නට ගිය බොහෝ දෙනකු විසින් බොහෝ වැරදි මත මවා ගත්හ. ඇතැමෙක් තමාට ගැහැට කරනවුන් නිසා ය මේ දුක කියා ඔවුන් නසා දුකින් මිදුමට ගොස් ප්‍රශ්නය තව බොහෝ ආත්ම ගණනකට දික්ගස්වා ගනිති. තවත් අය මේ දුක මැව්වේ නොපෙනෙනා බලගතු දෙවියෙක් විසින් යයි සිතා ඔහුට යැද දුකින් මිදුමට නිසරු වෑයමක යෙදී ක්ලාන්ත වෙති. තවත් සමහරු දුක ඉබේම හටගෙන ඇතැයි සිතා සිටිති. මෙසේ පවතින ලොවක දුකට හේතුව නම් තණ්හාවමැයි කියා ඉතා නිවැරදිව ම අප මුනිඳුන් විසින් සොයා ගැනීම අතිශය විශ්මිත නොවේද?

“මහණෙනි, දුක් නිරුද්ධ වීම නම් වූ ආර්ය සත්‍යය නම් මෙය ය. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා යන ඒ ත්‍රිවිධ තණ්හාව ම ඉතිරි නැතිව නොඇලී නිරුද්ධ වීමක් වේ ද අත්හැරීමක් වේ ද දුරින් ම දුරු කිරීමක් වේ ද එයින් නිදහස් වීමක් වේ ද ආලය නැති වීමක් වේ ද එයයි.”‍ දුකින් නිදහස් වීම සොයන ස්වල්ප දෙනා ද නිවන කියා බොහෝ දෙයට රැවටෙති. ඇතැම්හු සිත සමාධිමත්ව නීවරණ යටපත් වූ විට මෙය ය නිවන කියා රැවටෙති. විභවය ම නිවන කියා සමහරු සිතති.

අප බෝසතුන් සිරුරට අධික දුක් දී ක්ලාන්තව වැටී සිටි කල ඇතැම් දෙවිවරු පැමිණ, “මේ වනාහී නිවන අවබෝධ කළ රහතෙකි.”‍ කියා රැවටුණහ. එවන් ලොවක තණ්හාව දුරුවීම ම ය නිවන කියා නිවැරදිව ම අප මුනිඳුන්ගේ සොයා ගැනීම විශ්මයජනක නොවේද?

“මහණෙනි, දුක නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව නම් මෙය ය. ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ම ය. ඒ කවර ආර්ය අෂ්ටාංගික මාර්ගයක් ද යත් සම්‍යක් දැක්ම ය, සම්‍යක් සංකල්පනා ය, සම්‍යක් වචන ය, සම්‍යක් කටයුතු ය, සම්‍යක් දිවි පැවැත්ම ය, සම්‍යක් වීර්ය ය, සම්‍යක් සිහිය ය, සම්‍යක් සමාධිය ය.”‍ ‘මේ විඳිනා දුකින් මිදෙනා මාවත මෙයයි’ කියා ඇතැම්හු සියදිවි නසා ගනිති. හුන්නාටත් වඩා වැඩි තරම් දුකකට පරලොව දී පත් වෙති. සමහරු කම් සැපයෙහි කිමිඳී වසති. ඒ වෙනුවෙන් බොහෝ පව් ද කොට දුගති ගමනින් කෙළවර වෙති. තවත් සමහරු සිරුරට අධික වද වේදනා දී මෙලොව සැපය ද පරලොව සැපය ද නිවන් සැපය ද යන මේ සියලු සැප අහිමි කරගෙන දුගති ගමනින් කෙළවර වෙති. තව සමහරු ඉතා වෙහෙසව අරූප සමවත් උපදවා අරූපී බඹලොව ඉපිද එහි ආයු කෙළවර නැවත සසර දුකට ම වැටෙති.

එවන් ලොවක අප මුනිඳුන් ආලාර කාලාමයන්ගේ හා උද්දකරාම පුත්‍රයන්ගේ නිෂ්ඨාව පවා, “යම් තැනක උපතක් ඇත් ද එතැන ජරා මරණාදී දුක් නිතැතින් ම ඇත්තේ ය.”‍ කියා නුවණින් විමසා අතහැර, “නිවන සඳහා ඇති එක ම ඍජු මාවත අරි අටඟි මඟ පමණකි.”‍ යි කියා තනිවම සොයා ගැනීම කෙතරම් විශ්මිත ද?

මේ සියල්ල සොයා ගත්තේ වෙන කිසිවෙකුගේ උපකාර සහිතව නොවේ. කිසියම් අද්භූත දෙවියෙකුගේ මඟ පෙන්වීමකින් ද නොවේ. මෙතරම් දෙයක් දෙවි බඹුන් මිනිසුන් සහිත ලොවෙහි දැන සිටියේ කවරහු ද? සියල්ලෝ ම චතුරාර්ය සත්‍යය නොදැනීම නම් ඝන අඳුරින් හාත්පස වැසී සිටියවුන්‍ ය. ඒ වග භාග්‍යවතුන් වහන්සේ වදාළේ පෙර නොඇසූ විරූ මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව උන්වහන්සේට දහම් ඇස ද, ඤාණය ද, ප්‍රඥාව ද, ආලෝකය ද පහළ විය කියා ය.

තමන් සැබෑවටම නොදන්නා බොහෝ දෑ “මම මෙය දනිමි.”‍ යි කියා පුරසාරම් බස් දොඩන්නවුන්ගෙන් නම් ලොවට කවර කලකත් අඩුවක් නැත්තේ ය. එහෙත් සත්‍යය තුළ ම පිහිටා, සත්‍යය ම ගවේෂණය කොට, සත්‍යය ම අවබෝධ කොට, සත්‍යයෙන් ම දිනූ ‘සච්ච නාම’ වූ අප බුදුරජුන් එදින මෙසේ සිංහනාද කළහ. “මේ චතුරාර්ය සත්‍යය ධර්මයන් පිළිබඳව පරිවර්ත තුනකින් යුතුව, ආකාර දොළොසකින් යුතුව යථා ස්වභාවය පිළිබඳව ඤාණ දර්ශනය යම්තාක් කල්ම සුවිශුද්ධ ලෙස මා හට යම්තාක් අවබෝධ නොවුණේ ද ඒ තාක් කල් ම දෙවියන්, මරුන්, බඹුන්, ශ්‍රමණ බ්‍රාහ්මණයින් සහිත දෙව් මිනිස් ලෝකය ඉදිරියෙහි මම ‘අනුත්තර සම්මා සම්බෝධිය සාක්ෂාත් කළෙමි’යි ප්‍රතිඥා නොදුන්නෙමි. යම් දිනෙක චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳ ඤාණ දර්ශනය සුවිශුද්ධ ලෙස මා හට යම්තාක් අවබෝධ වූයේ ද එවිට මම ‘අනුත්තර සම්මා සම්බෝධිය සාක්ෂාත් කළෙමි’ යි දෙව් මිනිස් ලෝකයා ඉදිරියෙහි ප්‍රතිඥා දුන්නෙමි.” යි කියා ය. අසත්‍යය පවසන කෙනාගේ බස් කෙරෙහි නිතර අවිශ්වාසය ම වෙලී පවතියි. සත්‍යය ම පවසන කෙනාගේ බස් ගැන සැක නැතිව එය පිළිගත හැක. සත්‍යය නම් භූමියෙහි මැනැවින් ම පිහිටි අප මුනිඳුන්ගේ බුදු වදන් සැක කරන අඥානයා නම් ලොව කවරෙක් ද? “මා හට ඤාණ දර්ශනය පහළ විය. මාගේ චිත්ත විමුක්තිය යළි කිසිදා වෙනස් නොවේ. මෙය අන්තිම උපතයි. මෙයින් පසු නැවත භවයක් නම් නැත්තේ ය.”‍ කියා අප භාග්‍යවතුන් නැවත ද සිහනද පැතිරවූ සේක.

දහම්සක මෙසේ කරකැවෙද්දී මනාකොට දෙසන ලද දහමකින් ලැබිය යුතු අමාඵල ලැබුණි. ‘හේතූන් නිසා හට ගන්නා ස්වභාවයෙන් යුතු යමක් ඇත්ද, ඒ හේතූන් නැති වීමෙන් එයින් හටගත් දෙය නිරුද්ධ වන ස්වභාවයෙන් යුක්ත ය.’ කියා මුලින් ම කොණ්ඩඤ්ඤයන් වහන්සේ තුළ අවිද්‍යා දුහුවිලි රහිත වූ මිසදිටු මලකඩ රහිත වූ දහම් ඇස පහළ විය. එලෙසින් ම දහ අට කෝටියක් බඹ පිරිසට ද දහම් ඇස පහළ විය.

පරම සත්‍ය වූ අසිරිමත් දහමෙහි ආනුභාවය දරාගත නොහැකි ව පෘථිවිය පමණක් නොව දසදහසක් ලෝක ධාතූන් අතිශයින් සැලෙමින් කම්පා වන්නට විය. දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා ගිය අපමණ වූ උදාර ආලෝකයක් ලොවෙහි පැතිර ගියේ ය. “භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස ඉසිපතන මිගදායේ දී අනුත්තර වූ ධර්ම චක්‍රය කරකවන ලද්දේ ය. මෙය යළි ශ්‍රමණයෙකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ ලෝකයෙහි අන් කවරෙකුට හෝ ආපසු කරකැවිය නොහැක්කේ ය.”‍ කියා පොළෝවැසි දෙවිවරුන් නැඟූ දහම් ඝෝෂාව පිළිවෙළින් අකනිටා බඹලොව දක්වා ම පැන නැංගේ ය. කෙලෙස් සහිත කෙනෙකු විසින් කිසියම් ප්‍රකාශයක් කරනු ලබද්දී මෙතරම් ම නොව මෙයට ඉතා අල්පතර හෝ කිසියම් හාස්කමක් සිදු වුවහොත්, “බලව මගේත්, මාගේ වචනයේත් ආනුභාවය. දැන් දනුව මා කවරෙක් ද කියා.”‍ යයි උදන් අනනු නිසැක ය. එහෙත් මද මාන්නාදී සියලු‍ කෙලෙසුන් නැසූ මහා කාරුණික අප මුනිඳුන්ගේ මුවින් පිටවූයේ ඊට හාත්පසින් ම වෙනස් උදන් ඇනීමකි. එනම්, “භවත් කොණ්ඩඤ්ඤ තෙමේ ඒකාන්තයෙන් ම අවබෝධ කළා. භවත් කොණ්ඩඤ්ඤ තෙමේ ඒකාන්තයෙන් ම අවබෝධ කළා.”‍ කියා ය. අප නිකෙලෙස් මුනිඳුන්ට සතුට දසදහසක් ලෝ ධාතුව සැලී යාම ගැන නොවේ. දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා පැතිර ගිය උදාර ආලෝකය ගැන ද නොවේ. අකනිටා බඹලොව තෙක් පැතිර ගිය ඝෝෂාව ගැනත් නොවේ. මනුලොව එකම එක තැනැත්තෙක් සියලු‍ කෙලෙසුන් නසා අරහත්වයට පත් වීම නොව, සතර අපා දුකින් සදහටම නිදහස් ව සෝතාපන්න ඵලයට පත් වීම ගැන ය. අහෝ! මෙවන් මහා කරුණාවක්! අපටම අනුකම්පාව දැක් වූ, අපටම කරුණාව දැක් වූ, අපේ ම සැපය, අපේම දුකින් මිදුම පත පතා සිටි, එය ම සිත සිතා සිටි නිකෙලෙස් හදමඬලකින් යුත් මහා කාරුණිකයන් වහන්සේගේ මෙවන් මහා කරුණාවක්! එය මහා සාගරයට වැඩි ය. අනන්ත ආකාසයට ද වැඩි ය. කොටින්ම කිවහොත් උපමා විරහිත ය. දීපංකර පාද මූලයේ දී හස්තසාර මැණිකක් බිම හෙළන්නා සේ අතට පත් අරහත්වය අත්හැර මේ තාක් දුක් කම්කටොලු‍ විඳ පෙරුම් දම් පුරමින් පැමිණියේ එයට ම නොවේ ද?

ලොව අන් කවර ශාස්තෘවරයෙකු කෙරෙන් දකින්නට ද අප මෙවන් මහා කරුණාවක්? ලාභ සත්කාරයන්ට නොඇලෙන බවක්? එහෙයින් මුළු හදවතින් ම සරණ යමු. නැවත නැවත ද ඒ නිකෙලෙස් මහා කාරුණිකයාණන් වහන්සේ ව සරණ යමු. මුළු හදවතින් ම සියලු‍ දුක් නසනා, සැප සතුට කැන්දනා ඒ සිරි සදහම් මුළු හදවතින් ම සරණ යමු. මහා කාරුණික ළයින් උපන්, දහමින් නිපන් අරිය මහා සඟරුවන ද සරණ යමු. වෙර වඩමු නිතින් දකින්නට ඒ මුනිවරුන් දුටු සිව්සස් දහම්. මේ රැස් කරනා සියලු‍ පින් ඒ පිණිස ම හේතු උපකාර වේවා!

ඇසුර – දම්සක් පැවතුම් සූත්‍රය
‘අච්ඡරිය මනුස්සෝ’ ග්‍රන්ථ රත්නය

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.