සිංහල ජාතියේ සම්භවය හා විකාශනය ඇතුළු පරිච්ඡේද එකසිය විසි නවයකින් සමන්විත වූ අප රට විශිෂ්ටතම ඓතිහාසික ලේඛනය වන මහාවංශය ලෝක උරුමයක් බවට පත් වීම වූ කලී ශ්‍රේෂ්ඨ උත්තමයන්ගෙන් පැවත එන ලාංකේය සිංහල ජනකායගේ අභිමානයට හේතුවක් වන්නේ ය. අවුරුදු දෙදහස් පන්සියයකට අධික අඛණ්ඩ ඉතිහාසයකට උරුමකම් කියන දේශයක් හා ජනකායක් ගැන ලියවුණු ලොව පවත්නා එකම ග්‍රන්ථය මහාවංශය බව ඉතිහාසඥයන්ගේ නිගමනයයි. භාරතීය ඉතිහාසයේ පවා සැඟව ගිය තතු අනාවරණය කර ගැනීමට උදවු වූයේ අපගේ මහාවංශයයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලය සතු මහාවංශය පුස්කොළ පොත ලෝක උරුමයක් ලෙස නම් කරන ලෙස විශ්වවිද්‍යාලය මඟින් මෙයට දෙවසරකට පෙරදී යුනෙස්කෝ සංවිධානයට කළ යෝජනාවක ප්‍රතිඵලයක් වශයෙනි මෙලෙස මහාවංශය ලෝක වාර්තාමය උරුම ලැයිස්තුවට (UNESCO Memory of the World Register) ඇතුළු කොට ඇත්තේ. ඒ අනුව පසුගිය ජුනි 24 වන දින යුනෙස්කෝ නිල වෙබ් අඩවියට මහාවංශය ඇතුළත් කරන ලදී. මෙලෙස ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කළ මහාවංශය පුස්කොළ පොත පත්තිරු 237කින් සමන්විත වේ.

සිංහලද්වීපයේ ආරම්භක රාජධානිය වූ අනුරාධගාම හෙවත් අනුරාධපුරය සියවස් දහයක් පමණ කාලයක් සෑම අතින්ම සශ්‍රීකව පැවතිණ. පස්වැනි සියවස වන විට එහි පැවති ශාස්ත්‍රීය ප්‍රබෝධය කොතෙක් ද යත් ලෝකයේ බොහෝ රටවල විද්වතුන් පවා ශාස්ත්‍රෝද්ග්‍රහණය උදෙසා අනුරාධපුරයට පැමිණි බව විදෙස් දේශාටන වාර්තාවලින් හෙළි වෙයි. එම අවදියේ දිග්සඳ පිරිවෙනේ වැඩ විසූ මහාවිහාරවාසී මහානාම ස්වාමීන් වහන්සේ එවක පැවති නිසැක මූලාශ්‍ර ඇසුරු කොටගෙන මහාවංශය ලියූ බව එම ග්‍රන්ථයෙහි පළමු පරිච්ඡේදයේ පෙන්වා දී තිබෙයි. ඓතිහාසික මූලාශ්‍රයන්හි කිසි අඩුවක් නැතිව, ඇදුරු පරපුරෙන් පරපුරට අඛණ්ඩව පැවත ආ සත්‍ය තොරතුරු සිය කෘතියෙහි ඇතුළත් කළ බව උන්වහන්සේ එහි දෙවැනි ගාථාවෙහිලා සඳහන් කළහ.

මහාවංශය ලියූ කර්තෘන් වහන්සේ ම එසේ සඳහන් කොට තිබිය දී, මෑත යුගයේ සියවස් හතරක විදේශාධිපත්‍යයේ ඵල වශයෙන් පරගැති චින්තනයකට හුරුවී සිටින අප රට ඇතැම් ජනයා, මන:කල්පිත තොරතුරු ඇතුළත් වංශකථාවක් ලෙස යටපත් කොට තැබූ මහාවංශය නම් වූ සිංහලයන්ගේ සැබෑ ඉතිහාස කථාව ව්‍යාජ පුරාවෘත්තයක් නොවන බව ලෝක වියතුන් විසින් දැන් පිළිගනු ලැබ තිබෙයි.

සයවැනි සියවසේ සිට විසි එක්වැනි සියවස දක්වා එක්දහස් පන්සිය වසරක් පාලි භාෂාවෙන් රචිතව පැවති මහාවංශය නම් වූ මෙම සිංහල දේශයේ ශ්‍රේෂ්ඨ උත්තමයන්ගේ පරම්පරා කථාවේ සිංහල රාජධානියේ අවසානය දක්වා වූ කොටස 2016 වසරේ වෙසක් පුන් පොහෝදා සිට සරල සිංහල බසින් පමණක් කියවා ප්‍රසාද සංවේගය උපදවා ගැනීමේ භාග්‍යය අපේ රටේ ජනතාවට උදා වූයේ පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමිපාදයන් වහන්සේ තුළ පවත්නා පරහිතානුකම්පාව නිසාමය.

සිය දේශය ඇතුළු රාජ්‍යය සම්බුද්ධ ශාසනයට පුදා සාමකාමීව පවත්වාගෙන ගිය පාලනයකට ඔරොත්තු දිය නොහැකි දරුණු ආක්‍රමණ දකුණු ඉන්දියාවෙන් කඩා වැදීම හේතු කොටගෙන සිංහල රාජධානියේ අනුරාධපුර ශ්‍රී විභූතිය බිඳ වැටුණු අයුරුත්, කාලිංග මාඝ ආක්‍රමණයෙන් එක් විසි වසරක් ලද දරුණු පීඩනය නිසා සිංහලයන්ට පෙර ලෙස නැගී සිටින්නට නොහැකි වූ අයුරුත් මහාවංශයේ නව සිංහල පරිවර්තනයේ ප්‍රස්තාවනාවෙහිලා කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ පෙන්වා දී තිබේ. සිංහල නායකයන්ගේ කුලල් කා ගැනීම නිසාත්, පරගැති පාලනය නිසාත් කොන්ද බිඳී ගිය ජනකායකට නායකත්වය දීමට සිංහල රජ පරපුරේ කෙනෙකු නොමැති වීම හේතුවෙන් දකුණු ඉන්දීය වඩුග රාජ පරපුරකට ලක් සිහසුනේ උරුමය පැවරීමෙන් සිංහල රාජ වංශය නැත්තටම නැතිවී ගිය අතර සම්බුදු සසුනේ පැවැත්මට ද සම්බාධක එලඹිණ. අනතුරුව රටේ පාලනය සියතට ගත් අධිරාජ්‍යවාදීහු සිංහලයන් ලවාම රටේ විනාශයට උපායික මාර්ගයන් යෙදීමේ ඵල වශයෙන් අපට අත්වූ ඛේදනීය ඉරණම කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමිපාදයන් වහන්සේ මෙසේ ඉදිරිපත් කරති.

“පැරණි සිංහලයන් සතුව තිබූ ශිල්ප ශාස්ත්‍ර ක්‍රම, කෘෂිකාර්මික ක්‍රම, වාරිමාර්ග ක්‍රම සියල්ල පිළිබඳව වූ ඥානයෙන් දැන් සිංහලයෝ තොර වී සිටිති. ඔවුන්ට එයින්
වැඩක් ද නැත. ඔවුහු මහාවංශයට ද සිනාසෙති;

එය ප්‍රලාපයකැයි අපහාස කරති. මේ වනවිට ලංකාවම ණය බරින් මිරිකී ගොස් තිබේ; රෝග පීඩාවලින් ආතුර වී තිබේ. ශ්‍රද්ධාවෙන් හීන වී සිටියි; උඩඟුකමින් නන්දොඩවමින් සිටියි.

සිංහලයන්ගේ අනාගතය එතරම් දුරකට ගෙන යා හැකි වටපිටාවක් සපයන බවක් නොපෙනේ.”

(මහාවංශය සරල සිංහල අනුවාදය -14 පිටුව)

මුළු ලෝකයම විශ්මිත කරවන අන්දමේ වැව් හා යකඩ තාක්ෂණය පවා ක්‍රිියාත්මක වූ ඉතිහාසයක් තිබූ ජනකායකට අත් වුණු ඛේදනීය ඉරණම මෙසේ පෙන්වා දෙන්නෝ විරලයහ. පැරණි රජ දරුවන් විසින් ගල් සන්නස් මඟින් පවරා දී ඇති දෙදහස් වසරක සිංහල බෞද්ධ උරුමය වෙනත් මිසදිටු ආගම් අදහන්නන් වෙත පවරා දීමට තරම් වත්මන් රාජ්‍ය නායකයන් පෙළඹී සිටීම රටේ අවාසනාවකි. කිරිබත්ගොඩ ඤාණානන්ද ලොකු ස්වාමීන් වහන්සේ තම මහාවංශය සිංහල පරිවර්තනයෙන් කාටත් තේරෙන සරල සිංහල බසින් පෙන්වා දී තිබෙන අප මුහුණ දී ඇති මේ අවාසනාවන්ත ඉරණම ගැන ඉඟියක් මීට පනස් වසරකට පෙර මාර්ටින් වික්‍රමසිංහ මහතා ලියූ ‘මානව විද්‍යාව හා සිංහල සංස්කෘතිය’ නමැති ග්‍රන්ථයෙහි ද දක්වා තිබුණි. අපේ රටේ ඉතිහාසය, ආගමික හා සමාජ පරිසරය, පොදු ජනයාගේ ජීවිතය ගැන නොදත් නායකයන් හා අනුගාමිකයන් නිසා අප රටට අත්වන අනාගත ඉරණම ගැන ඔහු එදා මෙසේ පැවසීය.

“සිංහලයන්ගේ අනාගතය ඉතා අඳුරු ය. වර්තමාන අවදානම් තත්ත්වය ගැන දේශපාලනඥයන්, ඉන්දියාවේ බමුණන් අනුකරණය කළ පඬුවන් හා යතිවරයන්ද පුවත්පත් ද වගකිව යුතුය.”

(මානව විද්‍යාව හා සිංහල සංස්කෘතිය 1973 – 43 පිටුව)

ථේරවාදී බුදු දහමත්, රට ජාතියත්, දකුණු ඉන්දීය ද්‍රවිඩ ආක්‍රමණිකයන්ගෙන් මුදාගැනීම සඳහාත් – මහාවිහාරයේ ආගමික සම්ප්‍රදායන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහාත් සුදුසු ජාතික නායකයෙකු පහළ කර ගැනීමේ අවශ්‍යතාවය මහාවිහාරවාසී මහානාම හිමියන් තුළ පහළ විය.

ඒ සඳහා මෞර්ය වංශික ධාතුසේන කුමාරයා පැවිදි කොට තම දිග්සඳ පිරිවෙනේ ශිල්ප ශාස්ත්‍ර ලබා දී පෝෂණය කළ උන්වහන්සේගේ අරමුණ වූයේ, දුටුගැමුණු රජතුමා එළාර ද්‍රවිඪ ආක්‍රමණික රජු පරදවා මහාවිහාරය නගා සිටවූ ආකාරය සිය සිසු කුමරාට ආදර්ශයක් වශයෙන් ඉදිරිපත් කිරීම ය.

එකී වස්තු බීජය ශ්‍රේෂ්ඨ ජාතියක ප්‍රෞඪ ඉතිහාසය සනිටුහන් කරන මහා වංශ කථාවක් බවට පත් විය.

දුටුගැමුණු කුමාරයා සිය වංශකථාවේ වීර චරිතය වශයෙන් ගෙන සම්බුද්ධ පරිනිර්වාණයේ (ව්‍යවහාර වර්ෂ පූර්ව 543) සිට ව්‍යවහාර වර්ෂ 302 මහසෙන් රාජ්‍ය සමය දක්වා සිංහලේ ඉතිහාසය ලියන්නට මහානාම හිමියෝ සනිටුහන් කොට ගත්හ. එසමය වූ කලී අනුරාධපුර යුගයේ ශාස්ත්‍රෝන්නතිය පරිපාකයට පත්ව පැවති සමයයි. එවක පැවති දෙස් විදෙස් මූලාශ්‍ර රාශියක් ඇසුරු කළ උන්වහන්සේ එවක පාලි බසින් ලියැවී තිබුණ සිංහල දේශයේ ඉතිහාස කථාවක් වූ සීහලට්ඨ කථාව ප්‍රධාන මූලාශ්‍රය කොට ගත්හ. සිංහල භාෂාවෙන් ලියැවුණ අටුවා ග්‍රන්ථ රාශියක් එවක පැවති අතර ඉන් මහටුවා, මහපසුරු අටුවාව හා කුරුන්දි අටුවාව ප්‍රධාන විය. තමන් වහන්සේ එතරම් ඇලුම් නොකළ මහසෙන් රජු ගැන පවා මහානාම හිමියන් සඳහන් කොට තිබීමෙන් පෙනී යන්නේ මහාවංශයේ නිරවද්‍යතාවයයි. මහසෙන් රජු වැව් දහසයක් හා එක් ඇළක් කරවූ බව එහි කියැවී තිබෙයි.

මහසෙන් රජුගේ සිට මහා පරාක්‍රමබාහු රාජ්‍ය සමයේ අවසානය දක්වා වූ මහාවංශයේ දෙවැනි කොටස රාජගුරු ධර්මකීර්ති හිමියන් විසින් ද එතැන් සිට කීර්ති ශ්‍රී රාජසිංහ රජු දක්වා කොටස ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිත හිමියන් විසින් ද ලියැවිණි. රාජාධි රාජසිංහ රජ සමයේ (1736) සිට ශ්‍රී වික්‍රම රාජසිංහ රජු (1815) දක්වා වූ මහාවංශයේ කොටස රචනා කරන ලද්දේ හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් සහ බටුවන්තුඩාවේ ශ්‍රී දේවරක්ඛිත පඬිතුමන් යන දෙපළ විසිනි.

සරල සිංහල භාෂාවෙන් පමණක් ලියැවුණ මහාවංශ පරිවර්තනයක් හෝ අනුවාදයක් හෝ මෙතෙක් අපට නොතිබුණි. අප පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද ලොකු ස්වාමීන් වහන්සේ සිය මහාවංශ අනුවාදය ලිවීමේ දී ඒ සියලු ග්‍රන්ථ ඇසුරු කළ බව ප්‍රස්තාවනාවෙහි ලා සඳහන් කොට ඇත. පෙරවදන අවසානයෙහි උන්වහන්සේ මෙසේ සඳහන් කරති;

“මහාවංශය කියවීමේදි ඇතැම්විට ශ්‍රද්ධාවෙන් අපගේ සිත පිනායයි. සිත පහන් වෙයි. එමෙන් ම ඇතැම් රජවරුන් විසින් කරන ලද නොයෙකුත් ක්‍රියාවන් ද ඇතැම්විට සිදුවන ලද කුමන්ත්‍රණයන් ද විශේෂයෙන් සිංහල ජාතියටත් රාජ්‍ය තන්ත්‍රයටත් සිදුවන විනාශයන් කියවනවිට කෙලෙස්වල ඇති භයානක ස්වභාවයත් සංසාරයෙහි ඇති නීච ස්වභාවයත් ධර්මයෙන් තොර වූ අසත්පුරුෂ ඇසුරේ භයානකකමත් නිතැතින් ම වැටහෙයි. එවිට අප තුළ ධර්ම සංවේගයක් හටගනී. මහාවංශ ප්‍රථම භාගයෙහි කර්තෘවර මහානාම මාහිමියන් වහන්සේ අපට යෝජනා කරන පරිදි ඒ ඒ තැන් වලදී ප්‍රසාදයත් සංවේගයත් ඇති කරගත මැනව.”

(මහාවංශය 3 – ප්‍රස්තාවනාව, xii පිටුව)

දයාපාල ජයනෙත්ති.