දෙදහස් වසරකට අධික කාලයක සිට කවියෙන් ගීතයෙන් බුදුගුණ වැනූ ජනකායක් සිංහල දේශයේ හැර වෙනත් කිසිදු රටක නොමැති යැයි කිය හැකි තරම් නිදසුන් රැසක් අප සාහිත්‍යය වංශයට හිමි ය. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ විසින් ශ්‍රී සම්බුද්ධ ශාසනය ලක්දිවට හඳුන්වා දෙනු ලැබූ දා සිට මෙරටවාසි ජනකායගේ ආධ්‍යාත්මය බුද්ධාභිවන්දනාවට යොමු වුණු පුදසුනක් බඳු විය.

එදා සිට ගාථාවෙන් කවියෙන් ගීතයෙන් බුදුගුණ ගැයූ ගායක පරපුරකගේ බිහි වීම ගැන කියන ලිඛිත සාධක අනුරාධපුර රාජධානි සමයේ ආරම්භක යුගයේ සිට ම හමුවේ. සිංහල බසින් ලියැවුණු පැරණිම හෙළ අටුවා ග්‍රන්ථයක් වූ පරමත්ථජෝතිකා අට්ඨකතාවේ ඇතුළත් වූයේ බුද්ධානුස්සති භාවනාව ඇතුළත් ගීත ගායනා කරමින් ඇල්කෙත් රකින කාර්යයේ යෙදුණ කතුන්ගේ ගී අසා සැටනමක් අරහත් ඵලයට පත් වූ වග ය.

මෙම ආශ්චර්යජනක සිදුවීම දක්නට ලැබුණේ දුටුගැමුණු රාජ්‍ය සමයේ දී හෝ තදාසන්න වකවානුවකැයි සිතිය හැක්කේ හෙළටුවා බිහි වූ යුගය ගැන මෙනෙහි කරන විට ය. එදවස ඇල් කෙත් රකින කාන්තාවන් ගායනා කළේ ජාති, ජරා, මරණ ප්‍රතිසංයුත්ත ගීතයන් බව එම අටුවා කතාවෙන් හෙළි වෙයි. එම ගීතය අසා ඒ අහළ පහළ වැඩහුන් භාවනායෝගී භික්ෂූන් වහන්සේ සැටනමක් අරහත්වය ලැබූ බව එහි කියවෙයි.

එදා සිට මෑත යුගය දක්වා බුදු ගුණ, දහම් ගුණ, සඟ ගුණ ඇතුළත් කවි කී ගැමියන්, ජනකවියන්, පඬිවරුන් පමණක් නොව පැරැණි රජවරුන් පවා සිය හද බුදු පුදට පුදසුනක් කළ අයුරු හා ශ්‍රාවක ජනයාගේ ආධ්‍යාත්මය සුපහන් වූ අයුරු සනාථ කිරීමට ඉවහල් වන සාධක අපගේ කවි ගී සාහිත්‍ය වංශය පුරා විසිර පැතිර පවතී. පස්වැනි කාශ්‍යප රජතුමා “සියබස්නෙන් බුදුගුණ ගැයූ කවියකු” යැයි සෙල්ලිපියක ලියා තැබූ සැටි සිහි කරන කල්හි ඒ දවස විසූ රසික ජනතාව ගැනත්, ඔවුන් ලියූ කියූ ගී කවි ගැනත් වටහා ගත හැකි ය.
බුදුගුණ මියුරු ලෙස ගායනා කිරීමේ සිරිත කෝට්ටේ යුගයේ දී වඩාත් ප්‍රචලිතව පැවති බව සන්දේශ සාහිත්‍යයේ ප්‍රකට ව පෙනේ. සැළලිහිණි සන්දේශයේ එන පහත කවිය ඊට හොඳ නිදසුනකි.

“මනහර නා මෙනවියනිඳ ළවැලි පිට
ගෙන මිණි වෙන තත් නියඟින් මැද රුවට
කණ හෙවැ කියන බුදුගුණ ගී මියුරු කොට
සැනහෙව කැලණි ගඟබඩ මඳ කලක් සිට”

ජනකායගේ ප්‍රසාද සංවේගය වඩාත් තීව්‍ර කිරීම සඳහා සංගීත ඛණ්ඩයන් ද භාවිත කළ අයුරු එම කවියෙන් පැහැදිලි වෙයි. සම්බුදු ගුණ ඇතුළත් ගී ගායනය සුභාවිත උරුමයක් සේ පවත්වාගෙන ඒමට මෑත යුගයේ පුරෝගාමී සංගීතවේදී ගීත රචකයෝ සමත් වූහ. සෞන්දර්යය ජීවන මාධුර්යයට මුසු කොට එය ශ්‍රාවකයාගේ ආධ්‍යාත්ම පරිශෝධනය සඳහා යොදාගැනීමට බෞද්ධ සම්ප්‍රදායෙන් ලද නිරාමිස පෙළඹවීම බෙහෙවින් බලපෑ ය. එසේ බුදුගුණ හෙළ ගීයට මුසු කළ පුරෝගාමී සිංහල ගායන ශිල්පීන් අතුරෙන් ආනන්ද සමරකෝන් සංගීතවේදී ගායකයාණන්ට හිමි වන්නේ ප්‍රමුඛස්ථානයකි. සරල සිංහල බසට පාලි සංස්කෘත වදන් අවස්ථාවෝචිතව ගායන රිද්මයට පිවිසවමින් ඔහු රචනා කොට ගැයූ බුදු ගුණ ගීත අතුරෙන් අතිශය භාවපූර්ණ ගීතය වන්නේ ‘පුදමු මේ කුසුම්’ නැමැති රමණීය වූ ද භාවපූර්ණ වූ ද වදන් ගෙත්තම ය.

පැරණි කවි ලැකියෙන් මෙන් ම ජන කවියෙන් ද නූතන බැවහැර බසින් ද නොමඳ හික්මීමක් ලැබූ ගී පදරචක සංගීතවේදී ගායන ශිල්පියකු වූ ආනන්ද සමරකෝන් පුන් පොහොය දිනක බුදුරජාණන් වහන්සේගේ සිරිපා පියුම් නැමැද පවත්වන බුද්ධානුස්සති ගීත පූජෝපහාරය මෙසේ ය.

මල් පූජා කොට බුදුරජාණන් වහන්සේගේ සිරිපා වැඳීමෙන් හද තුළ ඉපිල ගිය භක්ති පූර්වක ප්‍රමෝදය, ‘වැඳ බැතියෙන ප්‍රීති සාගරේ’ යන ගීත පාදයෙන් ජනිත වෙයි. අනතුරුව ගැයෙන, ‘සුගන්ධ පුෂ්ප මාලා අතිරම්‍ය වර්ණයෙන් සැදී’ යන ගීත වැලෙන් ජනිත කෙරෙන්නේ පූජා කළ පුෂ්පයන්හි සෞන්දර්යාත්මක අගය හා උතුම් පොහොය දිනයෙහි ලෝකනාථයන් වහන්සේගේ පා පියුම් අබියස එමල් පුද කිරීමෙන් ලද ප්‍රමුදිත භාවය යි, ප්‍රීතිසාර ආධ්‍යාත්මික ප්‍රමෝදය යි.

පුන් පොහොය දිනේ උතුම් බව හැඟවීම සඳහා ‘ශුද්ධ වූ’ යන වචනය එතනට පිවිසියේ උචිත කාලය ගැනීම සඳහා වුව ද ආනන්ද සමරකෝන් උපතින් ම ලද කිතුනු ආභාෂය නිසා ද විය හැකි ය. ශුද්ධ වදන් කිතුනු සංස්කෘතිය හා බැඳී පවතින්නකි. එසේ වුව ද ඔහු බෞද්ධ සංස්කෘතිය හා සුසංගත වූ ජන ජීවිතයෙන් හා ජන වහරින් සුහද හික්මීමක් ලද හෙයින් තම ගීතවලින් බුද්ධාභිවන්දනයට යොමු කළේ බොදුනු උවසුවකු පරිද්දෙනි. ‘ශුද්ධ වූ’ යන වහර බුදුසමයට ආගන්තුක වුව ද මෙතැන දී එය සෙසු වදන් හා සුසංගත ව ගීතයට විභූෂණයක් වී තිබේ.

බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා කෙරෙහි පතළ මහා කරුණාවෙන් යුතුව පෙන්වා වදාළ උතුම් දහම් මඟ ගීතයෙහි අන්තර් කොටසින් මතු කරන්නේ සැදැහැයෙන් ඉපිල ගිය සිතක ආධ්‍යාත්ම ප්‍රීතිය දැනවෙන පරිද්දෙනි.

‘මෝහාග්නියේ වැටී දැවෙනා
නේක ලෝ ජනා
නවා අමා දහම් නදියේ නිවන් මඟ යොදා’

මෝහයෙන් පීඩා විඳින ලෝක සත්වයා නිවන්මඟට යොමු කළා වූ බුදුරජාණන් වහන්සේ දොහොත් මුදුන් දී නමදිමු යයි පැවසීම, තමන් ද ඒ මඟට පිවිසිය බව ඇඟවීමකි. ‘මේ මල් මැලැවී යතේ’ තමන් විසින් ම පූජා කරන ලද අතිරම්‍ය වර්ණ සුගන්ධ පුෂ්පයන් මැලවී යන බව පවසන සැදැහැවත් උවසුවා ඉන් අනතුරු ව එය ම අරමුණු කොට ජීවිතයේ අනිත්‍යතාවය වෙත ශ්‍රාවක සිත යොමු කරවයි.

‘අප කුණු කය එලෙස වේ
විළිකුන් දඹ ඵල ලෙසේ
තිර නැති සසරේ’

ගැමි වහර හා සුසංගත වියත් යෙදුම් ගීතයේ ප්‍රසාද මාධුර්යය තියුණු කරවමින් ජීවිතයේ අනියත බව පිළිබඳ ගැඹුරු දහමක් ඉදිරිපත් කරයි. සසරේ නොතිර බව පළ කිරීම සඳහා යොදා ගන්නා ලද ‘විළිකුන් දඹ ඵල’ උපමාව, ‘කුණු කය’ යන උපමේය හා ගැළපී යන අයුරු අපූරු ය.

උතුම් බුද්ධ රත්නය උදෙසා පූජා කරන ලද සුවඳවත් විසිතුරු මල් මැලැවී යන අයුරු බලා අප හැම දෙනාගේ ජීවිත ද එලෙස නැසී වැනසී යන්නේ ය යන ධර්මතාව පසක් කොට දෙන මහඟු ධර්ම පර්යාය ශ්‍රාවක සිත් සතන් වෙත යොමු කරවමින් ගීතය නිමාවට පත් වෙයි.

‘මෙලොවින් යන කල නැසී
ගෙන යන දේ නැත කිසි
කළ පින් පව් මිස ලොවේ
මුනිදා දෙසුවේ… පුදමු මේ කුසුම්…’

මෙලොව පරලොව දෙලොවට ම වැඩදායක වන සත්පුරුෂ ජීවිත ගත කිරීම සඳහා උතුම් සම්බුද්ධ දේශනා ඉවහල් වන අයුරු සිහිපත් කරවන මෙම මහාර්ඝ ගීතය බුද්ධානුස්සති ධර්ම කාව්‍යයක් වශයෙන් සදාතනික අගයකින් යුතු වන්නේ ය.

පුදමු මේ කුසුම්
ත්‍රෛලෝකනාථ පාද පද්ම වැඳ බැතියෙන ප්‍රීති සාගරේ
පුදමු මේ කුසුම්

සුගන්ධ පුෂ්පමාලා
අතිරම්‍ය වර්ණයෙන් සැදී
ශුද්ධ වූ මේ පෝදා ලෝනා නමින් පුදම්
පුදමු මේ කුසුම්…

මෝහාග්නියේ වැටී දැවෙනා නේක ලෝ දනා
නවා අමා දහම් නදියේ නිවන් මඟ යොදා
භාග්‍ය වූ තිලෝනා සිරි ගෞතම මුනිඳා
දොහොත් මුදුන් දිදී නමදිමු මෝක්ෂේ පතා
පුදමු මේ කුසුම්

මේ මල් මැලැවී යතේ අප කුණු කය එලෙස වේ
විළිකුන් දඹ පල ලෙසේ තිර නැති සසරේ
මෙලොවින් යන කල නැසී ගෙනයන දේ නැත කිසි
කළ පින් පව් මිස ලොවේ මුනිදා දෙසුවේ
පුදමු මේ කුසුම්

සටහන – දයාපාල ජයනෙත්ති.