මේ ලෝකයේ ඉපදුණු මිනිසුන් අතර නිතර ධර්මය ඇසෙන, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය වැඩ සිටින රටක උපත ලබන්නට අපි වාසනාවන්ත වූයෙමු. මේ උතුම් භූමියේ සම්බුදු සසුන බොහෝ කලක් පවතින්නට භාග්‍යවතුන් වහන්සේ විසින් ම අධිෂ්ඨාන කොට ඇත්තේය. භාග්‍යවතුන් වහන්සේගේ ධාතූන් වහන්සේලා වඩාහිඳුවා කරවන ලද සෑ රජාණන් වහන්සේලා, පාරිභෝගික ධාතූන් වහන්සේලා වන බෝධීන් වහන්සේලා මේ රටේ සෑම තැනම පාහේ වැඩ සිටිති. ඒ ස්ථාන බොහොමයක ම පිහිටීම අනුව, ඕනෑම කාලයක අපහසුවකින් තොරව ගොස් උපස්ථාන කරන්නට – වන්දනා කරන්නට පුළුවන. නමුත් භාග්‍යවතුන් වහන්සේගේ වාම ශ්‍රී පාද පද්මය දරා වැඩ සිටින සිරිපා අඩවියට පිවිසෙන්නට, සිත් සේ වන්දනා කරන්නට මනුෂ්‍යයන් වන අපට නිසි ලෙසට අවසර හිමි වන්නේ සය මාසයකට පමණි. ඒ අද එළැඹි උඳුවප් පුන් පොහොයෙනි. දෙවන පරාක්‍රමබාහු රජුගේ දේවප්‍රතිරාජ අමාත්‍යවරයා විසින් සකස් කොට පූජා කළ සමන් දේව ප්‍රතිමාව සමන්ගිරට වැඩම කිරීමෙන් පසුව ඇරඹෙන සිරිපා වන්දනා සමය වෙසක් මාසයෙන් අවසන් වේ. මේ කාලවකවානුව තුළ බොහෝ දෙනෙක් සිරිපා කමල වන්දනා කරගන්නට යති. මනුලොව මිනිසෙකුට හමුවන ඒ අති සුදුර්ලභ අවස්ථාවෙන් උපරිම පින් ඵල නෙළා ගන්නට ලැබෙනවා නම් ඇත්තෙන්ම එය ආශ්චර්යජනක ය.
දිනක් සක්දෙවිඳු රාත්‍රියෙහි භාග්‍යවතුන් වහන්සේ සමඟ දහම් පිළිසඳරක යෙදී සිටින වේලාවක ඈත අහසේ සිට සිවුරු දරා ගත් කෙනෙකු භාග්‍යවතුන් වහන්සේට වඳිනු දැක ඒ ගැන විමසීය. “ඒ කිසාගෝතමී භික්ෂුණිය ය. ඕ බුද්ධ උපස්ථානයට පැමිණියාය.” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එසේ නම් ‘බුද්ධ උපස්ථානය’ යනු භාග්‍යවතුන් වහන්සේට සැදැහැ සිතින් වන්දනා කිරීම වෙනුවෙන් බුදුරජුන් දිවමන් ව වැඩසිටි අවදියේ සිට ම භාවිතා කළ වචනයක් බව පැහැදිලි ය. අදින් පසු අපටත් පාදවීතිහාර පූජාව පවත්වමින්; භාග්‍යවතුන් වහන්සේ දකින්නට බුදු ගුණ, දහම් ගුණ, සඟ ගුණ කියමින් එකින් එක පඩි නගිමින් ජීවමාන බුදුරජාණන් වහන්සේ දකින්නට යන්නෙමි යන අදහසින් ගොස් දස්සනානුත්තරිය පින් රැස් කරගෙන සිරිපා පද්මය වන්දනා කරගන්නට, උපස්ථාන කරන්නට පුළුවන. පාදවීතිහාර පූජාව යනු භාග්‍යවතුන් වහන්සේ දකින්නට පියවර තැබීම ය.
සමනොළගිරේ සිරිපා ධාතූන් වහන්සේ පාරිභෝගික ධාතූන් වහන්සේනමක් මෙන් ම උද්දේසික ධාතූන් වහන්සේනමක් ලෙස ද සලකනු ලැබේ. සුමන සමන් දෙවිඳුගේ ආරාධනාවෙන් භාග්‍යවතුන් වහන්සේ තුන්වන වර ලක්දිව කැලණියට වැඩි දා පන්සියයක් මහරහතන් වහන්සේලා සමඟ සමන් දෙවිඳුගේ විමානයේ නීල මැණිකක් මත බුද්ධ අධිෂ්ඨානයෙන් සිරිපා පිහිටුවන්නට යෙදුනි. එදා මුළු සිරිපා වනයෙහි ම ගස්වල නා නා පැහැ ඇති සුවඳ මල් පිපී තිබුණි. ඵල බර වී තිබුණි. ඇතුන්ගේ හා සියොතුන්ගේ හර්ෂවත් නද රැව් පිළිරැව් දුනි. දුෂ්කර තැනක වුවත් භාග්‍යවතුන් වහන්සේ සිරිපා සටහන පිහිටවූයේ අනාගතයේ දී සැදැහැති දනන්ගේ වන්දනාවෙන් ඔවුන්ට බොහෝ යහපතක් ම වන බව බුදු කරුණාවෙන් ම දැක වදාළ නිසා ම ය. සෝවාන් ඵලයට පත් සුමන සමන් දෙවිඳුන් ද සැදැහැ සිතින් එන ආර්ය ශ්‍රාවකයෙක් පුලුන් රොදක් ගෙනයන්නාක් මෙන් සිරිපා වඳින්නට ගෙන එන බවට භාග්‍යවතුන් වහන්සේට පොරොන්දු වී තිබේ.
භාග්‍යවතුන් වහන්සේගේ පිටුපසින් වඩින අනඳ මහතෙරුන්ටවත් බුදු සිරිපා නොපෑගේ. භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා පිළිගන්නට මහී මාතාව සැරසී සිටී. උස් තැන් පහත් ව, පහත් තැන් උස් ව බුදු සිරිපා සුවසේ තබන්නට පොළොව සකස් වේ. බුද්ධ අධිෂ්ඨානයෙන් සිරිපා පිහිටවූවොත් හැරෙන්නට පොළොවෙහි සිරිපා සටහන් මැකී යයි. සච්චබද්ධ පර්වතය, යෝනකපුරය, කැලණි ගඟේ ගං පතුල වගේ ම අභයගිරිය ස්ථූපය ළඟ, ථූපාරාම ස්ථූපය ළඟ තිබෙන පාදලාංඡන ස්ථූපය ආදී තැන්වල බුද්ධ අධිෂ්ඨානයෙන් සිරිපා පිහිටුවා ඇති බව සඳහන් වේ.
අනන්ත සසර පුරාවට ලෝක සත්වයන් සසර දුකින් මුදවන්නට උතුම් බුද්ධත්වය පතා පාරමිතා පූරණය කරමින් පැමිණි සසර ගමනේ අවසාන ම උපතේදී, මහාමායා දේවියගේ මව්කුසේ සිට පළමුව පොළෝතලයට බිහි වූයේත් බෝසත් කුමරුගේ ඒ සිරිපා යුගල ය. එදා පොළෝතලය ඒ අසීමිත ගුණ කඳ දරා ගත නොහැකිව කුඹල් සකක් මෙන් සෙලවුනි. සිරිපා පිළිගන්නට පොළොවෙන් සත් පියුම් මතුවුනි.
අසිත තාපසතුමා නම් වූ සුද්ධෝදන රජුගේ ගුරුතුමාට සංවට්ට විවට්ට කල්ප හතලිහක් ඉදිරියටත්, පසුපසටත් බලන්නට පුළුවන. ඒ තරම් හැකියාවක් ඇති බමුණුතුමාගේ නළලේ සිඟිති බෝසතුන්ගේ සිරිපා පිහිටියේය. පියරජුගෙන් පවා වැඳුම් ලබන්නට ඒ සිදුවීම මූලික වුණි.
ශිල්ප දක්වන දවසේ මිනිසුන් දහසක් අදින දුන්න තනි අතින් ඔසොවා විලුඹින් පාගා කඩා දමා බෝසතාණන් වහන්සේ ශිල්ප දැක්වූහ. ඒ තරම් යෝධ ශක්තියක් බෝධිසත්වයින්ට තිබුණි. පාරමී දම් පුරන ලද උත්තම පුරුෂයෙකුට පමණක් ම හිමිවන දෙතිස් මහාපුරිස ලකුණුවලින් කිහිපයක් සිරිපා කමලේ පිහිටා තිබුණි.
සුප්පතිට්ඨිත පාදෝ – සම ව පිහිටි පා ඇත්තේ වෙයි
“මහණෙනි, යම් හෙයකින් තථාගත තෙමේ පූර්ව ජාතියෙහි දී, පූර්ව භවයෙහි දී, පූර්වයෙහි සිටි තන්හි දී, පූර්වයෙහි මනුෂ්‍ය වූයේ ම කුසල් දහම් පිළිබඳ ව නොපිරිහෙන ස්වභාවයෙන් යුතු ව, දැඩි ව සමාදන් ව සිටියේ ය. කාය සුචරිතයෙහි, වාක් සුචරිතයෙහි, මනෝ සුචරිතයෙහි යෙදුණේ ය. දන් බෙදීමෙහි, සිල් රැකීමෙහි, උපෝසථ සිල් රැකීමෙහි යෙදුණේ ය. මවට උවටැන් කිරීමෙහි, පියාට උවටැන් කිරීමෙහි, ශ්‍රමණයන්ට උවටැන් කිරීමෙහි, බ්‍රාහ්මණයන්ට උවටැන් කිරීමෙහි යෙදුණේ ය. කුලදෙටුවන්ට උවටැන් කිරීමෙහි යෙදුණේ ය. අන්‍ය වූ අධිකුසල ධර්මයන්හි ද යෙදුණේ ය. හේ ඒ කර්මයන් කළ බැවින්, නැවත නැවත කළ බැවින්, ඉතා බලවත් ව කළ බැවින්, බොහෝ කළ බැවින් කය බිඳී මරණින් මතු සුගති නම් වූ දෙව්ලොව උපදින්නේ වෙයි. හේ ඒ දෙව්ලොවෙහි අන්‍ය වූ දෙවියන් අභිබවා දස කරුණකින් පෙරටුව සිටියි. එනම්; දිව්‍ය ආයුෂයෙන් ය, දිව්‍ය වර්ණයෙන් ය, දිව්‍ය සැපයෙන් ය, දිව්‍ය ඓශ්වර්යයෙන් ය, දිව්‍ය අධිපති භාවයෙන් ය, දිව්‍ය රූපයෙන් ය, දිව්‍ය ශබ්දයෙන් ය, දිව්‍ය ගන්ධයෙන් ය, දිව්‍ය රසයෙන් ය, දිව්‍ය පහසෙන් ය වශයෙනි. හේ එයින් චුත ව මේ මිනිස් බවට පැමිණියේ ම මේ මහා පුරුෂ ලක්ෂණය ලබන්නේ වෙයි. එනම්, මැනැවින් පිහිටි පා ඇත්තේ වෙයි. පාදයන් බිම සම ව තබන්නේ වෙයි. සම ව උඩට ඔසොවන්නේ වෙයි. සම වූ මුළු යටිපතුල ම පොළොවෙහි ස්පර්ශ වන්නේ වෙයි.”
හෙට්ඨාපාදතලේසු චක්කානි – පාදයන්හි යටිපතුල්හි චක්‍ර ලකුණු ඇත්තේ වෙයි.
“මහණෙනි, යම් හෙයකින් තථාගත තෙමේ පූර්ව ජාතියෙහි දී, පූර්ව භවයෙහි දී, පූර්වයෙහි සිටි තන්හි දී, පූර්වයෙහි මනුෂ්‍ය වූයේ ම බොහෝ ජනයාට සැප ලබා දෙන්නේ විය. සොරුන්ගෙන් වන භය දුරු කොට, අමනුෂ්‍ය භය දුරුකොට, ධාර්මික ආරක්ෂාව සලසනුයේ විය. එමෙන්ම බොහෝ දෙනාගේ සුව පහසුව සලසනුයේ, පිරිවර හා එක් ව දන් දුන්නේ ය. හේ ඒ කර්මයන් කළ බැවින්, නැවත නැවත කළ බැවින්, ඉතා බලවත් ව කළ බැවින්, බොහෝ කළ බැවින් කය බිඳී මරණින් මතු සුගති නම් වූ දෙව්ලොව උපදින්නේ වෙයි. ….(පෙ)…. හේ එයින් චුත ව මේ මිනිස් බවට පැමිණියේ ම මේ මහා පුරුෂ ලක්ෂණය ලබන්නේ වෙයි. එනම්, ඔහුගේ යටිපතුල්හි චක්‍රයෝ පිහිටා ඇත්තාහ. දහසක් අර ඇති නිම්වළලු සහිත, නැබ සහිත, සියළු අයුරින් පිරිපුන් ව මැනැවින් බෙදී ඇති චක්‍රයෝ ය.”
ආයතපණ්හී ච දීඝංගුලී ච බ්‍රහ්මුජ්ජුගත්තෝ ච – දික් විලුඹ ඇත්තේ ද දික් ඇඟිලි ඇත්තේ ද බ්රහ්මයෙකුට බඳු ඍජු සිරුර ඇත්තේ ද වෙයි.
“මහණෙනි, යම් හෙයකින් තථාගත තෙමේ පූර්ව ජාතියෙහි දී, පූර්ව භවයෙහි දී, පූර්වයෙහි සිටි තන්හි දී, පූර්වයෙහි මනුෂ්‍ය වූයේ ම සත්ව ඝාතනය අත්හැර සතුන් මැරීමෙන් වැළකී සිටියේ විය. දඬු මුගුරු අත්හැරියේ විය. අවි ආයුධ අත්හැරියේ විය. සතුන් මැරීමෙහි ලැජ්ජා ඇත්තේ විය. සියළු ප්රාණභූතයින් කෙරෙහි දයානුකම්පා ඇත්තේ විය. හේ ඒ කර්මය කළ බැවින්, නැවත නැවත කළ බැවින්, ඉතා බලවත් ව කල බැවින්, බොහෝ කළ බැවින් කය බිඳී මරණින් මතු සුගති නම් වූ දෙව්ලොව උපදින්නේ වෙයි. ….(පෙ)…. හේ එයින් චුත ව මේ මිනිස් බවට පැමිණියේ ම මේ මහා පුරුෂ ලක්ෂණ තුන ලබන්නේ වෙයි. එනම්, දික් වූ විලුඹ ත්, දික් වූ ඇඟිලි ත්, බ්රහ්මරාජයාට බඳු ඍජු සිරුර ත් ය.”
ලක්ඛණ සූත්‍රය – දී. නි.
මහාභිනික්මන් කරන්නට ඒ අසිරිමත් පා පියුම් එසවුණේ ලෝක සත්වයන් දුකින් මුදවන්නට ම ය. ඒ අපමණ චිත්ත අධිෂ්ඨානයෙන් බුද්ධත්වයට පත් වූ පසුව ද ඒ සිරිපා එසවුණේ ලෝ සතට අනුකම්පාවෙන් ම ය. සමහර විටෙක සැතපුම් ගණනක් පයින් තුරිත, අතුරිත චාරිකා වැඩම කළ සේක. එසේ අනුකම්පාවෙන් වැඩම නොකළාහු නම් අංගුලිමාල රහතන් වහන්සේ, සුනීත රහතන් වහන්සේ වැනි උත්තමයින් මනුලොව පහළ නොවනු ඇත.
බුද්ධ මාතාව, ප්‍රජාපතී ගෝතමිය මෙසේ පැවසුවාය…
“මාගේ එක ම ආශාව බුදු සිරිපා අල්ලා වන්දනා කරන්නට ය.”
ප්‍රජාපතී ගෝතමිය පිරිනිවන් පාන්නට ප්‍රථම භාග්‍යවතුන් වහන්සේගෙන් අවසර ගෙන ඒ රන්වන් රන් සිරිපා ඉතාම ආදරයෙන් වන්දනා කළාය.
බුදුරජාණන් වහන්සේ පරිභෝග කළ චීවරයක් දැරීමට තරම් පුණ්‍ය තේජසකින් යුතු මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දෙවියන්ගේ මැදිහත් වීමෙන් අවසන් වරට භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාද පද්මයන් වන්දනා කරගත් අයුරු මහා පරිනිබ්බාන සූත්‍රයෙහි මෙසේ සඳහන් වේ.
“ස්වාමීනී, අනුරුද්ධයන් වහන්ස, මේ මල්ල රජවරු සතර දෙනා වතුර නා, හිස් සෝදා, අලුත් වස්ත්‍ර හැඳ අපි භාග්‍යවතුන් වහන්සේගේ චිතකයට ගිනි දල්වන්නෙමු යි වෙහෙසෙන නමුත් යම් කරුණකින් ගිනි දල්වන්නට නොහැකි වෙත් ද, එයට හේතුව කුමක් ද? ප්‍රත්‍යය කුමක් ද?”
“වාසෙට්ඨයෙනි, දේවතාවුන්ගේ අදහස අනිකකි.”
“ස්වාමීනී, දෙවියන්ගේ අදහස කවර දෙයක් ද?”
“වාසෙට්ඨයෙනි, දෙවියන්ගේ අදහස මෙය යි. ‘මේ ආයුෂ්මත් මහාකස්සපයන් වහන්සේ පන්සියයක් පමණ වූ මහත් භික්ෂු සංඝයා සමඟ පාවා නුවරින් කුසිනාරාවට එන දීර්ඝ මාර්ගයට පිළිපන්නාහු ය. යම්තාක් ආයුෂ්මත් මහාකස්සපයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාද පද්මයන් සිරසින් වන්දනා නොකරත් ද, ඒ තාක් භාග්‍යවතුන් වහන්සේගේ චිතකය ගිනි නොදැල්වෙන්නේ ය’ යි.”
“ස්වාමීනි, දෙවියන්ගේ අදහස යම් පරිදි ද, එය එසේ ම වේවා!”
ඉක්බිති ආයුෂ්මත් මහා කස්සපයන් වහන්සේ කුසිනාරාවේ මල්ලවරුන්ගේ මකුටබන්ධන නම් චෛත්‍යස්ථානය යම් තැනක ද, භාග්‍යවතුන් වහන්සේගේ චිතකය යම් තැනක ද, එතැනට වැඩම කළහ. වැඩම කොට සිවුරු ඒකාංශ කොට පොරොවා, දොහොත් නගා වන්දනා කොට චිතකය වටා තුන් විටක් පැදකුණු කොට සිරිපා පිහිටි දෙසින් දෙණ විවෘත කොට භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාද පද්මයන් සිරසින් වන්දනා කළහ. ඒ පන්සියයක් භික්ෂූහු ද සිවුරු ඒකාංශ කොට පොරොවා, දොහොත් නගා වන්දනා කොට චිතකය වටා තුන් විටක් පැදකුණු කොට භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාද පද්මයන් සිරසින් වන්දනා කළහ.
ආයුෂ්මත් මහා කස්සපයන් වහන්සේ ත්, ඒ පන්සියයක් භික්ෂූහු ත්, වන්දනා කළ කල්හී, භාග්‍යවතුන් වහන්සේගේ චිතකය තෙමේ ම ගිනි ඇවිලගත්තේ ය.
(මහා පරිනිබ්බාන සූත්‍රය – දී.නි.)
බුදු සිරිපා වැන්ද පිනෙන් නිවනට බීජ හට ගත් බව ඇතැම් ථේරාපදානවල සඳහන් වේ. ඇතැම් රහතන් වහන්සේලාගේ ථේරාපදානවල සඳහන් වන්නේ සසරේ බුදු සිරිපා දැක සමන් මල් මිටක් ඉස්ස පිනෙන්, බුදු සිරිපා අභියස සඳුන් තුවරලා ඉසීමෙන් සිරිපා පිදූ පිනෙන් උතුම් අරහත්වය සාක්ෂාත් කිරීමට අවැසි පුණ්‍ය බීජ සෑදුණු බව ය.
පින්වත් ඔබටත් හැකි නම් මේ සිරිපා සමයේ සිත් පහදාගෙන ගොස් සිරිපා කමල ආදරයෙන් වන්දනා කරන්න. උපස්ථාන කරන්න. අතරමඟ දී හිස් වචන, විහිලු කතා නොකර බුදු ගුණ, දම් ගුණ, සඟ ගුණ සිතන්න. අතරමඟ දී හමුවන අයට හැකි ලෙසට උපකාර කරන්න. මෙත් සිත පතුරුවන්න. ඒ පහන් සිත රැකගෙන නැවතත් පහළට කරුණා කරන්න. ඒ අති සුදුර්ලභ අවස්ථාව හිමිවන්නේ මනුලොව මිනිසෙකුට පමණයි. ඒ නිසා ම තමයි පැරණි කවියක “සිරිපා නොවැඳ මනු පියසින් එන්න එපා” කියලා සඳහන් කරලා තියෙන්නේ…
සමහර විටක ඔබ මෙය කියවද්දී සිරිපා බිමට ගොස් වඳින්නට නොහැකි දුරු රටක සිටින්නට පුළුවන. අසනීපව සිටින්නට පුළුවන. ඔබට සිරිපා බිම වඳින්නට නොහැකියි කියා සිත් පීඩා ඇති කරගන්නට වුවමනා නැත. ගෙදර සිට වුව සිරිපා පුදබිම වන්දනා කරන්නට, වන්දනා කළ අයගේ පින් අනුමෝදන් වීමට ඔබටත් පුළුවන. වැදගත් ම දේ වන්දනා කරන විට උපදින පහන් සිත බව තේරුම් ගන්නට අපි කවුරුත් දක්ෂ විය යුතුය.
උත්තම මුනි සිරිපා කමලට කෝටි කෝටි වාරයක් නමස්කාරය වේවා! අපගේ ජීවිත සිරිපා කමල අබියස පා දූවිල්ලක් සේ පූජා වේවා!
මේ උතුම් අවස්ථාව අපට ලබා දුන් සුමන සමන් දෙවිඳුන්ට අප මොහොතක් මොහොතක් පාසා රැස් කරන පින් අනුමෝදන් වේවා! උතුම් ගෞතම බුද්ධ ශාසනය චිරාත් කාලයක් රකිත්වා!
නදීන් දිල්ශාන්
🙏🙏