අපේ ජීවිතවල නොයෙකුත් ඉලක්ක තිබෙනවා. අප එකිනෙකාගේ ජීවිතවල ප්‍රමුඛ ඉලක්කයන් එකිනෙකාගෙන් වෙනස් සහ කාලානුරූපව ද වෙනස් වන සුලුයි. ගෙවී යන කාලයට යා කරලා කාලසටහනක් හදාගෙන, ඒ කාලසටහනට යා කරලා සිහින සටහනකුත් තියාගෙන ඉලක්ක සොයා යන ගමනටයි අප ජීවිතය කියා කියන්නේ. ජීවිතය පවතින්නේත්, ජීවිතය අවසන් වන්නේත් ඉලක්ක සහිතව ම යි. හැබැයි, එක එක විදිහේ ඉලක්කවලින් එකිනෙකාගෙන් වෙනස් වුණත් අපි හැමෝම ඉන්නේ එකම ගමනක. උපන්නා වූ සෑම සත්වයෙක් ම ඉන්නේ ඒ ගමනේ. ඒ ගමනට යෙදෙන නම තමයි ‘සසර’.

ඉලක්ක තබා සිටින්නේ ළාමක, හීන, පහත් යැයි සැලකෙන දෙයක් කෙරෙහි වේවා, එසේත් නැති නම් ශ්‍රේෂ්ඨ, ප්‍රණීත, උසස් යැයි සැලකෙන දෙයක් කෙරෙහි වේවා ඒ සියල්ලම අයිති සසරට. අප ඉපදෙන්නේ අතිශයින් උසස් තැනක නම්, එතැන දී ලැබෙන්නේ ඇසක්, කනක්, නාසයක්, දිවක්, කයක්, මනසක්. එතැන පහළ වන්නේ, රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ කියන ස්කන්ධ. අතිශයින් ම හීන නීච තැනක අප උපන්නත් එච්චර ම තමයි. ඒ සියල්ල ම දුකට අයිතියි කියලයි අනාවරණ ප්‍රඥා ඇති සම්බුදුරජාණන් වහන්සේ වදාළේ. එයින් අප තේරුම් ගත යුත්තේ සසර කියන්නේ දුකට ම අයිති දෙයක් කියල යි.

රූපය ගැන ධර්මයේ කියැවෙන්නේ (පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන) සතර මහා ධාතූත්, සතර මහ ධාතුන්ගෙන් හට ගත් දේවලුත් හැටියටයි. පඨවි – පොළොවට පස් වෙලා යන ස්වභාවයට අයත් දේ, ආපෝ – ජලයේ දියවෙන ස්වභාවයට අයත් දේ, තේජෝ – උණුසුම් ස්වභාවයට අයත් දේ සහ වායෝ – හමාගෙන යන ස්වභාවයට අයත් දේ එක් වීමෙන් හට ගන්නා රූපයේ ස්වභාවය තමයි අනිත්‍ය බව, වෙනස් වන බව, අන්‍ය ස්වභාවයට පත් වන බව.

යම් කෙනෙකුගේ ආධ්‍යාත්මික (තමාගේ යැයි සලකන) ඇස බිඳිලා නැති නම් (ඒ කියන්නේ ඇසට හානි වෙලා, රූප දැකීමට ඇති හැකියාව නැති වෙලා නැති නම්), බාහිර රූපත් ඇස හමුවට ඇවිත් තියෙනවා නම්, ඒ කෙරෙහි අවධානය (මනසිකාරය) යොමු වෙලා තියෙනවා නම් ඒ රූපයට අදාළ විඤ්ඤාණයකුත් ඔහු තුළ පහළ වෙනවා. ඒ මොහොතේ ඒ කෙනා ඒ රූපය දකිනවා. රූප දකින ඒ චිත්තක්ෂණයේ ඔහුගේ යම් රූපයක් තිබෙනවා ද ඒකට රූප උපාදානස්කන්ධය කියනවා. ඒ මොහොතේ ඔහු තුළ යම් විඳීමක් තිබෙනවා ද ඒකට වේදනා උපාදානස්කන්ධය කියනවා. ඒ මොහොතේ ඔහු තුළ යම් හඳුනා ගැනීමක් තිබෙනවා ද ඒකට සඤ්ඤා උපාදානස්කන්ධය කියනවා. ඒ මොහොතේ ඔහු තුළ යම් චේතනා පහළ වෙනවා ද ඒකට සංඛාර උපාදානස්කන්ධය කියනවා. ඒ මොහොතේ ඔහු තුළ යම් විඤ්ඤාණක් ඇද්ද ඒකට විඤ්ඤාණ උපාදානස්කන්ධය කියනවා. මේ සියල්ල හට ගන්නේ චිත්තක්ෂණයකින්. එසැණින් වෙනත් රූපයක් ඇස හමුවට ඇවිදින්, මනසිකාරය එයට යොමු වුණොත් මේ ක්‍රියාවලිය ආයෙමත් අලුතින් ම සිද්ධ වෙනවා….

වෙන රූපයකට මනසිකාරය යොමු නොවුණොත් වෙන්නේ වෙනත් බාහිර ආයතනයකට මනසිකාරය යොමු වීම. එක්කෝ යම් ශබ්දයකට මනසිකාරය යොමු වෙනවා. ඒක සිද්ධ වෙන්න ආධ්‍යාත්මික (තමාගේ යැයි සලකන) කන බිඳිලා නැති එකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ කනේ ශබ්ද ඇහෙන ස්වභාවය තිබෙනවා. බාහිර ශබ්දයක් කන හමුවට එන්නත් ඕනේ. ඒ බාහිර ශබ්දයට මනසිකාරය යොමු වෙද්දි ඒකට අදාළ විඤ්ඤාණය හට ගන්නවා. ශබ්දය ඇහෙන ඒ චිත්තක්ෂණයේ ඔහුගේ යම් රූපයක් තිබෙනවාද ඒකට රූප උපාදානස්කන්ධය කියනවා. ඒ මොහොතේ ඔහු තුළ යම් විඳීමක් තිබෙනවා ද ඒකට වේදනා උපාදානස්කන්ධය කියනවා. ඒ මොහොතේ ඔහු තුළ යම් හඳුනා ගැනීමක් තිබෙනවා ද ඒකට සඤ්ඤා උපාදානස්කන්ධය කියනවා. ඒ මොහොතේ ඔහු තුළ යම් චේතනා පහළ වෙනවා ද ඒකට සංඛාර උපාදානස්කන්ධය කියනවා. ඒ මොහොතේ ඔහු තුළ යම් විඤ්ඤාණක් ඇද්ද ඒකට විඤ්ඤාණ උපාදානස්කන්ධය කියනවා.

ඔය විදිහට ම, ආධ්‍යාත්මික නාසය බිඳිලා නැතිනම්, බාහිර ගඳ සුවඳ ඒ හමුවට එළඹිලා තියෙනවා නම්, මනසිකාරයත් එයට යොමු වෙනවා නම් එතැන නාසයේ විඤ්ඤාණය හට ගන්නවා.

ආධ්‍යාත්මික දිව බිඳිලා නැතිනම්, බාහිර රසත් ඒ හමුවට එළඹිලා තියෙනවා නම්, මනසිකාරයත් එයට යොමු වෙනවා නම් එතැන දිවේ විඤ්ඤාණය හට ගන්නවා.

ආධ්‍යාත්මික කය බිඳිලා නැතිනම්, බාහිර පහසත් ඒ හමුවට එළඹිලා තියෙනවා නම්, මනසිකාරයත් එයට යොමු වෙනවා නම් එතැන කයේ විඤ්ඤාණය හට ගන්නවා.

ආධ්‍යාත්මික මනස බිඳිලා නැතිනම්, බාහිර අරමුණුත් ඒ හමුවට එළඹිලා තියෙනවා නම්, මනසිකාරයත් එයට යොමු වෙනවා නම් එතැන මනසේ විඤ්ඤාණය හට ගන්නවා.

ඇස, කන, නාසය, දිව, කය, මනස කියන මේ ආයතන හය තුළ ම විඤ්ඤාණය හට ගන්නවා. යම් මොහොතක මනසිකාරය යම් ආයතනයක් හා සම්බන්ධව ඇත්ද විඤ්ඤාණය පහළ වන්නේ එහියි. මනසිකාරයක් නැති තැන විඤ්ඤාණයේ පහළ වීමක් නැත. භාග්‍යවතුන් වහන්සේ විඤ්ඤාණය ගැන වදාරන්නේ හතරමං හන්දියක සිටිමින් මැජික් පෙන්වන දක්ෂ මැජික්කාරයෙකු වගේ කියලයි.

ඉතින් ඒ ඒ ආධ්‍යාත්මික අයතන වල විඤ්ඤාණය හට ගනිද්දි ඒ ඒ මොහොතවල කෙනෙකුගේ යම් රූපයක් ඇද්ද ඒ රූපයට තමයි රූප උපදානස්කන්ධය කියන්නේ.

ඒ මොහොතේ යම් විඳීමක් තිබෙනවා ද ඒකට වේදනා උපාදානස්කන්ධය කියනවා. ඒ මොහොතේ යම් හඳුනා ගැනීමක් තිබෙනවා ද ඒකට සඤ්ඤා උපාදානස්කන්ධය කියනවා. ඒ මොහොතේ යම් චේතනා පහළ වෙනවා ද ඒකට සංඛාර උපාදානස්කන්ධය කියනවා. ඒ මොහොතේ යම් විඤ්ඤාණයක් උපදිනවා ද ඒකට විඤ්ඤාණ උපාදානස්කන්ධය කියනවා.

මේ ලිපිය කියවද්දි වුණත් අකුරක් අකුරක් පාසා මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඒ කියන්නේ, මේ ගෙවෙන මොහොතක් මොහොතක් පාසා රූපය අනිත්‍ය වෙනවා. වේදනාව අනිත්‍ය වෙනවා. සඤ්ඤාව අනිත්‍ය වෙනවා. චේතනාව අනිත්‍ය වෙනවා. විඤ්ඤාණය අනිත්‍ය වෙනවා. මේ ක්‍රියාදාමය අතිශයින් ම වේගවත්. වෙන් කරලා අල්ලන්න දුෂ්කරයි. ඒ සා වේගවත්, ඒ සා සියුම්, අවබෝධයට ඒ සා දුෂ්කර දෙයක් තමයි අපගේ ශාස්තෘන් වහන්සේ ගුරු උපදේශ නැතිව ම අවබෝධ කොට වදාළේ. ඒ අසිරිමත් සිරි සම්බෝධියට නමස්කාර වේවා!

මේ ධර්ම පර්යාය නිතර සිහි කරන්න සුදුසුයි. එය ඒකාන්තයෙන් ම අපට නිවන පිණිස උපකාරක වනවා. මේ ධර්මතාවය ඔය ආකාරයෙන් අදහාගෙන, ඒ කෙරෙහි ශ්‍රද්ධාවට පැමිණි කෙනා ගැන සම්බුදුරජාණන් වහන්සේ වදාරන්නේ ‘ඒ අමා නිවන පිහිට කොට සිටින කෙනා’ කියල යි.

“පින්වත් මහණෙනි, රූපය යනු අනිත්‍ය දෙයක්. වෙනස් වන දෙයක්. අන්‍ය ස්වභාවයකට පත් වන දෙයක්. විඳීම යනු අනිත්‍ය දෙයක්. වෙනස් වන දෙයක්. අන්‍ය ස්වභාවයකට පත් වන දෙයක්. සඤ්ඤාව යනු අනිත්‍ය දෙයක්. වෙනස් වන දෙයක්. අන්‍ය ස්වභාවයකට පත් වන දෙයක්. සංස්කාර යනු අනිත්‍ය දෙයක්. වෙනස් වන දෙයක්. අන්‍ය ස්වභාවයකට පත් වන දෙයක්. විඤ්ඤාණය යනු අනිත්‍ය දෙයක්. වෙනස් වන දෙයක්. අන්‍ය ස්වභාවයකට පත් වන දෙයක්.

පින්වත් මහණෙනි, යම් කෙනෙක් මේ ධර්මයන් ඔය ආකාරයෙන් අදහා ගනී නම්, ශ්‍රද්ධාවෙහි බැස ගනී නම්, මොහුට කියන්නේ සද්ධානුසාරී කෙනා කියලයි. නිවන් මගට බැස ගත් කෙනා කියලයි. සත්පුරුෂ භූමියට බැසගත් කෙනා කියලයි. පෘථග්ජන භූමිය ඉක්මවා ගිය කෙනා කියලයි. යම් කර්මයක් කරලා නිරයේ හෝ තිරිසන් යෝනියේ හෝ ප්‍රේතලෝකයේ හෝ උපදිනවා නම් එබඳු කර්මයක් කරන්නට ඔහුට පුළුවන්කමක් නෑ. යම්තාක් සෝවාන් ඵලය සාක්ෂාත් කරන්නේ නැත්නම් ඒ තාක් ම ඔහුට කළුරිය කරන්නට පුළුවන්කමකුත් නෑ.

පින්වත් මහණෙනි, යමෙකුට මේ ධර්මයන් ගැන ඔය ආකාරයෙන් ප්‍රඥාව තුළින් ප්‍රමාණවත් අවබෝධයක් තිබෙනවා නම් මොහුට කියන්නේ ධම්මානුසාරී කෙනා කියලයි. නිවන් මගට බැස ගත් කෙනා කියලයි. සත්පුරුෂ භූමියට බැසගත් කෙනා කියලයි. පෘථග්ජන භූමිය ඉක්මවා ගිය කෙනා කියලයි. යම් කර්මයක් කරලා නිරයේ හෝ තිරිසන් යෝනියේ හෝ ප්‍රේතලෝකයේ හෝ උපදිනවා නම් එබඳු කර්මයක් කරන්නට ඔහුට පුළුවන්කමක් නෑ. යම්තාක් සෝවාන් ඵලය සාක්ෂාත් කරන්නේ නැත්නම් ඒ තාක් ම ඔහුට කළුරිය කරන්නට පුළුවන්කමකුත් නෑ.

පින්වත් මහණෙනි, යම් කෙනෙක් මේ ධර්මයන් ඔය ආකාරයෙන් අවබෝධ කරනවා නම්, ඔය ආකාරයෙන් දකිනවා නම්, මොහුට කියන්නේ සෝවාන් කෙනා කියලයි. අපායෙහි නොවැටෙන ස්වභාවයෙන් යුතු, නියත වශයෙන් ම ඒ අමා නිවන පිහිට කොට සිටින කෙනා කියලයි.”

(ඛන්ධ සූත්‍රය – සං. නි. 3)

මොහොතක් මොහොතක් පාසා අනිත්‍ය භාවයට පත්වන රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ කියන උපාදානස්කන්ධයන් මම කියලා, මගේ කියලා, මගේ වසඟයේ පවත්වන්න පුළුවන් කියලා ග්‍රහණය කරගෙන යන ගමන තමයි සසර. සම්බුදුරජාණන් වහන්සේ දුක හකුළුවා සංෂිප්ත කොට වදාළේ පංච උපාදානස්කන්ධය කියලයි. සිහි නුවණින්, (පංච නීවරණයන් මැඩීමෙන් ලද) විවේකයෙන් මේ ධර්ම පර්යාය දකින්න උත්සාහ කරමු. ඒ ධර්ම පර්යාය අපි අදහා ගනිමු. ඒ උත්තම ධර්ම පර්යාය ගැන ශ්‍රද්ධාවට පැමිණෙමු.

සම්බුදුරජාණන් වහන්සේ බෝසත් අවධියේ පවා සත්‍යවාදී වුණා. ඒ සංසාරගත සත්‍යවාදී බව ලෝකයට පෙන්වාලූ මහා පුරුෂ ලක්ෂණය තමයි ඌර්ණ රෝම ධාතුන් වහන්සේ. ඒ උතුම් සර්වඥ ධාතුන් වහන්සේ මිහින්තලා සෑයේ නිධාපිතයි. සම්බුදුරජුන්ගේ සත්‍ය වචනය අපට ධම්මදායාදය බවට පත් කරලූ අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ශ්‍රී අරහන්තක ධාතු නිධාපිත මිහිඳු මහ සෑය තිබෙන්නේ ඒ සමීපයෙන් ම යි. ලැබෙනා පළමු අවස්ථාවකම එහි යන්න. සම්බුදුරජාණන් වහන්සේටත්, අනුබුදුරජාණන් වහන්සේටත් ගෞරවයෙන් වන්දන මානන කරන්න, උපස්ථාන කරන්න. ලෝක සනාතන සත්‍යය අවබෝධ කොටගෙන දුකින් පිරි මේ සසරින් සදහට ම නිදහස් වීම පිණිස ඒ රැස් කරන පුණ්‍ය ධර්මයෝ පුණ්‍ය පාරමිතාවක් බවට පත්කර ගන්න.

ඒ අමා නිවන පිහිට කොට සිටින්නවුන් බවට පත් වන්නට අපට තෙරුවනේ ආශිර්වාදය ලැබේවා!

(ඇසුර – මහා හත්ථිපදෝපම සූත්‍රය)

සටහන – උදුලා පද්මාවතී