දවසක් ලොකු ව්‍යාපාරිකයෙක් පොඩි ගමකට ගියා. ඔහු සැලසුම් කරගෙන හිටියා ඒ ගමේ කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන්න. එහෙම යනකොට ඔහුට හම්බ වුණා ගඟක්. ඒ ගඟෙන් එහා පැත්තේ තමයි අර ගම තිබුණේ. කෙළින් ම ඒ ගමට යන්න පාරක් තිබුණෙ නෑ. ඔහුට විකල්ප දෙකක් තියෙනවා. එකක් තමයි ගඟ මගහැරලා වටේ පාරකින් වාහනෙන් ම ගමට යන්න. ඒකට පැය 8ක් විතර ගත වෙනවා. එහෙම නැත්නම් ඔරුවක නැගලා ඒ ගඟ හරහා ගිහිල්ලා ගමට යන්න. ඒකට විනාඩි 20යි ගත වෙන්නෙ. ඉතින් ඔහු තමන්ගේ වෙලාව ඉතුරු කර ගැනීමට ඔරුවකට නගින්න තීරණය කළා.
ඒ ඔරුව ගොඩක් පොඩි එකක්. එක පැත්තක ඔරුව පදවන කෙනා ඉඳගෙන හිටියා. අනිත් පැත්තේ ව්‍යාපාරිකයා ඉඳගෙන හිටියා. ටික වෙලාවකට පස්සේ ව්‍යාපාරිකයා ඔරුකාරයාගෙන් මෙහෙම ඇහුවා. “ඔයා දන්නවද ඔයාගේ ඔරුවේ වාඩිවෙලා ඉන්නේ කවුද කියලා?”
ඔරුකාරයා බොහොම යටහපත් පහත්ව කිව්වා, “අනේ නෑ මහත්තයෝ… මම දන්නෙ නෑ ඔබතුමා කවුද කියලා.”
එතකොට ව්‍යාපාරිකයා ඇහුවා “අයියෝ… ඇයි ඔයා පත්තර කියවන්නෙ නැද්ද? හැම දවසෙම මගේ ෆොටෝස් පත්තරේ වැටෙනවා.”
එතකොට ඔරුකාරයා කිව්වා, “අනේ මහත්තයෝ, මට කොහෙන්ද ලියන්න කියවන්න තේරෙන්නේ? මගේ තාත්තා නැති වෙනකොට මං ගොඩක් පොඩියි. ඉතින් මම අපේ පවුල බලාගන්න පොඩි කාලෙම රස්සාවක් කරන්න පටන් ගත්තා. ඒ නිසා මගේ ඉස්කොලෙ ගමන නැවතුණා.”
ඒක අහපු ව්‍යාපාරිකයා හිනාවෙලා ඇහුවා “අයියෝ… ඔයාට ලියන්න කියවන්නවත් තේරෙන්නෙ නැද්ද? ඔහොම ජීවිතේකින් ඇති පලේ මොකක්ද?” කියලා.
ඒක අහලා ඔරුකාරයාගේ හිත රිදුනා. හැබැයි ඔහු මොනවත් කිව්වෙ නෑ. ටික වෙලාවකට පස්සේ ව්‍යාපාරිකයා නැවතත් ඔරුකාරයාට කිව්වා “තව ටික දවසකට පස්සේ ඔය ඉස්සරහ පේන ඉඩමේ මගේ ලොකු ෆැක්ටරියක් පටන් ගන්නවා. ඒකේ මිනරල් වෝටර් බෝතල් තමයි නිෂ්පාදනය කරන්නේ.”
ඔරුකාරයාට ඒ වචනය තේරුනේ නෑ. එයා ඇහුවා “මොනවද හදන්නෙ සර්?” ව්‍යාපාරිකයා ටිකක් තරහින් වගේ කිව්වා “වතුර බෝතල් හදන්නේ. ඒවා ඔයාගේ ගමේ විකිණෙන්නේ නෑ. හැබැයි නගරයේ ගොඩක් විකිණෙනවා. ඔයා නගරයට ගියාම දැකලා නැද්ද කඩවල්වල වතුර බෝතල් විකුණන්න තියලා තියෙනවා?”
“අනේ මහත්තයො… මම කොහොමද ඒ ගැන දන්නේ? මම කවදාවත් මේ ගමෙන් එළියට ගිහිල්ලා නෑ.”
එතකොට ව්‍යාපාරිකයා අවඥා සහගතව හිනාවෙලා කිව්වා “අයියෝ… ඔයා මේ ගමෙන් එළියට ගිහිල්ලවත් නැද්ද? ඔයා දන්නෙ නැද්ද නගරය කොයි වගේ ද කියලා? අයියෝ ඔය වගේ ජීවිතේකින් ඇති පලේ මොකක්ද?”
ඒ කතාව අහලා ඔරුකාරයාට ඇත්තටම හිතුණා ‘ඇත්තට ම මගේ ජීවිතේ කිසි පලක් නැති එකක්’ කියලා. ඒ කල්පනාවත් එක්ක එයාට ඔරුව ගැන අවධානය නැතුව ගියා. ඔරුව එකපාරට ම ගඟ මැද තිබුණ ගලක වැදිලා සිදුරු වුණා. ඔරුවට වතුර පිරෙන්න පටන් ගත්තා. ඔරුව ගිලෙන්න පටන් ගත්තා. ඒ හරියෙ ගඟ ගොඩක් ගැඹුරුයි. තොටුපළත් දුරින් තිබුණේ.
ඔරුකාරයාට තේරුණා දැන් කිසිම විදිහකින් මේ ඔරුව බේරගන්න බැරි බව. එයා තමන්ගේ ජීවිතය බේරගන්න වතුරට පැනලා පීනන්න සූදානම් වුණා. ඒ වෙලාවේ ඔහු ව්‍යාපාරිකයාගෙන් ඇහුවා “මහත්තයා… ඔබතුමාට පීනන්න පුළුවන් නේද?”
ව්‍යාපාරිකයා භය වෙලා ඇහුවා “එහෙම අහන්නෙ ඇයි? මට පීනන්න තේරෙන්නෙ නෑ.”
ඔහුගේ කතාව අහලා ඔරුකාරයාට හිනා ගියා. එයා කිව්වා “අයියෝ මහත්තයෝ, ඔබතුමාට පීනන්නවත් තේරෙන්නෙ නැද්ද? ඔහොම ජීවිතේකින් ඇති පලේ මොකක්ද?” කියලා.
ඒක අහලා ව්‍යාපාරිකයාට තමන්ගේ වැරැද්ද තේරුම් ගියා. ඔහු ඔරුකාරයාට වැඳගෙන කිව්වා “මං ඔයාට ඉල්ලන දෙයක් දෙන්නම්. කරුණාකරලා මගේ ජීවිතය බේරලා දෙන්න” කියලා.
එතකොට ඔරුකාරයා කිව්වා “මහත්තයා භය වෙන්න එපා. මට පීනන්න විතරක් නෙවෙයි, ගිලෙන මිනිස්සුන්ව බේරගන්නත් පුළුවන්. ඔබතුමා මාව තදින් අල්ලගන්න. මම ඔබතුමාට මොකුත් වෙන්න දෙන්නෙ නෑ.” ඔරුකාරයා තමන්ගේ විතරක් නෙවෙයි, අර ව්‍යාපාරිකයාගේත් දිවි බේරුවා…
ඉතින් මේ කතාවෙන් අපිට ලොකු පාඩමක් ඉගෙන ගන්න පුළුවන්. අපි කවදාවත් කිසි කෙනෙකුට අවඥා සහගතව හිනාවෙන්න හොඳ නෑ. කිසි කෙනෙක්ව තමන්ට වඩා පහත් කරලා සලකන්න හොඳ නෑ. මොකද, අපි දන්නෙ නෑ අපට කවදා… කොතැනක… කොයි විදිහට… කාගේ උදව් අවශ්‍ය වෙයි ද කියලා.
සටහන – ධනංජය වීරසිංහ
Recent Comments