‘කරන්නට අමාරු ම දේ’ ගැන ඇසුවොත්, මේ ලෝකයේ ඉන්න කාට වුණත් කියන්නට යම් දෙයක් තිබෙනවා. ඒ ‘කරන්නට අමාරුම දෙය’ හැමවිට ම තීරණය වෙන්නේ එකිනෙකාගේ සමාජ සංස්කෘතික හැඩගැසීම සහ ඇසූ පිරූ දේ අනුවයි. හැබැයි, ඔය ප්‍රශ්නයට තම තමන් කොටු වී සිටින රාමුවලට අනුව මොන මොන විදිහේ උත්තර ලබා දුන්නා වුණත් සමස්තයක් විදිහට සලකා බලද්දී පෙනී යන්නේ මේ ලෝකයේ කරන්නට අමාරුම දේ, සතුටින් ජීවත් වෙන එක බව යි…

අගහිඟකම්, අසාධාරණයන්, නින්දාවන්, වියෝ වීම්, සමාජ දේශපාලනික ප්‍රශ්න හැම එකකින් ම පහර වදින්නේ අප සොයන සතුටට. වසංගතවලින් පහර වැදුණේත් අප සොයන සතුටට. ඒවායෙන් බැට නොකා, කොහොම හරි ගැලවිලා ජීවත් වෙලා ඉන්න පුළුවන් වුණ අයට පවා තමන් ආදරේ කරන, ප්‍රිය කරන දේවල් තමන්ට අහිමි වීම අත්විඳින්න සිද්ධ වෙනවා. එක්කෝ අපි ආදරේ කරන අය අපි මේ ලෝකයේ සිටිද්දී ම අප ව හැර දමා පරලොව යනවා. එහෙම නැතිනම්, මේ සියල්ල ම දාලා අපට යන්න සිද්ධ වෙනවා. එතැන දී, හිඳීමත් දුකක්. යාමත් දුකක්.

විමසිලිමත් ව බැලුවොත්, නොසතුටක් නූපන් දවසක් අපේ ජීවිතවල නැහැ. කටුක, කර්කශ, මාරාන්තික දුක් වේදනාවලින් තොර යම් දවස් තිබුණා වුණත් හුදෙක් සතුටින් ම ගෙවී ගියපු දවස් නැහැ. වෙනෙකක් තබා ධාරාණිපාත වර්ෂාවකට, එහෙම නැති නම් දැඩි සූර්ය රශ්මියට පවා පුළුවනි අප ව නොසතුටට පත් කරන්න. පෙරළි පෙරළී යන ලෝක ධර්මයන් හමුවේ පෙරළි පෙරළී යන එකටයි අප ජීවිතය කියා කියන්නේ… යම් කෙනෙකුට පුළුවන් වුණොත් පෙරළෙන ලෝක ධර්මයන් හමුවේ නොපෙරළෙන අකම්පිත බවක් උපදවා ගන්නට, අන්න ඒ කෙනාට නම් සතුටින් ජීවත් වෙන්න පුළුවන්. උදම් අනන්නේත් නැති, නීච වන්නේත් නැති එවැනි උදාර ජීවිත ස්වභාවයන් උපදවා ගන්නට දක්ෂ වූවන්ගේ උරුමය තමයි සතුටින් පිරුණු සැපවත් ජීවිතය.

ජීවිතයේ සතුට නසන අර්බුද බාහිර සහ අභ්‍යන්තර කියන දෙයාකාරයෙන් ම අප කරා එළඹෙනවා. හැබැයි, සතුට උපදවන ක්‍රමය බාහිර පවතින්නක් නෙමෙයි; එය අභ්‍යන්තරිකයි. බාහිර පරිසරය සහමුලින් ම සුඛිත මුදිතව තිබුණා වුණත් අභ්‍යන්තරික ව උපන් පීඩා පවතිනවා නම් සතුට අපෙන් බැහැර වෙනවා. හැබැයි, බාහිර කවරාකාරයේ පීඩිත භාවයන් හටගෙන තිබුණා වුණත් අභ්‍යන්තරය අකම්පිත නම්, සතුට එහි පවතිනවා. කාමයන් හඹා යන මුළුමහත් ලෝකයා ම කෙලෙස් දාහයෙන් පරිපීඩිත ව සිටිද්දී, අභ්‍යන්තර ගිනි සදහට ම නිවා දැමූ අපගේ ශාස්තෘන් වහන්සේ හිම වැටෙන රාත්‍රියේ පවා එළිමහනේ ඇට්ටේරියා කොළ මත සිවුරු අතුරා සුව සේ සැතපුනේ ඒ නිසයි…!

අභ්‍යන්තරය අකම්පිතව තබා ගැනීම පහසු කටයුත්තක් නෙමෙයි. සිතේ හටගන්නා සිතුවිලි ක්‍රියා බවටත්, වචන බවටත් පෙරළී බාහිරට පැමිණෙනවා. තත්පරයෙන් කෝටියෙන් පංගුවක් වගේ සිතා ගන්නටවත් නොහැකි අල්පමාත්‍ර වූ කාලයක් තුළයි සිතක් උපදින්නේ. ඒ චිත්තක්ෂණයක් පාසා වෙනස් වී යන රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර සහ විඤ්ඤාණ යන උපාදානස්කන්ධයන් තුළිනුයි අප සසර ගනුදෙනුව සකස් වෙන්නේ. මොහොතින් මොහොත නැසී වෙනස් වී යන උපාදානස්කන්ධයන් සහිත වූ අප, එවැනි ම වූ උපාදානස්කන්ධයන් සහිත අන් අය සමඟ ඇලී යාමෙනුත්, ගැටී යාමෙනුත් සිත කය වචනය මෙහෙයවා බොහෝ කර්ම රැස් කර ගන්නවා. ප්‍රිය අප්‍රිය දේවල් ඔස්සේ අප ගොඩනගා ගත් මේ ලෝකයේ රැඳී සිටින ටික කාලයට සංසාරයේ තව බොහෝ කාලයක් විඳීම පිණිස කර්ම රැස් වෙන්නේ ඔය ආකාරයෙන්.

ඇත්තටම අපේ ජීවිත වඩාත්ම නොසන්සුන් වෙන්නේ අප ප්‍රිය කරන දේවල් අපට අහිමි වෙද්දී සහ අප අප්‍රිය කරන දේවල් අපට සමීප වද්දී. අප්‍රිය අමනාප දේ හා එක් නොවී සිටීම අපට සැපයක්. එතකොට ප්‍රියමනාප දෙය හා එක්වන්නට ලැබීම? බැලූ බැල්මට නම් එයත් සැපයක් කියලයි අපට පෙනී යන්නේ. හැබැයි, සත්‍යය තමයි කවදා නමුත් ඒ දේවල් අහිමි වී යද්දී දුක අප කරා පැමිණෙන බව. ඒ දුක අපේ උරුමය බවට පත් වුණේ ප්‍රිය විප්පයෝගය සිදු වුණ මොහොතේ දී නෙමෙයි; ප්‍රිය සම්ප්‍රයෝගය සිදු වූ මොහොතේ දීයි. නමුත්, දුක අප කරා එළඹුණේ සැපයක වේශයෙන්. ඒ විපරීත හඳුනාගැනීමට අප කැමතියි. ඒ වුණත්, ප්‍රිය අප්‍රිය යම්තාක් දේ ඇද්ද මේ සියල්ල අපට අත්හැර දමා යන්නට සිදු වනවා ම යි… “සබ්බං පහාය ගමනීයං…!”

ඒ නිසා, අප්‍රිය දේ සමඟ පමණක් නොවෙයි; ප්‍රිය දේවල් සමඟත් එක් වන්නට නම් එපා. එක් වී වාසය කරන විට සිතෙහි සෙනෙහස උපදිනවා. ඒ තුළින් දුක් රැසක් උපදිනවා. අප්‍රිය දේ සමඟ වාසය කොහොමටත් දුක් උපදවනවා. ප්‍රිය අප්‍රිය සියල්ල ඉක්මවා යන්න. මේ සියල්ල ඒකාන්තයෙන් ම හැර දමන්නට සිදු වන බව නිතර නිතර සිහි කරන්න.

සිතන සිතුවිල්ලක් පාසා, කියන වචනයක් පාසා, කරන ක්‍රියාවක් පාසා විඳීම පිණිස කර්ම සකස් වන ගමනක් යන අප දුක් විඳින්න අකමැති නිසා, සැප විඳින්න කැමති නිසා, සතුටින් ඉන්න කැමති නිසා සැප විපාක උපදවන සුචරිත ධර්මයේ ම යි හැසිරිය යුත්තේ. කර්මය දායාදය කරගෙන යන මේ ගමන ගැන නිතර නිතර සිහි කරනවා නම් එය ම සුචරිත ධර්මය දියුණු කරලීමට හේතු වෙනවා.

“පින්වත් මහණෙනි, කවර කරුණක් හේතුවෙන් ද ‘මම සිත කය වචනය මෙහෙයවා කරන කර්මය මා සතු දෙය කොට සිටිමි. මම කරන හොඳ නරක කර්මයන්ට අනුව උපත ලබන ස්වභාවය ඇතිව සිටිමි. මම කරන හොඳ නරක කර්මයන් මාගේ ඥාතියා කොට සිටිමි. මම කරන හොඳ නරක කර්මයන් පිළිසරණ කොට ඇත්තෙමි. යහපත් වූ හෝ පවිටු වූ හෝ යම් කර්මයක් කරන්නෙමි නම් එය දායාදය කොට සිටින්නෙමි.’යි ස්ත්‍රියක විසින් වේවා, පුරුෂයෙකු විසින් වේවා, ගිහියෙකු විසින් වේවා, පැවිද්දෙකු විසින් වේවා නිතර නුවණින් මෙනෙහි කළ යුත්තේ?

පින්වත් මහණෙනි, සත්වයන් හට කායික දුෂ්චරිතය ද වාචසික දුෂ්චරිතය ද මානසික දුෂ්චරිතයද ඇත්තේ ය. තමන්ගේ ක්‍රියාව පිළිබඳව නිතර මෙනෙහි කරන්නේ නම් ඔහුට යම් දුෂ්චරිතයක් ඇද්ද එය මුළුමනින් ම නැති වී හෝ යයි. නැතහොත් තුනී වී හෝ යයි. පින්වත් මහණෙනි, මේ අර්ථය සලකා බලා ය, ‘මම සිත කය වචනය මෙහෙයවා කරන කර්මය මා සතු දෙය කොට සිටිමි. මම කරන හොඳ නරක කර්මයන්ට අනුව උපත ලබන ස්වභාවය ඇතිව සිටිමි. මම කරන හොඳ නරක කර්මයන් මාගේ ඥාතියා කොට සිටිමි. මම කරන හොඳ නරක කර්මයන් පිළිසරණ කොට ඇත්තෙමි. යහපත් වූ හෝ පවිටු වූ හෝ යම් කර්මයක් කරන්නෙමි නම් එය දායාදය කොට සිටින්නෙමි.’යි ස්ත්‍රියක විසින් වේවා, පුරුෂයෙකු විසින් වේවා, ගිහියෙකු විසින් වේවා, පැවිද්දෙකු විසින් වේවා නිතර නුවණින් මෙනෙහි කළ යුත්තේ.”

(ඨාන සූත්‍රය – අං. නි. 3)

හැම මොහොතක් ම ගෙවී යන්නේ අපගේ ආයුෂය ගෙවා දමමින්. ඒ නිසා, එක මොහොතක්වත් අත්හරින්නට එපා. මෛත්‍රී සහගත කාය කර්මයෙන්, මෛත්‍රී සහගත වචී කර්මයෙන්, මෛත්‍රී සහගත මනෝ කර්මයෙන් ලෝකයට සංග්‍රහ කරන දක්ෂතාවය අපට තිබෙනවා නම් සහ මේ සියල්ල අත්හැර දමා යන්නට සිදුවන බවට වූ සිහිය අපට තිබෙනවා නම්, ලෝකය කොතරම් චණ්ඩ, රළු, කටුක ස්වභාවයන් සහිත වූවත් – මෘදු මොළොක් ළෙංගතු භාවයන් සහිත වූවත් අපේ අභ්‍යන්තරය නොසෙල්වෙන්නක් බවට පත් කර ගන්නට නිසැකව ම පුළුවනි. මේ චින්තන රටාව ලෝකයට ආදරය කරන්න, කරුණා දයාව දක්වන්න බාධාවක් නෙමෙයි. මේ චින්තනයේ පරතෙරට පැමිණි උතුමන් තමයි ලෝකයට පරම ආදරය දැක්වූයේ, පරම කරුණා දයා ගුණයෙන් ලෝකය සුවපත් කළේ. ඇලීම නිසාවත්, ගැටීම නිසාවත් නොවෙනස් වන සම සිතින්, සම මෙතින් ලෝකයට සුඛිත මුදිත බව දන් දෙමින් ඒ උත්තමයන් වහන්සේලා තමනුත් සුව සේ වෙසෙමින් අන්‍යයන්ට ද සුවපහසුව සලසා දුන්නා. අපේ ජීවිත ඉලක්කය විය යුත්තේ ජීවිතාවබෝධය උපදවා ගත් ඒ මුනිවරුන්ගේ චින්තන රටාවට අනුගත වීම යි.

සතුට තිබෙන්නේ කාමයන් තුළ නෙවෙයි. කාමයන් කියා කියන්නේ දුකට ම යි. කාමයන් යනු සතුටයි කියා පිළිගත්තේ ලෝක සම්මුතිය තුළ. එහි පිහිටා සතුට සෙවූ සියල්ලන් දුක්ට පත් වූවා මිස ඔවුන් අත්පත් කරගත් සතුටක් නැහැ. ධර්මය මේ සියලු ලෝක සම්මුතීන් ඉක්මවාලන්නක්. කාමය දුකට අයිති බව කියා දෙන්නේ ධර්මයෙනුයි. ධර්මය පුරුදු පුහුණු කරමින් කාමයන්ගෙන් නිදහස් වූවන් සතුටින්, සැපයෙන් වාසය කළේ එය ලෞකිකත්වය ඉක්මවූ ලොව්තුරු ධර්මතාවයක් නිසයි.

එනිසා, සිතත්, කයත්, වචනයත් සුචරිතයේ යොදවන්නට අපි උත්සුක වෙමු. අකුසල්වල බිය දකිමින් අපි සංවර වෙමු. අප වැනි ම වූ මිනිසුන් සිත කය වචනය සංවර කොට සැපයට පත් වූවා. තමන් ජීවත්ව සිටිය දී ම ප්‍රිය අප්‍රිය සියල්ල අත්හැරියා. නැවත උපතක් කරා නොපැමිණ සසරින් ද නිදහස් වුණා. මරණය නිසා නොවේ; ඒ අයුරින් යථාවබෝධය උපදවා ගැනීම නිසා සියල්ල හැර දමන්නට හැකි නම් ඒ තමයි දිනුම… එතැන තමයි සතුට පවතින්නේ. ඇත්තටම, ඒ තමයි සියල්ල අත්හැර දමන්නට අප තෝරා ගත යුතු තැන…!

සටහන – උදුලා පද්මාවතී