‘‘හොඳින් දෑස් පියාගෙන පහසු ඉරියව්වකින් වාඩිවෙන්න. අපි සුළු වෙලාවක් අනිත්‍ය භාවනාව මෙනෙහි කරමු.”

ස්වාමීන් වහන්සේගේ හඬින් අන්ද මන්ද වූ මම විසිරුන සිතිවිලි එක් තැනකට ගන්නට දැරූ උත්සාහය නිරර්ථක වූව ද සිත කෙසේ හෝ එකලස් කර ගනිමි’යි සිතුවෙමි. කිලෝ සියයක් දෙසීයක් පමණ වූ බරක් මාගේ කයෙහි තිබෙන්නට විදියක් නැත. නමුදු මට එපමණ වූ බරක් දැනේ. සැබවින් ම මේ කයෙහි බර නොව සිතෙහි බර ය. මම සිතින්, සිතට බැණ වැදුනෙමි. ගර්හා කෙරුවෙමි, ආඩපාලි කිව්වෙමි. නමුදු සිත තම ස්ථාවරයේ ම සිටී. සිතට වුවමනා වී ඇත්තේ දින කිහිපයකට පෙරාතුව ඇස ගැටුන රූපයක් මෙනෙහි කරන්නට ය, එ් රූපය ගෙනවිත් ළඟින් හිඳුවා එහි හැඩවැඩ බලන්නට ය. සිතේ පැලපදියන් වූ ශබ්දයක් සිතින් මුමුණන්නට ය, බෙහෙවින් ම ආසා කරන්නා වූ ගන්ධයක් සිතින් සිහිපත් කරමින් ඉන්නට ය. මුළු ලොව ම අනිත්‍ය යැයි මනසිකාර කරන සිත ම එ් රූපය නම් නිත්‍ය යයි පවසයි… එ් ශබ්දය ද නිත්‍ය යයි පවසයි.. එ් ගන්ධය කිසිදා නො මැකී සදා අමරණීය වන බව සූක්ෂම ලෙස සාක්ෂි ඉදිරිපත් කරමින් හුවා දක්වයි.

මම මගේ කය දෙස බැලූවෙමි. එය සුදු පිරුවටයකින් වෙළී ඇත. එකදු පැල්ලමක්වත් නොමැතිව කිරි සුදු පාටින් දිදුළන එ් ඇඳුම මගේ කිලිටි සිත වසා දමා ලෝකයට මා දමනය වූ අයෙක් ලෙස පෙන්වයි. නමුදු පිරුවටයේ සැඟවී මට වද දෙන සිතෙහි ඇති පැල්ලම් ඉවත් කර ගත නො හැකිව මා විඳිනා දුක දන්නේ මා පමණක් ම ය. සියලූ සැදැහැවතුන් දෑස් වසාගෙන ය. සෑම කෙනෙකුගේ ම කය නිසොල්මන් ය. මා හට ඇති වූ පරාජිත බව මුසු වූ ලජ්ජාව විසින් මාගේ දෑස් ඉබේ ම වසා දැමිණි. දැන් මාගේ කය නිසල ය. නමුදු සිත සසල ය. එක්වර ම මාගේ දෑස් විවර වූයේ අසලින් ඇසුණ බිරුම් හඬක් සමඟ ය. එ්.. වේල් දෙක තුනක් හෝ ඊට වැඩි ගණනක් කුසගින්නේ සිටින්නට ඇතැයි සිතිය හැකි බල්ලෙකි. ඌ අසල වූ කජු ගස දෙස බලමින් බුරයි. නැවතත් ගස වටේ රවුමක් දුවයි. නැවතත් බුරයි. නගුට සොලවයි. ගොරවයි. හිස හැරුන අත දුවයි. නැවතත් ගස ළඟට පැමිණෙයි. උගේ කුරුමානම ගස උඩ දුව පැන නටනා ලේන් පැටියා අල්ලා ගැනීමට ය. තමාට සිදුවන්නට යන දේ පිළිබඳව ලේනාට ඉව වැටී ඇති සෙයකි. මගේ නෙත් විටින් විට ලේන් පැටියා දෙසටත්, ගස මුල සිටින බල්ලා දෙසටත් දිව යයි. ලේන් පැටියා කෑ මොර දෙයි. අත්තෙන් අත්තට පැන යයි. විටෙක ගසින් බිමට වැටෙයි. නැවත ගස දිගේ වේගයෙන් උඩට දිව යයි. නගුට සොලවයි. උදව්වට යමෙක් සිටීදැයි විපරම් කර බලයි. බල්ලා තවමත් ගස මුලදැයි එබිකම් කර බලයි. මේ සතුන් දෙදෙනාගේ වේගයෙන් වෙනස් වන ඉරියව් දෙස මම විනාඩි කිහිපයක් බලා සිටියෙමි. මගේ සිතත්, මේ සතුන් දෙදෙනාගේ කයත් අතර වෙනසක් තිබේ ද? මසිතට එක් වර ම අකුණක් ගැසුවාක් සේ ප‍්‍රබෝධවත් හැඟීමක් ඇති විය. සැබවින් ම වෙනසක් ඇත. කුමක් ද? මේ සතුනට කිසි විටක තමාගේ ඉරියව් පාලනය කර ගත නො හැකි ය. කොතෙක් කිව්ව ද බල්ලා දිගින් දිගට ම නගුට සොලවනු ඇත. බුරමින් දුව නටනවා ඇත. කුමන සත්වයෙක් ගත්ත ද එසේ ම ය. නමුත්…. යමෙක් මා හට නො සෙල්වී සිටින්න යැයි කී පමණකින් මට නො සෙල්වී සිටිය හැකි ය. ඇතැම් ආරක්ෂක භටයන් පැය ගණනාවක් නො සෙල්වී එක ම ඉරියව්වෙන් සිටිනවා මා දැක ඇත. ඇතැම් තාපසවරුන්… භික්ෂූන් වහන්සේලා දින ගණන් තම කය නො සොල්වා සිටින බව මා අසා ඇත. කුමක් ද මේ වෙනස? මිනිසත් බවක් ලැබීමෙත්, තිරිසන් බවක් ලැබීමෙත් වෙනස ය. සිතන්නට පුළුවන්කමක් ලැබීමේ වෙනස ය. මිනිසත් බව යනු සිතන්නට හැකි ප‍්‍රඥාවක් ලැබීම ය. එය ලද මා අද කය නො සොල්වා සංවර කර ගන්නේ නම් සිත සංවර කර ගත නො හැක්කක් යයි සිතීම කොතරම් අනුවණ ද?

ඔබත්, මමත් මේ සසර පුරාවට සිත සමඟ පොර බැද, නමුදු අවසානයේ සිතට ම ජයග‍්‍රහණය උරුම කර ගන්නැයි කියා අත් දෙක පිස දමාගෙන පසෙකට වූ නිසාවෙන් අනන්ත වාර ගණනක් නිරයේ පැසෙමින්, තිරිසන් ලෝකයේ දුක් විඳිමින් බොහෝ දුරක් ආවෙමු. නිරන්තරයෙන් ඔබ ඇස ගැසෙන සතුන් දෙස විමසිල්ලෙන් බලන්න. ඉන්ද්‍රිය සංවරයක් කෙසේ නම් ඇති කර ගන්න ද? ඇත් ගොව්වකු විසින් හෙණ්ඩුවකින් දමනය කරන ලද ඇතෙක් වුව ද කොතරම් දමනය වුව ද උගේ දෙකන් පෙති නිරන්තරයෙන් සෙලවේ. වලිගය දෙපසට වනයි. ලතාවකට කය දෙපැත්තකට පැද්දේ. නිසංසලව සිටීමේ හැකියාව එවන් හස්තිරාජයෙකුට වුව ද අහිමි ය.එසේ වුව නමුදු අකාලික ශ‍්‍රී සද්ධර්මය මැනවින් ප‍්‍රගුණ කළ අරහත් උතුමන් හට ඇසට හෝ හස්තයකට ගෝචර නොවන සිහින් හුස්ම රැල්ල පවා නවතා දැමිය හැකි ය. කුමක් ද මේ වෙනස…? මනුසත් බව ලැබීමේ වෙනස ය….

අපට අපව යම් තරමකට හෝ දමනය කර ගත හැකි බවට බලාපොරොත්තු තබා ගැනීමට, තිරිසන් සතුනට අහිමි – අප සතුව ඇති එම අත පය සංවර කර තබා ගැනීමට ඇති හැකියාව ම ප‍්‍රමාණවත් ය. බස් රථයක යන එන මොහොතක පවා අපට තැන්පත් වන්නට සිතුණ විටක කය නිසොල්මනව තබාගෙන දෙනෙත් පියාගෙන සුදුසු ධර්ම මනසිකාරයක යෙදීමේ භාග්‍ය ඇත.

තිරිසන් සතුන් පසෙකින් තබා මිනිසත් බව ලබා ඉපිද සිටින මේ ලෝකයේ සෙසු මනුසතුන් පිළිබඳව මොහොතක් සිතන්න. මේ කය සන්සිඳුවාගෙන ඉන් සතුටක් ලබනුයේ ඉතාමත් අතළොස්සකි. ඇතමෙක් තම කය ප‍්‍රයෝජනයට ගෙන තමාගේ වේගය අන් අයට පෙන්වා සතුටු වෙයි. ඇතමෙක් මේ කයෙහි ම ශක්තිය අන් අයට පෙන්වා සතුටු වෙයි. තවකෙක් මේ කය විදුලි වේගයෙන් එහාට මෙහාට සොලවා එයට නර්තනය යැයි කියා අන්‍යයන් උන්මාදයට පත් කර සතුටු වෙයි. වෙන අයෙකු අනුකරණය කරමින් එයට රංගනය යැයි කියා අන්‍යයන් පිනවන්නට ද ඇතමෙක් භාවිත කරන්නේ ඔබ මා නිසොල්මනේ තබා ගන්නට වෙර වීරිය කරන මේ කය ම නො වේ ද?

එසේ හෙයින් සුදු පිරුවටයක් පොරවාගෙන, බිම ඇතිරූ ඇතිරිල්ලක වාඩිගෙන, දෙපා දෙදණින් නවාගෙන, කඳ කෙළින් කොට තබාගෙන දෑස් පියාගෙන ඉන්නට සිතීම පවා සුළු පටු දෙයක් නො වේ ම ය. එතුවකුදු නොව මහත් ම වූ භාග්‍ය නම් මෙසේ අත පය තිබූ තැන තබා අපට සිතන්නට ආශ්චර්යවත් වූ ධර්මයක් ලැබීම ය. දෑස් පියාගත් කළ කොතරම් මිහිරි අමිහිරි රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු විසින් අපව පීඩාවට පත් කළ ද ඉන් ගැලවී යන්නට වීරිය වඩන්නට කියා දෙන මුනි දහමක් අපට ලැබීම ය.

යම් දිනක අපගේ කය ඇඳක වැතිරී අත පය හෝ සොලවා ගන්නට නො හැකිව බලා ගත් අත බලාගෙන සිටින්නට වන දිනයක් අපට එළඹෙනු ඇත. එදිනට සිතීමට යමක් පවතී නම් එ් අද දවසේ ඔබ මා දමනය කර ගත් සිත විසින් රැස් කර ගත් දෙය ම ය. එසේ හෙයින් අද ම අර පෙනෙන සක්මන් මළුවට ගොඩ වී, අර පෙනෙන ගස් සෙවණට වැදී, අර පෙනෙන කුටියට ගොස්, එ් කිසිත් නැති නම් මේ දැන් ඔබ සිටින තැන සිට ම… අරඹන්න… සමාහිත කරන්නට මේ සිත..

මහාමේඝ 2015 ඇසළ කලාපය
WWW.MAHAMEGHA.LK

සටහන
තේජා දිල්රුක්ෂි දයාරත්න