පින්වත් දුවේ පුතේ,
නෙළුම හෙවත් පියුම යනු සුන්දර පුෂ්පයක්. බුදු දහමේ නොයෙක් තැන නෙළුම උපමා කොට දහම් දේශනා කර තිබෙනවා ඔබ දැක ඇති. නෙළුම් ගසක් වැවෙන්නේ මඩ සහිත අපිරිසිදු ජලය ඇසුරු කරගෙනයි. ඒ වුණත් එහි හට ගන්නා නෙළුම පිරිසිදුයි. මඩෙහි ම පෝෂණය ලැබුවත් එහි නොගෑවී ඉන් උඩට මතු වී සුවඳවත් ව ප්‍රසන්න ව නෙළුම විකසිත වෙනවා. නෙළුම් මලට පුංචි ඔබත් හරිම කැමතියි නේ ද? අපගේ බුදුරජාණන් වහන්සේත් සුසිනිඳු, පිවිතුරු නෙළුමක් වැනි යයි බුදු දහම පැහැදිලි කරනවා. උන්වහන්සේ රාගාදී කෙලෙස් කිලුටු නිසා දූෂිත වූ මිනිසුන් අතර වැඩ සිටියා. ඒ වුණත් කෙලෙස් මඩ වගුරෙහි ගිලුනේ නෑ. උන්වහන්සේ බැබළුනේ මඩ සහිත ජලයේ නොතැවරී ඉහළට මතු වූ නෙළුමක් වගේ…
මේ තුන් ලෝකයේ ම වෙසෙන සත්වයන් ස්වභාවයෙන් ම රාගාදී කෙලෙස් සහිත සිත් ඇති අයයි. එහෙත් බුදුරජාණන් වහන්සේ කෙලෙස් මලින් තොර වූ පිරිසිදු සිත් ඇති උතුමෙකු වන සේක. භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකය දුටුවේ පොකුණක් වගේ. විලෙහි හට ගන්නා නෙළුම් විවිධාකාරයි. සමහර නෙළුම් මඩෙහි ම හටගෙන මඩෙහි ම රැඳී සිටිනවා. සමහර නෙළුම් මඩ ජලය සමග වැතිරී සමව සිටිනවා. සමහර නෙළුම් මඩෙන් ම යැපෙමින් උඩට මතු වී සිටිනවා. ඒවා විකසිතව ප්‍රබෝධමත් ව බබළනවා. ඒ වගේ තමයි දරුවනේ, විවිධාකාර සත්වයින් වාසය කරන මේ ලෝකයත් මඩ ජලය පිරුණු පොකුණක් වගේ. සමහර මිනිසුන් කෙලෙස් මඩ වගුරෙහි ම ඇලී ගැලී සිටිනවා. සමහර මිනිසුන් මඩ දිය හා සමව සිටින නෙළුම වගේ කෙලෙස් හා සමව සිටිනවා. එහෙත් මඩ වතුරෙන් ඉහළට මතු වී එහි නොගෑවී සිටින නෙළුම් මල් මෙන් බුද්ධාදී උතුමෝ කෙලෙස් මඩ වතුරෙන් ඉහළට නැගී, එහි නොගෑවී වැඩ සිටිනවා. එම ජීවිතය හඳුන්වන්නේ ‘පද්මාකාර ජීවිතය’ කියලයි.
ඉතින් දුවේ පුතේ, බෞද්ධයන් වන අපගේ පරමාදර්ශය වන්නේ බුදුරජාණන් වහන්සේත්, නික්ලේශී ශ්‍රාවකයන් වහන්සේලාත්. ඒ ආදර්ශයට අනුව අපගේ සිතුම් පැතුම් හා හැසිරීම් සකස් කර ගන්න ඕන. අපිත් උපත ලැබුවේ මිනිස් සමාජය නැමැති පොකුණේ තමයි. අපගේ උපත, පිළිසිඳ ගැන්ම, බිහි වීම අපිරිසිදුයි. අප හැදී වැඩෙන්නේ, අධ්‍යාපනය ලබන්නේ, දිනුම්, පැරදුම්, වාසි, අවාසි, නින්දා, ප්‍රශංසා විඳින්නේ, සතුටින් අසතුටින් වසන්නේ, මේ සමාජය තුළ ම යි. ඉතින් රාගාදී කෙලෙස් තුළ ම ඇලී ගැලී නොසිට බෞද්ධයන් වන අප සැම එයින් නිදහස් වන්න උත්සාහවත් විය යුතුයි. එම ලෝකයේ ම ඇලෙමින්, ගැටෙමින් සිටියොත් එය අඳුරෙන් අඳුරට යාමක් වෙනවා. වරදින් වරදට යාමක් වෙනවා. දුකින් දුකකට ම යාමක් වෙනවා. බුද්ධාදී උතුමන්ගේ ආදර්ශයට අනුව සමාජයේ සිටින අප අපිරිසිදු ජලය ඉක්මවා ගිය නෙළුමක් වගේ සමාජය ඉක්මවා යා යුතුයි. අවිද්‍යා තෘෂ්ණාවට ම ඇලී ගැලී නොසිට සසර දුකෙහි නොගැලී ඉහළට මතු විය යුතුයි.
වෛර කරන අය අතර වෛර නොකරන්න. රාගාදී කෙලෙස්වලින් රෝගී වූ මිනිසුන් අතර නිරෝගී වන්න. පස්කම් සැප ම හොයන මිනිසුන් අතර ඒවාට උනන්දු නොවන්න. එසේ සුව සේ ජීවත් වන්නට උත්සාහවත් විය යුතුයි. පාසල් සිසුන් වන ඔබත් සමාජයේ කොටස්කරුවන් පිරිසක්. සමාජය තුළ නොයෙක් ආකාරයේ දුසිරිත් අපරාධ බහුලයි. ඒ වුණත් දුසිරිත් කරන මිනිසුන් අතර සුසිරිත් වඩමින් ජීවත් වන්නට ඔබ සමත් විය යුතුයි. බෞද්ධ දරුවන් වශයෙන් එබදු සමාජයක ජීවත් වන ඔබ විනය විරෝධී, නීතිවිරෝධී ක්‍රියාවන් අප වටා සිදු වන විට ඒවාට හසුනොවී සියල්ල ඉක්මවා ගිය පෞරුෂයක් ගොඩනගා ගත යුතුයි. එවැනි වැරදි ක්‍රියාවල යෙදෙන අපගේ මිතුරන් ඉන් මුදවා ගැනීමට ක්‍රියා කළ යුතුයි. මඩගොහුරු සමාජ ක්රමයේ ම තවත් සාමාජිකයෙක් නොවන්නට කටයුතු කිරීම ඔබගේ වගකීමක්. එවිට ඔබත් පද්මාකාර ජීවිතයකට හිමිකම් කියන්නෙකු වනවා නොඅනුමානයි.
පින්වත් දරුවනේ, නරක වචන, නරක පුරුදු, නරක වැඩ සිදුවන්නේ නරක ආදර්ශ නිසා බව දැක්වෙන ලස්සන ජාතක කතාවක් අදත් ඔයාලට කියලා දෙන්නම්. කතාවෙ නම මහිලාමුඛ ජාතකය යි. ඉන්දියාවේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ට සිටියා මඟුල් ඇතෙක්. ඉස්සර රජ්ජුරුවන්ට ගමන් බිමන් යන්න වෙනම ඇතෙක් සිටියා. මේ ඇතාට තමයි මඟුල් ඇතා කිව්වේ. මේ ඇතාට කවුරුත් කිව්වේ මහිලාමුඛ ඇතා කියලා.
මේ ඇතා හරිම කරුණාවන්තයිල මිත්රශීලියිල බොහෝම ගුණගරුකයි. කිසිම කෙනෙකුට කරදයක් කළේ නැහැ. ඒ නිසා කවුරුත් මේ ඇතාට ආදරය කළා. මේ ඇතාගේ ඇත් ගාල තිබුණේ පුංචි කැලයක් අද්දර. මේ ඇතාට කෑමෙන් බීමෙන් නම් අඩුවක් තිබුණේ නැහැ. රජතුමාගේ මඟුල් ඇතා කිව්වම කෑමෙන් බීමෙන් ඒ වගේ ම සැලකිල්ලෙන්, සොයා බැලීමෙන් අඩුවක් වෙන්නේ නැහැනේ.
ඔන්න ඉතින් දවසක් මේ කැලේට සොර රංචුවක් ආවා. එයාලා හිටියේ මේ ඇත්ගාල අද්දර ම යි. සතියක විතර කාලයක් මේ සොර රංචුව මෙතනට ආවා ගියා. ඉතින් මේ මහිලාමුඛ ඇතාට මේ සොර රංචුව කතා කරනවා හොඳට ඇහෙනවා. එයාලා කතා කළේ ම සොරකම් ගැන. ඒ විතරක් නොවෙයි, ගහන්න, මරන්න, වරෙන්, යමං වගේ නරක වචන මේ මහිලා ඇතාට ඇහුණා. කවදාවත් මේ කතා අහල නැති මේ ඇතා තමාට මේ විදිහට හැසිරෙන්න කියනවා කියලා හිතුවා. ඒ අනුව එයා වෙනස් වෙන්න ගත්තා.
පහුවදා වෙනකොට ඇත් ගාලේ හිටියේ නපුරු ඇතෙක්. එයා ගාවට සුපුරුදු විදිහට ඇත්ගොව්වා එනකොට පයින් ගහල මරුවා. ඒ විතරක් නොවෙයි. කෝපයෙන් දඟලන්නත් ගත්තා. කෑ ගහන්නත් ගත්තා. කාටවත් කිට්ටු වෙන්න බැරි වුණා. මේ ආරංචිය රජතුමාගේ කනට වැටුණා. මහිලා ඇතාගේ මේ වෙනස් වීම ගැන රජතුමාට පුදුමයි. කවදාවත් නැතිව ඇතා නපුරු වීම ගැන රජවාසලේ කවුරුත් කතා වුණා. ඒ රජතුමාගේ පුරෝහිත බමුණුතුමා වෙලා හිටියේ අපගේ මහ බෝසතාණන් වහන්සේයි. එතුමා රජතුමාගේ නියමය අනුව ඇතාගේ වෙනස් වීමට හේතුව සොයන්න පටන් ගත්තා. මිනිසුන්ගෙන් අහලා සොයා බැලූවා. මේ අනුව ඇතාගේ වෙනස් වීමට හේතු වුණ කරුණ පුරෝහිතතුමා සොයා ගත්තා.
“රජතුමනි, මේ මහිලා ඇතාගේ ඇත්ගාල ගාවට සොර රංචුවක් පසුගිය සතිය පුරා ම ඇවිත් තියනවා. එයාලා කථා කරපු වචන අහල තමයි මේ ඇතා වෙනස් වෙලා තියෙන්නේ.”
“ඒ කියන්නේ ඇමතිතුමා නරක ආදර්ශ නිසා මේ ඇතා වෙනස් වුණා කියල ද?”
“ඔව් එහෙම තමයි. අපි මහිලා ඇතාට ඇහෙන්න ම යහපත් වචන කතා කරමු. යහපත් දේවල් පෙන්නමු.”
පුරෝහිතතුමා කිව්වා. ඒ අනුව එදා පටන් මහිලාමුඛ ඇතා වෙනස් වෙන්න පටන් ගත්තා. එයාට හැම දවසෙම අහන්න ලැබුණේ හොඳ වචන. ඉඳ ගන්න, එන්න, යන්න… ඒ වගේ වචන නිසා මේ ඇතා තුළින් ඉවසීම, කාරුණික බව මතු වෙන්න ගත්තා.
ඉතින් දුවේ පුතේ, අපිරිසිදු සිත් ඇති මිනිසුන් අතර පිරිසිදු සිත් සතන් ඇතිව විසීමටත්, වැරදි කරන්නවුන් අතර නිවැරදි දේ කිරීමටත් ඔබත් උත්සාහවත් වන්නට සිතට ගන්න. එය බුද්ධාදී උතුමන්ගේ ආදර්ශය යි. පද්මාකාර ජීවිතය යි.
සටහන – මානෙල් නැන්දා
Recent Comments