මඟ නොමඟ නොදැන අපි බොහෝ කාලයක් පුරාවට මේ සංසාර ගමනෙහි පැමිණියෙමු. ඒ අයුරින් පැමිණි සංසාර ගමන පටන් ගත් කෙළවරක් පනවන්නට පවා අසීරු බව භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා වදාළ සේක. එසේම ඒ දීර්ඝ සංසාරයෙහි අපි බොහෝ දුක් වින්දෙමු. තියුණු කටුක අමිහිරි දුක්වලට මුහුණ පෑවෙමු. නොයෙකුත් ව්‍යසනවලට බඳුන් වූයෙමු. මෙකී සංසාර ගමනෙහි කළ එක ම දේ මහ පොළව නම් වූ සොහොන් පිටිය පිරවූ එක පමණි. (ඒවං දීඝරත්තං වෝ භික්ඛ දුක්ඛං පච්චනුභූතං, තිබ්බං පච්චනුභූතං, ව්යසනං පච්චනුභූතං, කටසි වඞ්ඪිතා) දැනුදු අපි මේ ජීවිතයේ දී නොයෙකුත් ප්‍රශ්නවලට මුහුණ පාන්නෙමු. සමහර අවස්ථාවන්හි නොසිතූ පරිද්දෙන් ප්‍රශ්න පිට ප්‍රශ්න පැමිණ අප යටකර ගෙන යයි. එම ප්‍රශ්න අප සිතන තරම් පහසුවෙන් විසඳාගන්නට නොහැකි අවස්ථාවන් ද එමට ය. නමුත් එම ප්‍රශ්නවලට බොහෝ විට සැඟවුණ විසඳුමක් තිබේ. ඒ බව බොහෝ පිරිසක් නොදනිති. ඔබ ද ඒ ගැන නොදන්නවා වෙන්නට පුළුවන. දැනගත් නමුදු ක්‍රියාවෙහි යොදවන්නේ නැතුවා විය හැකි ය. අප හමුවට පැමිණෙන ඒ බොහෝ ගැටළුවලට, අර්බුදවලට තියෙන්නා වූ සාර්ථක ම විසඳුම නම් ‘ඉවසීම’ යි.
‘මෙය ද සියල්ලට විසඳුම?’ යැයි ඔබට සිතෙනවා නොඅනුමාන ය. එයට හේතුව සමාජය විසින් ඒ සඳහා ලබා දී ඇති තැනයි. ඉවසීම ගැන මෙසේ අසන්නට ලැබී ඇති බවට සැකයක් නැත. “මටත් ඉවසීමේ සීමාවක් තියෙනවා…. දැන් මගෙ ඉවසීමේ රතු කටුව පැනලයි තියෙන්නෙ…. ඕනවට වඩා ඉවසන්න ඕනෙ නෑ…. මොකද ඔය තරම් ඉවසන්නෙ බයට ද?” ආදී බොහෝ දේ ඇත. සැබැවින් ම ඔය කියන්නා වූ ඉවසීමේ සීමා මායිම තියෙන්නේ කොතැන ද? එහි සීමාව ගැන නොකියා ඉවසීම පාරමිතාවක්, උප පාරමිතාවක්, පරමත්ථ පාරමිතාවක් වශයෙන් සාරසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරාවට පුරුදු කළ උත්තමයාගෙන් අපි ඉගෙන ගත යුත්තෙමු. ඒ අන් කවරෙක්වත් නො වේ. අප ඉතා ආදරයෙන් සරණ ගිය අපගේ ශාස්තෘ වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ය. උන්වහන්සේ වදාළේ, “ඛන්තී පරමං තපෝ තිතික්ඛා” – “ඉවසීම යනු උතුම් ම තපස” බව යි. එයට හේතුව පැවිදි ජීවිතය ඉවසීම මත ම බැඳී තිබෙන්නක් නිසාවෙනි.
භාග්‍යවතුන් වහන්සේ වදාළේ පැවිද්දා විසින් සීතල, උෂ්ණය, බඩගින්න, පිපාසය, මැසි මදුරු කරදර, අනුන් කියන ඇණුම් පද, නින්දා අපහාස, තර්ජන, විවේචන, විහිළු තහළු, දරුණු ශාරීරික වේදනා ඉවසිය යුතු බව ය. මෙය කී සැණින් බොහෝ අයට සිතෙන්නේ එසේ නම් ඉවසන්නට ඕනේ පැවිද්දන් ය කියා ය. එය එසේ නම් නො වේ. පැවිද්දා මෙය කෙසේ හෝ පුරුදු කරයි. අනෙක පැවිද්දන්ට ගිහියන්ට සේ බාහිර ප්‍රශ්නවලට මුහුණ දීමට සිදු නො වේ. පැවිද්දාට ආර්ථික ප්‍රශ්න, අඹුදරු ප්‍රශ්න, ව්‍යාපාර ප්‍රශ්න, රැකියා ප්‍රශ්න, දේශපාලන ප්‍රශ්න, ආහාර සෙවීමේ ප්‍රශ්න නැත්තේ ය. නමුත් ගිහි පිරිසට එසේ නොවෙති. නොයෙකුත් ප්‍රශ්නවලට මුහුණ පාන්නේ ඔවුන් ය. එසේ වුවත් ඉවසීම යනු ගිහි පැවිදි සියල්ලන්ට ම අත්‍යවශ්‍ය ම දෙයකි. අතිශයින් ම ප්‍රයෝජනවත් ය.
භාග්‍යවතුන් වහන්සේ ඉවසීම ගැන වදාළ ප්‍රධාන ම අවවාදය නම් ‘කකචූපම අවවාදය’ යි, කියත උපමා කොට වදාළ දේශනාව යි. එහි අර්ථය සරලව කියතොත් ඇත්තේ මෙය යි. “ඔබ දරුණු සොරු විසින් අල්ලාගෙන දෙපැත්තේ මිට තියෙන තියුණු කියතකින් ශරීරය කොටස්වලට කපන විට ඔවුන් කෙරෙහි ද්වේෂ සිත ඇති කර නොගත යුතුයි. යමෙක් එවැනි අවස්ථාවක වුවත් ද්වේෂය ඇති කර ගත්තොත් ඔහු මාගේ අනුශාසනාව කරන්නෙක් නොවෙයි.” සිතා බලන්න, ඉවසීම කොයි තරමට පුරුදු කළ යුතු දෙයක් ද කියා. අප මෙහි ආසන්න මට්ටමටවත් පැමිණ නැත. උන්වහන්සේ මේ අයුරින් වදාළේ ඉවසීම එලෙස ම පුරුදු කරමින් ය. ක්ෂාන්තිවාදී ජාතකය, මූගපක්ඛ ජාතකය එයට නිදසුන් ය. බොහෝ අඥානයන් සිතන්නේ ඉවසීම ළාමක දෙයක් ය, මෝඩයන්ගේ දෙයක් ය කියා ය. ඉවසන විට තමා පහත් තත්ත්වයට වැටෙතියි යන්න ඔවුන්ගේ හැඟීම යි. මේ ගැන මනා කොට තේරුම් ගැනීමට ඉතා යෝගය සුත්‍ර දේශනාවකි සංයුත්ත නිකායේ තිබෙන ‘සුභාෂිත ජය’ සූත්‍රය. එහි තිබෙන්නේ අසුර නායකයාත්, දෙදෙව්ලොවට අධිපති ශක්‍ර දේවේන්ද්රයාත් අතර පැවති ‘යහපත් වචනයෙන්’ ජය ගැනීමේ තරඟයකි. මෙය බොහෝ අය ඉවසීම ගැන දරන විවිධාකාර සාවද්‍ය මතවලට හොඳ ම පිළිතුරකි. වේපචිත්ති අසුරේන්ද්රයා මුලින් ම මේ ගාථාව පැවසුවේ ය.
“ඉතින් වළක්වන්න කෙනෙක් නැත්නම්, අඥාන උදවිය බොහෝ සෙයින් යුද්ධවලට පැටලෙනවා. ඒක තමයි නුවණැත්තා දැඩි දඬුවම් දීලා හරි බාලයා ව මේච්චල් කරන්නෙ.”
මෙයට පිළිතුරු ලෙස සක් දෙවිඳු පැවසුවේ මෙය යි.
“අනුන්ට කේන්ති ගිය බව දැනගෙන, තමන් සිහිනුවණින් යුතුව සංසිඳෙනවා නම්, මං හිතන්නේ බාලයා ව පාලනය කරන්න ඒක තමයි හොඳ කියලා.”
සක් දෙවිඳු ඒ අයුරින් පිළිතුරු දුන් විට අද බොහෝ අයට ඇතිවන ප්රශ්නය ම වේපචිත්ති අසුරේන්ද්රයාට ද ඇති විය. බලන්න මෙය ම නොවේ ද අපටත් ඇති වෙන්නෙ කියා.
“සක් දෙවිඳුනි, ඔය ඉවසීම ගැන මම එක්තරා වරදක් දකිනවා. යම් විටෙක ඉවසන කොට, මෝඩයා හිතන්නේ මෙයා මට මේ බයෙන් ඉවසනවා කියලා. පැනලා දුවන ගවයෙක් ව යටකරගෙන, ගව රංචුවක් දුවනවා වගේ අඥාන කෙනා ඉවසන කෙනාව ම යි යටකරගෙන යන්නෙ.”
අද සමාජයේ වැඩිම පිරිසකට තිබෙන්නේ මෙය යි. ඉවසනවාට වඩා වෙන වෙන ක්‍රියාමාර්ගවලට යොමු වන්නේ ‘මම ඉවසුවොත් හිතයි මං බයේ ඉන්නවා කියලා, ඉවසුවොත් හිනා වෙයි මං මෝඩයෙක් කියලා’ ආදී වශයෙන් සිතන නිසා ය. මෙය යි බොහෝ අයට වරදින්නට හේතුව. ඉතා සුළු ප්රශ්නය පවා සංකීර්ණ ගැටළුවක් කර ගන්නේ එමඟින් ය. එවිට සිදු වන්නේ එක ප්‍රශ්නයක් විසඳීම වෙනුවට තවත් ප්‍රශ්න ගණනාවක් අප හිස මත කඩා වැටීම යි. නමුත් අප මුලදි ම තේරුම් ගත්තා නම්…. විසඳුම ඉතා ම සරල ය. මේ අවස්ථාවේ සක් දෙවිඳුන් විසින් අපූර්ව පිළිතුරු ගාථා කිහිපයක් වේපචිත්ති අසුරේන්ද්රයාට ප්‍රකාශ කළේ ය.
“මෙයා මේ ඉවසන්නෙ මට බයෙන් ය කියලා කෙනෙක් හිතුවත් කමක් නෑ. නැතත් කමක් නෑ. උතුම් යහපත නම් තමා තුළ යහපත් ගුණධර්ම ඇති කර ගැනීම යි. ඉවසීමට වඩා උතුම් දෙයක් නෑ.
යම් කෙනෙක් අතිශයින් ම බලවත්ව ඉඳගෙන, දුර්වල කෙනෙකුගේ නින්දා අපහාස ඉවසනවා නම්, ඒක තමයි ලොකු ම ඉවසීම. බැරි කෙනා හැමතිස්සේ ම ඉවසනවා නෙව.
යම් අඥානයෙකුගේ බලයක් වේ ද ඒකට බලය කියලා කිව්වට එතන බලයක් නෑ. ධර්මය තුළ සුරැකී ඉන්න කෙනාගෙ ඉවසීම අභිභවා යන්න දෙයක් නෑ.
යම් කෙනෙක් කිපෙන කෙනාට පෙරළා කිපෙන්නෙ නැත්නම්, එයා තමයි ජය ගන්ට දුෂ්කර වූ යුද්ධය ජයගන්නෙ.
අනුන් කිපුණ බව දැනගෙන, තමන් සිහි නුවණින් සංසිඳෙනවා නම්, එයා තමාටත්, අනුන්ටත් දෙපැත්තට ම යහපත සලසා ගන්නවා.
තමාටත්, අනුන්ටත් දෙපැත්තට ම සෙත සලසන කෙනා ගැන, ධර්මයේ අදක්ෂ කෙනා හිතන්නෙ ඔහු මෝඩයෙක් ය කියලා.”
සිතා බලන්න. මේ අයුරින් ප්‍රකාශ කරන්නේ අප වැන්නෙකු නො වේ. එකවර දහසක් ප්‍රශ්න විසඳීමට හැකියාවක් ඇති ආර්ය ශ්‍රාවකයෙක් වූ, දෙදෙව්ලොවට ම අධිපති වූ සක් දෙවිඳු ය. ඔහු සිටින තැනත්, අප සිටින තැනත් දෙස බලන විට කිසිසේත් සැසඳිය නොහැක. නමුත් එවන් අධිපතියෙකු පවා ඉවසන අයුරු මොනතරම් අගනේ ද…! මෙකල්හී ද මෙය අනුගමනය කොට කොයිතරම් ප්‍රශ්න නිරාකරණය කර ගන්නට හැකියාව තිබේ ද? බොහෝ අය තමන් දුබල වූ තැන ඉවසන්නේ වෙන කරන්නට කිසිම දෙයක් නැති විටයි. දුබලයා ප්‍රබලයා ඉදිරියේ කොහොමත් ඉවසන්නේ ය. ඒ තමා දුබල නිසා මිස ඉවසිය යුතු නිසා නො වේ. යම් හෙයින් ප්‍රබලයා දුබලයා ඉදිරියේ ද ඉවසයි නම් එය සැබැවින් ම ශ්‍රේෂ්ඨ වන්නේ ය.
අප වෙත ලාභ, සැප, ප්‍රශංසා, යසස පැමිණෙන විට මහා ඉහළින් පිළිගන්නෙමු. නමුත් අලාභ, දුක, නින්දා, අයස පැමිණෙන විට හඬා වැටෙන්නෙමු. සියල්ල අහිමි වූවා සේ ශෝක කරන්නෙමු. නමුත් අප කළ යුත්තේ සියල්ල උපේක්ෂා සිතින් පිළිගැනීම යි. ඒ සඳහා ඉවසීම පුරුදු කර ගැනීම මහෝපකාරී වන්නකි. බොහෝ විට සිදු වන්නේ අප සිතන පතන දේ ම නො වේ. සිතූ දේ නොම වෙයි (චින්ති තම්පි විනස්සති) නොසිතූ දේ ම වෙයි. (අචින්ති තම්පි භවති). මෙකී නොකී බොහෝ අවස්ථාවන්වලට අපට ඉවසීම පුරුදු කර තිබීම මහත් අස්වැසිල්ලකි. නොඉවසීම නිසා ඇති වන ආදීනව ද භාග්‍යවතුන් වහන්සේ පඨම සහ දුතිය අක්ඛන්ති සූත්‍රවල දී දේශනා කළ සේක. යමෙක් ඉවසයි නම් මේවායෙහි යහපත් පැත්තට උරුමකම් කියති.
1. බොහෝ ජනයාට අප්‍රිය අමනාප වෙයි.
2. වෛර බහුල වෙයි.
3. වැරදි බහුල වෙයි.
4. රෞද්‍ර ද වෙයි.
5. පසුතැවෙන්නේ ද වෙයි.
6. සිහි මුළා ව කලුරිය කරයි.
7. කය බිඳී මරණින් මතු අපාය දුගතිය විනිපාත නම් වූ නිරයෙහි උපදියි.
මිනිසා ලෝකයෙන් සෑම විට ම සාධාරණයක් අපේක්ෂා කරමින් සිටියි. නමුත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ (සාධාරණේ විහඤ්ඤන්ති) සාධාරණය සොයන්නට යන කෙනා වෙහෙසට පත් වන බව යි. නමුත් ඉවසන කෙනා හට සාධාරණේ දී වේවා අසාධාරණේ දී වේවා දෙලොව ම යහපත උදා වන්නේ ම ය.
“යෝ කෝපනෙය්යේ න කරෝති කෝපං
න කුජ්ඣති සප්පුරිසෝ කදාචි
කුද්ධෝපි සෝ නාවිකරෝති කෝපං
තං වේ නරං සමණමාහු ලෝකේ”
“සත්පුරුෂයා කිසි කලෙක කෝප නොකරයි. යම් විටෙක කිපුණේ ද පරුෂ වචන කීම් ආදියෙන් කෝපය ප්‍රකාශ නොකෙරේ. යමෙක් කිපිය යුතු කරුණෙහි නොකිපේ නම්, ලෝකයෙහි ඒ නොකිපෙන මනුෂ්‍යයාට ‘ශ්‍රමණයා’ යැයි කියති.”
(ජාතක පාළි)
එසේ නම්, ගිහියාට ද ශ්‍රමණ ගුණ ඇති කර ගැනීමට හැකි ක්රමයකි ඉවසීම.
මෙකී සියල්ලෙන් ම අප තේරුම් ගත යුත්තේ ඉවසීමේ සීමාව ඉවසීම ම බව යි. ඔබ ද ඉවසීම මනා කොට පුරුදු කර ගන්න. එය පුරුදු කරන විට ඔබට ද නොදැනී ම බොහෝ ප්‍රශ්න විසඳී තිබෙනු ඇත. බුදු වදන සදාතනික පරම සත්‍යයකි. ඉන් එහා ගිය දෙයක් මෙලොව වේවා, පරලොව වේවා නැත්තේ ම ය.
මහමෙව්නාව අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසිනි
නමෝ බුද්ධාය !
බොහොම පින් ! ඉතා වටිනා ඔවදනක්.
සාදු! සාදු!! සාදු!!!
තෙරුවන් සරණයි !