රක්නට ඉතා ම දුෂ්කර වූ ඒ උතුම් බඹසර සීලය ගැන මෙසේ සඳහන් කරමු. අහෝ ලෝකයේ ඉතා ම සුළු පිරිසකට පමණක් උරුම වූ ඒ උතුම් බඹසර සීලය රකින්නෝ කවරහු ද? නිය සිලට ගත් පස් පිඩක් තරම් පිරිසක් රකින මේ බඹසර සීලය රකින්නෝ කවරහු ද? ලෝකයේ අතිශයින් ම දුර්ලභ වූ කාරණා දහය (අංගුත්තර නිකායේ ඉට්ඨධම්ම සූත්‍රය) තුළ ඇති ඒ උතුම් බඹසර රකින්නෝ කවරහු ද? බඹසර ගැන කතා කරන්නෝ කවරහු ද? ඒ උතුම් බඹසරට කැමති වන්නෝ කවරහු ද? ඒ උතුම් බඹසර සමාදන් වන්නෝ කවරහු ද? ඒ උතුම් බඹසර ඒ ආකාරයෙන් ම (සත්ත මේථූන සූත්‍රයට අනුව) රකින්නෝ කවරහු ද? ඒ නම් තුන් ලෝකයට ම අග්‍ර අපගේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ නො වේ ද? ඒ උතුමන් බඹසර මනා කොට රකින්නේ, ඒකාන්තයෙන් ම අපගේ බුදුරජාණන් වහන්සේ උදෙසා නො වේ ද? අපිදු අපගේ පරම පූජනීය ශාස්තෘන් වහන්සේ ව මනා කොට රකින ලද බඹසර සීලයකින් පුදන්නේ කවදා ද?

හුදෙක් අද සමාජයේ තරුණයින් බඹසර නසා ගන්නෝ ය. ඔවුන් බඹසර ගැන අසාවත් නැත්තෝ ය… අහෝ! ඉතා ම දුක්ඛිත තත්ත්වයකි… මෙම උතුම් බඹසරෙහි මනා ආනිශංස ඇත්තේ ය. බොහෝ දෙනා ඒ බව නොදනී. පින්වත් ස්වාමීන් වහන්සේලාගේ ඇසුරක් නොලැබෙන්න අපට ද බඹසරක් ගැන අසන්නටවත් වෙන්නේ නැත. මේ උතුම් බඹසරෙහි ආනිශංස පිළිබඳ ව ‘ඛුද්දක නිකායේ අට්ඨ කතාවේ දසසික්ඛාවල’ සඳහන් වන ආකාරය ගැන දන්නෝ කවරහු ද? ඒවා සොයන්නෝ කවරහු ද? වර්තමාන සමාජයේ කාමය ම පසුපස දුවන මිනිසුන් කොතරම් අවාසනාවන්ත ද? වර්තමාන සමාජයේ ජංගම දුරකථන, සමාජ ජාල, මාධ්‍ය, සම්බාහන මධ්‍යස්ථාන වැනි නීච දේවල් මගින් අද සමාජයේ සංස්කෘතිය ද සීලය ද විනාශ වෙමින් පවතින්නේ නො වේ ද? කය පිනවීමට නොයෙකුත් ක්‍රම ඇත්තේ ය.. අහෝ අවාසනාවක් ම යි.. ‘මහාමේඝ පුවත් සඟරාවෙහි’ පින්වත් ස්වාමීන් වහන්සේනමක් විසින් පළ කරන ලද ‘කාමය දුගඳයි බඹසර සුවඳයි’ ලිපිය කියවා නොමැති ද? අහෝ අවාසනාවක් ම යි.. ඉක්මනින් ම කියවා බලනු මැන.

මෙම උතුම් බඹසර ගැන කලණ මිතුරන් නොයෙක් අයුරින් වර්ණනා කරත්.. කාමයට නොයෙක් අයුරින් ගර්හා කරත්.. මෙසේ වර්තමාන සත්වයා කාමය කරා ම දුව යන්නේ අසුභයක් ගැන නොදත් බැවිනි. අසුභ දෙය සුභ විදියට වැළඳගන්නා බැවිනි.. අහෝ අවාසනාවක් ම යි… දෙතිස් කුණපය ගැන අප සුගත තථාගතයන් වහන්සේ මනා කොට පෙන්වා දී තිබේ. එමෙන් ම නුවණැත්තන් විසින් මෙසේ කියත්…

“ඒයි!! මෝඩ ගෑනී, උඹ හදන්නේ ආකහේ සිතුවම් අඳින්න ද?

ඒයි!! ඇට සැකිල්ලකින් කරපු කුටියක් ඇති තැනැත්තිය, මසින් නහරින් මහලා දාපු ඇඟක් ඇති තැනැත්තිය, අසූචි පුරවාගෙන දුගඳ හමන තැනැත්තිය, ඒ විදියට ඉඳගෙන අනුන්ගේ ශරීර ගැන ‘මගේ මගේ’ කියා හිතන තිට නින්දා වේවා!

ඒයි!! අසූචි පුරවා ගත් මල්ලක් වැනි තැනැත්තිය, හමකින් වැසී ගිය ඇඟක් ඇති තැනැත්තිය, පපුවේ ගෙඩි හදාගත් තැනැත්තිය, ප්‍රේතියක් වැනි තැනැත්තිය, තිගේ සිරුරේ හැම තිස්සේ ම අසූචි වැගිරෙන තැන් නවයක් තියෙනවා.

තිගේ සිරුරේ නව තැනකින් අසූචි වැගිරෙනවා, මේ සිරුර ඉතා ම දුගඳයි, තිගේ සිරුර නිවන් මගට ඇති ලොකු ම බාධාව යි, පිරිසිදු ජීවිතයක් කැමති කෙනා ඒ අසූචි වළ දුරින් ම දුරු කළ යුතුයි…

ඉදින්, මේ අසූචි ශරීරය ගැන මා දන්නා දේ තව කෙනෙකු දන්නවා නම්, ඒ කෙනා මේ ස්ත්‍රිය දුරින් ම දුරු කරන්නෙ, වැස්ස කාලේට උතුරන අසූචි වළක් දුරින් ම දුරු කරනවා වගේ.”

(මොග්ගල්ලාන මුනිඳුන් වහන්සේ)

“මේ කුණු ශරීරය අපවිත්‍රයි, ගඳ ගහනවා, බියජනකයි, කුණු ගොඩක්, නිතර ම අසූචි වැක්කෙරෙනවා, අසූචි පුරවපු භාජනයක් වගෙයි, ඉතින් මං කොහොමද මේ වගේ කුණු කයක් එක්ක එකතු වෙන්නේ?

මස් ලේ තැවරුන මේ කය මට අතිශයින් ම පිළිකුල්. මං මේ ශරීරය අවබෝධ කරගෙන ඉන්නේ, පණුවන්ට වාසභූමියක්, ගිජුළිහිණියන්ට ආහාරයක්. ඉතින් මේ ශරීරය කාට නම් පාවා දෙන්න ද?

ඇට නහරින් බැඳිලා තියෙන්නේ. කෙළ කඳුළු මළ මූත්‍රා පිරිලා තියෙන්නේ. ඒ උනාට මෝඩ ජනතාව මේ ශරීරයට හරී ම ආසයි…”

(සුමේධා රහත් තෙරණිය)

“හොඳ හැටියට ඇට නහර ගළපලා ලස්සනට තිබෙන මේ ශරීරයේ ඇත්ත දිහා බලන්න. අඥාන ජනයා ආශාවෙන් හිතන්නෙ ම මේ ශරීරය ගැන ම යි. මේ ශරීරය ලෙඩ වෙලා යන දෙයක්. ස්ථිර පැවැත්මක් නැති දෙයක්.

මුතු මැණික් ආභරණවලින් සරසලා තිබුණත් මේ ශරීරයේ සත්‍ය තත්ත්වය ම යි බලන්ට ඕනෑ. හමකින් ඔතා තිබෙන මේ ඇට ගොඩ ලස්සනට පේන්නෙ ඇඳුම නිසා.

දෙපාවල පාට ගාලා තිබුණත්, සුවඳ විට හපලා මුඛය සුවඳ කළත්, මෝඩ ජනතාවගේ මෝහයට විතරයි ඒක ගැළපෙන්නෙ. නිවන සොයා යන කෙනෙකුට ඒකෙන් ඵලක් නෑ.

කොණ්ඩා මෝස්තර දමලා, ඇස් පාට කරලා තිබුණත්, මෝඩ ජනතාවගේ මෝහයට විතරයි ඒක ගැළපෙන්නෙ. නිවන සොයා යන කෙනෙකුට ඒකෙන් ඵලක් නෑ.

මේ කුණු ශරීරය කොයි තරම් ලස්සනට සරසලා, අලංකාර කරලා, අලුත් භාජනයක් වගේ තැබුවත් මෝඩ ජනතාවගේ මෝහයට විතරයි ඒක ගැළපෙන්නෙ. නිවන සොයා යන කෙනෙකුට ඒකෙන් ඵලක් නෑ.”

(රට්ඨපාල රහත් මුනිඳුන්)

අහෝ මෙවැනි උතුම් වදන් අද සමාජයේ පුද්ගලයා කෙසේ නම් අසන්න ද? නුවණැත්තන් විසින් මේ කය ගැන නොයෙක් අයුරින් ගර්හා කරත්. අසුභය වඩන්නෝ මනා කොට බඹසර රකිත්. වර්තමාන සත්වයා ශරීර පිටුපස දුවන්නේ අසුභය නොදත් නිසා ම නො වේ ද? මේ කය පැය කිහිපයකට වරක් පිරිසිදු නොකරන්නේ නම්, ගඳ නොගසන්නේ ද? සිතා බලනු උදයේ නින්දෙන් අවදි වූ පසු කටෙහි ඇති දුගඳ ස්වභාවය ගැන… වැසිකිළි කැසිකිළි සිදු කරන මොහොත සිහි කරවු… හිස් මුදුනේ සිට යටිපතුල් දක්වා ම දහඩිය ගලත්. නහයෙන් හොටු ගලත්. කන් සිදුරුවලින් කන් කුණු ය. ඇස්වලින් කබ කඳුළු ගලත්. සිහි කරව ස්ත්‍රියගෙ ඇති දුගඳ බව. මාසයක් පාසා පිට වන අසූචි පිළිබඳ ව සිහි කරව… අපගේ ශාස්තෘන් වහන්සේ වදාළ විජය සූත්‍රයෙහි මේ ආකාරයෙන් දේශනා කොට තිබෙන්නෙ මන්ද…

“හිස් මොළ පිරුණු කබලකි හිස ඇති සිදුරු – සොඳුරු ව පෙනේ නැණ නැති පිරිසට අඳුරු”
දුගඳින් පිරි අසුචි පිරි මේ කය නිතොර – වැගිරෙයි තැනින් තැන අසුචි ම වී නොතොර”

බලව කෙතරම් මුළාවක් ද? ශරීර දුටු කල්හි සත්වයා රාගයෙන් මෙන් ම මෝහයෙන් ද බැඳේ. මඳකට සිතනු. ලස්සන ස්ත්‍රියක් දුටු විට සිත රාගයෙන් බැඳෙයි, නමුත් එම ස්ත්‍රිය මළ මූත්‍රා කරන විට, මාසයක් පාසා අසූචි ගලන විට, කබ කඳුළු ගලන විට, සිතව එම ස්ත්‍රිය ම මහ මග අනතුරකට ලක් වී මොළය බඩවැල් වකුගඩු එළියට පැන්නොත්… සිහි කරව ඇති අසුභ ස්වභාවය… අහෝ එවැනි ශරීර කෙරෙහි රාගය මතු වී බඹසර කිලුටු කර ගන්නා ආකාරය කෙසේ ද? එමෙන් ම මේ කයෙහි හට ගන්නා රෝගයන් ගැන දන්නේ ද? පිළිකා රෝගීන් විඳින දුක ගැන නොදන්නේ ද? තුවාල සෑදුන තැන්හී හට ගන්නා සැරව, කුණු ලේ, හට ගන්නා පණුවන් පිළිබඳ ව නොදන්නේ ද? අහෝ එවැනි ශරීර ගැන කුමකට නම් ආසා කරන්න ද? අසුභය පිළිබඳ ව කතා කරද්දි ආහාරයේ පිළිකුල් බව පිළිබඳ ව ද විමසන්නේ නම් තවත් අගනේ ය.. කුමකට ද යත්, අප රස කර කර ගන්නා ආහාර කෙළ සමග මිශ්‍ර වී බලු වමනය මෙන් කටෙහි තිබීමෙන් පසු ආමාශගත වී වමනය බවට පත් වී අවසානයේ බඩවැල් හරහා දුගඳ හමමින් අසූචී වී පිටව යයි. ආහාරය ගැනීමට පෙර තිබු ප්‍රිය පෙනුමට, රසයට, වර්ණයට, හැඩයට කුමක් නම් වී ඇති ද? මෙය ද ශරීරයේ ඇති අසුභ ස්භාවය නො වේ ද? මේ ශරීරයේ ඇති අසූචි කොටස් තිස් දෙක ම පාහේ යැපෙන්නේ මේ ආහාරයෙන් නො වේ ද? එසේ හෙයින් අසුභය සමඟින් ආහාරයේ පිළිකුල පිළිබඳ ව ද විමසන්නේ නම් අගනේ ය…

අපිදු පින්වත් කලණ මිතුරන්ගේ ඇසුරෙහි හික්මෙමින් මේ කය ගැන ඇත්ත දකින්නේ කෙදින ද? බුදු සමිඳුන් වෙනුවෙන් උතුම් බඹසරක් රකින්නේ කෙදින ද? මේ කුණු ශරීරය ගැන සිහි කොට රාගාදී කෙලෙසුන්ගෙන් නිදහස් වෙන්නේ කවදා ද?

උතුම් බුදුරජාණන් වහන්සේගේ ආනුභාවයෙන්, රුවන්වැලි මහා සෑයේ ආනුභාවයෙන්, ජය ශ්‍රී මහා බෝ හාමුදුරුවන්ගේ ආනුභාවයෙන්, මහා ගුණ ඇති මහා කස්සප මුනිඳුන්ගේ ආනුභාවයෙන්, වරදින් මිදී සසුන බැබළවූ අංගුලිමාල මුනිඳුන්ගේ ආනුභාවයෙන්, දෙවියන්ගේ දේවානුභාවයෙන් අපට ද අසුභ දේ අසුභ වශයෙන් දැක, මනා කොට බඹසර සීලයක් මගින් අපගේ ශාස්තෘන් වහන්සේ පිදීමට වාසනාව උදා වේවා!!!

තෙරුවන් සරණයි..!

සබරගමුව සරසවියේ සිසුවෙක් විසිනි.
මෙම ලිපිය සැකසීමේදී සමාජ ජාලා වල පල වූ විවිධ ලිපි යොදා ගෙන ඇත..