කුසල ධර්මයන් දියුණු කර ගැනීම අයත් වන්නේ අප්‍රමාදයට යි. කුසීතකම යනු ප්‍රමාදය යි. අප්‍රමාදය නිවන් මග වන අතර, ප්‍රමාදය දුක් උපදින සසර ගමනට හේතුවන්නකි. එම නිසා අප්‍රමාදී බවේ ආනිශංසත්, කුසීතකමේ ආදීනවත් නුවණින් විමසීම කුසල ධර්මයන් දියුණු කර ගැනීමටත්, කුසීතකම බැහැර කිරීමටත් මහෝපකාරී වේ. එමෙන්ම භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී ඇති ආකාරයට නිතර නිතර සතර අපා බිය සිහි කිරීමත්, මරණසතිය වැඩීමත් තුළින් වීරිය හා අප්‍රමාදය දියුණු කර ගත හැකියි. තව ද ඨාන සූත්‍රයේ පෙන්වා දෙන පහත කරුණු පහ නිතර නිතර නුවණින් මෙනෙහි කිරීම ද කුසල ධර්මයන් දියුණු කරගැනීමට මහත් උපකාරයක් වනු ඇත.

මම වයසට යන ස්වභාවය ඇත්තෙක් වෙමි. වයසට යන ස්වභාවය නොඉක්ම වූවෙක් වෙමි.

මම ලෙඩ වෙන ස්වභාවය ඇත්තෙක් වෙමි. ලෙඩවෙන ස්වභාවය නොඉක්ම වූවෙක් වෙමි.

මම මරණයට පත්වෙන ස්වභාවය ඇත්තෙක් වෙමි. මරණය නොඉක්ම වූවෙක් වෙමි.

මා හට ප්‍රිය මනාප වූ සෑම දෙයක් කෙරෙන් ම වෙන් වන්නට සිදු වන්නේ ය.

මම කර්මය දායාද කරගෙන සිටිමි. කර්මය උප්පත්ති ස්ථානය කරගෙන සිටිමි. කර්මය ඥාතියා කරගෙන සිටිමි. කර්මය පිළිසරණ කරගෙන සිටිමි. යහපත් වූ අයහපත් වූ හෝ යම් කර්මයක් රැස්කරන්නේ නම් එහි විපාකය පෙරළා මා කරා පැමිණෙන්නේ ය.

භාග්‍යවතුන් වහන්සේ වදාළේ මෙම කරුණු නිතර නිතර නුවණින් මෙනෙහි කරන ගිහි – පැවිදි ශ්‍රාවකයන් අකුසල් දුරලමින් – කුසල් වඩමින් පිරිසිදු ධාර්මික දිවි පැවැත්මක් ඇති කරගන්නා බවයි.