ලාතුරකින් ලෝකයට පහළවන සම්බුදුරජාණන් වහන්සේනමක් විසින් අපගේ ජීවිතවල තිබෙන සැබෑම ස්වභාවය පෙන්වා දෙනවා. සාමාන්‍ය ලෝකයා සොයන්නේ හැමදාම සතුටින් සිටිය හැකි වෙනස් නොවන ස්ථිරසාර ජීවිතයක්. ඒ වෙනුවෙන් ඔවුන් මුළු ජීවිතය ම කැපකරමින් විවිධ සැලසුම්වලට අනුව කටයුතු කරමින් දහසක් පැතුම් දරාගෙන සිටිනවා. අවිද්‍යාවෙන් වැසී ගිය, තණ්හාවෙන් බැඳී ගිය, උපතකින් උපතකට දුවන්නා වූ, උපතකින් උපතකට සැරිසරන්නා වූ මේ සත්වයන්ගේ සංසාර ගමන ආරම්භක කෙළවරක් දැකගත නොහැකි අනවරාග්‍ර දෙයක් බව අප සරණ ගිය ගෞතම නම් වූ අපගේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉපදීම යනු දුකක් බවත්, ඉපදීම නිසා හටගන්නා ජරා මරණ ශෝක වැළපීම් ආදී සියල්ල ම දුකක් බවත් අප දැන ගත්තේ ද ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයෙන්.

මේ ලෝකයේ නැතහොත් අපගේ ජීවිතයේ පවතින්නේ සදාකාලික නොවෙනස් සත්‍යයන් සතරක්. ඒවා නම් චතුරාර්ය සත්‍යයන්. ඉන් පළමුවැන්න දුක නම් වූ ආර්ය සත්‍යය යි. එනම් ඉපදීම, ජරාවට පත් වීම, රෝග පීඩා වැළඳීම, ශෝක වැළපීම්, කායික මානසික දුක්, සුසුම් හෙළීම්, අප්‍රිය සම්ප්‍රයෝගය මෙන් ම ප්‍රිය විප්‍රයෝගය ද කැමති දේ නොලැබීම ද අපගේ ජීවිත කථාවේ තිබෙන සැබෑම දුක බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. මේ සියලු දුක් කැටිකොට දැක්වූයේ පංච උපාදානස්කන්ධය ම දුකක් වශයෙන්. පංච උපාදානස්කන්ධය අවබෝධ කිරීම යනු දුක අවබෝධ කිරීම යි.

සාමාන්‍ය ලෝකයා මේ රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ යන පංච උපාදානස්කන්ධය ගැන මුළාවට පත්ව සිටින ආකාරයත්, ආර්ය ශ්‍රාවකයා මේ පංච උපාදානස්කන්ධය පිළිබඳ ව නුවණින් දකිමින් එය අවබෝධ කරන ආකාරයත් පිළිබඳ ව බුදුරජාණන් වහන්සේ විවිධ සූත්‍ර දේශනා අනුසාරයෙන් පැහැදිලි කර තිබෙනවා. ඒ වගේ ම සංසාර දුක උරුම වී ඇති සත්වයාගේ ඒ දුක ගැන බුදුරජුන් මෙසේ වදාළ සේක.

“මහණෙනි, යම් දවසක මේ මහා සමුද්‍රය සිඳිලා යනවා ද මේ සිනේරු පර්වත රාජයා ගිනි ඇවිළෙනවා ද මේ මහ පොළොව ගිනි ඇවිළෙනවා ද වැනසෙනවා ද එබඳු කාලයක් එනවා. ඒ වුණාට මහණෙනි, අවිද්‍යාවෙන් වැහිලා, තණ්හාවෙන් බැඳිලා උපතකින් උපතකට දුවන්නා වූ සැරිසරන්නා වූ මේ සත්වයන්ගේ දුක නම් ඒ විදියට කෙළවර වී යන බව මා කියන්නේ නෑ.”

(ගද්දුලබද්ධ සූත්‍රය – සං. නි. 03)

මේ ආකාරයේ කෙළවරක් නොමැති දුකක් උරුම කරගෙන සිටින අපට ඒ දුක පිළිබඳ ව මනාකොට වදාළේ සියලු දුකින් මනාකොට නිදහස් වූ බුදුරජුන් ම යි. පංච උපාදානස්කන්ධය දුකක් බව මේ ලෝකයේ බුදු කෙනෙකුට හැර වෙනත් කිසිම කෙනෙකුට සිහිනෙකින්වත් සිතාගත නොහැකියි. ඉපදීම යනු පංච උපාදානස්කන්ධයේ පහළවීම (ඛන්ධානං පාතුභාවෝ) බව බුදුරජුන් වදාළ සේක.

සද්ධර්මය අසා නැති, ඒ ධර්මය තේරුම් ගැනීමට අදක්ෂ, ධර්මය තුළ නොහික්මෙන අශ්‍රැතවත් පෘථග්ජනයා මේ ජීවිතය ගැන මුළාවෙන් කල්පනා කරයි. ඔහු සිතන්නේ ස්ථිරසාර වූ ආත්මයක් හෝ සදාකාලික පැවැත්මක් මේ ජීවිතය තුළ පවතින බවයි. ඔහු මේ පංච උපාදානස්කන්ධය දකින්නේ ආත්මයක් හැටියට යි. පංච උපාදානස්කන්ධයෙන් හැදුණු ආත්මයක් ඇති බව හේ මුළාවෙන් දකියි. නැති නම් ආත්මයක් තුළ පංච උපාදානස්කන්ධය ඇති බවක් හෝ පංච උපාදානස්කන්ධය තුළ ආත්මයක් ඇති බවක් මුළාවෙන් දකියි. එබැවින් ජීවිතය අවබෝධ කිරීම පිණිස මේ රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන උපාදාන ස්කන්ධ පහ පිළිබඳව බුදුරජුන්ගේ අවබෝධය අදහාගැනීම යි වැදගත්.

කුමක් ද මේ රූපය?

“රූප්පතී’ති ඛෝ භික්ඛවේ තස්මා රූපන්ති වුච්චති” – “මහණෙනි, කැඩී බිඳී යනවා ය යන අරුතින් තමයි රූපය කියල කියන්නේ.” මේ රූපය සැදී ඇත්තේ සතර මහා ධාතු සහ ඒවායින් හටගත් දේවලින්. විශේෂයෙන් අපගේ ශරීරය රූපයට අයිතියි. මේ රූපය සීතලෙන්, උෂ්ණයෙන් සා පිපාසාදියෙන් කැඩී බිඳී විනාශ වී යයි. මැසි මදුරු අව් වැසි සුළං සර්පයන් ආදීන්ගේ ස්පර්ශයෙනුත් කැඩී බිඳී යයි. ඒ වගේ ම මේ රූපය පෝෂණය වන්නේ අප ගන්නා ආහාරවලිනුයි.

“පස්ස චිත්තකතං බිම්බං
අරුකායං සමුස්සිතං
ආතුරං බහුසංකප්පං
යස්ස නත්ථි ධුවං ඨිති”

“දැන්වත් හොඳින් බලාගන්න. ලස්සනට සරසගෙන සිටියට මේකෙ තියෙන්නේ මස් වැදිච්ච ඇටසැකිල්ලක්. ලෙඩ දුක් ගොඩක්. අඥාන ජනයා මේ ශරීරය ගැන බොහෝ මනහර සිතුවිලි සිතුවට මේකෙ නිත්‍ය දෙයක් නෑ. ස්ථිර දෙයක් නෑ. පවතින දෙයක් නෑ.”

(ධම්මපදය)

ඇයි මේ තරම් වේදනා?

“වේදියතී’ති ඛෝ භික්ඛවේ තස්මා වේදනාති වුච්චති” – “මහණෙනි, විඳිනවා ය යන අර්ථයෙන් තමයි වේදනාව කියල කියන්නේ. කුමක් ද විඳින්නේ? සැපත් විඳිනවා. දුකත් විඳිනවා. සැප දුක් රහිත උපේක්ෂාවත් විඳිනවා.”

(ඛජ්ජනීය සූත්‍රය – සං. නි. 3)

“ඵස්ස පච්චයා වේදනා” යනුවෙන් ස්පර්ශය හේතුකොටගෙන විඳීම ඇතිවන බවත්, “ඵස්ස නිරෝධා වේදනා නිරෝධෝ” යනුවෙන් ස්පර්ශය නිරුද්ධ වීමෙන් විඳීම නිරුද්ධ වී යන බවත් බුදුරජුන් හේතුඵල දහමේ දී පෙන්වා වදාළා. නමුත් සාමාන්‍ය ලෝකයා දකින්නේ තමන් සැප දුක් විඳින බවයි. සාමාන්‍ය මනුෂ්‍යයා සැප විඳීමේ දී ඇලෙන අතර දුක් විඳීමේ දී ගැටෙයි. උපේක්ෂා විඳීම ඔහුට සොයාගත නොහැකියි. එහෙයින් මුළාවට පත්වෙයි.

කොහොම ද හඳුනාගන්නේ?

“සඤ්ජානාතී’ති ඛෝ භික්ඛවේ තස්මා සඤ්ඤා’ති වුච්චති” – “මහණෙනි, හඳුනාගන්නවා ය යන අර්ථයෙන් තමයි සඤ්ඤාව කියල කියන්නේ. කුමක් ද හඳුනාගන්නේ? නිල් පාටත් හඳුනාගන්නවා. රතු පාටත් හඳුනාගන්නවා. සුදු පාටත් හඳුනාගන්නවා.” විඳීම මෙන් ම සඤ්ඤාව ද ස්පර්ශය හේතුකරගෙන ඇති වන අතර ස්පර්ශය නිරුද්ධ වීමෙන් සඤ්ඤාව ද නිරුද්ධ වී යයි. නමුත් සාමාන්‍ය ලෝකයා සිතන්නේ තමන් හඳුනාගන්නා බවයි. සඤ්ඤාව ස්පර්ශයට අයිති දෙයක් බව ඔහු නොදනියි. ස්පර්ශය වෙනස් වීමෙන් තමාගේ සඤ්ඤාව වෙනස් වූ විට පෘථග්ජනයා බාහිර ලෝකයාට ඇඟිල්ල දිගු කරන්නේ මේ හේතුඵල ක්‍රියාකාරීත්වය නොදන්නා නිසාවෙනි.

මොනව ද මේ සංඛාර?

“සංඛතං අභිසංඛරොන්තී’ති භික්ඛවේ තස්මා සංඛාරා’ති වුච්චති” – “මහණෙනි, හේතුඵල දහමින් සකස් වුණ දෙයක් නැවත එබඳු දෙයක් පිණිස ම විශේෂයෙන් සකස්කරනවා යන අර්ථයෙන් තමයි සංස්කාර කියල කියන්නේ. කුමක් පිණිස ද අභිසංස්කරණය කරන්නේ? රූපය රූපයක් පිණිස ම යි සංඛතය අභිසංස්කරණය කරන්නේ. එමෙන් ම වේදනාව වේදනාවක් පිණිස ම යි සංඛතය විශේෂයෙන් සකස් කරන්නේ.” සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ ද එසේ ම යි. මෙසේ සංඛතයක් නැවත එබඳු දෙයක් පිණිස ම විශේෂයෙන් සකස් කරන්නේ චේතනාව මුල්කරගෙන යි. එනම් පංච උපාදානස්කන්ධයේ සංඛාර කියන්නේ චේතනාවට යි. චේතනාව නිසා කර්ම රැස්වන අතර නැවතත් පංච උපාදානස්කන්ධයක් ලැබීමට එය හේතු වෙයි.

මේ චේතනාව හටගන්නේ ද ස්පර්ශය මුල්කරගෙනයි. රූපය මුල්කරගෙන චේතනාවක් ඇති වීමට නම් ඇස ඉදිරිපිටට රූපයක් ආ යුතුයි. ඇසෙන් ඒ රූපය දැනගත යුතුයි. එය චක්ඛු විඤ්ඤාණය යි. ඇසයි, රූපයයි, ඇසේ විඤ්ඤාණයයි එක් වීම ඇසේ ස්පර්ශය යි. ඒ ස්පර්ශය මුල්කරගෙන විඳීම්, හඳුනාගැනීම් මෙන් ම චේතනාවන් ද ඇති වෙයි. නමුත් සාමාන්‍ය ලෝකයා සිතන්නේ තමන් චේතනා පහළ කරන බවයි. තමාට පාලනය කර ගත නොහැකි චේතනා ඇති වුව ද පෘථග්ජනයාට මේ චේතනාව ඇතිවන අයුරු සොයාගත නොහැකියි. ඔහු උත්සාහ කරන්නේ චේතනාව තමාගේ වසඟයේ පවත්වා ගැනීමට යි.

මායාවක් වැනි විඤ්ඤාණය…

“විජානාතී’ති ඛෝ භික්ඛවේ, තස්මා විඤ්ඤාණන්ති වුච්චති” – “මහණෙනි, විශේෂයෙන් දැනගන්නවා ය යන අර්ථයෙන් තමයි විඤ්ඤාණය කියල කියන්නෙ. කුමක් ද විශේෂයෙන් දැනගන්නේ? එනම් ඇඹුල් බවත් විශේෂයෙන් දැනගන්නවා. තිත්ත බවත් විශේෂයෙන් දැනගන්නවා…..” (ඛජ්ජනීය සූත්‍රය – සං. නි. 3) ඇසෙන් රූපයක් විශේෂයෙන් දැනගත්තා ම එය චක්ඛු විඤ්ඤාණය යි. මේ විඤ්ඤාණය තිබෙන්නේ නාමරූප මුල්කරගෙන ම යි. බුදුරජාණන් වහන්සේ වදාළේ මේ විඤ්ඤාණය මායාකාරී දෙයක් බවයි.

ලෝකයා සිතන්නේ තමන් දැනගන්නා බවයි. බුදුරජුන්ගේ දහම නොදත් පෘථග්ජනයා විඤ්ඤාණය නාමරූප නිසා හටගන්නා බව කෙසේ නම් දැනගන්න ද? බුදුරජුන් වදාළේ මේ විඤ්ඤාණය අවබෝධ කළ යුතු දෙයක් බවයි. ඇසත්, රූපත් නිසා ඇසේ විඤ්ඤාණය හට ගනියි. කනත්, ශබ්දයත් නිසා කනේ විඤ්ඤාණය හට ගනියි. මේ අයුරින් ආයතන හයේ ම විඤ්ඤාණය හට ගනියි. එමෙන් ම කෙනෙකු මිය යන විට කර්මානුරූපී ව විඤ්ඤාණය බැහැර වී විපාක විඳීමට සුදුසු ආකාරයෙන් උපතක් කරා යයි. මවු කුසක පිළිසිඳ ගන්නේ නම් නාමරූපයෙහි බැස ගන්නේ එම කර්මානුරූපී විඤ්ඤාණය යි.

රූපයේ, වේදනාවේ, සඤ්ඤාවේ, සංස්කාරවල බැසගෙන විඤ්ඤාණය පවතින බවත් – නාමරූප සමඟ එකිනෙකට උපකාරක ව විඤ්ඤාණයේ පැවැත්ම හේතු ප්‍රත්‍ය සහිතව පවතින බවත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තිබෙනවා. එමෙන් ම ‘විඤ්ඤාණං බීජං’ යනුවෙන් විඤ්ඤාණය කර්මය නමැති කුඹුරේ තණ්හාවෙන් තෙත් වී පැළ වෙන බීජයක් වශයෙන් හඳුන්වා දී තිබෙනවා.
මොනව ද මේ ස්කන්ධ?

පංච උපාදානස්කන්ධය පිළිබඳ ව විමසන විට ස්කන්ධ යනුවෙන් වචනයක් හමු වෙයි. ස්කන්ධ යනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ කාලයත්, අවකාශයත් අතර පැවැත්මයි. කාලය යනු අතීත වර්තමාන අනාගත යන තුන් කාලය යි. අවකාශය යනු අභ්‍යන්තර – බාහිර, ගොරෝසු – සියුම්, හීන – ප්‍රණීත, දුර – ළඟ යන ඒවා යි.

උදාහරණයක් වශයෙන් රූපස්කන්ධය ගනිමු. අතීතයේ නිරුද්ධ වී ගිය රූප තියෙනවා. අනාගතයේ හට නොගත් රූප තියෙනවා. වර්තමානයේ හටගත් රූප තියෙනවා. ඒ වගේ ම තමාගේ යැයි සලකන අභ්‍යන්තර රූප තියෙනවා. අනුන්ගේ යැයි සලකන බාහිර රූප තියෙනවා. ඒ වගේ ම මනුෂ්‍ය තිරිසන් ආදී ඕලාරික ගොරෝසු රූප තියෙනවා. එමෙන් ම දිව්‍ය බ්‍රහ්ම ආදී සියුම් රූප තියෙනවා. ඒ වගේ ම සංසන්දනය කර බලන විට හීන යැයි සම්මත රූප තියෙනවා. ප්‍රණීත යැයි සම්මත රූප තියෙනවා. දිව්‍ය රූපය සමඟ බලන විට මනුෂ්‍ය රූපය හීන රූපයක්. දිව්‍ය රූපය ප්‍රණීත (උසස්) රූපයක්. ඒ වගේ ම දුර තිබෙන රූප තිබෙනවා. ළඟ තිබෙන රූප තිබෙනවා. මේ ආකාරයෙන් කාලයත්, අවකාශයත් අතර යම්තාක් රූපයන්ගේ පැවැත්මක් තිබුණා ද තිබෙනවා ද අනාගතයේ හටගන්නවා ද ඒ සියල්ල ම රූපස්කන්ධය යි. මේ රූපස්කන්ධයෙන් බැහැර වූ වෙනත් රූපයක් කොතනින්වත් සොයා ගත නොහැකියි. මේ අයුරින් ඉතිරි ස්කන්ධයන් ද තේරුම්ගත යුතු යි.

උපාදාන කියන්නේ මොනවා ද?

ඉහත කී රූපස්කන්ධය ගැන කෙලෙස් සහිතව බැඳීයන ස්වභාවයක් (සාසවං උපාදානීයං) ඇත්ද, එය රූප උපාදානස්කන්ධය යි. වේදනා ස්කන්ධය ගැන කෙලෙස් සහිතව බැඳීයන ස්වභාවයක් ඇත්ද, එය වේදනා උපාදානස්කන්ධය යි. එමෙන් ම සඤ්ඤා ස්කන්ධය ගැන කෙලෙස් සහිතව බැඳීයන ස්වභාවයක් ඇත්ද, එය සඤ්ඤා උපාදානස්කන්ධය යි. සංස්කාර ස්කන්ධය ගැන කෙලෙස් සහිතව බැඳීයන ස්වභාවයක් ඇත්ද, එය සංස්කාර උපාදානස්කන්ධය යි. විඤ්ඤාණ ස්කන්ධය ගැන කෙලෙස් සහිතව බැඳීයන ස්වභාවයක් ඇත්ද, එය විඤ්ඤාණ උපාදානස්කන්ධය බව බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

(ඛන්ධ සූත්‍රය – සං. නි. 3)

අසාර වූ, තුච්ඡ වූ පංච උපාදානස්කන්ධය

මේ උපාදානස්කන්ධයන් පිළිබඳව ඵේණපිණ්ඩූපම සූත්‍රයේ දී බුදුරජුන් මේ අයුරින් දේශනා කොට තිබෙනවා.

“ඵේණපිණ්ඩූපමං රූපං
වේදනා බුබ්බුළුෑපමා
මරීචිකූපමා සඤ්ඤා
සංඛාරා කදලූපමා
මායූපමඤ්ච විඤ්ඤාණං
දීපිතාදිච්ච බන්ධුනා”

“රූපය වනාහි පෙණ පිඬක් වැනි දෙයකි. විඳීම උපමා කළ හැක්කේ දිය බුබුළකට යි. සඤ්ඤාව මිරිඟුවක් වැනි දෙයකි. සංස්කාර ද කෙසෙල් කඳක් වැන්න. විඤ්ඤාණය විජ්ජාවක් වැනි දෙයක් බව ආදිච්චබන්ධු වූ බුදුරජාණන් වහන්සේයි වදාළේ.”

(ඵේණපිණ්ඩූපම සූත්‍රය – සං. නි. 3)

සසර පුරා ම යම් උපතක් තිබුණා ද, ඒ සෑම උපතක ම තිබුණේ පංච උපාදානස්කන්ධයක්. පංච උපාදානස්කන්ධයට මුළාවෙමින්, රැවටෙමින් අප ආ සසර ගමන යම් දවසක අවසන් වන්නේ එය අවබෝධ කිරීමෙන් ම යි. යම්කිසි කෙනෙක් අතීතය ගැන කල්පනා කළොත් ඔහුට සිහි කරන්න තියෙන්නේ එක්කෝ රූපයක් ගැන, නැත්නම් විඳීමක් ගැන. නැත්නම් හඳුනාගැනීමක් ගැන, චේතනාවක් ගැන, නැති නම් විඤ්ඤාණයක් ගැනයි. අපි සසර පුරා කර තිබෙන්නේ මේ පංච උපාදානස්කන්ධය සතුටින් පිළිඅරගත් එකයි. එනම් සතුටින් පිළිගෙන තිබෙන්නේ දුකයි. දුක සතුට පිළිගන්න කෙනා දුකින් නිදහස් වීමක් කෙසේ නම් ලබන්න ද? සත්වයා සසරට බැඳ තබන ප්‍රධාන ම සංයෝජනය නම් පංච උපාදානස්කන්ධය පිළිබඳ ඇති ආත්ම දෘෂ්ටිය යි. එය හඳුන්වන්නේ සක්කාය දිට්ඨිය වශයෙන්. එනිසා මේ පංච උපාදානස්කන්ධයේ ඇති අනිත්‍ය ස්වභාවය, දුක් ස්වභාවය මෙන් ම අනාත්ම ස්වභාවය අවබෝධ කරනා තුරු මේ සසර දුකින් එතෙර වීම ගැන සිතා ගැනීමටවත් නොහැකියි. සැබැවින් ම මේ ජීවිතය මායාවක්. අඥානයන්ගේ වර්ණනාවට ගොදුරු වූ දෙයක්. තුච්ඡ වූ හිස් දෙයක්. නමුත් නුවණැත්තන් කියන්නේ මෙය වධකයෙක් කියලයි. මේකෙ සාරයක් නම් දකින්නට ලැබෙන්නේ නෑ.

යමෙකුට මේ සංසාර දුකෙන් නිදහස් වීමට නම් නුවණින් යුතුව, සිහියෙන් යුතුව පංච උපාදානස්කන්ධයේ සැබෑ වූ ස්වභාවය ධර්මය තුළින් ඉගෙන ගෙන අවබෝධ කළ යුතුයි. සියලු බන්ධන අත්හළ යුතුයි. තමන්ට පිළිසරණක් හදාගත යුතුයි. හිස ගිනි ගත් කෙනෙකු ඒ ගින්න නිවීමට උත්සාහ කරනවා වගේ අමරණීය නිවන අවබෝධ කිරීමට උත්සාහ කළ යුතුයි.

– මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසින් සම්පාදිතයි.