සිංහල ජාතියත්, සිංහල භාෂාවත්, සම්බුද්ධ ශාසනයත් බලගතු තර්ජනයකට මුහුණ දී සිටින බව දිනෙන් දින රට අභ්‍යන්තරයේත් බාහිරවත් සිදුවන ක්‍රියාදාමයන්ගෙන් පෙනී යයි. මුළු ලොව ම පාහේ සිංහල බෞද්ධ ජනකායට එරෙහිව කඳවුරු බැඳගත්තා මෙනි. රට තුළ හටගන්නා අර්බුද, බටහිරයන් විසින් අවුළුවන ජන වාර්ගික විරෝධතා එන්න එන්න ම වැඩි වෙමින් පවතියි. රටේ අභ්‍යන්තර වියවුල් විසඳා ගැනීමට ලෝක බලවතුන් ඉඩ සලසන්නේ නැත. අන් රටවල නිරපරාදේ සිදුවන මනුෂ්‍ය ඝාතන ගැන ඉඟියකිනුදු සැලකිල්ලක් නොදක්වන ජගත් සංවිධාන අප රටේ ඇති වන සුළු කැළඹීමක දී වුව ස්වකීය නියෝජිතයින් එවමින් ඒ පිළිබඳ ව නොඑක් ප්‍රකාශන නිකුත් කරන බව පැහැදිලි ය. අප රටේ ජනයාට වුවමනා පාලන තන්ත්‍රයක් පිහිටුවා ගැනීමේ දී හෝ එසේ නොමැති නම් සිංහල බෞද්ධ ජන නායකයකු තෝරා පත්කර ගැනීමේ දී හෝ හමුදාපතිවරයකු පත්කර ගැනීමේ දී හෝ ලොව බලවත් රටවල් නොයෙක් බලපෑම් සිදු කරති.

පසුගිය කාලයේ දශක තුනක් පමණ මෙරට ඇවිළ ගිය කොටි ත්‍රස්තවාදී ක්‍රියා නිවා දැමීමට වදනිකින් හෝ සහායක් දැක්වූ එක ද ජගත් සංවිධානයක් නො වී ය. ඉස්ලාම් ත්‍රස්තවාදීන් මෙරට සිදු කළ ම්ලේච්ඡ මනුෂ්‍ය ඝාතන ගැන මුනිවත රකින ඔවුහු ඒවා මැඬීමට සුදුසු නිලයන් පත් කරන විට ඊට එරෙහි වෙති. බටහිරයන් පවා විස්මයට පත් කළ, අන් කිසිදු රටක නොදක්නා විරූ ලෝක උරුමයන් බඳු ලක්දිව පුරාවස්තු විනාශ කරන මිසදිටුවන් ගැන හෝ බුද්ධ ප්‍රතිමා විනාශ කරන පාපතරයන් පිළිබඳ ව හෝ කිසිදු විරෝධයක් පළ නොකරන බටහිර ගැති ඒජන්තවරු ඒ පිළිබඳ ව කතා කරන බෞද්ධ නායකයන් ආගම් භේද වපුරන්නන් ලෙස ලොවට හඳුන්වා දෙති.

අද අප රට මුහුණ දී සිටින ඉහත කී සියලු ම ව්‍යසනයන්ට වගකිව යුත්තෝ මෑත යුගයේ පහළ වූ කොන්ද පණ නැති දේශපාලන නායකයෝ ය. බල තණ්හාව, වස්තු ලෝභය නිසා එකිනෙකා සමඟ පොර වැදී සිටින ඔවුහු රටටවත්, ජනතාවටත් අල්පමාත්‍ර වූ ඇල්මක් නොමැති උදරම්භරියෝ ය. දැනුමෙන්, ඇවතුම් පැවතුමෙන් පිරිපුන් නොවන ඔවුන් එකිනෙකා කුලල් කා ගනු විනා රටට යහපතක් කිරීම වෙනුවෙන් එකමුතු වන්නේ නැත. මීට කලකට ඉහත සිටි අපේ නායකයන්ට ඉංගිරිසි හදක් හා ඉංගිරිසි දැනුමක් තිබුණ නමුදු සිංහල හදක් නොතිබුණ බව 1962 දී ලියා පළ කළ ‘සිංහල සකස්කඩ’ නමැති ග්‍රන්ථයෙහි ලා මාර්ටින් වික්‍රමසිංහ පැවසී ය. බුදුසමය විසින් හික්මවනු ලැබූ සිංහල ජනකාය ඉන්දියානුවන්ට වඩා නිදහස්කාමී ජනතාවක් බවත්, ඔවුන්ට වුවමනා වූයේ තමන් නිසා උපන් සුහද හැඟීමක් හා දුරදක්නා නුවණක් ද මැඩගත් මමත්වය ද ඇති මානයෙන් තොර වූ නායකයන් පමණක් යයි වික්‍රමසිංහයන් එදා පැවසුයේ අප රට ගමන් ගත යුතු දිශානතිය ගැන අවබෝධයෙන් යුතුව ය. හැත්තෑව දශකයේ මැද භාගයේ සිට ගෙවී ගිය අවුරුදු හතළිහ තුළ දී එබඳු නායකයකු අප රට පහළ වූයේ නම් වර්තමාන අර්බුදයට අප ජාතියක් වශයෙන් මුහුණ නොදෙන්ට ඉඩ තිබිණ.

සිංහලයන් වන අපගේ ජාතික අභිමානය ගැන මීට අවුරුදු හැත්තෑවකට පමණ ඉහත දී ගැයුණ ගීතයක අරුත් විමසීමේ දී පූර්වෝක්ත අදහස් අප සිත තුළට නිතැතින් ම පිවිසියේ සිංහල ජාතිය අද මුහුණ පා සිටින ඛේදනීය තත්ත්වය පිළිබඳ විපිලිසර භාවය නිසා ම ය. ‘හෙළ ජාතික අභිමානේ’ යනුවෙන් ඇරඹෙන මේ ගීතය ගායනා කරන ලද්දේ සී. ටී. ප්‍රනාන්දු ගායන ශිල්පියාණන් විසිනි. එහි ගී පබැදුම එවක ප්‍රබුද්ධතම ගී පද රචකයාණන් වූ කරුණාරත්න අබේසේකරයන්ගේ ය.

“හෙළ ජාතික අභිමානේ
වැඩු විරුවන් සේ පොරණේ
දිනු මවුබිම සව් සිරියෙන් සරසව්
පිබිදෙව්, පිබිදෙව්, සැරසෙව්…!

වීර විකුම් පෑ පෙර දරුවෝ – දෙස රැස මුර කෙරුවෝ
ඒ ලෙය ඇති ඔබ සුර විරුවෝ – නොමවව් ණයකරුවෝ
දැය දියුණට පැද යන නැවියා – ගොවියා බිම දෙවියා
විපතෙහි-සැපතෙහි-නොසැලෙයි-නොතැවෙයි
අටලෝ දම හුරු හෙළයා

මුහුදට ඇද්දෙන මහ ගංගා – කුඹුරට යළි හරවා
ධාන්‍ය වගා කොට සිරිලක මේ – පෙරදිග කෙත කරවා
අරපිරිමැස්මට පුරුදු වෙලා – බිඳලව් දුක සංකා
පැරකුම් යුගයක් නැවතත් අරඹව් – නිජ භූමිතලේ ලංකා

හෙළ ජාතික අභිමානේ…”

නිදා වැටී සිටින ජනකායක් අවදි කරවන කාහල නාදයක් බඳු වදන් කැටි මුසු වුණ ස්වර සංගති තරඟ වැලක් පරිද්දෙන් ගීතය ආරම්භ වෙයි. ‘ජාතික අභිමානේ, විරුවන් සේ පොරණේ’ යන යෙදුම් නඟන රිද්මය පාබල පෙරමුණක වැයෙන හොරණෑ වාදනයක් වැන්න.

“සව් සිරියෙන් සරසව් පිබිදෙව් පිබිදෙව් සැරසෙව්…!”

මෙහි අනුප්‍රාය වදන් නඟන විධාන ස්වර, කය ඍජු ව තබාගත් ජනකායක් සටන් පෙරමුණේ ගමන් කරන භට පිරිසක් පරිද්දෙන් හරඹ පෙළපාලියකට සූදානම් වන අයුරක් පිළිබිඹු කරයි. මේ ජන පිරිස පෙළ ගැසෙන්නේ තවත් ජනකායක් අභිබවා යන්නට නො වේ; තමන්ගේ මාතෘ භූමිය සව්සිරියෙන් සරසන්නට ය. නොඑසේ නම් රට සශ්‍රීක කරන්නට ය. ඒ සඳහා ආදර්ශය ලබා ගත යුත්තේ අපේ පැරණි මුතුන් මිත්තන්ගෙනි. මෙතුවක් පැමිණි නිවහල් ගමන් මඟක් ඇත. ඒ මඟ ඔස්සේ අපි යා යුතු වෙමු. ඒ මඟ කවරේ ද?

“වීර විකුම් පෑ පෙර දරුවෝ – දෙස රැස මුර කෙරුවෝ
ඒ ලෙය ඇති ඔබ සුර විරුවෝ – නොමවව් ණයකරුවෝ”

සිංහල ජන පරපුර පැවත එන්නේ වීර විකුම් පා පරසතුරු උවදුරින් රට ජාතිය රැකගෙන එය සරුසාර කරවූ මුතුන් මිත්තන්ගෙනි. ඔවුන් කිසි දිනයක ලෝකයට ණය වූයේ නැත. ඔවුන්ගේ සහලේ නෑයන් වන අප ගමන් කළ යුත්තේ ඔවුන් ගිය මඟ ඔස්සේ ය. ඒ මඟ වූ කලී රට ස්වයංපෝෂිත කළ ගොවි කර්මාන්තය යි. ජාතිය සමෘද්ධිමත් භාවයට පත් කරන්නේ ගොවිකමෙහි නියැලෙන ගොවියා ය. ඔහු මහ පොළොවේ දෙවියා වන්නේ විපතේදීත් සැපතේදීත් නොසැලී නොතැවී බෞද්ධ පිළිවෙත් අනුගමනය කරමින් ජීවිත මඟ සරු කරගත්තකු වූ හෙයිනි.

“විපතෙහි සැපතෙහි නොසැලෙයි නොතැවෙයි
අටලෝදම හුරු හෙළයා…”

බෞද්ධ සම්ප්‍රදාය අනුව හික්මුණු සිංහල ජනකාය සතුව පැවති තිරසර ශක්තිය වදන් තුනකින් උත්කර්ෂයට නංවා ඇති අයුරු අසිරිමත් ය – ‘අටලෝදම හුරු හෙළයා’

“මුහුදට ඇද්දෙන මහ ගංගා – කුඹුරට යළි හරවා
ධාන්‍ය වගා කොට සිරිලක මේ – පෙරදිග කෙත කරවා”

ලොවක් විස්මයට පත් කළ, සිංහල ජනකාය සතුව පැවති අයෝමය ශක්තිය, ශිල්පීය නිපුණතාව පිළිබඳ උදාර හැඟීමක් මේ ගී පද තුළ ඇති කරවයි. පැරණි සිංහලයන්ගේ සභ්‍යත්වය සහල් සභ්‍යත්වය ලෙසත්, ඔවුන්ගේ ප්‍රධානතම ආහාරය වූයේ සහලින් නිපදවා ගන්නා බත ලෙසත් සඳහන් කරන මාර්ටින් වික්‍රමසිංහ පැරණි සිංහලයන් තම මහා වික්‍රමයන් ලොවට හෙළි කළ මහ වැව් තැනුවේ සහල් නිපදවනු සඳහා බව පැවසී ය.

“සිංහලයන්ගේ ස්වාධීනත්වයටත්, ශක්තියටත් දෙස් කියන කර්මාන්තයන් අතර වැව හා වී ගොවිතැන ප්‍රධාන තැන ගනියි. වැව කැණිය හැක්කේ පවුලක්, කුලයක් වශයෙන් ජීවත්වන අතළොස්සක් විසින් නො වේ. යම් කිසි පොදු හැඟීමකින් හා අපේක්ෂාවකින් එකට බැඳුණ ජනකායක් ලෙසිනි.”

(මානව විද්‍යාව හා සිංහල සංස්කෘතිය-1974)

මහා ගංගා හරවා වැව් පුරවා කෙත්වලට හරවා අස්වනු සරු කොට සිරිලක් දෙරණ, පෙරදිග ධාන්‍යාගාරය කරවීමට අපගේ ආදි මුතුන් මිත්තන්ට හැකි වූයේ ඔවුන් පොදු අපේක්ෂාවකින් එකට බැඳුණ ජනකායක් ලෙස කටයුතු කළ බැවිනි. එබඳු ජන සංඝයක පවතිනුයේ සමානාත්මතාව යි. එකකු පරයා අනිකා නැඟීමේ චේතනාව ඔවුන් තුළ නැත. බුදුසමය විසින් හික්මවන ලද අප්පිච්ඡතා ගුණය රජුගේ සිට සාමාන්‍ය වැසියා දක්වා පැතිර පැවතිණ.

“අරපිරිමැස්මට පුරුදු වෙලා – දුරලව් දුක සංකා
පැරකුම් යුගයක් නැවතත් අරඹව් නිජභූමි තලේ ලංකා”

ධන කාමය, වස්තු කාමය, නිල කාමය පසුපස හැල්මේ දුවන සමාජයකට අරපිරිමැස්ම ගැන කියා දීමට වෑයම් කිරීම දිවයන වල් මීමකු වල්ගෙන් අල්ලා නැවැත්වීමට වෑයම් කරනු වැන්න. කෙසේ වුව ද අප සමාජය අරපිරිමැස්මට පුරුදු නොවුණහොත් අපට යහපත් අනාගතයක් නැත. අප අපගේ අතීතය දෙස ආපසු හැරී බැලිය යුතු ය. ශුද්‍ර ප්‍රාණියෙකුට පවා හානියක් සිදු නොවන සාම්ප්‍රදායික ගොවි පිළිවෙත්වලට අප නැඹුරු විය යුතු ය. එසේ නොකොට… අහසින් වැටෙන හැම දිය බිඳුවක් ම ප්‍රයෝජනයට ගන්නා, සහලින් ස්වයංපෝෂිත වූ පැරකුම් යුගයක් කරා පිය නැගීමට පැතීම සිහිනයක් පමණක් වනු ඇත.

සටහන – දයාපාල ජයනෙත්ති