“මෙලොවත්, පරලොවත් ජනයා අතර ධර්මය ම ශ්‍රේෂ්ඨ වෙයි” යන්න බුද්ධ වචනය යි. එමෙන් ම ධර්මස්වාමී වූ අපගේ භාග්‍යවතුන් වහන්සේ පවා ධර්මය ම ගුරු තනතුරේ තබා ගත් බව ද සත්‍යයකි. කෙලෙස්මල දුරු කරන්නා වූ, ආලය මුලිනුපුටා දමන්නා වූ, තෘෂ්ණාව ක්ෂය කරන්නා වූ, විරාගය ඇති කරන්නා වූ, සසර ගමන නිම කරන්නා වූ, නවලෝකෝත්තර වූ, නිර්වාණ ප්‍රතිසංයුත්ත වූ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට සම කළ හැකි තවත් දහමක් නම් ලොව නැත්තේ ම ය. ඒ නිසා, පරම පිවිතුරු වූ ඒ ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මය කෙරෙහි සිත පහදවා ගත් පමණින් වුව ද දෙවි මිනිසුන් හට අග්‍ර වූ පින් රැස් වෙයි. පරම ගම්භීර වූ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන සසර දුක් නිවා දැමුවා වූ නුවණැති දෙව් මිනිසුන් ලද යහපත ගැන කවර කතා ද?
උතුම් ශ්‍රී සද්ධර්මය තුළින් උත්තම වූ තිසරණ ලාභය හඳුනාගන්නා නුවණැති උතුමන් බුද්ධ ශාසනය වෙත පැමිණෙන්නේ ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයෙකු වීමෙනි. එනම්, ශ්‍රී සද්ධර්මය ශ්‍රවණයෙන් ලත් හේතු සහිත වූ පැහැදීම මුල්කරගෙනයි. එම නිසා ‘ශ්‍රැතය’ යනු දහම් මගේ ආරම්භයේ සිට ම අවසානය දක්වා ආර්ය ශ්රාවකයා සතු මහානීය වූ ධනයක්, බලයක් වශයෙන් ධර්මයෙහි පෙන්වා දී තිබේ. ‘බහුශ්‍රැතභාවය’ නම් වූ ගුණය තථාගත ශ්‍රී සද්ධර්මය තුළ නිවන් මගෙහි අංගයක් වශයෙන්, දෙව්ලොව උපත සදන සේඛ බලයක් වශයෙන් නොයෙක් ආකාරයෙන් පෙන්වා දී තිබෙන්නේ එහි ඇති වැදගත් බව නිසා ම ය. තවත් නොයෙක් ආකාරයෙන් පිහිට සලසන්නා වූ ‘බහුශ්‍රැතභාවය’ පිළිබඳ ව ශ්රාවකයා මනා ව දැන සිටීම වැදගත් ය.
සැබැවින් ම ‘බහුශ්‍රැතභාවය’ යනු ‘ධර්මය බොහෝ කොට අසා තිබීමට’ පවසන නමක් ද? එසේ නැති නම් මතකයේ රඳවාගෙන සිටීම පමණක් ද? එසේත් නැති නම් ‘බහුශ්‍රැතභාවය’ පිළිබඳ ව ශ්‍රී සද්ධර්මය තුළ පෙන්වා දෙන්නේ කුමන ආකාරයකින් ද? යන්න හොඳින් තේරුම්ගෙන සිටීම වැදගත් ය. බුද්ධ වචනය තුළ විග්රහ කෙරෙන බහුශ්‍රැතභාවය යනු මෙය යි.
“මහානාමයෙනි, ආර්ය ශ්රාවකයා බහුශ්‍රැත කෙනෙක් වෙනවා. ඇසූ ධර්මය දරාගන්නවා. ඇසූ ධර්මය මතකයෙන් රැස්කර ගන්නවා. යම් ඒ ධර්මයක් මුල කල්‍යාණ වේ ද මැද කල්‍යාණ වේ ද අවසානය කල්‍යාණ වේ ද අර්ථ සහිත වූත්, පැහැදිලි ප්‍රකාශන මාධ්‍යයකින් හෙබි, මුළුමනින් ම පිරිසිදු වූ, පිරිපුන් වූ නිවන් මග ගැන ප්‍රකාශිත යම් ධර්මයක් වේ ද, ඒ ආකාර වූ ධර්මය ‘බහුස්සුතා’ (බොහෝ කොට අසා දැන ගන්නවා). ‘ධතා’ (ඒ ධර්මය හොඳින් දරා ගන්නවා). ‘වචසාපරිචිතා’ (වචනයෙන් පුරුදු කරනවා). ‘මනසානුපෙක්ඛිතා’ (නුවණින් විමසනවා). ‘දිට්ඨියා සුප්පටිවිද්ධා’ (නුවණින් වටහා ගන්නවා).”
(සේඛ සූත්‍රය- ම. නි. 2)
ඒ උතුම් බුද්ධ වචනයට අනුව බහුශ්‍රැතභාවය යනු හුදෙක් දහම් ඇසුමක් පමණක් නොව ශ්‍රවණය කරන්නා වූ ධර්මය පස් ආකාරයකින් ජීවිතයට සම්බන්ධ වීමකි. එසේ නොමැති වන්නා වූ දහම් දැනුමට ධර්මයේ පෙන්වා දෙන ප්රතිලාභ ඒකාන්තයෙන් ම ලබා ගැනීමට නොහැකි වීමට පුළුවන. නමුත් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් ආකාරයට ජීවිතයට සම්බන්ධ කර ගත් සිව්පද ගාථාවකින් වුව ද ශ්රාවකයා බහුශ්‍රැත කෙනෙකු වන බව බුද්ධ වචනය පෙන්වා දෙයි.
“ස්වාමීනී, ‘බහුශ්‍රැත ය-ධර්මධර ය, බහුශ්‍රැත ය-ධර්මධර ය’ යැයි කියනු ලැබේ. ස්වාමීනී, බහුශ්‍රැත වන්නේත්, ධර්මධර වන්නේත් කවර කරුණු මත ද?”
“භික්ෂුව, මා විසින් සුත්ත, ගෙය්ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූත ධම්ම, වේදල්ල වශයෙන් බොහෝ කොට ධර්මය පෙන්වා දෙන ලද්දේ ය. ඉදින් භික්ෂුවක් සිව්පද ගාථාවක නමුත් අර්ථය දැන, ධර්මය දැන ධම්මානුධම්ම ප්‍රතිපදාවෙහි යෙදෙයි ද බහුශ්‍රැත ය-ධර්මධරය කියන්නට සුදුසු ය.” (බහුස්සුත සූත්‍රය – අං. නි. 2)
ඒ උතුම් බුද්ධ වචනයට අනුව ශ්‍රවණයෙන් ලත් දහම් දැනුමේ උපකාරයෙන් ධම්මානුධර්ම ප්‍රතිපදාව තුළ සජීවී වෙන චරිතයකි, බහුශ්‍රැත කෙනෙකු වශයෙන් ධර්මයෙහි පෙන්වා දෙන්නේ. මේ ආකාරයෙන් තථාගත ශ්‍රී සද්ධර්මය තුළ බහුශ්‍රැත වන නුවණැති ශ්රාවකයා ධර්මයෙහි මහා ඉහළින් පැසසුමට ලක් වී තිබේ.
“බහුශ්‍රැත වූ ධර්මධර වූ ප්‍රඥා සම්පන්න වූ බුද්ධ ශ්රාවකයා ඉතා දිලිසෙන වටිනා රනක් මෙන් බබළයි. ඒ ශ්රාවකයා හට ගරහන්නට කවරෙකුට නම් හැකි වෙයි ද? ඔහුට දෙවියෝ පවා ප්‍රශංසා කරති. බ්රහ්මරාජයා විසිනුත් පසසන ලද්දේ ය.”
(අප්පස්සුත සූත්‍රය – අං. නි. 2)
කෙලෙස් යුද්ධය හා සටන් වදින්නා වූ නිවන් ප්‍රතිපදාව පිළිබඳව පෙන්වා දීමේ දී භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ බහුශ්‍රැතභාවය’ ආයුධ ගබඩාවට උපමා කොට වදාළ සේක. නිවන අවුරන්නා වූ කෙලෙස් සතුරන් පැරදවීමට මනා කොට රැස් වූ බහුශ්‍රැතභාවය නම් ආයුධ ගබඩාව තථාගත ශ්රාවකයා හට බලවත් ශක්තියක් සපයයි.
“මහණෙනි, ශ්‍රැතය නම් වූ ආයුධයෙන් සමන්විත වූ ආර්ය ශ්‍රාවක තෙමේ අකුසලය අත්හරියි. කුසලය වඩයි. සාවද්‍ය දෙය අත්හරියි. නිරවද්‍ය දෙය වඩයි. පිරිසිදු ජීවිතයක් පරිහරණය කරයි.”
(නගරූපම සූත්‍රය – අං. නි. 4)
එමෙන් ම උතුම් ධර්මයේ උපකාරයෙන් දෙව්ලොව රැකවරණය සලසා ගැනීම පිණිස හේතුවන ප්‍රතිපදාව තුළ ශ්‍රැතය නම් වූ බලය පෙන්වා දී තිබේ. ශ්‍රද්ධාව, සීලය, ශ්‍රැතය, ත්‍යාගය හා ප්‍රඥාව යන උතුම් සේඛ බලයන් තුළ මනාව පිහිටි තථාගත ශ්රාවකයා හට සැලසෙන සුගති රැකවරණය පිළිබඳ ව ‘සංඛාරුප්පත්ති’ නම් වූ උතුම් බුද්ධ දේශනාව කියවීමෙන් මනාව දැනගත හැකි ය.
එසේ නම් දෙව්ලොව උපත කැමති වන්නා වූ කෙනෙකු විසින් ද ශ්‍රැතය නම් වූ බලය මනාව උපදවා ගත යුතු ය.
ධර්ම විනය තුළ බහුශ්‍රැත වන්නා වූ තථාගත ශ්රාවකයා හට සැලසෙන්නා වූ තවත් සුවිශේෂී ආනිශංසයන් පිළිබඳ ව විග්රහ වන විස්මිත බුද්ධ දේශනාවක් අංගුත්තර නිකායේ ඇතුළත් ය. ඒ සෝතානුධත සූත්‍රය යි.
“මහණෙනි, සවන් දීමෙන් දරාගන්නා ලද, වචනයෙන් පිරිවහන ලද, මනසින් විමසන ලද, නුවණින් අවබෝධ කර ගන්නා ලද ධර්මයන්ගේ ආනිශංස සතරක් කැමති විය යුත්තේ ය. ඒ කවර සතරක් ද යත්:
මහණෙනි, මෙහිලා භික්ෂුව ධර්මය හදාරයි. එනම් සුත්ත, ගෙය්ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූත ධම්ම, වේදල්ල වශයෙනි. ඔහු විසින් ඒ ධර්මයන් කනින් අසා, දරාගෙන, වචනයෙන් පුහුණු කරගෙන, සිතින් විමසා, නුවණින් අවබෝධ කරගෙන ඇත් ද, හේ සිහි මුළා ව මරණයට පත්වන්නේ නම් කිසියම් දෙව්ලොවක උපදින්නේ ය. එහි සැප සේ වාසය කරන ඔහුට දහම් පද වැටහෙයි. මහණෙනි, ඔහුගේ සිහිය උපදින්නේ සෙමින් ය. නමුත් ඒ සත්වයා සිහි උපන් වහා ම විශේෂ අවබෝධයක් කරා යයි. මහණෙනි, කනින් අසා දරා ගත්, වචනයෙන් පුරුදු කර ගත්, සිතින් විමසූ, නුවණින් අවබෝධ කළ ධර්මයන්ගේ මේ පළමු ආනිශංසය කැමති විය යුත්තේ ය.”
(සෝතානුධත සූත්‍රය – අං. නි. 2)
එම උතුම් සූත්‍ර දේශනාවේ තවදුරටත් පෙන්වා දෙන ආකාරයට දෙව්ලොව උපත ලබනා ඔහු හට හුදෙකලාවේ දහම් පද නොවැටහුන නමුත් ඉර්ධිමත් චිත්ත වශීප්‍රාප්ත භික්ෂුවක් දෙව්ලොව ධර්මය දේශනා කරන විට ඒ උපකාරයෙන් සිහි නුවණ ඉපදී විශේෂ අවබෝධයක් කරා යන බව පෙන්වා දෙයි. ඒ දෙවෙනි ආනිශංසය යි. එසේත් නොමැති වන විට දිව්‍යපුත්‍රයෙක් හෝ දෙවි පිරිසට දහම් දෙසනු අසා එහි උපකාරයෙන් කලින් ජීවිතයේ දරාගෙන සිටි දහම් දැනුමේ උපකාරයෙන් ද විශේෂ අවබෝධය කරා යන බව තුන්වෙනි ආනිශංසය වශයෙන් පෙන්වා දී තිබේ. එසේත් නොමැති වන විටක තමන් සමඟ මනුෂ්‍ය ජීවිතයේ සිටිය දී එකට බඹසර හැසිර ප්‍රථමයෙන් දෙව්ලොව උපන් දිව්‍යපුත්‍රයෙකු සිහිය ඉපදවීමෙන් පසුව ඒ හේතු කරගෙනත් විශේෂ අවබෝධයක් කරා යෑමේ අවස්ථාව ඔහුට හිමි වේ. ඒ සිව්වන ආනිශංසය යි.
මේ අනුව උතුම් නිවන් මඟ ප්‍රකාශ වන්නා වූ නවාංග ශාස්තෘ ශාසනය කනින් අසා, දරාගෙන, වචනයෙන් පුහුණු කරගෙන, සිතින් විමසා, නුවණින් අවබෝධ කරගෙන සිටීමේ යහපත කොතරම්දැයි මනා ව පැහැදිලි වේ. එමෙන් ම දහම පිළිබඳ ව බහුශ්‍රැත භාවය ලද ශ්රාවකයා හට හිමි වන තවත් සුවිශේෂී ප්‍රතිලාභයක් තිබේ. එනම් අදහම තුළ මුළාවට පත් නො වී සිටීමේ හැකියාව යි. ධර්මයේ නාමයෙන් නොයෙකුත් මිථ්‍යා මතවාද හාත්පසින් ඉස්මතු වන මෙවන් යුගයක දී ධර්ම විනය පිළිබඳ ශ්‍රැතවත් භාවයක් නොමැති වීමේ දෝෂය නිසා ම දුර්ලභ ව ලද උතුම් ක්ෂණ සම්පත්තිය අහිමි වීම පමණක් නොව බිහිසුණු විපාක ඇති අකුසල ධර්මයන්ට හසු වීමේ ඉඩකඩක් ඇත.
ධර්මය- අධර්මය තෝරා බේරා ගැනීමේ දී අපගේ භාග්‍යවතුන් වහන්සේ සතර මහාපදේශයන්හි පෙන්වා දුන්නේ කවුරුන් විසින් හෝ කොයි ආකාරයකින් ධර්මයේ නාමයෙන් කුමන මතවාදයක් ඉදිරිපත් කළ ද එය ධර්මයෙහි බහා බලන ලෙස යි. විනයෙහිලා සසඳන ලෙස යි. ධර්මයෙහි බහා බැලීම, විනයෙහිලා සැසඳීම යන කරුණේ දී ධර්ම විනය පිළිබඳ තමා තුළ ඇති නිවැරදි අවබෝධය ඉතා වැදගත් ය. එම නිසා බහුශ්‍රැතභාවය යනු ධර්ම විනය තුළ මුළාවට පත්නොවී සිටීම පිණිස ද බෙහෙවින් උපකාර වන්නක්.
විශේෂයෙන් පසුගිය කාලයේ දී ත්‍රිපිටක බුද්ධ වචනය ජාතික උරුමයක් ලෙසට නම් කෙරිණ. එය සැදැහැවත් බෞද්ධයන්ට සතුටට කරුණකි. ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වුණ නොයෙක් පුණ්‍ය කටයුතු රට පුරා දකින්නට ලැබිණ. සැබෑම ත්රිපිටකාභිවන්දනාවක් වශයෙන් බුද්ධ දේශනාවේ සඳහන් වූ අන්දමට බුද්ධ වචනය ඉගෙන එය දරාගෙන, වචනයෙන් පුරුදු කරගෙන, නුවණින් විමසා, නුවණින් අවබෝධ කර ගැනීමක් ඇද්ද, ඒ සියලු උපහාර අතර එය අග්‍ර වූ පූජෝපහාරය වනු ඇත.
එම නිසා කල්ප ගණනකින් දුලබව අසන්නට ලැබුණු, පරම ගම්භීර ශාන්ත ප්‍රණීත වූ, සියලු ධර්මයන් අතරින් අග්‍ර වන්නා වූ තථාගත ශ්‍රී සද්ධර්මය කෙරෙහි සියල්ලන්ගේ ම සිත් පහන් වේවා! ඒ පැහැදුනු සිතින් යුතුව ධර්මය ශ්‍රවණය කරන්නට සිත් යොමු වේවා! ශ්‍රවණය කරන්නා වූ ධර්මය හොඳින් මතකයේ රඳවා ගනිත්වා! එය වචනයෙන් පිරිවහත්වා! අරුත් නුවණින් විමසත්වා! ඒ උතුම් ධර්මය නුවණින් වටහා ගනිත්වා! සැබෑවට ම උතුම් තිසරණයට අග්‍ර වූ උපහාරයන් දක්වත්වා…!
– මහමෙව්නාව අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි
Recent Comments