මේ අලුත් අවුරුද්දක් ගැන, සුබ නැකැත් ගැන කතා වෙන කාලයක්. ලංකාවේ බොහෝ කාන්තාවෝ තමන්ගේ ජීවිතයේ දියුණුව උදෙසා තම පවුලේ උදවියත් සමග අලුත් අවුරුදු චාරිත්‍ර අනුගමනය කරනවා දකින්න ලැබෙනවා. මේ සුබ නැකැත්, චාරිත්‍ර වාරිත්‍ර ආදිය අකුරට ම ඉෂ්ට සිද්ධ කිරීමෙන් අපිට සැබෑවට ම දියුණුවක් ලැබෙනවා ද? කියා මහමෙව්නාව අනගාරිකා භාවනා අසපුවේ පින්වත් මෑණියන් වහන්සේනමක් සමඟ මෙසේ අප සාකච්ඡා කළා.

*****************************************
අලුත් අවුරුද්ද කියා අපි හඳුන්වන්නේ එක් අවුරුද්දක් ඉවරවෙලා තවත් අවුරුද්දක් ලැබීම යි. අපට අලුත් අවුරුද්දක් සමරන්න තිබෙනවා කියලා හැමෝම එය සමරනවා. මෙය විවිධ අයුරින් ව්‍යවහාර වෙනවා. බෞද්ධ පිරිසටත් අලුත් අවුරුද්දක් තිබෙනවා. බටහිර රටවල පිරිසටත් අලුත් අවුරුද්දක් තිබෙනවා. හැම ජාතියක් ම තමන්ට නව වසරක් පටන් ගන්නා ආකාරය විවිධ ආකාරයෙන් සමරනවා.

මේ අප්‍රේල් මාසයේ ලංකාවේ ගොඩක් මිනිස්සු සමරන අවුරුද්ද අපට යාබද රටක් වූ දකුණු ඉන්දියාවේ මිනිසුන් සැමරූ අවුරුද්දක්. අප රට මීට බොහෝ කාලයකට පෙර කාලිංග මාඝ කියන රජු ආක්‍රමණය කළා. ඒ රජු බලහත්කාරයෙන් තමන්ගේ රටේ තිබුණු ඒ අලුත් අවුරුද්ද, ඒ චාරිත්‍ර, ඒ නැකැත්, ඒ සිරිත් විරිත් අපේ සිංහලයාට පුරුදු කළා. මේ වනවිට අලුත් අවුරුද්ද අපේ දෙයක් ලෙස දැනුනාට අපට යාබද රටකින් බලහත්කාරයෙන් එය අපට පටවන ලද දෙයක්.

සිංහල බෞද්ධ සමාජයේ බොහෝ කාන්තාවෝ බොහෝ විට අද්භූත දේට ආශා කරනවා. කිරි ඉතිරෙව්වාම අපට යහපතක් වෙනවා කියලා කිව්වොත් ඇය ඒක ඇත්තක් ම යි කියලා පිළිගන්නවා. ඒ වගේ ම ලිප ගිනි නිවන්න, කෑම පිළියෙල කරන එක නවත්වන්න, නැවත ලිප ගිනි මොළවන්න ඇය යුහුසුළු වෙනවා. ඇයට ගිනි මොළවන විට බලන්න පැත්තක් තිබෙනවා. අඳින්න පාටක් තිබෙනවා. පිළියෙල කර ගත් කෑම අනුභව කරන්නට විශේෂ වෙලාවක් තිබෙනවා. නෑ ගමන් යන්න, රැකියාවට යන්න විශේෂ වෙලාවක් තිබෙනවා. ඒ වගේ ම හිසට තෙල් ටිකක් ගා ගන්නත් වෙලාවක් දෙනවා. ඉතින් මේ සිත ස්වභාවයෙන් ම ආශා කරන්නේ අද්භූත දේටනේ. කෙනෙක් කීවොත් “මේකෙන් හරියනවා” කියලා ඇය ඒක කරනවා.

එසේ කරන්නේ ‘මෙයින් සෙතක් වෙයි’ කියලා ඇය හිතන නිසයි. නමුත් මේ දේ කළා කියා අමුතු වෙනසක් වෙන්නේ නැහැ. දකුණු ඉන්දියානුවන්ගේ ආගමට චාරිත්‍ර වාරිත්‍රවලට මේ නැකැත් ගැළපෙනවා වෙන්න පුළුවන්. නමුත් බෞද්ධ අපට කිසිසේත් එය ගැළපෙන්නේ නැහැ. මීන රාශිය, මේෂ රාශිය කොහොමද කියලවත් අපගේ ඇසට පෙනෙන්නේ නැහැ. ගොරෝසුවට අපට මේ නැකැත් සුබ නිමිති, සුබ වෙලාවල් දැනුනට ඉන් වෙන යහපතක් නැහැ.

අද වනවිට මේ අවුරුදු සිරිත් සියල්ල ම වානිජකරණය වෙලා තිබෙන්නේ. අලුත් අවුරුද්දට අලුත් ඇඳුම් ගන්න ඕනේ. මව්පියන් බලන්න යන්න ඕනේ. නිවස පිරිසුදු කරන්න ඕනේ. කැවුම් කිරිබත් හදන්න ඕනේ කියලා මිනිසුන්ට වානිජ ලෝකය විසින් මානසිකව යමක් පවටලා තිබෙනවා. ඒ තුළින් මිනිස්සු එයට ඇබ්බැහි වෙනවා. ‘සේල්’ කියන වචනයට රැවටිලා, අලුත් අවුරුද්දට අඩුවෙන් දෙනවා කියලා හිතලා තමන් ඉතාමත් දුක් මහන්සියෙන් හරි හම්බකළ දේ බොහෝම නුවණ මඳ ආකාරයෙන් වැය කරන්න කාන්තාව පෙළඹෙනවා. ඒ පෙළඹීම තුළින් කිසිදු යහපතක් ඇයට සිදුවන්නේ නැහැ. අපි කතා කරනවා සිංහල අලුත් අවුරුද්දට සමඟිය ඇතිවෙනවා, තරහ වූ පිරිස් සමඟි වෙනවා කියලා. නමුත් අපි හොඳට නුවණින් බැලුවොත් එහි ඇත්තක් දකින්න බැහැ.

බොහෝ විට සමඟි පිරිසත් බිඳෙන කාලයක් එය. ඒ දිනවල මත්ද්‍රව්‍ය භාවිතය අතිශයින් ම වැඩි කාලයක්. යම් සාදයක මත්ද්‍රව්‍ය තිබෙනවා නම් ඒ සාදය සතුටකින් කෙළවර වන්නේ නැහැ. බොහෝ විට ගුටිබැට හුවමාරුවකින්, නැත්නම් තිබුණ හොඳ හිතක් පළුදු වෙලා තමයි අවසන් වෙන්නේ. එයින් තේරෙනවා මේ කාලයේ ඇතිවෙනවා කියන සමඟිය ඇත්තක් කියා අපට හිතන්න බැහැ. ඒ වගේ ම අනතුරු බහුල කාලයක්.එනිසා ඔබ හිතන්න ඕනෙ අවුරුද්ද සුබ නම් ඇයි මෙහෙම අනතුරු වෙන්නේ, සමඟි අය බිඳෙන්නේ, බිඳුණු අය තව තවත් බිඳෙන්නේ, දුරාචාර වැඩි වෙන්නේ, අනතුරු වැඩි වෙන්නේ කියලා.

සිංහල බෞද්ධ බොහෝ කාන්තාවන් මේ අපේ පැරැණි සිරිත්විරිත් කියා සිතා මේ නැකැත්, සුබ වෙලාවල් සිදු කරනවා. එදිනට කිරි උතුරුවා ඇය සිතනවා අපට අද සිට කිරි උතුරන්න ඕනේ කියා.

නමුත් ඇත්තට ම කිරි ඉතිරෙන්නේ මොකෙන් ද? ඇය ආදායමට සරිලන වියදමක් පවත්වා ගත්තොත්, අපේ නුවණ හෝ හැකියාව යොදවලා රැකියා සාර්ථක කරගෙන – දරුවන්ගේ කටයුතු සාර්ථක කරගෙන, ඉදිරිය ගැන නුවණින් කල්පනා කරලා තමන්ගේ ලෞකික ජිවිතය දියුණු කර ගන්නවා නම් එතකොට නම් කිරි ඉතිරෙනවා. එහෙම නැතිව කෙනෙක් කියපු වෙලාවට සංකේතාත්මක ව කිරි ටිකක් උතුරනවා බලලා ඒකට වන්දනා කරපු පළියට කිරි ඉතිරෙයි කියලා විශේෂයෙන් ම බෞද්ධ ආර්ය ශ්‍රාවිකාව කල්පනා නොකළ යුතු යි. ඇත්තටම අපේ ජීවිත සාර්ථක වීමට නම් උත්සාහයෙන් අපි දියුණු වෙන්න ඕනේ. උත්සාහයක් නැතිව, ලැබුණ විදිහට ජීවත්වෙලා අලුත් අවුරුද්දට ණය වෙලා අනුවණ ආකාරයට විය පැහැදම් කළොත් ඒ අවුරුද්ද සුබ වෙන්නේ කොහොම ද? එහෙම කළොත් තමන්ට බොහෝ දේ අහිමිවෙලා යනවා.

එනිසා එසේ කිරි ඉතිරෙව්වා කියලා හෝ කෑම කන එක නවතලා හෝ වෙලාවට වැඩ පටන් ගත්තා කියලා හෝ ඔබට දියුණුවක් සැලසෙන්නේ නැහැ. සමහර කාන්තාවෝ පුණ්‍ය කාලයට පමණයි පන්සල් යන්නේ. භාග්‍යවතුන් වහන්සේ පුණ්‍ය කාලය කියා වදාළේ යම් කාන්තාවක් හෝ පුරුෂයෙක් උදේ අවදිවන විට දවල් ගත කරන විට, දවස අවසන් කරන විට යම් වෙලාවක යම් පිනක් කරනවා නම් එයයි. ඒ තමයි සුභ මුහුර්තිය. සුබ නැකැත. සුබ වෙලාව. ඇයගේ පුණ්‍ය කාලය වන්නේ ඒ කාලය යි. ඒ සඳහා පැය කිහිපයක අවස්ථාවක් නො වේ තිබෙන්නේ. අලුත් අවුරුද්දේ දී පුණ්‍ය කාලය කියන්නේ සුබ දෙයක් කරන්නට හොඳ නැති කාලයක්. නමුත් භාග්‍යවතුන් වහන්සේ වදාළේ හොඳ දෙයක් කරන හැම වෙලාවක් ම ඇයට පුණ්‍ය කාලයක් කියායි. එනිසා නැකැත්, කේන්දර, සුබ හෝරා විශ්වාස කරන එක මිනිසුන්ගේ ස්වභාවය වුවත් ආර්ය ශ්‍රාවිකාව ඉන් එහා ගිය බුද්ධිමත් තැනැත්තියක් වෙන්න ඕනේ.

මේ පිළිබඳ ව බුද්ධ කාලයේ සිදු වූ සුන්දර සිදුවීමක් තිබෙනවා. එක්තරා ගමක විවාහයට පත්වෙන්න සුදුසු තරුණ දරුවෙක් සිටියා. ඔහුට ඈත ගමකින් සුන්දර දියණියක් යෝජනා වුණා. ඔවුන්ගේ පවුල් හොඳින් ගැළපුණා. ගුණයහපත්, හැදියාවක් තිබුණ දියණියක් ද මුණගැසුණා. අසවල් දවසේ අපි විවාහ මංගල්‍යය කරමු කියා දින නියම කර ගත්තා. මේ මනාලයාගේ පැත්තේ අමුතු ගතිගුණ තිබෙන එක්තරා තාපසයෙක් හිටියා. මේ තාපසයා වෙත ගොස් අර මනාලයාගේ මව්පියන් කියනවා “අපි අසවල් දවසේ දරුවාගේ විවාහ මංගල්‍යය නියම කර ගත්තා.

අපට ඒ සඳහා සුබ වෙලාවක් දෙන්න.” කියලා. මේ තාපසයා හිතනවා, ‘සියලු වැඩ සුදානම් කරගෙන දැන් මගෙන් අහනවා. ඒ නිසා මම වැඩක් කරන්නම්’. එහෙම සිතා කියනවා “අපොයි! එදා කිසිදු සුබ කටයුත්තක් කරන්න සුදුසු දිනයක් නොවේ. මහා ඒරාෂ්ඨක දිනයක්. තව සති දෙකකින් සුබ දිනයක් උදා වෙනවා. එදිනට මේ මංගල්‍යය කරන්න.” යැයි කියා දිනයක් දුන්නා. ඒ කාලයේ මේ වගේ සන්නිවේදන පහසුකම් නැහැනේ. මනමාලයාගේ නිවසේ අය සිතනවා තාපසතුමා කියන දවසට ගොස් ඒ දියණිය කැන්දාගෙන එනවා කියලා.

නමුත් යොදාගත් දිනයේ දී අර දියණියගේ නිවසේ අය නිවස සරසලා, කෑමබීම සකසලා බලාගෙන ඉන්නවා අර පිරිස එනතුරු. සවස් වනවිට මනාලියගේ නිවසේ අයට හුඟාක් ලැජ්ජා වුණා. ඔවුන් ඒ ගමේ සිටි උගත් පිරිමි දරුවෙකුට අර දියණිය විවාහ කර දී පිටත් කළා.

ඉන් පසු එහා ගමේ පිරිස හොඳ ම නැකැත තිබෙනවා කියු අර දිනයේ දී තෑගිබෝගත් අරගෙන මනාලියගේ නිවසට ගියා. ඒ නිවසේ උදවිය කියනවා “දැන් මෙහේ ගෑනු දරුවෙක් නැහැ. අපි එදා ම ඇය විවාහ කර දුන්නා.” කියා. අර පිරිසට හරි දුකක්, ලැජ්ජාවක් ඇති වුණා. තාපසයාට දොස් කිව්වා. බොහෝ ගුණයහපත්, සුන්දර දියණිය අපේ පුතාට විවාහ කර ගන්න බැරි වුණේ මේ කුහක තාපසයා නිසා යැයි කියමින් දොස් කිව්වා. එහෙම නම් හොඳ ම නැකැත වන්නේ ගුණයහපත්, සීලවන්ත, සුන්දර, ආචාරසම්පන්න දියණිය විවාහ කර ගත්තා නම්. එනිසා ආර්ය ශ්‍රාවිකාවගේ නැකැත කියන්නේ ගුණයහපත ළංකර ගැනීම යි. තමන්ගේ ජීවිත ගුණධර්මවලින් පුරවාගෙන යහපත් ව නැගී සිටීමයි.

එනිසා අපි නොදන්නවා වුණාට අද්භූත දේ පසුපස යන පිරිසගේ ජීවිතවලට එසේ නොයෙක් ආකාරයේ පාඩු සිදු වූ තැන් තිබෙන්න පුළුවන්. ඇත්තටම සුබ දේවල් මේ ලෝකයේ තිබෙනවා. සුබයි කියා භාග්‍යවතුන් වහන්සේ වදාළ කරුණු ඇතුලත් වෙන්නේ මංගල සූත්‍රයේ යි. සුදුසු පෙදෙසක වසනවා කියන්නේ මංගල්‍යයක්, සුබ දෙයක් කියා වදාළා. ඒ වගේ ම අසත්පුරුෂයන්ගෙන් ගැලවීම, දහමේ හැසිරීම ආදී මංගල සූත්‍රයේ තිබෙන සියලු දෙය ම ජීවිතයට සුබ දෙයක්, මංගල්‍යයක්, සුබ නැකැතක් වෙනවා. එනිසා මංගල සූත්‍රයේ තිබෙන කාරණා අපි ඇතිකර ගත්තොත් අනිවාර්යෙන් ම අපේ ජීවිතය ගොඩාක් දියුණු බවට, සාර්ථක එකක් බවට පත්කර ගන්නට පුළුවන්.

ඒ වගේ ම අපි බුදුරජාණන් වහන්සේ මුළු හදවතින් ම සරණ යනවා නම්, බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ නිතර ඇයට සිහිපත් වෙනවා නම්, ආර්ය සංඝරත්නය සරණ යනවා නම්, සංඝයා ගෞරවයෙන් ඇසුරු කරනවා නම්, ඒක සුබ නැකැතක්. ආනුභාව සහිතව බ්‍රහ්මලෝකයේ ඉපදුණ එක්තරා බ්‍රහ්මයෙක් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ පහළ වුණා. නමුත් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ සිටගෙන සිටීමට නොහැකිව පොළොවේ ගිලුනා. භාග්‍යවතුන් වහන්සේ වදාළා “බ්‍රහ්මය, ඕලාරික කයක් මවා ගන්න.” කියලා.

ඉන් පසු අසා සිටියා “ඔබ මනුස්ස ලෝකයේ ලබපු දේ ඒ ආකාරයෙන් ම ලබනවා ද?” කියලා. “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ ඇසුරු කරලා ඇති’යි කියලා සෑහීමකට පත් වුණේ නැහැ, ශ්‍රී සද්ධර්මය අහලා සෑහීමකට පත් වුණේ නැහැ.” කියලා. දැන් අපි නම් දේශනාවක් අහමින් ඉද්දි වෙන දෙයක් මතක් වෙලා ඒ දේශනාව ශ්‍රවණය කරන එක නවත්වනවා. ‘ඇති’ කියලා හිතෙනවා. නමුත් මේ බ්‍රහ්මයාට එහෙම හිතුණේ නැහැ. “සංඝ උපස්ථානයෙන් සෑහීමකට පත් වුණේ නැහැ.” කියනවා. “ස්වාමීනී, මම මරණයෙන් පසු බ්‍රහ්ම ලෝකයේ උපන්නා.” යැයි කිව්වා. එහෙම නම් මනුස්ස ලෝකයේ සුබ දේ ලෙස ඔහු කළේ තිසරණ සරණ පිහිටීම යි.

සාමාන්‍ය මනුස්ස සිතේ ස්වභාවය තමයි කුමක් හෝ පිහිටක එල්ලෙන එක. අසනීපයක් වුණොත් වහා ම කලබල වෙලා දේවාලයට ගොස් පඬුරක් ගැට ගහනවා. එහෙම නැත්නම් යන්ත්‍රයක් දා ගන්නවා. ඒ වගේ මානසිකත්වයක් අපට තිබෙනවා. ඇය ගස්, ගල් සරණ යන්නේ සරණක් සොයාගෙන. එහෙම සරණක් අවශ්‍ය කෙනාට හොඳ සරණක් තිබෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ සරණ යාමයි. ඇයට අසනීපයක්, කරදරයක්, දුකක් දෝමනස්සයක් වූවා ම සරණක් තිබෙනවා. සිහි කරන්න දෙයක්, හිතන්න දෙයක් තිබෙනවා. ඇය මහාසෑය වගේ උතුම් ස්ථානයට ගොස් බුදුරජාණන් වහන්සේට, බෝධින් වහන්සේට වන්දනා කරන්න – පිරිත් සජ්ඣායනා කරන්න පෙළඹෙනවා. ඇය කිසිවිටෙක අන් සරණක් සොයන්නේ නැහැ. දුකට, කරදරයට, ලෙඩකට පිහිටක්, පිළිසරණක් තෙරුවන් සරණ ගිය ආර්ය ශ්‍රාවිකාවට තිබෙනවා. ලෝකයේ ධනවත් මිනිස්සු ධනවත් වුණේ නැකැතකට වැඩ කරලා නො වේ. ඔවුන් අන්ධානුකරණයෙන් මිදී බුද්ධියෙන් හිතාබලා කටයුතු කරලා දියුණු වුණා.

ඒ වගේ ම ඇයට තවත් සරණක් තිබෙනවා. ඒ සීලය යි. එක් දිනක් බුදුරජාණන් වහන්සේ වෙතට බ්‍රාහ්මණයන් දෙදෙනෙක් පැමිණ කියනවා “ස්වාමීනී, අපගේ වයස අවුරුදු එකසිය විස්සයි. අපේ ජීවිතවල පිහිටක් කරගෙන සැනසෙන්න දෙයක් අපට නැහැ.” කියලා. එවිට භාග්‍යවතුන් වහන්සේ වදාළා “බමුණ, ඔබලා හොඳට සිල් රකින්න. ඒ වගේ ම දන් දෙන්න, තමන්ගේ සිත හොඳට රැකගන්න. එවිට පරලොව බයක් නැතිව සුගතියකට යන්න පුළුවන්.” කිව්වා. එහෙම නම් යම්කිසි මවක් වැරැදි දේ, මිථ්‍යා දේ පසුපස ගොස් මෙතෙක් කල් සිටියත් දැනුවත් වූ වහා ම එය අත්හරින්න සූදානම් නම් ඇයට එතැන් පටන් නිවැරදි වන්නට අවස්ථාව තිබෙනවා. ධර්මයේ පිහිට, පිළිසරණ ලබන්න පුළුවන්.

අනෙක් කරුණ තමයි ඇය පංචසීලය රකිනවා. උපෝසථ සීලය රකිනවා. ඒ වගේ ම ධාතුන් වහන්සේලා වන්දනා කරනවා. එහිදීත් ඇයට ආරක්ෂාව තිබෙනවා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධානුභාවය තවම මේ ලෝකයේ තිබෙනවා. මහානුභාව පිරිත් සජ්ඣායනාවේ ඒ ආනුභාවය තිබෙනවා. අංගුලිමාල පිරිතෙන් අදත් සෙත සැලසෙනවා. එවිට ධර්මයට ආශා කරන, ධර්මයේ පිහිට පිළිසරණ ලබාගත් දෙවිවරුන්ගේ ආශීර්වාදය ශ්‍රද්ධාවන්ත ශ්‍රාවිකාවකට සැලසෙනවා.

එනිසා බුදුරජාණන් වහන්සේ සරණ ගිය ඇයට සරණක් නැහැ කියා කියන්න බැහැ. නැකැත් සැමරුවේ නැහැ කියලා මේ අවුරුද්ද ඇයට අසුබයි කියා කියන්නත් බැහැ. නැකැත් කියන්නේ ගොරෝසු දෙයක්. ඔරලෝසුවේ තප්පර කටුව ඒ වෙලාවට එනතුරු බලාගෙන සිටිනවා. එසේ බලාගෙන සිටිනකොට හිතෙනවා ‘මෙහි මොකක් හරි හොඳ දෙයක් තිබෙනවා’ කියලා. වෙලාවට ගනුදෙනු කරනකොට හිතෙනවා මේ අවුරුද්ද නම් සරු වෙයි කියලා. සුබ නැකැතකට තෙල් ගාද්දී ඇය හිතනවා මේ අවුරුද්දේ නම් ලෙඩක් දුකක් නැතිව ඉන්න පුළුවන් වේවි කියලා. නමුත් මේ සියල්ල ම සමාජයේ යම් නැඹුරුතාවයක් නිසා කරනවා මිසක් තම තමන් අත්දැකපු දෙයක් එහි ගැබ් වී නැහැ.

බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේත්, ඉන් පසුවත්, වර්තමානයේත් මිනිසුන් අද්භූත දේ පසුපස ගියා. අනාගතයේ මිනිසුනුත් මේ අද්භූත දේ පසුපස යාවි. ඒක මිනිසුන්ගේ ස්වභාවය. ඒ නිසා සැබෑවට ම අපගේ නැකැත, සුබ මුහුර්තිය වූ තිසරණයෙහි අපි පිහිටනවා නම්, උතුම් සීලයක් වඩනවා නම්, ධාතුන් වහන්සේලා, බෝධින් වහන්සේලා වන්දනා කිරීම, පිරිත් සජ්ඣායනා කිරීම වගේ සුබ දේ අපි පුරුදු පුහුණ කරනවා නම්, අපේ ජීවිතයට සුබ නැකැත – සුබ මංගල්‍යය උදා වෙනවා.

එනිසා බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවිකාවක් ලෙස සුබ නැකැත් පසුපස යනවා වෙනුවට ඔබගේ සිතේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි යම් ශ්‍රද්ධාවක් තිබුණා නම්, ඒ ශ්‍රද්ධා සම්පත්තිය වැඩිදියුණු කර ගන්නට මහන්සි ගන්න ඕනේ. තමා තුළ යම් සීල සම්පත්තියක් තිබුණා නම්, ඒ සීල සම්පත්තිය වැඩි දියුණු කර ගන්නට කටයුතු කරන්න ඕනේ. තමන්ට යම් ධර්ම ඥානයක් තිබෙනවා නම් ඒ ධර්ම ඥානය දියුණු කර ගන්නට මහන්සි ගන්න ඕනේ. යම් ත්‍යාග සම්පත්තියක් මෙතෙක් පුරුදු කළා නම්, ඒ ත්‍යාග සම්පත්තිය තව තවත් ඉදිරියටත් දියුණු කර ගන්නට වෙර වීරිය කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසා ඒ ධර්මය ඔස්සේ යම් ප්‍රඥාවක් ඇතිකරගෙන තිබෙනවා නම් ඒ ප්‍රඥාව තව තවත් දියුණු කර ගන්නට මහන්සි ගන්න ඕනේ.

ඔබ මේ අවුරුද්දේ තුන්සිය හැටපස් දවස පුරා ම පංචසීලය පිරිසිදුව ආරක්ෂා කර ගත්තොත් අවුරුද්ද අවසන් වනකොට පිරිසිදුව පංචසීලය කොතරම් කාලයක් ආරක්ෂා කර තිබෙනවා ද! ඒ වගේම දිනකට එක ධර්ම දේශනාවක් ඇසුවොත් මාසයකට කෙතරම් ධර්ම දේශනා අසා තිබෙනවා ද! අවුරුද්දක් ගෙවී යන විට කොතරම් නම් ධර්ම දේශනා ශ්‍රවණය කොට තිබෙනවා ද! කියා නුවණින් මෙනෙහි කළොත් තමන්ට තමන් ගැන බොහෝ සේ සතුටු විය හැකියි.

මම පසුගිය වසර ගෙවා දමද්දී ඒ වසරේ දී මම ගැටුණු තැනක් තිබුණා නම්, මට ඉවසා ගන්න බැරි වූ තැනක් තිබුණා නම්, මා අතින් සිදු වූ වැරැද්දක් තිබුණා නම්, මම ආවේගයට පත් වූ අවස්ථාවක් තිබුණා නම්, යම් යම් අර්බුදවලට පැටලී ගිය අවස්ථා තිබුණා නම්, මගේ සිත රැක ගන්නට මට බැරි වූ අවස්ථා තිබුණා නම්, මගේ සිල්පද පළුදු වූවා නම්, කැඩී ගියා නම්, ඒවා සිහිකර ඒවා නිවැරදි කරගෙන ඉදිරියේදී එම අඩුපාඩු අවම කර ගන්නවා කියා අදිටන් කර ගන්න. එවිට ඔබ ලද මේ දුර්ලභ මිනිස් දිවිය ඒකාන්තයෙන් ම සුබ වෙනු ඇත.

සාකච්ඡා සටහන – නයනා නිල්මිණි