මින් වසර හැට හැත්තෑවකට ඉහත දී අප රටේ ගම්බද ප්‍රදේශවල ජනතාව සිංහල අලුත් අවුරුදු සමය ගත කළ අන්දම අපට දැනුදු සිහිපත් වෙයි. කෘෂිකර්මය මත ම සිය ජීවනෝපාය රඳා පැවති ගැමි ජනතාවගේ සශ්‍රීකවත් කාලය උදාවන්නේ මහ කන්නයේ වී ගොවිතැන් අස්වැන්න නෙළා ගැනීමෙන් පසුව ය. එය වූ කලී භාග්‍ය සම්පන්න මාසය හෙවත් බක් මාසය යි. අතීත යුගයේ විසූ ලක්වාසී ජනතාව ද මෙම කාලයේ විශ්‍රාම සුවයෙන් හා කෙළිදෙලෙන් කල් යැවූ බැව් ඇතැම් සීගිරි ගීයක ද ලියැවී තිබේ. නව බක් සඳ පෑයු දා සිට වෙසක් පුන් පොහොය එළඹෙන

තෙක් පවුලේ සැම දෙන එක් වී වන්දනා ගමන් ආදියේ යෙදෙමින් පුණ්‍ය කටයුතුවල නියැලී සිටි බව පෙනී යයි.

පොළොන්නරු යුගයෙන් පසු හින්දු ආගමික සංකල්ප පැතිර යාම නිසා නැකැත් කෙළියක් බවට පත්වී මිථ්‍යා දෘෂ්ටික හින්දු සැමරුමක් වේශයෙන් බක් සඳ උළෙල සැමරුවේ කාලිංග මාඝගේ සැහැසි ආක්‍රමණයෙන් පසුව ය. පසුව එය සිංහල හින්දු අලුත් අවුරුද්ද යනුවෙන් හැඳින්වුණ නමුදු ගම්බද සිංහල ජනතාව එය පවුලේ නෑසියන් එකට රැස්වී අලුත් කිරිබතක් උයා කා බී තෙරුවන කෙරෙහි සිත පහදාගෙන තම තමන්ට හැකි පමණින් දිවි මඟ සරුකර ගැනීමේ සම්මුති ක්‍රියාපිළිවෙළක් හැටියට සලකා ක්‍රියා කළහ.

මෙහි දී දක්නට ලැබුණු වැදගත් සාධනීය පිළිවෙතක් වූ කලී අමනාපකම් තරහමරහ අමතක කොට සියලු දෙනාම සමඟි සම්පන්නව කටයුතු කිරීම යි. එකට රැස්ව, එකට වැඩ කර, එක ම වේලාවට වැඩ අත්හැර සමඟි සම්පන්නව විසිර යාම පිළිබඳ සාමූහික ජනකායක් හැඩ ගස්වන වැඩපිළිවෙළක් බිහි වූයේ බක් සඳ උළෙල විගඩමක් බවට පත් වූ සූර්ය මංගල්‍යයක් නිසා නො වේ.

හිරු පිදීම පමණක් නොව දෙසැටක් මිථ්‍යා දෘෂ්ටි පැතිර පැවති ව්‍යවහාර වර්ෂ පූර්ව හය වැනි සියවසේ දී දඹදිව ජන්ම ලාභය ලැබූ උතුම් මනුෂ්‍ය රත්නය වූ ගෞතම බුදුරජාණන් වහන්සේ ජනකායක් එකමුතු වී දියුණුවට පත්වන ආකාරය සනිදර්ශනව පෙන්වා දුන් සේක. ඒ වූ කලී සප්ත අපරිහානිය ධර්මයන් අනුගමනය කිරීම යි. ඒ උතුම් දහම් මග අනුව දිවි පෙවෙත හැඩ ගස්වා ගත් ජනතාව දෙදහස් තුන්සිය වසරක් මුළුල්ලේ පරසතුරු බාධක මැඩ සමඟි සම්පන්නව භවභෝග සම්පත් දියුණු කර ගත් අයුරු ඓතිහාසික මූලාශ්‍රවලින් තහවුරු වෙයි.

බත බුලතින් සාරවත් භාග්‍ය සම්පන්න සමය වසරකට වරක් උදාවන්නේ අස්වනු යහමින් පැසෙන මහ කන්නයට පසුව එළඹෙන බක් මාසයේ දී බව ඉහත කියැවිණ. මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩමවීමෙන් පසුව ලක්දිව ක්ෂත්‍රීය පරපුරට උරුම ධාර්මික ජීවනෝපාය වූ කෘෂි සභ්‍යත්වයට නවපණක් ලැබිණ. (අභය වැව කැණවා ඊට මුල පුරන ලද්දේ ඉන් සියවස් දෙකකට පමණ පෙර අනුරාධපුර රාජධානිය පිහිටවූ පණ්ඩුකාභය රජු විසිනි) වී අස්වැන්න බුද්ධ භෝගය වශයෙන් සැලකීමට සිංහල ජනකාය එදා සිට ම පුරුදු වූහ. එම සෞභාග්‍යවත් සමයෙන් පසුව උදාවන වෙසක් සමය සිංහල බෞද්ධ ජනකායගේ අලුත් අවුරුද්ද විය.

එය වූ කලී කා බී නටා විනෝද වී ගම රට දෙවනත් කරන උළෙලක් නොව බෞද්ධ පිළිවෙතට නැඹුරු වී ජීවන මඟ යහපත් කර ගන්නා අලුත් අවුරුද්දක ඇරඹුමයි. පොළොන්නරු යුගය ඉකුත් වන තුරු ම මෙරට පැවතියේ ඒ දැහැමි අලුත් අවුරුදු වෙසක් මංගල්‍යයයි.

තමන්ට රැකවරණය හා ජීවනය සැපයූ පරිසරයට කෘතගුණ දක්වමින් ඥාති හිත මිතුරු, ගුරු දෙගුරු හිත අහිත සියලු දෙනා කෙරෙහි මෙත් සිත පැතිරවීම එම උළලේ මුඛ්‍ය තේමාව විය. ආගම දහමට අනුව ජීවන මඟ හසුරුවන, උට්ඨාන වීර්යයෙන් යුතුව දෙලොවට ම වැඩ සලසන අලුත් අවුරුද්දක ඇරඹුම එය වී ය.

අතීත යුගයේ සිට ම ලොව අන් රටවල නව වර්ෂයන් ආරම්භ වූයේ මිථ්‍යා දෘෂ්ටික සංකල්ප පදනම් කොටගෙන ය. සූර්ය වර්ෂය, චන්ද්‍ර වර්ෂය, ශක වර්ෂය ආදී වර්ෂයන් නම් කරන ලද්දේ පරිසරය අද්භූතයක් සේ සැලකීමෙනි. බුද්ධ වර්ෂයේ ආරම්භය එසේ නො වේ. සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයන් වහන්සේ උතුම් සම්බුද්ධත්වයට පත් ව සතලිස් පස් වසරක් පුරා සියලු දුක් නිවාලන දහම් දෙසා පිරිනිවන් වැඩි වර්ෂය අනුස්මරණය කොට බුද්ධ වර්ෂය බිහි වූයේ ලෝකයේ පහළ වූ ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය රත්නය වාර්ෂිකව සිහිපත් කොට උන්වහන්සේගේ පිළිවෙත් මඟ අනුව ජීවිත හැඩ ගස්වා ගැනීම සඳහා ය.

ඉන් පසුව යේසුස් වහන්සේ උපන් වසරේ පළමු මාසය ජානුස් දෙවියා නමින් ජනවාරි පළමු වැනිදා සිට අනුස්මරණය කිරීම ඇරඹිණ. යටත්විජිත ඉංගිරිසි පාලනයට හසුවීමෙන් පසුව අපගේ සිංහල අවුරුදු මාස ක්‍රමය වෙනස් විය. සිංහල හින්දු අලුත් අවුරුද්ද නමින් පසු කාලයක සැමරූ උළෙල, ජ්‍යෝතිෂය අනුව හැඳින්වෙන්නේ ශක වර්ෂ 1934 ගෙවී 1935 උදාවීමට ය. ශක වර්ෂය කවදා ඇරඹිණිදැයි කිය නොහැකි ය. මේ අරභයා ශ්‍රී ලංකාවේ පවත්නා පැරණි ම ලේඛනය හමුවන්නේ ත්‍රිකුණාමලයේ පේද්‍රික් කොටුවේ තිරුකේශ්වරම් දේවාලයේ සකු බසින් ලියැවී ඇති උළුවහු සෙල්ටැඹකිනි. තිරුකේශ්වරම් වනාහි හිරු නමස්කාරය සඳහා ඉදි කරන ලද කෝවිලකි. ශක වර්ෂ 1135 දී එය කොටා ඇත. මෙකල ශ්‍රී ලංකාවේ පාලකයා වූයේ චෝඩගංගදේව රජු ය. ශිව භක්තික චෝඩංග විසින් මෙම උළුවහු සෙල්ලිපිය පිහිටුවා ඇති බව කියැවේ.

එවක සිට හින්දු සංකල්ප එකතු වෙමින් වැඩී ආ මේ අශාස්ත්‍රීය අලුත් අවුරුදු කෙළි උළෙල රට ගම වනසන මහා විගඩමක් බවට පත් වී තිබේ. ජාතික උත්සවයක් යන නම භාවිත කරමින් කලින් කල අප සංස්කෘතියට පටහැනි අංග එක් වෙමින් විකාශනය වූ මේ උළෙල දැන් සූරිය මංගල්‍යයක් වී රූපවාහිනී හා අනෙකුත් මාධ්‍ය විසින් හසුරුවන වෙළෙඳුන්ගේ ජාවාරම් උළෙලක් වී ඇත.

කඩ සාප්පු, ඇඳුම් පැලඳුම් හා බඩු මුට්ටුවලින් පුරවා විශේෂ වට්ටම් වෙළඳ භාණ්ඩවල ප්‍රදර්ශනය කෙරේ. වායු සමීකරණය කළ ‘සුපර් මාර්කට්’ තුළ පොල් අතු සෙවිලි කළ මැටි පැල්පත් අටවා අවුරුදු රස කැවිලි අලෙවි කෙරේ.

සේවකයන්ට සරම් කමිස තොප්පි ද සේවිකාවන්ට චීත්ත, කම්බා කබාකුරුත්තා ද අන්දවා සුපර් මාකට් අවුරුදු නාඩගමට වෙස් ගනුවනු ලැබේ. උත්සව සමය ළං වන විට පත්තරවල පළවන දැන්වීම්වල පළවන්නේ ‘අවුරුද්දට ඇතිවෙන්න අරක්කු’ තිබෙන බව ය. මෙයින් මිනිසුන් මත්වතුර බීමට පොළඹවනු ලැබේ. රජය විසින් අදාළ උත්සව දිනයන්හි මත්පැන් අලෙවිසැල් වසා දමන්නේ ඊට කලින් මිනිසුන්ට ඒවා මිල දී ගැනීමට ඉඩකඩ සලසමිනි. රටේ ආර්ථික සාමාජයික දිවි පෙවෙත අකර්මණ්‍ය කරන මේ අවුරුදු සැණකෙළි නිසා මිනිසාගේ කාලය, ශ්‍රමය, මුදල් හා ශරීර සෞඛ්‍ය ද පිරිහෙන්නේ ය.

අවුරුදු සැණකෙළි අරභයා ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය මඟින් වර්තමාන මිනිසාගේ මනසට කාවැද්දීමට වෑයම් කරන සකලවිධ දේ මිනිසාගේ විනාශය පිණිස ම හේතු වන්නේ ය. ඔවුන් සූරිය මංගල්‍යය ලෙස හුවා දක්වන මිථ්‍යා දෘෂ්ටිය තුළ ඒ සියලු සමාජ නාශක ක්‍රියාකාරකම් ඇතුළත් ය. ඒ නිසා‘කාපල්ලා, බීපල්ලා, ජොලි කරපල්ලා’ යනුවෙන් හුවා දක්වන යෞවන වේග රිද්ම නම් සර්කස් මඩුව තරුණ පරම්පරාව විසින් ප්‍රතික්ෂේප කළ යුතු ය. ළමා ළපටීන් පවා අවුරුදු කුමර කුමරි රැඟුම් සඳහා කැන්දන විගඩමට, දෙමාපියන් දරුවන් නොයැවිය යුතු ය. එසේ නොකළහොත් අනාගතයේ සිංහල බෞද්ධ ජන සමාජය විනාශ මුඛයට ඇද වැටෙනු ඇත.

දවසක දෙකක නැකැත් කෙළියක් සඳහා ගෙවල් දොරවල් ගොම මැටි ගා සුදුහුණු පිරියම් කරවා, අලුත් ඇඳුම් පැලඳුම්, නැවුම් වළං කල් වේලා ඇතිව සපයා ගැනීමට කොතරම් වෙහෙසක් දරන්නේ ද? අලුත් වළං, අලුත් ඇඳුම් ආදී දේ ලක ලැහැස්ති කර ගැනීමට අවුරුද්දක් වුවමනා නැත. අවුරුදු සිරිත් එක දවසකට නොව සෑම කල්හි ම අනුගමනය කළ යුතු වෙයි.

පවුලේ සියලු දෙනා මහගෙදරට පැමිණීම, සුහද පිළිසදර හා එක්ව ආහාර ගැනීම, ආගමික කටයුතුවල යෙදීම, දෙමව්පිය වැඩිහිටියන්ට වැඳීම හා සත්කාර කිරීම, නෑ මිතුරන් හමුවීමට යාම, අමනාපකම් ඇත්නම් ඒවා සන්සිඳුවා ගැනීම යන සිරිත් අවුරුද්දකට වරක් නොව සෑම කල්හි ම අනුගමනය කිරීමට අධිෂ්ඨාන කර ගැනීම සිංහල බෞද්ධයාගේ ඒකායන වැඩපිළිවෙළ විය යුතු ය. වසරකට දවසක් නොව සෑම දවසක ම සුබ දිනයක් ලෙස සිතන්ට, ක්‍රියා කරන්ට බෞද්ධ සම්ප්‍රදාය අපට උගන්වයි.

සටහන – දයාපාල ජයනෙත්ති